» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/07/2019 - ඉරිදා ලංකාදීප
යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ජනතාව පෙනී සිටී

නීතිය හා විධිවිධාන බලපවත්වන නමුත් යුක්තිය හා සාධාරණත්වය අනෙකකි. මෑතක දී වාර්තා වූ සිද්ධි දෙකක් ජනී ජනයා යුක්තිය ගැන කල්පනා කරන ආකාරය මැනවින් විදහා දක්වයි. එකක් ඉතාලියෙන් වාර්තා විය. සරණාගතයන් කණ්ඩායමක් ඉතාලියට කැටුව පැමිණි රාජ්‍ය නොවන සංවිධානයක ක‍්‍රියාපටිපාටිය අධිකරණය මගින් පිලිගෙන තිබේ. එය එරට නීතියට එරෙහි නමුත් මානුෂීය අවස්ථාවකි. අනෙක හොංකොං දූපතේ ජනතාව පාර්ලිමේන්තුව වැටලීමයි. වෙනම ජන කොටසක් චීනය පාලනය කිරීම ගැන මතබේධ ඇති වී තිබේ. හොංකොං වැසියෝ තමන් චීන ජාතිකයන් සේ සිතන්නේ නැත. චීන පාලනය තමන්ට ගලපන්නේ කෙසේදැයි ඔවුහු ප‍්‍රශ්න කරති. සාධාරණය පතා කරන විරෝධතා යුක්ති සහගත සේ දකින්නට ජගත් ප‍්‍රජාව සූදානම් බව පෙනේ. මෙතෙක් ලෝකයේ රටවල් ආරක්ෂා කරගෙන සිටින සම්මුති, නිල තත්ත්ව හා රාජ්‍යයක ස්වෛරීත්වය යන අංශ ගැඹුරු කැළඹීමකට පත්ව තිබේ. මනුස්සකම වැදගත් යැයි හිතන නැඹුරුවක් ඇත.

පළමු සිදධිය ඇති කරන්නේ අවස්ථා සොයා අනවසරයෙන් රටින් රට පැන යන සරණාගතතයන් පිරිසකි. ඉතාලියට සංක‍්‍රමණය අපේක්ෂාවෙන් සිටි පිරිසක් එයට අවසර නොලැබෙන විට අන්තිම තීරණය වශයෙන් මුහුදට පැන තිබේ. ජර්මන් ජාතික කාන්තාවක ගේ රාජ්‍ය නොවන සංවිධානයක් මෙම කණ්ඩායම මරණයෙන් ගලවාගෙන ඇත. අනවසර සංක‍්‍රමණියකයන් ගැනම අවධානයෙන් සිටින මෙම සංවිධානය මුහුදේ සිදුවන සංක‍්‍රමණ වල දී විපතට පත්වන ජනී ජනයාට සරණ වනු සඳහා ද කුඩා නැවක් ද කුලියට ගෙන සේවාවක් පවත්වාගෙන යයි. ජීවිත බේරා ගත් පිරිස ඉතාලියේ සිසිලියන් වරායෙන් ගොඩබස්සවා තිබේ. අනවසර සංක‍්‍රමණිකයන් කැටුව පැමිණීම තහනම් බව ප‍්‍රකාශ කළ ඉතාලි ආරක්ෂක අංශ නැව හා එහි කපිතාන්වරිය කැරෝලා රුකටේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපක් කළේය. ඉතාම නරක තත්ත්වය වූයේ මෙම පිරිස රැගත් නැව නතරකරනු සඳහා ඉතාලි ආරක්ෂක බෝට්ටුවක් හරස් කපමින් සිටිය දී එය නොතකා එම ආරක්ෂක බෝට්ටුව ද පෙරලා දමමින් වෙරල කරා යාත‍්‍රා කරවීමය. පැය තුනකට අධික කාලයක් අධිකරණයේ දී කරුණු ප‍්‍රකාශ කරන ලද කැරෝලා මුහුදට පැන සිටි සරණාගතයන්ගේ ජීවිත වෙනුවෙන් මානුෂික තත්ත්වයක් සේ සලකා ක‍්‍රියාකරන ලද අතර ආරක්ෂක බෝට්ටුව පෙරලා දැමීම හදිසි අනතුරක් බව පෙන්වා දුන්නාය.

