» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/10/2018 - ඉරිදා ලංකාදීප
බන්ධනාගාරයෙන් බැහැර කළ යුතු මත්ලෝලීන් පුනරුත්ථාපනය

තරුණන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සෑහෙන ගැටළුවකි. එය ලෝකයේ ඕනෑම රටක සමාජ ප‍්‍රශ්නයකි. විවිධ රටවල් නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනයට තද පියවර ගෙන තිබේ. බෙදාහැරීම, අලෙවිය හෝ ළඟ තබා ගැනීම බරපතල දඬුවම් හිමිවන වරදකි. බොහෝ රටවල් මත්ද්‍රව්‍ය ජාවාරමට මරණ දඬුවම නියම කර තිබේ. පාලනය අරමුණු කරගෙන පියවර ගැනෙන තරමට සංවිධානාත්මක ජාවාරම්කරුවෝ විවිධ උපක‍්‍රම භාවිතා කර ඒවා රටින් රට පතුරවන බව නිරීක්ෂණය කළ හැකිය. ඇමරිකාව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තද අනතුරු ඇඟවීම් කර ඇති රටකි. නමුත් දිනපතා තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වලට ගොදුරුවන ප‍්‍රමාණය ඉහළ යන බව අනාවරණය වෙයි.

ඇමරිකානු අධිකරණ පද්ධතිය මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි දඬුවම් පනවන අතර ඇබ්බැහිවූවන් එයින් ගලවා ගැනීමට සැලසුමක් සකස් කර ඇති රටකි. බරපතල මත් ද්‍රව්‍ය භාවිතය ඇමරිකාවේ පැවැත්මට තර්ජනයක් එල්ල කර තිබේ. පසුගිය වසරේ දී පමණක් හෙරොයින් භාවිතා කළ පුද්ගලයන් 72,000 ක් මරණයට පත්ව ඇත. එරට තොරතුරු වලට අනුව වියට්නාම යුද්ධයේ දී මියගිය සම්පූර්ණ ඇමරිකානුවන් ප‍්‍රමාණයට වඩා ඉහළය. අවුරුද්දකට එරට කාර් අනතුරු වලින් ජීවිතක්ෂයට පත්වන ප‍්‍රමාණය අභිබවා යන අතර ගිනි අවි හෝ ඒඞ්ස් වසංගතයෙන් මියයන ප‍්‍රමාණය අභිබවා යන ඉලක්කමක් වී තිබේ. එහෙයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකු වහා අත්අඩංගුවට ගැනෙන අතර දඬුවමට වඩා පුනරුත්තාපනය කෙරෙහි අවධානය යොමු කරයි. නැවත ජීවිතයකට නැඹුරු කිරීම අරමුණ වී තිබේ. දෙමාපියන්ගේ රැුකවරණයට පත් කරන අතර වෘත්තීය අවස්ථාවලට පොළඹවා යහපත් පුරවැසියෙකු බවට පත් කරන්නට ක‍්‍රියා කරයි.

මත්ද්‍රව්‍ය වෙනුවෙන් පවතින ඇමරිකානු අධිකරණ පද්ධතිය ඉතාම වැදගත්ය. 1989 දී පළමු වරට මත්ද්‍රව්‍ය වැරදි වෙනුවෙන් වෙනම අධිකරණයක් එරට ආරම්භ කරයි. මියාමි නගරයේ ස්ථාපිත කරන ලද අතර එය හොඳ පියවරක් විය. අද වනවිට එවැනි අධිකරණ තුන්දහසක් ඇමරිකාවේ ඇත. මේවායේ මත් ජාවාරම හා මත්ලෝලීත්වය වෙනම විභාග කෙරේ. දඬුවම නියමකරන්නේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෝ ගලවා ගැනීම අරමුණු කරගෙනය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු අත්අඩංගුවට ගත් වහා අධිකරණ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අතර එයින් ගලවා ගැනීමට දොලොස් වැදෑරුම් වැඩ පිලිවෙලකි. මානසික දුබලතාවයට පත් පුද්ගලයා එයින් මුදවා ගැනේ. ආගමික සංවිධාන සම්බන්ධ කරගන්නා අතර සමාජ සංවිධාන එයට ඉදිරිපත් වෙයි. වින්දිත පුද්ගලයෝ මෙම සංචිධාන වලට භාර කරන අතර අධිකරණයේ අධීක්ෂණය යටතේ පුනරුත්තාපනය කෙරේ. එය පහසු කාර්යයක් නොවේ. නමුත් ධනාත්මක ආකල්ප සහිත පුද්ගලයෝ මෙම මත්ලෝලී නිවාරණ වැඩසටහන් වලට දායක කර ගැනෙති.

