» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/01/2017 - ඉරිදා ලංකාදීප
අත යටින් ගෙවා ව්‍යාපාර මෙහෙයවූ බ‍්‍රසීල සමාගම

බ‍්‍රසීලයේ මූලස්ථානය කරගෙන ලෝකයේ රටවල් ගණනාවක ඉදිකිරීම් ව්‍යාපාර කරගෙන ගිය දැවැන්ත සමාගමක අභ්‍යන්තර දුෂණ ව්‍යුහය හෙළිදරව් වී ඇති අතර අල්ලස් වංචා සම්බන්ධ නඩු විභාගයක් අවසානයේ දී අති විශාල දඩයකට යටත් කර තිබේ. අල්ලස් හා දුෂණය අද ජාත්‍යන්තරය කළඹා ඇත. දේශපාලනඥයන් හා නිලධාරීහු ධනය උපයන අන්දම හෙළිදරව් වෙමින් තිබේ. බලය ඇති පිරිස අතරන් බහුතරයක් ඉතාමත් සැහැල්ලූවෙන් මහජන මුදල් කොල්ලකන බව පෙනේ. අල්ලස් නොදී ව්‍යාපාර කරගෙන යන්නට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. සදාචාරය, දුෂණ විරෝධී මහජන බලවේග සහ ඒ වෙනුවෙන් නීති රීති පවතින නමුත් ලෝකයේ පැවැත්ම දරුණු අන්දමට වෙනස් වී ඇත.

නොබෝදා අනාවරණය වූ පරිදි බ‍්‍රසීලයේ පිහිටි ඉදිකිරීම් සමාගමක් අල්ලස් වංචා සම්බන්ධව ඇමරිකානු අධිකරණයක පවරන ලද ජාත්‍යන්තර නඩු විභාගයක් අවසානයේ ඉතිහාස ගතවන දඩයක් ගෙවා තිබේ. ඔඬේබ්‍රෙච්ට් එස්. ඒ. අනුබද්ධ සමාගම නමැති මෙම ආයතනය අල්ලස් ගනුදෙනු ගැන වරද පිලිගෙන ඇති අතර නියම වූ දඩ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කි. මෙකී දඬුවම සම්බන්ධ පසුබිම කුමක්ද? තොරතුරු සොයා ගිය ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර ඇති පරිදි මෙම සමාගම දේශපාලනඥයන් සහ නිලධාරීහු ඔවුන්ගෙන් වැටුප් ලබන කාර්ය මණ්ඩලයක් සේ නඩත්තු කර ඇත. පුදුමයට කාරණය එයයි.

ඔඬේබ්‍රෙච්ට් ලතින් ඇමරිකාවේ විශාලතම ඉංජිනේරු සමාගමකි. 2001 සිට 2016 දක්වා කාලය තුළ මෙම සමාගම රටවල් දොලහක ව්‍යාපෘති සියයක කොන්ත‍්‍රාත් අල්ලස් ගෙවා තමන්ට නතු කරගෙන ඇත. බ‍්‍රසීලය, ආර්ජන්ටිනාව, කොළොම්බියාව, මෙක්සිකෝ සහ වෙනිසියුලාව ඇතුළු රටවල කොන්ත‍්‍රාත් කරගෙන යන්නට මෙම අයුතු බලපෑම හෙයින් සමත්ව තිබේ.

මෙකී අල්ලස් සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේ දී සාක්ෂි දුන් සමාගමේ ලේකම්වරිය කියා ඇත්තේ දිනපතා තමන්ට ලැබෙන ලේඛනයට ප‍්‍රකාරව ලෝකයේ නොයෙක් රටවල දේශපාලඥයන්ට හා නිලධාරීන්ට ගෙවීම් කරන ලද බවය. එය වරදක් බව නොහිතෙන තරමට සැහැල්ලූවෙන් සිදුවී තිබේ. වෙනම රහසිගත නම්, බැංකු ගිණුම් තබාගෙන ඇති අතර නිති පතා කිසිදු පැකිලීමකින් තොරව දුෂිකයන්ගේ ගිණුම් වලට ධනය යොමු කර ඇත. අවුරුදු දහයක් පමණ දිග කාලයක් මෙම වංචා එකම ආකාරයකට සිදුවන විට එහි නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට මෙම අල්ලස් ගෙවීම සාමාන්‍ය දෙයක් සේ දැනෙන්නට ඇත.

