» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/01/2018 - ඉරිදා ලංකාදීප
පුනරුත්තාපනය ගැන අවධානය යොමු කළ යුතු සිරගෙදර ජීවිතය

අපරාධ කරුවන්ට ඇමරිකානු අධිකරණ පද්දතිය නියම කරන දඩුවම් වල උපරිම ස්වභාවය හෙයින් එරට තුළ මතුවි ඇති තත්ත්වය ගැන විවිධ පැතිවලින් සාකච්ඡා කරන්නට පටන්ගෙන තිබේ. පසුගිය දා ‘ද ඉකොනොමිස්ට්’ කලාපයේ ඇමරිකාවේ බන්ධනාගාර පද්ධතිය අසමත් බව දක්වන ලිපියක් පළ කර තිබිණි. බන්ධනාගාරයේ ස්වභාවය වෙනස් කළ හැකි ආකාරය ගැන බලධාරීහු හොඳින් දන්නා නමුත් වෙනසක් කරන්නට සුළු හෝ උත්සාහයක් ගෙන නැති බව එම ලිපියේ අවධාරණය කර තිබුණි.

ඉකොනොමිස්ට් සඟරාව දක්වන අන්දමට බන්ධනාගාරය සමාජය සුරක්ෂිතතාව වෙනුවෙන් අවශ්‍ය ව්‍යුහයකි. ඉතා ශක්තිමත් අගුලූ පද්ධතියක් තිබුණත් ඒවා කඩා දේපොල පැහැර ගන්නා සොරු සිටින අතර පසුපසින් පැමිණ අනේක විධ අතවර කරන්නට සූදානම් දාමරිකයන් සිටී නම් සිරගෙදර අවශ්‍යය. යකඩින් තැනූ සිරගෙවල් රහිත යුක්තිගරුක සමාජයක් බලාපොරොත්තු විය යුතු නමුත් එවැනි රටවල් ලෝකයේ නැති බව මෙහි පෙන්වා දී තිබේ. මිලියන දෙකහමාරකට වැඩි සිරකරුවන් පිරිසක් ලෝකයේ සිරකඳවුරු වල සිටී. මෙයින් හතරෙන් එකක් සිරගතව සිටින අතර තුර තවමත් අවසන් නොවූ නඩු විභාගයන්ට මුහුණ දෙමින් සිටිති. ලෝකයේ වටිනාම ඉඩම් වල, බදු ගෙවන ජනතාවගේ ධනය විශාල වශයෙන් වියදම් කර සිරකරුවන් නඩත්තු කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජනය කුමක්දැයි සඟරාව ප‍්‍රශ්න කර තිබේ. සිරගෙදර ඡීවිතයේ දී පුනරුත්තාපනය අඩුවෙන් සිදුවෙයි.

සඟරාව එක උදාහාරණයක් දක්වයි. ඇමරිකානු කාන්තාවක් සිය සැමියා ජීවිතක්ෂයට පත් වූ පසු පවුලේ ප‍්‍රශ්න ගැන කල්පනා කර වික්ෂෝපයට පත් වූ අතර ඒ වෙනුවෙන් බෙහෙත් වර්ග ගත්තාය. ඒවා මිල වැඩිවන විට මිත‍්‍රයන්ගේ අනුදැනුම මත මත් ද්‍රව්‍යවලට යොමු වූ අතර එක් අවස්ථාවක මත් ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත් විය. ඒවා විකිණීමක් නොකළ නමුත් නඩු විභාගය අවසානයේ දස වසරක සිරදඞුවම් නියම කර ඇත. වසරකට ඇමරිකානු ඩොලර් තිස් දහසක් පමණ ඇයගේ සිරගෙදර කටයුතු වෙනුවෙන් ඇමරිකානු ආණ්ඩුව වියදම් කරයි. මෙම මුදල් පොදු ජනතාව ගෙවන බදු බව අමතක කළ යුතු නැත. එය කොපමණ එකක් දැයි දක්වන ඉකොනොමිස්ට් සඟරාව මෙම වියදම නොවේ නම් දරුවන් තිදෙනෙකු ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන වියදම් පියැවිය හැකි බව පෙන්වා දෙයි. සමාජයේ යහපත වෙනුවෙන් එක පුද්ගලයෙකු සිරගත කරන අතර එහි සම්පූර්ණ වියදම තුන් දෙනෙකු ගේ යහපත් ජීවිතයක් ගොඩනැගීමට බාධා කර ඇත.

