» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/10/2019 - ඉරිදා ලංකාදීප
දහසක් දේශනා වලට වඩා එක ආදර්ශයක් රටකට වැදගත්ය

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෑත දේශපාලනය තුළ ඉතා බරපතල සිද්ධි ගණනාවකට මුහුණ පා සිටී. ආණ්ඩුව විසුරුවීමට ඔහු ගත් ප‍්‍රයත්නය අධිකරණය අත්හිටුවා ඇත. අනෙක් අතට යුරෝපා සංගමයෙන් ඉවත්වන තීරණය හමුවේ තීරණයක් ගත නොහැකි තැනකය. පුද්ගලික ජිවිතය ගැන එල්ල කරන ලද චෝදනාවක් ද ඔහු අපහසුතාවයට පත් කරන්නට හේතුවක් වී තිබේ. එවැනි පසුබිමක සිටිය දී පවා අරමුණ, පෙනී සිටින ප‍්‍රතිපත්ති සහ එදිනෙදා හැසිරීමේ දී පුලුල් පරිනත බවක් දක්වයි. මුළු ලෝකයම පරිසරය ගැන මහත් ලැදියාවකින් කටයතු කරමින් සිටින අතර අගමැති බොරිස් ජොන්සන් මුහුණ පෑ සිද්ධියක් වැඩිපුර හුවා දැක්වීමට බටහිර මාධ්‍ය ජාලා කි‍්‍රියා කර ඇත. එය එක්තරා ආකාරයක සංකේතාත්මක අවස්ථාවකි.

කොන්සවටිව් පක්ෂ සැසිවාරයක් අවසානයේ දී ඔහුගේ පාක්ෂිකයෙකු අගමැතිවරයා වෙත උණු කෝපි කෝප්පයක් පිරිනැමීය. ඔහු එය භාරගත්තේය. නමුත් ක්ෂණයකින් ඔහු අසල සිටි තවත් ඔහුගේ හිතෛශියෙකු එම කෝපි කෝප්පය ඔහුගෙන් උදුරා ගත්තේය. කෝපි කෝප්පය අගමැතිවරයාගෙන් ගන්නා අතරවාරයේ එම ආධාරකරුවා සදහන් කළ දෙයක් ඇත. ‘‘ ඒක ප‍්‍රතිචක‍්‍රියකරණය කළ නොහැකි කෝප්පයක් ’’ යනුවෙන් අගමැතිවරයාගෙන් උදුරා ගත් පුද්ගලයා කියා තිබේ. මාධ්‍යවේදීන්, කැමරා ශිල්පීන් පිරිවරාගෙන සිටි එම අවස්ථාවේ දී අගමැතිවරයා අත දිරා පත් නොවෙන, එකවරක් පමණක් භාවිතා කළ හැකි බදුනක කෝපි පානය කරන පින්තූරය මාධ්‍යයට ගැලපෙන එකකි. ගෝලීය උණුසුම ඉහළ නගින හේතු පාලනය කරන බව කියන ලෝක නායකයෝ රටට එකක් කියා පුද්ගලිකව හැසිරෙන්නේ පරිසරයට හානි කරන ක‍්‍රියාවල නිරත වෙමින් දැයි ප‍්‍රශ්න කරන්නට එය හොදම සාක්ෂියක් විය හැකිව තිබුණි. අනවධානයෙන් සිටි අවස්ථාවක නමුත් වහා අවස්ථානෝචිතව ක‍්‍රියා කළ හිතෛශියාට අගමැති බොරිස් ජොන්සන් සිය කෘතඥතාව පළ කරන ලද බව ‘‘ ද ගාඩියන් ’’ පුවත් පත අනාවරණය කර තිබුණි. අගමැතිවරයා වෙත එල්ල වී ඇති තියුණු අභියෝග දෙස බලන විට ප්ලාස්ටික් බදුනක් යනු පහසුවෙන් පැත්තකට කළ හැකි විවේචනයකි. නමුත් නායකයෝ ආදර්ශවත් විය යුතුය. ප‍්‍රතිපත්ති හා නීති අනුගමනය කරන බව ක‍්‍රියාවෙන්ම ඔප්පු කරන්නට අවශ්‍යය.