සාමාන්‍යයෙන් ඇමරිකානු මත් ලෝලීන් සම්බන්ධ නඩු විභාග එක්ලක්ෂ විසි පන්දහසක් පමණ වසරකට විභාග වන බව අනාවරණය වෙයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම එම නඩු වල පළමු අරමුණ වන අතර වර්තමානයේ පවා මිලියනයකට අධික පිරිසක් ගැන පසු විපරම් කරමින් මත්ලෝලීන් එයින් ගලවාගැනීමේ වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි.

සංකීර්ණ සමාජ පසුබිමක් සහිත ඇමරිකාවේ තරුණ පෙල නිදහස් අවකාශයක පසුවෙති. එක්තරා අවස්ථාවක දී දෙමාපිය රැකවරණයෙන් ගිලිහෙයි. අධ්‍යාපනය ලබන අතරතුර හා ආධුනික වෘත්තීය අවස්ථාවල හුදෙකලා වන තරුණ පිරිස නොයෙක් සමාජ විරෝධී දේ වලට නැඹුරු වන අතර මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම එයින් ප‍්‍රධාන බව ප‍්‍රකාශ වෙයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස එයින් ගැලවෙන කාල පරිච්ඡේදයේ දී අනාවරණය කරන තොරතුරු වල දී සමාජ සංවිධාන වල පවතින දුබලතා හෙළිදරව් වන අතර ඇබ්බැහිවීමට හේතු වූ කරුණ විවිධ පරාසයන් ගනී.

ඇමරිකාවේ මත්ලෝලීන්ගේ සිද්ධිය ගැන අධ්‍යයනය කිරීම ශ‍්‍රී ලංකාවේ අපට වැදගත් වන්නේ ඇයි? විවෘත ආර්ථික ක‍්‍රමය සමග මෙරට ආනයන අපනයන හා ආගමන විගමන තත්ත්ව බලවත් වෙනසකට පත් වූ අතර හිතකර තත්ත්ව වලට පමණක් නොව අහිතකර දේ වලට මෙරට සංස්කෘතිය නැඹුරු විය.

ඉකුත් දශක හතර තුළ වෙනස් වූ පැවැත්ම මෙරට සමාජයේ යම් යම් බරපතල ප‍්‍රශ්න ඇති කර තිබේ. මත්ද්‍රව්‍ය එයින් එක අයහපතකි. ශ‍්‍රී ලංකාවේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෝ දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලය පෙන්වයි. ඇබ්බැහිවූවන් ගලවා ගැනීම සඳහා නොයෙක් ක‍්‍රියාමාර්ග ගැනෙන අතර මෙහි භයානක පැත්ත අනාවරණය කරන විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙයි. නමුත් නිති පතා පාසල් දරුවන්ගේ සිට යොවුන් පිරිස මත් ද්‍රව්‍ය කරා ග‍්‍රහණය කරගැනීම සඳහා ජාවාරම්කාර පිරිස් නොයෙක් ආකාරයෙන් උගුල් අටවා ඇති බව මාධ්‍ය වාර්තා නිතිපතා අනාවරණයකරයි. මත් ද්‍රව්‍ය ගෙන්වන, අලෙවිකරන හා බෙදාහැරීම සම්බන්ධයෙන් දැඩි දඬුවම් පනවන අතර මත්ලෝලීත්වය වෙනුවෙන් වෙනම පුනතරුත්තාපන වැඩසටහන් කෙරෙහි දක්වන අවධානය මෙයට වඩා පුලූල් විය යුතුය.ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර තොරතුරු වලට අනුව 2010 වසරේ දී රැඳවියන් අතරින් සියයට 41.6 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවෝ වෙති. 2015 වන විට එම ප‍්‍රතිශතය සියයට 46.4 ක් වී තිබේ. මත්ද්‍රව්‍ය ළඟ තබාගත්, ඒවා භාවිතා කළ සහ යම් ආකාරයකින් ඇබ්බැහිවූවෝ මේ අතර වෙති. මෙම පිරිස යම් ආකාරයකට දරුණු වරදකරුවන් අතර රඳවා ඇති බව ද පෙන්වා දිය යුතුය.

