» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/05/2017 - ඉරිදා ලංකාදීප
ලෝකයේ රටවල් එකතු වෙන්නට දක්වන උනන්දුව

ගෝලීයකරණය එක්තරා වකවානුවක සිට ඉතා උනන්දුවෙන් කතා කළ මාතෘකාවකි. ලෝකයේ වෙන් වෙන්ව සිටින රටවල් නූතන ව්‍යුහය අනුව එකට සම්බන්ධ වන අතර නිෂ්පාදනය හා වෙළඳ පොළ අංශ එහි ලා බලවත් සාධක බවට පත්ව තිබේ. මෙම සම්බන්ධතා ඉතා වේගවත් පැත්තකට යොමු කළේ තාක්ෂණයයි. තොරතුරු තාක්ණෂයේ දියුණුව සමග ලෝකයේ ජාතීන් හා රටවල් අතර දුරස්ථ බව වේගයෙන් අඩු වෙන්ට පටන් ගත්තේය. ඉතාම ඉක්මනින් ලෝකයේ එහා කෙළවරේ සිදුවන දෙයක් මෙහා කෙළවරේ තැනකට දැනගන්නට හැකිවිය. සාමාන්‍ය ජනතාවට ගෝලීයකරණය යන සංකල්පය හැබෑවට අත්විඳීන්නට එය ඉඩකඩ සැලැස්වීය. අද වන විට ජන සමාජය යා කරන තව තවත් පරිවර්තන සිදුවෙමින් පවතී. යුරෝපය හා චීනය සම්බන්ධ කළ දුම්රිය ගමන එයින් එකකි. අන්තවාදී දේශපාලන නායකයන් ජාතික අනන්‍යතා ඉදිරියට ගෙන එන ප‍්‍රවනතාවයක් ලෝකයේ තැනින් තැන ඇති නමුත් ඒවා පරාජය කරමින් රටවල් හා ජනයා එකතු වෙන බව මෙවැනි සිද්ධි වලින් සඳහන් කළ හැකිය.

බි‍්‍රතාන්‍ය හා චීනය අතර සැතපුම් 75,000 ක් දුර යා කරමින් ගමන් කළ දුම්රිය ගමන අද වන විට ලෝක අවධානයට ලක්ව තිබේ. මෙම දීර්ඝ ගමනට දින දහ හතක කාලයක් ගත විය. දුම්රිය ඉකුත් අප‍්‍රියෙල් මාසයේ අන්තිම සෙනසුරාදා චීනයේ යිවාවු නගරයට ළඟා විය. නිල වාර්තා සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ සිට පිටත්වූ මෙම දුම්රියට බඩු ගැල් තිහක් එකතු කර තිබුණ බවය. එය ලෝකයේ දුම්රිය ගමනාගමන ඉතිහාසයේ තවත් එක්තරා සන්ධිස්ථායක් විය. ප‍්‍රංශය බෙල්ජියම, ජර්මනිය, පෝලන්තය, බෙලරූස්, සියාව හා කසකස්තානය යන රටවල් හත සමග සම්පූර්ණයෙන් රටවල් නමයක් ආවරණය කරන ලද මෙම දුම්රියේ තිබුණේ වෙළඳ භාණ්ඩ බව සඳහන්ය. විටමින්, ළමයින් සඳහා නිෂ්පාදන හා ඖෂධ වර්ග එහි තිබුණ බව දුර ගෙවා චීනයට ළඟා වූ දුම්රිය පිලිගන්නට එකතුවී සිටි වෙළඳ සමාගම් නියෝජිතයෝ සතුටින් ප‍්‍රකාශ කළේය. මෙයින් අවුරුදු දෙක තුනකට කලින් මෙපමණ දුර ගෙවා ඉක්මනින් යන්නට නම් ගුවන් ගමන් උපයෝගී කරගන්නට සිදුවෙයි. එය භාණ්ඩ ප‍්‍රවාහනයේ දී අධික වියදමක් දරන්නට සිදුවන එකකි. භාණ්ඩ විශාල තොගයක් හෙයින් නැව් මගින් ප‍්‍රවාහනය ලාබදායක සේ කළ හැකිය. නමුත් ඒවා දුර ගෙවා චීනයට ළඟාවන විට මාස දෙක තුනක කාලයක් ඉක්මවා යන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එය වෙළඳාමට ප‍්‍රශ්නයකි. අවසානයේ දී වෙළඳාම් කරන භාණ්ඩ වල මිල සම්බන්ධයෙන් කාලය තීරණාත්මක සාධකයක් බවට පත්වෙයි. ගුවනින් ගෙන එන විට විශාල වියදම පමණක් නොව නැව් මගින් ගෙන්වන විට වරාය ගණනාවක් ඔස්සේ හුවමාරු වීම හා නිරාකරණය කරගත යුතු ලියැකියැවිලි හෙයින් සෑහෙන ප‍්‍රමාදයක් ද සිදු වන බව දැක්විය යුතුය. මෙම සෘජු දුම්රිය ගමන නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර වියදම් පරතරය අඩු කරන අතර එය වෙළද පොල සාධක සම්බන්ධයෙන් විශාල පෙරැළියකි. චීන ජනාධිපති ෂින් ජින්ග්පින් ගේ අරමුණ ‘‘එක සැපයුමක් එක මාවතක්’’ යන සංකල්පයයි. එය ආරම්භ කරන්නේ 2013 අවුරුද්දේ දීය. මෙයින් වසර දෙදහසකට කලින් ආසියාව හරහා යුරෝපය යා කරන ලද චීන සේද මාවත අලූතින් ඇති කරන ව්‍යායාමයකි. චීනය පැරණි සේද මාවත හා සමාන නව සැපයුම් මාර්ගයක් ගොඩනගන්නට සෑහෙන වෙහෙසක් දරන ලද බව නොරහසකි. ඒ වෙනුවෙන් යටිතල පහසුකම් සකස් කරන්නට වියදම් කරන ලද ධනය සැලකිය යුතු එකකි. නමුත් එය චීනයට ආශීර්වාදයක් වී ඇත. ලෝකයේ විශාලතම නිෂ්පාදකයා සහ සැපයුම්කරුවා බවට චීනය පත්ව ඇති අතර මෙවැනි අඩු වියදම් මහා පරිමාන ප‍්‍රවාහනය සමග රටවල් එකතුකරන්නට සොයන්නේ එහෙයින්ය. බි‍්‍රතාන්‍ය හා චීනය අතර ලොකොමොටිව් දුම්රිය ගමන සම්පූර්ණ කළේ එකී කර්තව්‍යයේ එක්තරා සන්ධිස්ථානයකි.