බ‍්‍රසීලයේ දේශපාලනඥයන්, පක්ෂ නායකයන්, රාජ්‍ය නිලධාරීන් මෙම සමාගමෙන් අල්ලස් ගෙන ඇති බව අනාවරණය වෙයි. ලෝකයේ රටවල් දොලහක අල්ලස් ගෙවා අණසක පතුරවන්නට ඉඩ ලැබී ඇත. මෙම රටවල වරාය, අධිවේගී මාර්ග, මහා නගර සහ ගංගා හරස්කර වේලි බඳින ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර තිබේ. සුළුවෙන් ගමන ආරම්භ කරන ලද සමාගම පසුව ලක්ෂ ගණනින් කාර්ය මණ්ඩලය බඳවාගෙන තම ඉල්ලම පාදා ගෙන ඇත. එයට රාමුව සකස් කරගෙන ඇත්තේ අල්ලස් ගෙවා බව පැහැදිලිවෙන්නේ මෙදවසය. ටෙන්ඩර් වලින් කොන්ත‍්‍රාත් ලබාගෙන වසර දහය තුළ අති විශාල ධනස්කන්ධයක් නිර්මාණය කරන්නට ඔඬේබ්‍රෙච්ට් සමාගම සූක්ෂම වී ඇත්තේ නීතිය ගැන කිසිම සැලකිල්ලකින් තොරවය.

සමාගම ආරම්භ කරන්නට අවසරය ලැබෙන දේශපාලන පක්ෂ, සමහර නායකයන් ගේ විදේශ සංචාර සහ පක්ෂ බලය තහවුරු කරගන්නට මෙම සමාගමේ ධනය මෙහෙයවන ලද ආකාරය ගැන කියැවෙන විට දුෂිත ධනය අක්මුල් නැති ජාලයක් සේ විහිදී ඇති බව පෙනෙන්නට තිබේ. ජාත්‍යන්තර හවුල්කාර සමාගමක් සේ ගමන ඇරඹෙන විට එයට ව්‍යාපාර කරන්නට ඉඩ දුන් ස්වභාවය ගැන තොරතුරු අනාවරණය වීම සමග බ‍්‍රසීල පාලන ව්‍යුහය අසරණ වී තිබේ. නිලධාරීන් ගැන සැක මතුව ඇත. බ‍්‍රසීල දේශපාලන පක්ෂ මෙම සමාගමේ ග‍්‍රහණයට නතුව ඇති බව විශ්ලේශකයන් අනාවරණය කරන තවත් කරුණකි. පක්ෂ තිස් ගණනකට වඩා ඇති සංකීර්ණ දේශපාලනය තුළ බලය අල්ලා ගන්නට පමණක් නොව අති විශාල පිරිවැයක් යොදා පක්ෂ නඩත්තු කරන්නට මෙවැනි සමාගම් වල අතයටින් කරන ගෙවීම් හෙයින් හැකිවෙන බව නැගී එන මතයයි.