මෙම සිද්ධියේ දී ඉතාලි බලධාරීහු පෙන්වා දුන්නේ අනෙකකි. මෙම කාන්තාව හා ඇය විසින් මතු කරන ලද තත්ත්වය ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන අතර මෙම සරණාගත පිරිස ඇයගේ මව්බිම වන ජර්මනියට ගෙන ගියේ නැත්තේ මන්දැයි ප‍්‍රශ්න කර තිබේ. කැරොලා රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන අතර එම සංවිධානය මුහුදේ සැරි සරණ අනාථ සරණාගතයන් කෙරෙහි අවධානයෙන් පසුවෙයි. එවැනි කටයුතු මානුෂවාදී අරමුණකින් කරගෙන යෑම ඇතැම් ජන කොටස් වල මහත් පිලිගැනීමකට ලක්ව තිබේ. යම් හෙයකින් කැරෝලා වරදකරු කරනු ලැබ නැව රාජසන්තක කළහොත් ඇය ගලවාගෙන අලූත් නැවක් සැපයීම සඳහා අරමුලක් පිහිටවනු ලැබූ අතර එයට ප‍්‍රකට ජර්මන් නාලිකා දෙකක් සම්බන්ධ වී තිබේ. දින කිහිපයක් ඇතුලත තිස් තුන් දහසක පිරිසක් යුරෝ ලක්ෂ නමයකට වඩා එකතු කර ඇත. සමාජ මාධ්‍ය ජාලයක් තවත් ප‍්‍රචාරක ව්‍යාපාරයකින් ලක්ෂ තුනහමාරක් උපයා ගෙන තිබේ. නීති විරෝධී සංක‍්‍රමණ වලට පිලිගත් ජන සමාජය එකහෙලා විරුද්ධ නමුත් මානුෂික තත්ත්ව එයට වෙනස් බව එයින් අනාවරණය කරයි.

ඉතාලියේ දේශ සීමා උල්ලංඝනය කරන වරදට අධිකරණයේ නඩු පවරන ලද නමුත් මෙම කපිතාන්වරියට පසුව නිදහස ලැබිණ. මෙකී තීන්දුව සමග සංක‍්‍රමණිකයන්ට අනුබල ලැබෙන පසුබිමක් නිර්මාණයවී තිබේ. එය ඉතා සංකීර්ණ තත්ත්වයකි. එමගින් ලෝකයේ දැනට පවතින සරණාගතයන් සම්බන්ධ නීති රීති කෙරෙහි අලූත් අවධානයක් ඇති කර තිබේ. සංක‍්‍රමණිකයන් සම්බන්ධ අන්තර්ජාතික සංවිධානයේ වාර්තා පෙන්වා දෙන අන්දමට තමන් උපත ලැබූ රට හැර වෙනත් රටකට සංක‍්‍රමණය වී ඇති පිරිස මිලියන 244 ක් පමණ වෙයි. එය ලෝක ජනගහනයෙන් සියයට තුනකට මදක් වැඩිය. අධ්‍යාපනය, හොඳ රැකියාවක් හෝ පහසු ජීවිතයක් පතා නිසි ක‍්‍රමවේදයකට අනුව සංක‍්‍රමණය වන අතරවාරයේ කිසිම නෛතික ක‍්‍රමයක් අනුගමනය නොකර රටවල් වලට කඩා වදින පිරිසක් ද සිටිති. අවුරුද්දකට මිලියන විසි දෙකක පමණ ජනකායක් ලෝකයේ නොයෙක් රටවලට ගොඩබසින අතර එය අනුවේදනීය කතාන්දරයකි.

හොංකොං දූපත අවුරුදු එකසිය පනහක් බි‍්‍රතාන්‍යයට අයත්ව තිබුණි. පසුව එය චීනයට පවරන අතර ඒ අනූනම අවුරුද්දක බද්දකටය. බදුකාලය අවසන්වීමෙන් පසු හොංකොං හි අයිතියගැන දීර්ඝ විවාදයක් තිබුණි. පසුව 1984 දී චීනයට භාරදෙන එකඟතාවයටක් ඇති විය. එවකට ඉතා දියුණු වෙළද මධ්‍යස්ථානයක් හා නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වූ හොංකොං වැසියෝ තමන්ගේ පැවැත්ම ගැන ප‍්‍රශ්න කරමින් සිටියහ. දැන් හොංකොං චීනයට අයත්ය. එක රටක් ක‍්‍රම දෙකක් යනුවෙන් හැදින්වෙයි. හොංකොං හි වැසියෝ තමන්ගේ ඉරණම ප‍්‍රශ්න කරමින් සිටින අතර තවදුරටත් බෙයිජිං නීති වලට අවනත වෙන්නට සූදානම් නැත. ඉතා දීර්ඝ කාලයක් යටත්ව සිටි සහ පසුව අනූ නම අවුරුදු ගිවිසුමකින් තවත් රටකට පවරා දුන් ජන කොටසකට අනන්‍යතාවය ගැන ප‍්‍රශ්නයක් තිබේ. තමන්ගේ අනාගතය කුමක්ද? තරුණ හොංකොං වැසියෝ ප‍්‍රශ්න කරති. මෙය සාධාරණ යුක්ති සහගත තත්ත්වයක් බව අන්තර් ජාතිකව සාකච්ඡා වන කරුණකි.