මත් ද‍්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස වෙත වෙනම ආකල්පයක සිට කටයුතු කිරීම සුදුසුය. එයට ගොදුරුවූයේ යම් දුබලතාවයක් හේතුවෙන් විය හැකිය. සමාජ ගැටළුවක්, පවුලේ ප‍්‍රශ්නයක් හෝ පුද්ගල ප‍්‍රශ්නයක් වීමට බැරි නැත. ආත්ම ශක්තිය අඩු දුර්වල පුද්ගලයෝ මත් පැන්, දුම්වැටි හා එයටත් වඩා බරපතල මත් ද්‍රව්‍ය වලින් සිය දුබලතා ආවරණය දරගැනීමට උත්සාහ කරන අවස්ථා තිබේ. මේවා විනාශයකින් කෙළවර විය යුතු නැත. අවබෝධය ලබා දී එයින් ගලවා ගැනීම අවශ්‍යය. නිවැරදි අභ්‍යාසයකින් එය කළ හැකිය. අධිකරණය හා පුනරුත්තාපනය යන අංශ දෙක එහි දී ඉතාම වගකීමකින් යුතුව සම්බන්ධීකරණය ඉතාම වැදගත්ය. මත් ද්‍රව්‍ය වලට ගොදුරු වූවෝ සහ ඒවා ජාවාරම් කරන පිරිස වෙන්ව හදුනාගැනීම වැදගත්ය. නිසි වෙන්කර ගැනීමකින් පසු මත් ලෝලීහු එයින් ගලවා ගැනීම අරමුණු කරගෙන අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම යහපත්ය. මානුෂික පැති ගැන හිතන, ගැටළු අවබෝධ කරගෙන ප‍්‍රායෝගිකව ක‍්‍රියා කළ හැකි අලූත් අධිකරණ පද්ධතියක් මත්ලෝලීන් ගලවා ගැනීම අරමුණු කරගෙන ස්ථාපිත කළ හැකිය.

මත් ලෝලීන් එයින් ගලවා ගැනීමට සමාජය සම්බන්ධ කරගැනීම ඉතා වැදගත් කාරණයකි. සමාජයේ සිදුවන සංකූලතා හමුවේ එයට ගොදුරුවන යම් ජන කණ්ඩායමක් නිවැරදි කරගැනීමේ වගකීමෙන් කොටසක් සමාජයට ද තිබේ. හුදෙක් රජයට අයත් කාර්යයක් සේ සලකා පැත්තකට කිරීම අනුචිතය. සාමාන්‍යයෙන් මෙරට සිදුවන්නේ එයයි. ආගමික ස්ථාන, සමාජ සංවිධාන මත්ද්‍රව්‍ය නිවාරණය අරමුණු කරගෙන ක‍්‍රියාත්මක විය යුතුය. මෙරට අධිකරණ පණත් අනුව වරද අවබෝධ කරගෙන එයින් පුනරුත්තාපනය වීමේ ක‍්‍රමවේදයක් තිබේ. සමාජය එය දෙස බලන්නට අවශ්‍යය. වරදක් කර එයින් නිවැරදි වී නැවත සමාජයට එන පිරිස පිලිගැනීමට ව්‍යුහයක් සකස් විය යුතුය. නැවත රැකියාවකට හෝ අවස්ථාවක් නොලැබෙන සේ කොන් කරන විට දඬුවම ලැබූ පුද්ගලයා නිවැරදි වෙන්නේ කෙසේද? ඇතුළුවූ අන්ධකාරයට නැවත තල්ලූ වෙනවා හැරෙන්නට වෙනත් පැත්තක් නැත. මත් ලෝලීත්වය හා සම්බන්ධ සුළු වැරදි ඉක්මනින් විභාග කර ගොදුරුවූවෝ ප‍්‍රජා විශෝධන ක‍්‍රම ඔස්සේ යළි නිවැරදි මාවතට ගැනීම සඳහා සුදුසු වැඩ පිලිවෙල වේගවත් කළ යුතුය. මත් ලෝලීහු ද මෙම සමාජයේ කොටසකි. දක්ෂ මානව සම්පතකි. එය අමතක කළ යුතු නැත.