බි‍්‍රතාන්‍ය අගමැතිවරයා මුහුණ දුන් එම සිද්ධියට සමාන තවත් අවස්ථාවක් කැනඩාවෙන් වාර්තා වී තිබේ. එරට හරිත පක්ෂ නායිකා එලිසබෙත් මේ මහත්මිය එයින් ඉමහත් ආන්දෝලනයකට ලක්ව ඇත. මුලින් පරිසරයට අහිතකර ප්ලාස්ටික් භාජනයකින් යමක් පානය කරමින් සිටි පින්තූරයක් මාධ්‍ය වලට නිකුත් වී ඇති අතර පසුව එය දෝෂයක් බව වටහා ගත් ඇයගේ කාර්යාලයේ පිරිස පින්තූර සංස්කරණය කරන තාක්ෂණික ක‍්‍රම උපයෝගී කරගෙන අත තිබුණ ප්ලාස්ටික් භාජනය පැත්තකට කර දිරාපත්වන, පරිසර හිතකාමී ද්‍රව්‍යයකින් තැනූ භාජනයක් සේ ඇගවෙන අන්දමට ඡායාරූපය නැවත සකසා තිබේ. දක්ෂ මාධ්‍යවේදීහු මෙම පින්තූර දෙක පෙන්වා කර්කශ විවේචනයක් කර තිබේ.

බොරිස් ජොන්සන් ගේ අතට ලැබුණ දිරා පත් නොවන නැවත භාවිතා කළ නොහැකි කෝප්පය වහා ඉවතට ගැනීම හා කැනජා හරිත පක්ෂ නායිකාවගේ අත තිබුණ භාජනය වෙනස් කර එයට වෙනත් රූපයක් ඈදා නිකුත් කිරීම අහඹු දේ නොවේ. නායකයන්ගේ ප‍්‍රකාශ, ක‍්‍රියාකාරීත්වය හා යතාර්ථය හුවා දක්වන්නට ගත් ප‍්‍රබල ප‍්‍රයත්නයන්ය. එක පැත්තකින් ජනතාවගේ කැමැත්ත දිනා ගන්නා අතර අනෙක් පැත්තෙන් ජනතාවට ආදර්ශයක් වන අන්දමට හැසිරීමේ වැදගත්කම හුවා දක්වන සිද්ධීන්ය.

මිනිස් ක‍්‍රියාකාරීත්වය නිසා පරිසරයට සිදුවන හානිය ගැන ලෝකය පුරා බලවත් මතයක් තිබේ. ස්වභාවික පරිසරය ආරක්ෂා කරන පැවැත්ම තහවුරු කරගත යුතුය යන අවධාරණය පැතිරෙමින් පවතී. එය කොපමණ බලවත් ද යත් පරිසරය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන දේශපාලන පක්ෂ දක්වා වර්ධනය වී ඇත. ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයන්ට පරිසරය ආරක්ෂා කරන්නට කැපවී සිටින බව සනාථ කරන්නට සිදුවී තිබේ. බොරිස් ජොන්සන් පරිසර හිතකාමී අදහස් වලට අවනත නැති අයෙකු බව පෙන්වීම වරදක් බව කොන්සවටිව් පක්ෂයේ ඔහුගේ අනුගාමිකයෝ දැන ගෙන සිටිති. කැනඩාවේ හරිත පක්ෂ නායිකා එලිසෙබත් ගේ පින්තූරය සංස්කරණය කිරීමට ද හේතුව එය බව පැහැදිලිය.

ශ‍්‍රී ලංකාවේ දේශපානය තුළ නායකයන් තෝරා ගැනීමේ දී අනුගමනය කරන සටන් පාඨය කුමක්ද? ඉදිරි වසර පහක කාලය සදහා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමට දින නියම කර ඇත. ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෝ තිස් පස් දෙනෙකු ඉදිරිපත්ව ඇත. පරිසරය ගැන මෙම අපේක්ෂකයන්ට ඇති හැගීම කුමක්ද? අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කරන අරමුණ ඇතිව අනාගත නායකයන් ක‍්‍රියා කරන බවක් පෙනෙන්නට තිබේද? තම නායකයා ගේ පැවැත්ම හා එදිනෙදා කටයුතු කොහොම කෙලෙස වුනත් තමන්ට ප‍්‍රශ්නයක් නැතැයි ජනතාව කල්පනා කරනවාද? අපට පෙනෙන අන්දමට ජනතා අභිලාශය අනෙක් එකකි. ඔවුන්ට අවශ්‍ය නායකයෙකි. පාක්ෂිකයා වෙනුවෙන් සටන් කරන, පාක්ෂිකයා වෙනුවෙන් පෙනී සිටින චරිතයකි. නීතිය, ජන සමාජය, යුක්තිය, සාධාරණත්වය හෝ පරිසරය ආරක්ෂා කිරීම වැනි කරුණු වැදගත් නැත. මොන ක‍්‍රමයකින් හෝ තමන්ට රස්සාවක් දෙන, තම දරුවා හොද පාසලකට ඇතුලත් කරගැනීමට උපකාර කරන, කොතැනකින් හෝ ඉඩමක් ලබා දෙන යනා දී වශයෙන් අභිලාශ සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. මේවා ඉටු කිරීමේ දී පාක්ෂිකයා සහ තමන්ගේ හිතවතා යන සාධකය පමණක් ඉතාම වැදගත් සේ සිතන බව නිරීක්ෂණය කළ හැකිය.

