» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/04/2019 - ඉරිදා ලංකාදීප
ගෝත‍්‍රික සමාජ ව්‍යුහය තුරන් කරන රුවන්ඩා සැලැස්ම

වසර විසි පහකට පෙර එනම් 1994 අප‍්‍රියෙල් 06 වැනි දා රුවන්ඩාවේ කනෝම්බේ ගුවන් තොටුපොලට ළඟා වෙමින් තිබුණ ගුවන් යානයක් මිසයිල් ප‍්‍රහාරයකට ලක්විය. එරට ජනාධිපති ජුවහල් ඇතුළු ජ්‍යෙශ්ඨ නියෝජිතයන් එහි සිටි අතර ෆැල්කන් වර්ගයේ ගුවන් යානය ගිනි බෝලයක් වූ අතර සියළුම දෙනා ජීවිතක්ෂයට පත් විය. එම සිද්ධිය එවකටත් දරුණු ගැටුම වලින් ගහණව තිබුණ රුවන්ඩාවේ ගෝත‍්‍රික සටන් නැවත වටයකින් අවුලවන්නට හේතු විය. ලක්ෂ අටහමාරකට අධික පිරිසක් එතැන් සිට ඇරඹුන සිද්ධි වලින් ඝාතනය වූ බව දැක්වෙයි. ලක්ෂ දොලහකට වැඩි පිරිසක් අනාථ කඳවුරු වලට කොටු වූ අතර සමහර පිරිස් අසල්වැසි රටවලට පවා පලාගොස් තිබුණි. රුවන්ඩාවේ ගෝත‍්‍රික සටන් මෑත සියවසේ විශාලතම සිවිල් යුද්ධ අතරින් එකක් වශයෙන් ඉතිහාසයට එකතු වී තිබේ.

1900 ගණන් වල සිට සෑහෙන කාලයක් රුවන්ඩාවේ ගෝත‍්‍ර අතර සටන් තිබුණි. සටන් පැවති සම්පූර්ණ කාලය තුළ ලක්ෂ පහත් දහයත් අතර පිරිසක් ඝාතනය වූ බව වාර්තා කියයි. තවත් දස ලක්ෂ ගණනක් අනාථයන් බවට පත් වූහ. එය ඉතා වේදනාත්මක ඝාතන වශයෙන් සැලකේ. තෝරාගත් එක ගෝත‍්‍රයක් සමුල ඝාතනය කරන අරමුණ ඇතිව ක‍්‍රියාත්මක වූයේ දැයි අන්තර් ජාතික ප‍්‍රජාව තුළ සැකයක් හටගෙන තිබුණි. රුවන්ඩාවේ සිදුවූ ගෝත‍්‍රික සටන් වලට විරුද්ධව එවකට ලෝකය පුරා විශාල ජනමතයක් නැගුණි. සාමකාමී ජනතාව මෙම ඝාතන ප‍්‍රතික්ෂේප කළ අතර එක්සත් ජාතින්ගේ සංවිධානය මෙම තත්ත්වය ගැන තද අවධානය යොමු කළේය. පසුව එකමුතු ගිවිසුමකට අවතීර්ණ විය. ලෝක ප‍්‍රජාව රුවන්ඩාවේ ජාතිවාදී ගැටුම් වලට එරෙහිව නැගී සිටි නමුත් එරට ආර්ථිකය හා ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේ දී බටහිරට නතුවීමක් පසුගිය කාලයේ පෙන්නුම් කෙරිණ. ආර්ථික ප‍්‍රතිසංස්කරණ බටහිර උවමනාවන් සාක්ෂාත් කරන ලද අතර එය අන්තර් ජාතික වශයෙන් එල්ල වූ පීඩනය යම් පමණකින් පාලනය කරන්නට ඉවහල් වූ බව නිසැකය.

රුවන්ඩානු ජනාධිපති පාවුල් කගාමේ ජාතීන් එකතු කිරීමේ ප‍්‍රයත්නයක් වශයෙන් අලූත් තීන්දුවක් ගෙන ඇත. රට තුළ ජාතිවාදය තහනම් කර තිබේ. එම තීරණය අනුව ග්‍රෝතික වශයෙන් සැලකිම අවසන් වනු ඇත. මෙයින් ඉදිරියට ‘හුටු’ හෝ ‘ත්ට්සිස්’ යන වචන පවා භාවිතය තහනම් කර තිබේ. එම වදන් ශබ්ධ කෝෂයෙන් ඉවත් කර ඇත. රජයේ ලේඛන හා පොත පත වලින් එම වචන මකා දමා තිබේ. ජාතීන් අතර බෙදීමක් පෙන්වන ගෝත‍්‍රික අදහස් මතු කළහොත් අපරාධ නීතිය දඞුවම් දෙන වගන්ති පනවා ඇත. අලූත් සම්මුතිය අනුව රුවන්ඩාවේ වැසියෝ ‘‘ අපි රුවන්ඩානුවන්’’ යනුවෙන් ආමන්ත‍්‍රණය කරන්නට හුරු වෙමින් සිටිති. මෙයින් ඉදිරියට රුවන්ඩාව තුළ වෙනම ජාතියක් වශයෙන් අඟවන වැසියන් පිරිසක් නැති අතර සියළුම දෙනා රුවන්ඩා ජාතිකයන්ය. ගෝත‍්‍රික, මිලේච්ඡ ගති අවසන් කර අලූත් යුගයක් කරා අවතීර්ණ වීමට මෙම නව ක‍්‍රමවේදය ඉවහල් වනු ඇති බව විශ්වාස කෙරේ.

