» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/07/2018 - ඉරිදා ලංකාදීප
රාජකාරිය පහසු කරන බුද්ධිමත් රොබෝ තාක්ෂණය

නුදුරු අනාගතයේ දී වැඩ කරන ජනතාව ඉටු කරන කාර්යයන්ගෙන් සෑහෙන කොටසක් දියුණුම පරම්පරාවේ රොබෝවරුන්ට පැවරෙන බව ජාත්‍යන්තර පර්යේෂකයෝ අනාවරණය කර තිබේ. මෙම රොබෝවරු අණට කීකරු වන මැෂින් පමණක් නොව කිසියම් ගැටළුවක් හමුවේ තාර්කිකව තීන්දුවක් ගැනීමට සමත්වන මෙවලම් වනු ඇති බව සඳහන්ය. 1980 ගණන් වල දී ප‍්‍රකට දාර්ශනිකයෙකු හා මාධ්‍යවේදී ඔස්ටේ‍්‍රලියානු ජාතික ආන්ද්‍රේ ගෝෂ් ක්ෂුද්‍ර ආර්ථිකය බිහිවන විට කම්කරු පැලැන්තිය අහෝසි වන බව කියා සිටියේය. එකී වකවානුවේ දී වැඩ කරන ශෛලිය වෙනස් වන පදනම ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැත. අඩුම තරමින් පැය ගණනට ගෙවන වෘත්තිය කාර්යක්ෂමතාවයක් ගැන හෝ අවධානයට ගෙන තිබුණේ නැත. නමුත් වර්තමානයේ දී වැඩ කරන ජනතාව එකිනෙකට වෙනස් ක‍්‍රම වලට සේවය සම්පාදනය කරන තැනට පරිවර්තනය වී තිබේ. ආයතනික රාමුව වෙනස් වී ඇති අතර නොදන්නා ජාත්‍යන්තර ආයතනයකට අන්තර් ජාලය ඔස්සේ අවශ්‍ය කරන සේවය සම්පාදනය කිරීම දක්වා නැඹුරු වී ඇත. මෙම වෙනස්කම් වල ඊළඟ පියවර මිනිස් ක‍්‍රියාකාරම් වලින් කෙරෙන රාජකාරි යාන්ත‍්‍රික රොබෝවරුන්ට පැවැරීම විය හැකිය.

දියුණු පරම්පරාවේ රොබෝවරු දැනටත් ලෝකයේ නොයෙක් ප‍්‍රකට සමාගම්වල වැටුප් රහිතව සේවය කරමින් සිටී. දිවා රාත‍්‍රී වෙනසක් නැති අතර සේවක අයිතිවාසිකම් ගැන ද උද්ඝෝෂණය කරන්නේ නැත. වැඩිම ඵලදායීතාවයක් සහිතව ඉතාම කාර්යක්ෂමතාවයකින් ආයතන වලට වැඩ කරන බව රහසක් නොවේ. සිංගප්පූරුවේ චොකලට් නිෂ්පාදන සමාගමක සේවය කරන රොබෝ යන්ත‍්‍ර වලට අඩුම තරමින් කම්හල තුළ විදුලිය ආලෝකය පවා අනවශ්‍ය බව දැක්වෙයි. කම්හලේ, ගොවිපොලේ ඇති ශ‍්‍රම අවශ්‍යතා ඉතාම වේගයෙන් වෙනස්කම් වලට ලක් වන අතර ඉතාම නුදුරු වකවානුවක මිනිසුන් විසින් ඉටු කරන කාර්ය මිනිස් ශ‍්‍රමයට වඩා කාර්යක්ෂමව ඉතාම අඩු පිරිවැයකින් සිදුවිය හැකි බව ප‍්‍රකාශ වෙයි. දිනපතාම රෙබෝ මෙවලම් වලින් වැඩ කරගැනීමේ තාක්ෂණය දියුණු වෙමින් පවතින අතර එයට අවශ්‍ය කරන මෘදුකාංග සොයා ගැනෙමින් තිබේ. මිනිස් ශ‍්‍රමය පැත්තකට කරන්නට ඉඩ ඇති නූතන පරම්පරාවේ රොබෝවරු ශ‍්‍රම වෙළඳ පොල අල්ලා ගැනීම සිදුවෙන්නේ කවදාද යන්න සාකච්ඡා කිරීම වෙනුවට දැනටමත් එහෙම නොවෙන්නේ මන්ද යන්න ලෝක ප‍්‍රකට ව්‍යාපාරික ප‍්‍රධානීන්ගේ අවධානයට ලක් වී ඇති බව නොබෝදා බි‍්‍රතාන්‍ය ජාතික නව ආර්ථික චින්තකයෙකු අනාවරණය කර තිබුණි.