ඉදිකිරීම් කර්මාන්තය යනු අති විශාල ක්ෂේත‍්‍රයකි. සංවර්ධනය මුවාවෙන් ගංගා හරස් කිරීමේ සිට අධිවේගී මාර්ග හැදීම දක්වා එකිනෙකට වෙනස් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරයි. ආණ්ඩු වලට වඩා බලවත් තැනට පත් ව ඇති ලෝකයේ දැවැන්ත සමාගම් දේශපාලනය හා නිලධාරීන් වසඟ කරගෙන ඇති අන්දම ගැන කදිම උදාහරණයක් බ‍්‍රසීල සමාගම හෙළිදරව් කර තිබේ. තමන්ගේ සමාගමේ ධනය ලේඛනයකට අනුව නිතිපතා දුෂිතයන්ගේ ගිණුම් වලට යවන්නට සැලසුම් හැදු සමාගම් වල බලවත් භාවය ගැන තක්සේරු කරන්නේ කෙසේද?

ජනතාව බලාගෙන ඉන්නේ යුක්තියයි. සදාචාරය සහ යහපත් පාලනයයි. මහජන මුදල් ඉතාම පාරිශුද්ධ සේ වියදම් කර ජන ජීවිතය නගා සිටුවන්නට ආණ්ඩු සේවය කරනු ඇතැයි මහජනතාව විශ්වාස කරති. එම විශ්වාසය තහවුරු කරන්නට ක‍්‍රමය හදන්නේ ද නිලධාරීහු සහ ජනතා නියෝජිතයන්ය. නීති හදා ප‍්‍රතිපත්ති සකස් කරන පාලකයෝ ඒවා ජනතාව ඉදිරියේ ලෙලවන්නේ ලෝකයේ හොඳම පාලන ක‍්‍රමය හදුන්වාදෙන ආකාරයෙන්ය. මහජනතාව ඉදිරියට පැමිණ තමන් ඉතා පිරිසිදු බව කියන කිසිම පුද්ගලයෙකු මායිම් නොකරන තරමට ජනමතය වෙනස් වී තිබේ. ඉතාම පහල තැනකින් ජීවිතය පටන් ගන්නා නිලධාරීහු සහ පාලකයෝ කෙටි කාලයකින් ධනයෙන් ආඪ්‍යව යස ඉසුරුවන්ත ජීවිත ගත කරන තැනට පත්වන අතර අවංකව රටට සේවය කරන පිරිස ඒ අතර නොගැණිය හැකි තරම් සුළු කණඩායමක් බව පෙනේ. මෙම පිරිස ඇසුරු කරන සමාගම් ඉතාම ඉක්මනින් ජාවාරම්කාරයන් බවට පත්වන අතර බ‍්‍රසීලය කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර මෙහෙයවූ මෙම සමාගමේ සිද්ධිය එයට එක උදාහරණයක් පමණකි.

ආණ්ඩු බලය ලබා ගන්නට ජනයා ඉදිරියට එන පාලකයෝ දහසකුත් එකක් පොරොන්දු දෙන අතර ජීවිත සනීපවත් කරන පිරිසිදු පාලනයක් ඇති කරන බවට දිවුරා කියති. ලෝකයේ කොතැනක සිදුවුව ද වෙන්නේ එයයි. නමුත් ප‍්‍රායෝගිකව කාරණා සිදුවන විට බලය ලබා ගත් දේශපාලන පක්ෂය, එහි මැති ඇමැතිවරු හා නිලධාරීන් වටා එකතු වෙන්නේ කොන්ත‍්‍රාත්කරුවන්ය. සැපයුම්කරුවන් හා අතරමැදියන්ය. දැවැන්ත සමාගම් වල මෙහෙයුම් හමුවේ ගොදුරු බවට පත්වන ඒවා අනාවරණය කරන මාධ්‍ය වාර්තා තුට්ටුවකට නොසලකන සමාජ ව්‍යුහ හැදෙන්නේ ඉතාම නරක අන්දමටය. දියුණු වෙමින් පවතින රටවල් මෙම ව්‍යසනයට ඉතාමත් වේගයෙන් ගොදුරු වෙයි. එයින් වැලකෙන්නට තැත් කිරීම රැළකට නොගැලපෙන කෙනෙකු වීමට තැත් කිරීමක් බව පැහැදිලිව පෙනේ. ජනතාවගේ දුක අහන්නට සූදානම් නැති, සමාගමක කොන්ත‍්‍රාත් හෝ සැපයුම් වෙනුවෙන් වෙහෙසෙන මහජන නියෝජිතයන් නිලධාරීන් ලෝක සංහතිකයේ පැවැත්ම වෙනුවෙන් කරන්නේ කුමක්ද? මෙය භයානක තත්ත්වයකි. බරපතල සංවාදයකට ලක් කළ යුතු එකකි.