රුවන්ඩා රාජ්‍යය, අපි‍්‍රකාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටි කුඩා රටකි. උගන්ඩාව, ටැන්සානියාව හා බුරුන්ඩි යන රටවල් වලට මායිම් වී පිහිටා ඇත. කදුකර හරිත ප‍්‍රදේශ නිසා අවධානය දිනා ගෙන තිබේ. රුවන්ඩාවේ ප‍්‍රධාන ග්‍රෝත‍්‍ර තුනකි. හුටු සහ ත්ට්සිස් යන ගෝත‍්‍ර ප‍්‍රධානය. එරට ජනගහන තොරතුරු වලට අනුව හුටු ගෝත‍්‍රිකයෝ සමස්ථ ජනගහනයෙන් සියයට 85 ක් නියෝජනය කරති. ත්ට්සිස් පිරිස සියයට 12 ක් පමණ වෙති. ත්වා සුළු කොටසක් වන අතර වනාන්තරගතව ජීවත්වන බව වාර්තා වෙයි. හුටු හා ත්ට්සිස් අතර ගෝත‍්‍රික සටන් ඉතාම ම්ලේච්ඡ බව ප‍්‍රකාශ වන කාරණයකි. ගැටුම් වරින් වර උණුසුම් වන කාලයේ රුවන්ඩාවේ වැසියන් දෙදෙනෙකු මුණ ගැසුණු වහා නාසය දෙස බලන සිරිතක් තිබුණ බව නොබෝදා එක්තරා විදේශ පුවත් පතක් වාර්තා කර තිබුණි. නාසයේ පිහිටීම වෙනස්වීම එක ගෝත‍්‍රයක ලක්ෂණයකි. එය ගැටුමට මුලය. එක රටක ජීවත්වන ජන කොටස් දෙකක් අතර පවතින උග‍්‍ර වෛරයක තරම එයින් පෙන්වා දී ඇත.

ජාතීන් වශයෙන් වෙනම රටවල් තුළ අනන්‍යතාවය හදාගෙන ජීවත් වූ පිරිස් අනන්‍යතාවය තුරන් කර එකම සංකල්පයකට නතු වන බවට රුන්ඩාව එක උදාහරණයකි. සිංගප්පූරුව ද ජාතිය අනුව වෙනස්කම් අමතක කර එක ජාතියක් වශයෙන් කි‍්‍රයා කරන රටකි. තත්ත්වය එසේ තිබිය දී ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා යුරෝපා රටවල අනන්‍යතාවය ගැන අර්බුද උණුසුම් වෙමින් තිබේ. තමන්ගේ රටවලට එන විජාතිකයන් තම පොදු අවස්ථා පැහැර ගැනීම අවදානමක් සේ අවධානයට ගන්නා ස්වභාවයක් වර්ධනය වී ඇත. අන්තවාදී කල්ලි බිහි වී තිබේ. වෙනත් රටවලින් එන පිරිස ප‍්‍රතික්ෂේප කරන ව්‍යාපාර බිහි වී ඇති බව පෙනේ. ඇමරිකානු දේශපාලනයේ පවතින අලූත් ස්වභාවය එය දැක්විය හැකි එක විශේෂ අවස්ථාවකි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ස්පානියා ජාතිකයන් ඇතුළු වෙනත් රටවල් වලින් පැමිණෙන පිරිසට විරෝධයක් තිබුණි. බි‍්‍රතාන්‍යයේ බි‍්‍රක්සිට් වෑයම හරහා එරට ජාතිවාදී අදහස් ඉදිරියට එන බව නිරීක්ෂණය කළ හැකිය. බි‍්‍රතාන්‍යයේ පහසුකම් වෙනත් පාර්ශවයන්ට වාසියක් වීම නුරුස්සන සමාජයක් බිහි වී ඇත.

