» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/04/2018 - ඉරිදා ලංකාදීප
පොදු ප්‍රවාහනයේ දුබලතාවයෙන් ජනතාව මුහුණ දුන් ප‍්‍රශ්න

අවුරුද්දක් පාසා ලෝකයේ සිදුවන විශාලතම ජන සංක‍්‍රමණය චීන අලූත් අවුරුදු කාලයේ දී වාර්තා වෙයි. එය පසුගියදා ඉතාම කාර්ය බහුල ගමනා ගමන අවස්ථාවක් විය. චයිනා ඬේලි පුවත් පත සති ගණනක් පුරා අලූත් අවුරුද්දට ගමට යන චීන පුරවැසියන්ගේ ගමන පහසු කරනු සඳහා ගෙන ඇති පියවර වාර්තා කළේය. රට පුරා බිලියන 2.98 ක ගමන් වාර ගණනක් අලූත් අවුරුද්දට කෙරෙනු ඇති බව චීනයේ ප‍්‍රවාහන බලධාරීහු ගණන් බලා තිබුණි. පෙබරවාරි පළමුවැනි දා සිට මාර්තු දොලොස් වැනි දා දක්වා කාලය තුළ චීනයේ වසන්ත උත්සවය යෙදී තිබුණි. ගමනාගමනය මෙම කාලය තුළ සිදුවිය. බෙයිංජි නගරයේ අතිශය කාර්ය බහුල ජීවිතයක් ගත කරන සෑම සියළු දෙනෙක්ම පාහේ චීනයේ නොයෙක් ප‍්‍රාන්ත වලින් පැමිණ එහි සේවය කරති. ඔවුහු අවුරුද්දට කලින් ගමට යන්නට සැලසුම් කළහ. ද ගාඩියන් පුවත් පත මෙම ගමන, එකවර සිදුවන ලෝකයේ විශාලතම ජන සංක‍්‍රමණය ලෙස වාර්තා කළේය. එය එපමණ විශාල එකකි. සියළු මං මාවත්, දුම්රිය මාර්ග පමණක් නොව බෝට්ටු ප‍්‍රවාහනය හෙයින් ගංගාවල් පවා ඉතාම කාර්ය බහුල තැන් බවට පත් විය.

චීනයේ අවුරුදු කාලයේ කරන ගමන බිමන අපට වැදගත් වෙන්නේ ඇයි? අලූත් අවුරුද්දට ගමට යෑම මෙරට වැසියන්ට ඉතාම කර්කෂ අත්දැකීමක් විය. ගමන් මළු එල්ලා ගෙන දරුවන් සමග බස් නැවතුම් පොලට පැමිණ පැය ගණන් බලා සිටින්නට සිදු වූ අතර ඉතාම අක‍්‍රමවත් හා අසංවිධානාත්මක ක‍්‍රම නිසා ගමට යන්නට පැමිණි ජනතාව හෙම්බත්වූ බව සඳහන් කළ යුතුය. චීනය සිය අවුරුදු කාලයේ ගමන බිමන කෙසේ සංවිධානය කළේ ද යන්න සාකච්ඡුා කිරීම සුදුසු මෙම අමිහිරි අත්දැකීම සලකා බලන අවස්ථාවේදීය. ගමට පැමිණි සෑම දරු පවුලක්ම ආපසු තමන් ජීවත්වන තැනට ආපසු යා යුතුය. අවුරුදු නැකැත් කොපමණ සුබ සිතින් අනුමනය කළ ද ආපසු ගමන් කරන්නට සිදුවෙයි. එය මතක් වන විට ද අවුරුදු සිරිය තුරන් වනු නිසැකය.

චීනයේ අවුරුදු කාලයේ ගමන බිමන ගැන අවධානය යොමු කරමු. සිදු වී ඇති බිලියන 2.98 ක වාහන ගමන් වාර ගණන කලින් වසරට වඩා වැඩි බව පෙනේ. මෙයින් ගමන් වාර බිලියන 2.48 ක් මහා මාර්ග ඔස්සේ සිදු විය. මහ පාරෙන් ගමන් කිරීම පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.6 කින් අඩු වී තිබේ. දුම්රිය ගමන්වාර මිලියන 389 ක් වාර්තා කර ඇති අතර එය සියයට 8.8 ක වර්ධනයකි. මෙම ගමන් වාර වෙනුවෙන් චීනය අලූත් අධිවේගී දුම්රිය 177 ක් ධාවනයට එකතු කර ඇති අතර එයින් කිලෝ මීටර් ලක්ෂයක් ආවරණය කර තිබේ. චීනයේ දුම්රිය මාර්ග පද්ධතියේ දිග කිලෝ මීටර් එක් ලක්ෂ විසි හත් දහසකි. 2017 වසරේ දී පමණක් අධිවේගී දුම්රිය මාර්ග කිලෝමීටර් විසි පන් දහසක් අලූතින් එකතු වී තිබේ. මේවායේ ගමන අලූත් අවුරුද්දට ගම් බිම් බලා ගිය චීන වැසියන්ට විශාල අවස්ථා සපයා ඇත. චීනය ආර්ථික හා සමාජ වශයෙන් දියුණු වන විට ගුවන් ප‍්‍රවාහනය ද ජනප‍්‍රිය වී ඇත. ගමන්වාර මිලියන 65 ක් අවුරුදු වකවානුවේ දී රට අභ්‍යන්තරයෙහි ගුවන් ගමන් සිදුවී යැයි ගණන් බලා තිබේ. එය කලින් අවුරුද්දට වඩා සියයට දහයක ඉහළ යාමක් බව පළවෙයි. බෝට්ටු වලින් ගමන්වාර මිලියන 46 ක් වාර්තා වී තිබේ. චීන වැසියන් තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමට ක‍්‍රමයෙන් නැඹුරු වී ඇති බව මෙවර පෙනී යන කාරණයකි. තමන්ටම වාහනයක් නැති නමුත් වාහනය බෙදා හදාගෙන අනුන්ගේ වාහනයකින් අවුරුද්දට ගමට ගිය ජනතාවගේ ප‍්‍රමාණය මිලියන තිස් තුනක් වී ඇති අතර එය කලින් වසරට වඩා තුන් ගුණයකින් ඉහළ යාමක් බව චීන ප‍්‍රවාහන වාර්තා උපුටා දක්වමින් එරට මාධ්‍ය අනාවරණය කරයි. සමාජ මාධ්‍ය මගින් පුද්ගලික වාහන වල ඇති ඉඩකඩ පෙන්නුම් කරන අතර ගාස්තුවක් ගෙවා ගමන බෙදාගත හැකිය. ‘වී චැට්’ නමැති සමාජ ජාලය මුදල් හුවමාරුවට ද පහසුකම් සලසා ඇත.