බ‍්‍රසීලය හෝ එහි ව්‍යාපාර අරඹා ලෝකයේ රටවල් විස්සකට තමන්ගේ හස්තය දිගු කරන ලද අන්දමට සිද්ධි ලෝකයේ වෙනත් තැනක සිදුවන්නේ ද එසේමය. ශ‍්‍රී ලංකාවේ පැවැත්මට ද එය නොවෙනස්ය. ඇතැම් දේශපාලනඥයන් ගේ පැවැත්ම, නිලධාරීන්ගේ ස්වභාවය සහ ක‍්‍රමය සංවිධානය වන අන්දම නිරීක්ෂණය කරන විට අල්ලස දුෂණය පැතිර ඇති අන්දම ගැන අවබෝධයක් ලබා ගැනීම අපහසු නැත. රජයේ නිලධාරීන්ට අවුරුදු තෑගි ගැනීම පවා වරදක් බව නිවේදනය කරන නමුත් ආයෝජනය, කර්මාන්ත අනුමැතිය, ව්‍යාපාර සඳහා ඉඩදීම සහ නීතිය තිබිය දී එය අභිබවා තීරණ ගැනීම පිටුපස ඇති ලෙන්ගතුකම කුමක් දැයි තේරුම් ගැනීම අප සියළු දෙනාගේම වගකීමකි.

ඇමරිකානු අධිකරණය මෙම සමාගමට විරුද්ධව චෝදනා ගොනු කර වරදකරුවන් කළේය. බටහිර සමාජය තද නීති, සංවර්ධනයේ දී ජන සහභාගීත්වය වැඩි කරන ක‍්‍රම, සංවිධානගත ජනතා සංවිධාන වශයෙන් නොයෙක් අංශ වලින් අල්ලස, දුෂණය හා අක‍්‍රමිකතා පාලනය කරන්නට ක‍්‍රියා කර තිබේ. අකටයුතුකම් වලට එරෙහිවන ශක්තිමත් මිනිස්සු සිටිති. කැපවීමෙන් ක‍්‍රමය නිතිපතා පරීක්ෂාවට ලක් කරති. ශ‍්‍රී ලංකාවට ද අවශ්‍ය එයයි.

මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අති විශාල පිරිවැයක් දැරිය යුතු එකකි. මහජන නියෝජිතයෙකුට දුෂිතයෙකු වෙන්නට ඉතාම පහසු වටපිටාවක් තිබේ. මැතිවරණ වියදම් එහි ප‍්‍රධාන සාධකයකි. දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් මැතිවරණයක දී කරන වියදම දෙස බලන විට මෙම ධනය ලැබෙන්නේ කොතැනින්ද? බලයට පත්වන මහජන නියෝජිතයෙකුට නඩත්තු කරන්නට සිදුවන පිරිස අනුව ජනතා නියෝජිතයෙකුට පිටින් ලැබෙන ආධාර වලට අවනත වෙන්නට සිදුවීම නොවැලැකිවිය හැකිය. නිලධාරීහු මෙම පසුබිම වටා එකතු වෙයි. සංවර්ධන සැලසුම්, කොන්ත‍්‍රාත්, ඉදිකිරීම් අලූත් ආයෝජන ඇතුළු තීරණ ගන්නා මෙම සියළුම දේ අභ්‍යන්තයෙහි ගෙවීම් ලබනන්ගේ ලැයිස්තුවක් තිබිය හැකිය.