රොබෝ තාක්ෂණය වේගයෙන් අවතීර්ණ විය හැකි අංශ ගණනාවක් හදුනාගෙන තිබේ. ඇමරිකාව ආශ‍්‍රිතව කරන ලද පර්යේෂණයක් අනුව වර්තමාන තාක්ෂණය අනුව ආහාර සේවා හා නවාතැන්, නිෂ්පාදන, ප‍්‍රවාහන හා ගබඩා, සිල්ලර වෙළඳාම, ඉදිකිරීම්, මූල්‍ය සහ දේපල වෙළඳාම යන අංශ වල අඩුම තරමින් සියයට පනහ ඉක්මවන කි‍්‍රයාකාරකම් රොබෝවරුන්ට පැවරෙනු ඇත. අධ්‍යාපන, කළමණාකරන සහ සෞඛ්‍ය හා සත්කාරක සේවා වැනි අංශ පමණක් තවමත් සියයට තිහක හතලිහක අතර ප‍්‍රමාණයකට වඩා රොබෝ ආක‍්‍රමණ සිදුවිය නොහැකි බව ප‍්‍රකාශ වෙයි. මෙයින් අනතුරකට පත්වන වෘත්තීන් වැඩි වශයෙන් අඩු වැටුප් හිමි ශ‍්‍රමික අවස්ථා බව විශේෂයෙන් පෙන්වා දෙන කරුණකි. අලූතින් යමක් හිතන්නේ නැති, යාන්ත‍්‍රිකව පවරන දේ පැය ගණනට කරන ශ‍්‍රම වෙළඳ පොල අර්බුදයකට පත්වීමට ඉඩ කඩ වැඩි බව වඩාත් අවධාරණය කරන තවත් පැත්තකි.

නිෂ්පාදන ආර්ථිකයට ඉතාම වාසිදායක තත්ත්වයක් සකස් කරන්නට ඉඩ ඇති රොබෝවරු ශ‍්‍රම බලකායේ උසස් පෙලට වඩා සුදුසුකම් අඩු ශ‍්‍රමිකයන් වඩා අවදානමකට යොමු කරනු ඇත. උසස් පෙළ සමත්වීම පවා එම අවදානම අඩු කරන එකක් නොවන අතර වෘත්තීය සුදුසුකම් පවා ප‍්‍රයෝජනයක් නොවෙන්නට ඉඩ තිබේ. ලෝකයේ ඕනෑම තැනක හොඳ රැකියා ඉල්ලූමක් සඳහා උපාධියක් අවශ්‍ය වන අතර අවදානම අඩුම පිරිස ඉහළම උපාධි ඇති බුද්ධියෙන් වැඩකරන අයවලූන් බව අනාවරණය කර තිබේ.

ඇමරිකානු රැකියා අංශ ගැන පළකරන වාර්තාව අනුව රොබෝ තාක්ෂණය අවතීර්ණ වන විට අනෙක් සියළුම අංශ වල වැටුප් තල අඩු වන අතර තුර හෙද සත්කාර සේවයේ සහ කම්හල් වල මෙහෙයුම් කරන කළමණාකරුවන්ගේ පමණක් වැටුප් වැඩි විය හැකිය. සත්කාරක සේවාවේ නිරත අය, හෙද සේවාව, නේවාසික හෙද කාර්ය මණ්ඩල සහ විශේෂිත ආහාර පිලියෙල කරන බොජුන් හල් සේවකයන් යනා දී අංශ වල 2014 - 2024 කාලය තුළ වැඩිම රැකියා අවස්ථා බිහිවන බව දැක්වෙයි.

රොබෝ තාක්ෂණය ලෝකයේ කිසිම රටකට අලූත් දෙයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ පවා නිෂ්පාදන හා සේවා අංශ වලට යම් ප‍්‍රමාණයකට රොබෝවරු ප‍්‍රවේශවී ඇත. රබර් නිෂ්පාදන, ඇගලූම් කම්හල මෝටර් රථ එකලස් කිරීම යනා දී අංශ ඒ අතරින් කිහිපයකි.