චීනයේ අවුරුදු කාලයේ ගමන බිමන සිදුවන අන්දමට ශ‍්‍රී ලංකාවේ ගමන සැලසුම් කරන්නේ කවදාද? අති විශාල රටක් අති විශාල ජනගහනයක් පමණක් නොව ලෝකයේ විශාලතම එකවර සිදුවන ජන සංක‍්‍රමණය සැලසුම් කරන අන්දම අපගේ ප‍්‍රවාහන බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතුය. සිංහල හා දෙමල අවුරුද්ද සෑම වසරකම උදා වෙයි. මෙම කාලයේ දී ජනතාව ගමට යන අතර උත්සව කාලය අවසානයේ දී නැවත නගරයට එන බව පාලකයන් දනී. පොදු ප‍්‍රවාහන නිලධාරීන් මෙම තත්ත්වය ගැන කලින් ගණන් බැලීම් කළ යුතුය.

චීනය සමග සසඳන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහනය ඉතාම සුළු විෂයයකි. රජයේ බස් රථ සම්පූර්ණයෙන්ම හය දහසකට වඩා නැත. පුද්ගලික අංශයේ බස් ප‍්‍රමාණය එය මෙන් තුන් ගුණයකි. මෙම බස් ප‍්‍රමාණය පාලනය කිරීම සඳහා ජාතික මටට්මින් පමණක් නොව පලාත් සභා මටට්මින් ද විෂය භාර අමාත්‍යවරු සිටී. එම ඇමැතිවරු වෙනුවෙන් නිලධාරීන් සහ ආයතනික රාමු ගණනාවක් තිබේ. කිසියම් සංවිධානාත්මක ව්‍යුහයක් ඇති කරගතහොත් මෙම බස් ප‍්‍රමාණය මගී යහපත වෙනුවෙන් නිසි පරිදි පාලනය කළ නොහැකිද? රටට සීමිත දුම්රිය ප‍්‍රවාහන ක‍්‍රමයක් තිබේ. ඒවායේ භාවිතා වන මෙවලම් වල යල් පැන ගිය තරම නිතර සිදුවන අනතුරු හුවා දක්වයි. බස් සහ දුම්රිය ගමන් වලින් රටේ මගී ප‍්‍රවාහන අවශ්‍යතා නිසි පරිදි කළමනාකරණය කළ නොහැකි මන්ද? සලකා බැලිය යුතු වැදගත් කාරණය එයයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අලූතින් සිතන්නට අවශ්‍යය. ජාත්‍යන්තරය තුළ පොදු ප‍්‍රවාහනය පිලබඳ සංකල්ප වෙනස් වෙමින් තිබේ. ඉතාම වේගයෙන් සහ පහසුවෙන් මගීන්ට එහා මෙහා යා හැකි පරිසර හිතකර ක‍්‍රම අනාවරණය වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාව අවුරුදු ගණනක් තිස්සේ මොනෝ රේල්, විදුලිය දුම්රිය වැනි සංකල්ප ගැන කතා කරමින් සිටී. ලෝකයේ නොයෙක් රටවල් පුද්ගලික වාහන අයිතියක් නැති පමණක් නොව ඉඩකඩ බෙදාගෙන කාර්යක්ෂමව ගමන් බිමන් යන ක‍්‍රම අධ්‍යයනය කරමින් සිටී. අවුරුද්දක් පාසා තත්ත්වය තව තවත් අයහපත් වෙයි. අලූත් අවුරුද්දට ගමට යන ජනතාව නැවත ගෙදර එන්නේ ඉතා කනස්සල්ලෙනි. හොද ප‍්‍රවාහන ක‍්‍රමයක් නැතිකම එයට හේතුවයි. පොදු ප‍්‍රවාහනයේ පවතින දුර්වලතා හෙයින් ජනතාව අතිරේකව විශාල පිරිවැයක් ගමන් බිමන් වෙනුවෙන් වියදම් කරමින් සිටී. එය අකාර්යක්ෂම තත්ත්වයේ පැතිකඩකි. ආර්ථිකයට බලපාන අයහපත් තත්ත්වයකි. 2018 සිංහල හා දෙමල අලූත් අවුරුද්දේ අත්දැකීම් පදනම් කරගෙන ලබන වසරටවත් නව වැඩ පිලිවෙලක් ගැන හිතන්නට වගකිව යුතු අංශ අවධානයට ගත යුතුය.