මෙකී තත්ත්වය ගැඹුරින් සලකා බලන ලද බැරක් ඔබාමා සිය කාලයේ දී ඔහුගේ නීතිපතිවරයා යටතේ එරට අධිකරණ නඩු විභාග වල දී විශේෂයෙන් මත් ද්‍රව්‍ය වැරදි වලට උපරිම දඞුවම් නියම කිරීම වලකන උපදෙස් ලැබුණ බව අනාවරණය වෙයි. අපරාධයකට තුඩු නොදුන් මත් ද්‍රව්‍ය වැරදි වලට නියම කරන දඩුවම් උපරිමයට නොපමුණුවා එය අඩු කරන ලද අතර එවැනි පිරිස සමස්ථ සිරකරුවන් අතරින් සියයට දහයකට පමණ ලැබුණ බව සඳහන්ය. කෙසේ වෙතත් වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ නීතිපතිවරයා එය වෙනස් කරන අතර දඞුවම ඉතාම කටුක එකක් කළ යුතු බවට යෝජනා කර තිබේ.

බන්ධනාගාර නඩත්තුව පහසු කාර්යයක් නොවේ. සිරගෙවල් ඉදි කළ යුතු අතර මූලික පහසුකම් සහිතව ඉතා ශක්තිමත්ව හදන්නට සිදුවෙයි. ඒවායේ නිලධාරීන්, පරිපාලනය සහ අතිරේක කාර්යය වෙනුවෙන් අති විශාල පිරිවැයක් දරන්නට සිදුවෙයි. නැවත සමාජයට ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැති වියදමකි. වැරදිකරුවන් පුනරුත්තාපනය අපේක්ෂා කරන එක පැත්තකි. නමුත් ඇමරිකානු බන්ධනාගාර වල සිදුවන්නේ සියයට පහක පමණ ප‍්‍රතිශතයකින් බව අනාවරණය වෙයි. එය වෙනුවෙන් ද අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන අසූවක් පමණ වියදම් වෙයි. වියදම කෙසේ වෙතත් පුනරුත්තාපනය කරන පිරිස අතරින් නැවත වැරදි සිදුවන ප‍්‍රමාණය අඩු බව පැවසේ. ඇමරිකාවේ බන්ධනාගාර ගතව සිටින පිරිස වාර්තාගත පිරිසක් වන අතර ප‍්‍රංශයට වඩා එකොලොස් ගුණයක් සහ නෙදර්ලන්තය හා ජපානය වැනි රටවලට වඩා පහලොස් ගුණයක් බව දැක්වෙයි.

සිරගෙවල් හා සිරකරුවන් නඩත්තු කරන්නට දරන පිරිවැය අඩු කරගනු සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. උපරිම දඩුවම් නොකිරීම එයින් එකකි. අනෙක පුනරුත්තාපන වැඩසටහන් වලට යොමු කරන ප‍්‍රතිශතය වැඩි කිරීමයි. සළකුණු සහිතව සමාජයට නිදහස් කිරීම වැදගත් අදහසක් සේ ඉදිරිපත් ව තිබේ. සාමාන්‍ය වැරදි වලට දඩුවම් විඳින සිරකරුවන් තාක්ෂණිකව සොයා ගත හැකි සංකේතයක් සහිතව නිදහස් කරන අතර එම පිරිස මායිම් නැති සිරකරුවන් බවට පත් වෙයි. එතැන් සිට එදිනෙදා වියදම් සොයාගත යුතු අතර සමාජයේ ගැවසෙන ආකාරය ගැන බන්ධනාගාර නිලධාරීන්ගේ නිතර අවධානයට ලක් කෙරේ. සීමා සහිත සමාජ අවකාශයක සමාජය දැනුවත්ව කරන මෙම නිදහස් කිරීම් ගැන නිව්යෝක් විශ්ව විද්‍යාලය ද අධ්‍යයනයක් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ද බන්ධනාගාර වල තත්ත්වය ගැන ප‍්‍රශ්න තිබේ. ඒවායේ රැඳවිය හැකි පිරිසට වඩා වැඩි පිරිසක් සිරගත කර ඇත. කොටසක් සැකපිට අත්අඩංගුවට ගත් අය වන අතර තවත් විශාල පිරිසක් මත් ද්‍රව්‍ය වැරදි වලට පොලිස් භාරයට ගත් පිරිස බව අනාවරණය වෙයි. මරණ දඞුවම ඇතුළු විවිධ දඞුවම් නියම වූ පිරිස ද සැකපිට රඳවාගත් අය හා මත් ද්‍රව්‍ය වැරදි සහිත අය සමග සිටී. මෙරට බන්ධණාගාර පද්ධතිය ප‍්‍රමාණවත් නොවන හෙයින් පහසුකම් සහිත තැන් මහනුවර හා හම්බන්තොට දිස්ත‍්‍රික්ක වල ඉදි කරන ලද අතර ඒ වෙනුවෙන් වියදම් කළේ ජනතාවගේ බදු බව පෙන්වා දිය යුතුය. අධ්‍යාපන, සෞඛ්‍ය හෝ ප‍්‍රවාහන අංශ වෙනුවෙන් වියදම් කරන්නට ප‍්‍රමාණවත් ආදායමක් රහිත ආණ්ඩුවට සිරකරුවන් වෙනුවෙන් ද මුදල් වියදම් කරන්නනට සිදුවී ඇති අතර එය බලවත් ප‍්‍රශ්නයකි. ඇමරිකාවේ ගණන් බලන අන්දමට එක සිරකරුවෙකු ගේ වියදම වෙනුවට අධ්‍යාපනය ලබන දරුවන් කොපමණ සංඛ්‍යාවකට එම මුදල් සැහේ දැයි සොයා බැලීම සුදුසුය.