රට බැංකු වල එදිනෙදා කටයුතු වල දී කිසියම් ප‍්‍රමාණයක් යන්ත‍්‍රවලට දැනටමත් බාර දී හමාරය. ගනුදෙනුකරු තමන්ගේ ගිණුම පරිහරණය කරන්නේ රොබෝ මැෂින් සමග බව පිලිගත යුතුය. රජයේ හෝ පුද්ගලික අංශයේ සෑහෙන රාජකාරි ප‍්‍රමාණයක් දියුණු රොබෝ තාක්ෂණයට බාරදීමට නුදුරු කාලයේ දී ඉඩ කඩ විවෘත විය හැකිය. මෙවලම් වෙනුවෙන් ආයෝජනය කරන පිරිවැය සහ රොබෝ අවතීර්ණවීම ඔස්සේ මෙරට රැකී රක්ෂා අංශයේ පවතින සංස්කෘතියට අත් විය හැකි ඉරණම සලකා බලන ප‍්‍රතිපත්ති සම්පාදකයෝ එය තව දුරටත් ප‍්‍රමාද කරන බව පැහැදිලිය.

මෙරට උපාධිධාරින් දස දහස් ගණනින් රජයේ රැකියා වලට තෝරා ගනිමින් සිටිති. තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා විරහිතව උද්ඝෝෂණය කරන බව පෙනේ. අනාවරණය වන තොරතුරු වලට පොලිසිය හා හමුදා ආරක්ෂක අංශය සහ සංස්ථා සේවකයන් අත්හැරිමෙන් පසු පවා රජයේ සේවයෙහි නිරතව සිටින පිරිස ලක්ෂ දහහතර ඉක්වමා තිබේ. ශ‍්‍රී ලංකාව ජනගහනයේ ප‍්‍රතිශතයක් වශයෙන් වැඩිම පිරිසක් රාජ්‍ය සේවයෙහි නිරත රටකි. නමුත් මෙරට පොදු ජනතාව රජයේ කාර්යාලයක සේවය ගැන කිසිම පැහැදිමක් නැත. පැය අටක රාජකාරි කාලය තුළ මහජන සේවය වෙනුවෙන් කැපවී වැඩ කරන නිලධාරීන් ගේ ප‍්‍රමාණය අතලොස්සක් පමණකි. එකම දේ වෙනුවෙන් නිතිපතා නිලධාරීන් හමුවේ පැය ගණන් කල් ගත කරන රටවැසියන් මෙම ක‍්‍රමය වෙනස් කළ යුතු බව අවධාරණය කරන නමුත් පැවැති කිසිම ආණ්ඩුවකට මහජන සේවය කාර්යක්ෂම කරනු සඳහා ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග ගැනීමට හැකි වී නැත.

නුදුරු කාලය තුළ ශ‍්‍රම වෙළඳ පොල තුළ සිදුවන පරිවර්තනය ගැන රටට ඇති දැක්ම කුමක්ද? කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ගැන වැඩිපුර හිතන රටවල් ජනතාවට වාසි අත්පත් කරදෙනු සඳහා තාක්ෂණය භාවිතා කරති. දියුණු රොබෝ ආක‍්‍රමණය එහි එක පියවරක් පමණකි. අසල්වැසි රටවල් වල සමාජ ආර්ථික ප‍්‍රගතිය තුළ තාක්ෂණය හා නවීන මෙවලම් වල යෙදවුම් තිබේ. සම්පත් උපයෝගී කරගැනීම උපරිමව සිදුවෙයි. නාස්තිය අවම කරන අතර අඩු ලූහුඩුකම් පාලනය කරගනී. ඉදිරි කෙටි කාලය තුළ ලෝකයේ පැවැත්ම වෙනස්කරන්නට රොබෝ තාක්ෂණය බලපාන අන්දම අවධානයට ගත යුතුය. ඇමරිකාවේ ශ‍්‍රම වෙළඳ පොල හැසිරීම අපට සලකා බැලිය හැකි හොඳ ආදර්ශයකි. ශ‍්‍රී ලංකාවේ ගතානුගතික ආකල්ප හා තීරණ ගැනීම සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් අවශ්‍ය බව පෙන්වා දිය යුතුව තිබේ.