මෙම දීර්ඝ දුම්රිය ගමන සාර්ථක වන්නට කලින් මෙවැනි දිග දුර ගමන් කිහිපයක් අත්හදා බලන්නට චීනය සමත් විය. අලූත්ම දුම්රිය ගමන නගර පහලොවක් ආවරණය කිරීමෙන් සැලකිය යුතු ව්‍යාපාරික අවස්ථා අත්පත් කරගත හැකි බව අධ්‍යයනය කර තිබිණ. බි‍්‍රතාන්‍යයේ සිට චීනයේ කර්මාන්ත පිහිටි ප‍්‍රදේශය දක්වා මෙකී නවතම දුම්රිය ගමන සකස් වන්නේ ඒ අනුවය.

චීනය මෙයින් දශක කිහිපයකට කලින් ලෝකයෙන් හුදෙකලා වී අනන්‍ය දේශපාලන හා ආර්ථික දර්ශනයක් අනුගමනය කරන ලද රටක් බව අමතක කළයුතු නැත. එරට විශාලත්වය, දැවැන්ත ජනගහනය, නිෂ්පාදන සාධක හා වෙළඳ පොල තත්ත්වය අනුව තව දුරටත් තනිව ගමනක් නැති බව කොමියුනිස්ට් පක්ෂ බලධාරීන් තීරණය කරන්නට ඇත. මහා පරිමානයෙන් හිතන සැලසුම් ආරම්භ වූයේ ඒ අනුවය. චීනය බලවත් රාජ්‍යයක් සේ අවදිවෙමින් සිටින්නේ මෙකී නිර්භීත සහ දැවැන්ත අදහස් සමග බව අවබෝධ කරගත යුතුව තිබේ.

ශ‍්‍රී ලංකාව අනුගමනය කරන්නේ මෙහි අනෙක් පැත්තයි. හැකි තරම් දුරස් වෙන්නටය. ඉන්දියාව අප රටට ළඟින්ම පිහිටා තිබේ. ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම දියුණු වන තවත් ආර්ථිකයක් බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෝ දක්වති. එරට අති විශාල ජනගහනය යනු දැවැන්ත වෙළඳ පොලක් බව අවිවාදිතය. මෙම ජනගහනයට සැපයුම් කිරීම විශාල අවස්ථාවකි. නමුත් ඉන්දියාව සමග එකතුවී එහි ආර්ථික ශක්තිය සමග සම්බන්ධ වෙන්නට ලංකාවේ ජනතාව සූදානම් නැත. ජනතාව සූදානම් නැති බව ප‍්‍රකාශ කිරීම ඇත්ත නොවේ. දෙරට එකතු කිරීම ඉතා නරක එකක් බව කියන්නේ පටු අදෙහස් ඇති සමහර දේශපාලනඥයන්ය. ඇතැම් ජාතික හා ආගමික නායකයන්ය. දෙරට ජනී ජනයා නිදහසේ ගමන් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. කොළඹ කොටුවෙන් ප‍්‍රවේශ පත‍්‍රයක් මිල දී ගෙන කෝච්චියෙන් තලෙයි දක්වා ගොස් එතැනින් බොට්ටුවක නැග ඉන්දියාවටම ගිය බව නොරහසකි. කර්මාන්ත, ව්‍යාපාරික සහ සිනමාව වැනි විෂය සම්බන්ධයෙන් පුළුල් නිදහස් සංචරණයක් රටවල් දෙක අතර තිබිණ. මේවා නතරවෙන්නේ ත‍්‍රස්තවාදී ගැටුම් හේතුවෙන්ය. මෑත කාලයේ මගී නැව් ගමනාගමනය ආරම්භ වූ නමුත් අනවබෝධාත්මක තත්ත්වය මත එය ද අතරමග නතර වෙයි. චීනය දුරකතර ගෙවා බාධක නොතකා යුරෝපයට යන අවස්ථාවක ඉන්දියාව හරහා ගමන් කරන්නට රටට සූදානමක් අවශ්‍යය.