කොළඹ, මහනුවර ගාල්ල හෝ මාතර වැනි නගර වල බන්ධනාගාර ඇති ස්ථාන ගැන අවධානය යොමු කළහොත් ඒවා මෙරට මිල අධිකම තැන් බව පැහැදිලිය. කොළඹ නගරයෙන් පර්චස් එකක් සොයා ගත නොහැකි පසුබිමක වැලිකඩ බන්ධනාගාරය වෙනුවෙන් අක්කර අසූ හතරක් වෙන් කර තිබේ. මෙම බන්ධනාගාරය 1841 දී ගොඩනගන කාලයේ දී ඉඩම් වල වටිනාකම එපමණ නොවූ නමුත් අද මෙම ඉඩමේ එක බිම් අඟලක් ලක්ෂ ගණනකට මිල කළ හැකිය. රට තුළ ඉතාම නරක පුරවැසියන් ඉතාම වටිනා ඉඩමකට කොටු කර පහසුකම් රහිත තත්ත්ව යටතේ දුක් විඳින්නට සැලැස්වීමෙන් අපරාධ සම්බන්ධයෙන් සිදුවිය හැකි වෙනස කුමක්ද?

අපරාධකරුවන්ට දඞුවම් කරන අතර සුළු වැරදි සම්බන්ධයෙන් පීඩා විශෝධනය වැනි අවස්ථා මෙරට ද භාවිතා වෙයි. අධිකරණයට ගොස් වරදකරුවන් කරනු වෙනුවට පැමිණිල්ල හා විත්තිය එකතු වී සාධාරණ අන්දමට විසඳාගැනීමට සමථ මණ්ඩල ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙයි. නමුත් රට පුරා ඇති බන්ධනාගාර හා ඒවායේ රඳවා ඇති පිරිස නඩත්තුව පහසු දෙයක් නොවේ. රැඳවියන් නඩු කටයුතු වෙනුවෙන් බන්ධනාගාර වලට ආරක්ෂා සහිතව ප‍්‍රවාහනය පවා සෑහෙන ගැටළු සහිත එකකි. බන්ධනාගාරගත පිරිස, ඔවුන්ගෙන් යැපෙන්නන් සහ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් කරගෙන යන සිරකරු සුබසාධනය ද සංකීර්ණ වැඩ පිලිවෙලකි. ඒවායෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීම උදෙසා දරන පිරිවැය සාමාන්‍ය එකක් නොවේ. අවසානයේ දී මෙරට බන්ධනාගාර පද්ධතිය රට තුළ සමාජය යහපත් කරන පසුබිමක් ඇති කරන්නට අවශ්‍යය.

ඇමරිකාවේ බන්ධනාගාරය එහි සිරකරුවන් ගැන කරන ලද ‘ද ඉකොනොමිස්ට්’ ලිපිය ස්වභාවය අධ්‍යයනය කරනු සඳහා සුදුසුය. ජපානය හා උතුරු යුරෝපා රටවල බන්ධනාගාර නවීන අදහස් සහිතව සියුම් පාලන ව්‍යුහ යටතේ ක‍්‍රියාත්මක වෙයි. වැරදි කරන ලද පිරිස නඩත්තු වියදම පදනම් කරගෙන ලිහිල් දඞුවමක් නියම කර සමාජයට යොමු කළ යුතු නැත. එය ඉතාමත් අනුචිතය. නමුත් පුනරුත්තාපනයක් සහිතව වරදකරුවන් දඩුවම් විඳීන පුද්ගලයක් බවට පත්කරන්නේ කෙසේදැයි විමසා බැලීම වැදගත්ය. වරදකරුවන් නඩත්තුව සමාජය මත පවරා එය සමාජයේ පැවැත්මට බාධා නොවන තැනට පත් කරන්නේ කෙසේදැයි විමසාබැලිය යුතුය.