ශ‍්‍රී ලංකාව ජාතිවාදී අදහස් නිසා බැට කෑ රටකි. ජාතීන් අතර තිබුණ අභ්‍යන්තර යුද්ධය දශක තුනක් තිස්සේ පැවැතිණ. යුද වියදම ආර්ථිකය බෙලහීන කළේය. ගැටුම් නිසා ජීවිතක්ෂයට පත් වූ පිරිස හා තුවාල ලැබූ පිරිස විශාලය. සෑහෙන දේපොල අහිමි විය. එය වේදනාත්මක කාල පරිච්ඡේදයකි. ගැටුම් අවසන් කර වසර දහයක් ගත වී තිබේ. සමගි සන්ධානයක් ගොඩ නගන පියවර අවසන් නැත. සංහිඳීයා යාන්ත‍්‍රණයක් ගැන අවධානය යොමු කර තිබේ. අන්තර් ජාතික ප‍්‍රජාව ශ‍්‍රී ලංකාව වෙත බලපෑම් කරන අතර සියළු වෙනස්කම් තුරන් කරන අලූත් යුගයකට අවතීර්ණ වන සේ යෝජනා කර තිබේ. ඒවායෙන් සමහරක් ගැලපෙන අන්දමට ක‍්‍රියාවට නැගීමට ආණ්ඩුව උත්සාහ කරන බව නිරීක්ෂණය කළ හැකිය.

සිංහල හා දෙමල අලූත් අවුරුදු කාල වකවානුවේ දී රටට හා සමාජයට අලූතින් හිතන්නට අවස්ථාවක් ඇත. සූර්ය මංගල්‍ය යනු රටට පොදු අවස්ථාවකි. ශ‍්‍රී ලංකාවේ සංස්කෘතිය පොහොසත්ය. අවුරුද්දකට වතාවක් පැරණි තරහ මරහ අමතක කරන ගුණයක් ස්වභාවයෙන්ම පවතී. අවුරුද්ද තුළ ඇති වැදගත් සංස්කෘතික ලක්ෂණ භාවිතා කරන්නට නැඹුරු විය යුතුය. රුවන්ඩාව තරමට ජාතියක අනන්‍යතාව තුරන්කරන කෘතීම මැඩපැවැත්වීමක් අවශ්‍ය නැත. අනන්‍යතාවය ආරක්ෂා කරගෙන සමගියෙන් ශක්තිමත්ව බැඳීම අවශ්‍යය. සම්පත් බෙදා හදාගෙන පටු සීමා ඉවත් කරන ක‍්‍රමයක් ගැන කල්පනා කළ යුතුය. ව්‍යවස්ථා අලූතින් හදන්නට සාකච්ඡා කරයි. ඒවායේ භාවිතා කරන වචන ගැන සියුම් තර්ක තිබේ. අලූත් ව්‍යවස්ථාවක් මගින් සියල්ල නිරාකරණය කළ නොහැකිය. එය රාමුවක් පමණකි. රටට ගැලපෙන සම්ප‍්‍රදායක් අවශ්‍යය. ජන සමාජය ජීවත්වන පසුබිම ගැන වෙනම අවධානය යොමු කළ යුතුය. එය ප‍්‍රායෝගික වැඩ පිලිවෙලකි. අනන්‍යතාවය තුරන්කළ යුතු නැත එයට ඉහළින් ජාතිකත්වයක් ගොඩනැගිය යුතුය. එය ජාතිවාදය නොවේ. ශ‍්‍රී ලාංකිකත්වය ඇති කිරීමකි.

ශ‍්‍රී ලංකාවේ සමාජය හා ආර්ථිකය එක හා සමානව දියුණු කරන්නට අවශ්‍යය. ජාති, කුල, ආගම හෝ පංති පරතරය තුරන් කළ යුතුය. වර්තමානයේ බෙදීම් උග‍්‍ර වෙමින් තිබේ. ඉගෙනගත් පාසල හෝ ජීවත්වන පලාත අනුව අනන්‍යතා හදාගන්නට ප‍්‍රජාව උත්සුක වෙති. සියළු ප‍්‍රශ්න තමන්ගේ වර්ගය අනුව වෙන්කර හිතනන්නට සුදානම් වී තිබේ. එය නුසුදුසු තත්ත්වයකි. ලෝකයේ වෙනත් රටවල් සාර්ථක සමාජ වශයෙන් නැගී සිටින්නට සමත් වී ඇති ආකාරය අවධානයට ගත යුතුය. එක රටක් තුළ භාෂා ගණනාවක් කතා කරයි. අනෙක් පුද්ගලයා තේරුම් ගැනීම අවශ්‍යය. කැපවීම ඉතා වැදගත්ය. එක පාර්ශවයකින් පමණක් කැපවීම හෝ බලය බෙදාගැනීම අපේක්ෂා කළ යුතු නැත. සියළුම දෙනා තමන් සිටින ස්ථාවරයෙන් පියවරක් පසුපසට ගෙන පොදු වේදිකාවක් තනාගත හොත් රට දීර්ඝ කාලයක් පීඩා කරන ජාතීන් අතර අනවබෝධය තුරන් කළ හැකිය. රුවන්ඩාවේ තීරණය එක සිද්ධියක් පමණකි. එය සිදුවූ ආකාරය හා එයින් පසු ඇති වී තිබෙන ව්‍යුහය ඉතා ගැඹුරෙන් අධ්‍යයනය කිරීමට සිංහල හා දෙමල අලූත් අවුරුද්ද හොඳ අවස්ථාවකි.