ලෝකයේ තැනින් තැන මතුවන සිද්ධි අනුව ඇත්ත යුත්ත ප‍්‍රශ්න කරන්නට යොමු වී ඇති බව පෙනේ. නීතිය දෙන අර්ථකතනය අනෙකක් විය හැකිය. නමුත් ස්වභාවික යුක්තිය වෙනත් තීන්දුවකය. රටක් අතහැර ජීවත්වීමට මගක් සොයා ගෙන මුහුදට පනින මිනිසුන් ගලවා ගෙන ඔවුන් ඉල්ලා සිටින තැනට ඇරලීම වරදක්ද? බුද්ධිමත් ජනතාව එය වැරදි බව හිතන්නට සූදානම් නැත. ලෝකයේ රටවල් සිට නෛතික තත්තව අනුව දේශසීමා පැන පැමිණීම වරදක් සහ එයට අනුබලදීම ආරක්ෂාවට තර්ජනයක් බව කියන නමුත් ස්වභාවික යුක්තිය එය නොවේ. රටකට යටත්ව සිට, පසුව තවත් රටකට භාර වූ ජන කොටසකට තමන්ගේ අනන්‍යතාව ගැන හිතන්නට අයිතියක් නැද්ද? නූතන ව්‍යුහය තුළ යුක්තිය හා සාධාරණත්වය ගැන වඩා අවධානය යොමු කරමින් තිබේ. ඒවා වඩා බැරෑරුම් තත්ත්ව මතු කර ඇත. පාලකයෝ රටවල් ආරක්ෂා කරන තද පියවර ගන්නා නමුත් මිනිසුන් ඉතා සංවේදීව හිතන්නට නැඹුරු වී සිටිති. මෙකී පැති පහසුවෙන් නොසකලා හැරිය හැකි දේ නොවේ.

අලූතින් ලෝකයේ සිදුවන මෙවැනි සීරුමාරුවීම් ගැන පුලූල් අවධානයක් යොමු කිරීම අපට ද වැදගත්ය. රට තුළ නොයෙක් බෙදීම් තිබේ. අරගල මතුවෙයි. විවිධ බලවේග ක‍්‍රියාකරන ආකාරයක් ඇත. නමුත් අවසානයේ දී ජනතාව හිතන අන්දමක් තිබේ. සුළු පිරිසක් නගන මහා ඝෝෂාව තුළ සත්‍යය වැලලී යා හැකිය. එය සිදුවෙමින් තිබේ. බහුතරයකගේ මතය සුළු දෙනෙකුගේ හඩට යටපත්ව ඇත. එක්තරා අවස්ථාවක යුක්තිය කුමක්දැයි ප‍්‍රශ්න කරන්නට ඉඩ තිබේ. පෙන්වන දෙයට වඩා යතාර්ථවාදී යමක් ගැටළුවක් තුළ තිබෙන බව තේරුම් ගැනීමට ඉඩ කඩ ඇත. එවැනි අවකාශයක් තුළ මතුවෙන අදහස් කෙබදු මුහුණුවරක් ගනු ඇත්ද? මෙරට අද පවතින සමාජයට සංවේදී පැති ගැන හිතන්නට පුලූවන්කමක් තිබේද? මෙම කරුණු සාකච්ඡාවට ලක් විය යුතුය. අද රට තුළ පවතින රාමුව මෙවැනි අදහස් වලට ඉඩ ඇති තැනක් නොවේ. පාලකයෝ තමන්ට රිසි පරිදි අවකාශය ගොඩනගා ගනිමින් සිටිති. එවැනි ස්වභාවයක් තුළ ඇති නීතිය හෝ පාලන ව්‍යුහය මානුෂික තත්ත්වයදැයි ප‍්‍රශ්න කරන දිනයක් උදාවනු නිසැකය.