චීනය තමන්ගේ රට යුරෝපය සමග සම්බන්ධ කරන තීරණය ගත්තේය. සැතපුම් දොලෙස් දහසක් ගම් නියම් ගම් පසුකර යන්නට තීරණය කළේය. ලංකාවට කොළඹින් ආරම්භ කර ලන්ඩන් නගරයට දුමිරිය සේවාවක් ආරම්භ කළ හැකිය. හිතන්නට අවශ්‍ය එහෙමය. ඉන්දියාව හා වෙනත් රටවල් පසුකර ලන්ඩන් බලා යන ගමනකින් දැවැන්ත ආර්ථික පරිසරයක් නිර්මාණය කරගත හැකිය. නමුත් එවැනි තීරණයක් වෙනුවෙන් අපගේ සූදානමක් නැත්තේ මන්ද? ඉතිහාසයේ තිබුණ දේ එයටත් වඩා පහසුකම් ඇති බාධක රහිත පරිසරයක් තුළ කරගෙන යන්නට අප දක්වන බියගුළුකම කුමක්ද? ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ගොඩබිම මාර්ගයක් හදන්නට කතා කිරීමට තැත් කළහොත් එයට විශාල විරුද්ධත්වයක් ඇති වෙයි. බලවත් අසුබවාදී කතා ඇති වෙයි. දෙරට අතර පාලමක් තනා පහසුවෙන් ජනතාවට ගමන් කරන්නට භාණ්ඩ එහා මෙහා ගෙන යන්නට ඉඩ දෙන බවට පවතින අදහස සම්බන්ධයෙන් දැනටත් එවැනි විරෝධයක් හටගෙන තිබේ. මේවායෙන් පෙන්වන්නේ ජාත්‍යන්තර සමාජය සමග විවෘතව කටයුතු කරන්නට මෙරට පවතින පසුබෑමයි. ආත්ම ශක්තියක් ගැන ඇති ප‍්‍රශ්නයයි. ජනතාවගෙන් මෙම කාරණය සෘජුව විමසුවහොත් එයට එතරම් විරුද්ධත්වයක් නැති බව විශ්වාස කළ හැකිය. ඉන්දියාව හා ලංකාව සමීප වුවහොත් එය ඉතාම නරක තත්ත්වයක් නිර්මාණය විය හැකි බවට භීතිය මතුකරන්නේ එවැනි අදහස් වලින් සමාජය බය කර එයින් ජීවත්වන නායකයන් බව තේරුම් ගැනීමට චීන ලන්ඩන් දුම්රිය ගමන හොඳ සාක්ෂියකි. මෙම දුම්රිය ගමනින් අයහපතක් වෙන්නේ නම් මෙම රටවල් දෙක අතර ගමන යෝජනාවක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ නැත.

මෙරට වරාය පහසුකම් වලින් සියයට හැටක් පමණ භාවිතා කරන්නේ ඉන්දියාවයි. ඉන්දියාවෙන් ගෙන්වන විශාල වෙළඳ භාණ්ඩ තොගයක් නිති පතා රටට ලැබේ. මෙරට ජනතාව විශාල වශයෙන් ඉන්දියාවට වන්දනාවේ යන අතර මෙරටට ඉන්දියාවෙන් එන සංචාරකයන් ප‍්‍රමාණය එක රටකින් මෙරටට එන පිරිස අතර විශාලම පිරිස බව සඳහන් කළ යුතුය. මෙකී අවස්ථා සියල්ල වෙනුවෙන් දැනට ගුවන් පහසුකම් හෝ නැව් මගින් කරන ප‍්‍රවාහනය එක පැත්තකින් වියදම් සහිත එකකි. නැව් ගමන කාලයක් ගතවන එකකි. කොළඹින් නැගෙන දුමිරියක අතරමග නතර වෙමින් කෙළින්ම ඉන්දියාවේ ප‍්‍රධාන නගර වලට යා හැකි පසුබිමක් ඇති කළහොත් එයින් ඇතිවන ආර්ථික හා සමාජ වාසිය අවධානයට ගත යුතුය. එතැනින් නතර නොවී යුරෝපය දක්වා ගමන් කළ හැකි නම් මෙරට ආනයන අපනයන හා සංචාරක අවස්ථා වෙනුවෙන් ලැබෙන පිටිවහල කුමක්දැයි තේරුම් ගත යුතුය.