නායකයා ජයග‍්‍රහණය කරවීම හැර අනෙක් දෙයක් අනුගාමිකයෝ සලකන්නේ නැත. ලෝකය පුරා ඉන්ධන භාවිතය අවම කරන ප‍්‍රතිපත්ති වලට සූදානම්ය. හරිත විදුලිය පරිහරණය ගැන උනන්දුවක් තිබේ. අපේක්ෂකයෝ මේවා ගැන කතා නොකිරීම ගැන ජනතාවට ප‍්‍රශ්නයක් නැත. මෙතෙක් කාලයක් මෙරට නොතිබුණ ව්‍යසන මතුව තිබේ. දීර්ඝ නියගය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. වැසි කාලයේ දී අධික වර්ෂාපතනය ජනතාව පීඩාවට පත් කරයි. නාය යෑම් ඇති වෙයි. මෙම කාලගුණ විපර්යාස වලට හේතුව අප සියළු දෙනා රටට කර ඇති හානියක ප‍්‍රතිඵලයක් බව ජනතාව පවා හිතන්නේ නැත. අඩුම තරමින් ගහ කොළ ආරක්ෂා කරන ස්වභාවික පරිසරය විනාශ නොකරන ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීම ගැන පවා එපමණ උන්නදුවක් නැත. එයට හේතුව කුමක්ද?

අපේක්ෂකයන්ට නීති හා ආචාර ධර්ම පනවා තිබේ. පොලිතීන් සැරසිලි තරමක් අඩුය. නමුත් ඒවා නැත්තටම නැති කළ හැකිය. පෝස්ටර් හා කටවුට් සම්බන්ධ නීති තිබේ. ඒවා ගැන නායකයෝ නොසලකති. ආධාර කරුවෝ මායිම් කරන්නේ නැත. සැරසිලි රහිත ප‍්‍රචාරන කටයුතු වලින් පාක්ෂිකයන්ගේ උද්දාමය අඩුවනු ඇතැයි ඇතමෙක් සිතති. කෙසේ හෝ පෝස්ටරේ ප‍්‍රමාණයක් නීති විරෝධීව අලවා ජය තහවුරු කරගන්නට පාක්ෂිකයෝ යුහුසුළු වෙති. තමන්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම ප‍්‍රතිපත්ති වලට අනුව කරගෙන යා යුතු බව ප‍්‍රකාශ නොකරන්නේ ඇයි? බි‍්‍රතාන්‍ය හෝ කැනඩාව යන රටවල නායකයෝ ප‍්‍රතිචක‍්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් කෝප්පයක් අතට ගැනීම බලවත් අපකීර්තියකට හේතුවක් බව හිතන විට මෙරට නායකයෝ ඕනෑම හානියක් තමන්ට වාසියක් වනු ඇතැයි හිතන තරමට පටු අදහස් වලින් යුක්තවීම බරපතල ප‍්‍රශ්නයක් බව තේරුම් ගත යුතුය.

ඉදිරි ජනාධිපතිවරණ ජන හමු වල දී අපේක්ෂකයෝ විව්ධ පොරොන්දු දෙන බව නිසැකය. ඒවා මුද්‍රණය කර ලක්ෂ ගණනින් බෙදා හරිනු ඇත. රට නොබෙදන අතර රට විකුණන්නේ නැති බවට දිවුරනු නිසැකය. දුෂණය තුරන් කරන අතර වංචා නැති කර කාර්යක්ෂම පාලනයක් සහතික කර කියා සිටිනු නිසැකය. අපට අවශ්‍ය දහසක් දේශනා නොවේ. සිය ගණනක් පොරොන්දු රටට අවශ්‍ය නැත. එන ආදර්ශයක් සැපයීම හොදටම ප‍්‍රමාණවත්ය. ප‍්‍රතිපත්ති ආරක්ෂා කර, ජනතාව සමග සමුම්තියක පිහිටා ක‍්‍රියා කර ලබන පරාජය පවා ජනතාව මහත් ඉහලින් සලකනු ඇත. රටට අවශ්‍ය එවැනි නායකයන්ය. බොරිස් ජොන්සන් හෝ එලිසෙබත් මේ යනු ඉතාම ප‍්‍රශස්ථ, විශිෂ්ඨ චරිත නොවේ. අඩු ලුඟුඩුකම් ඇත. සුළු හැසිරිමක් තුළින් විශාල නායකත්වයක් පෙන්නුම් කරන අතලොස්ස අතර සිටින බව ඔවුහු සනාථ කර තිබේ.