» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/08/2017 - ඉරිදා ලංකාදීප
මත් ද්‍රව්‍ය බලවේගයක් සේ නැගී සමාජයක් විනාශ කරන විට

මත්ද්‍රව්‍ය භාවිතය හා එහි බරපතල විනාශකාරී ස්වභාවය ගැන වර්තමානයෙහි විශාල අවධානයක් තිබේ. පිලිපීනයේ පැන නැගී ඇති තත්ත්වය අනුව එය එක්තරා විවාදාත්මක තැනකට පැමිණෙන බව නිරීක්ෂණය කළ හැකිය. පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටර්ටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට හා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට විරුද්ධව මහා සංග‍්‍රාමයක් අරඹා තිබේ. පසුගියදා පිලිපීනයේ දකුණු ප‍්‍රදේශයේ ඔසාමිස් හි නගරාධිපති ඔහුගේ බිරිය ඇතුළු එකොලොස් දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ යැයි චෝදනා ලැබ ඝාතයවූ අතර ද නිව්යෝක් ටයිම්ස් පුවත් පත මෙම සිද්ධිය අනාවරණය කරන ලද්දේ ආන්දෝලනාත්මක අයුරින්ය. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයේ ප‍්‍රමුඛ රටවල් මත්ද්‍රව්‍ය පිටුදැකිය යුතු දෙයක් සේ දකින නමුත් එයට අවතීර්ණව සිටින ඩුටාර්ටේ ගේ ස්වභාවය ගැන විවේචනයක් තිබේ. ඇතැම් ප‍්‍රතිවිරුද්ධ මත දරන නායකයන් පවා පිලිපීන නායක ඩුටාර්ටේ මත් ජාවාරම මැඩපවත්වන නියායෙන් තම දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්නට තැත් කරන බවට චෝදනා කර තිබේ. එය තවත් අවධානයට ගත යුතු පැත්තකි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මෑත සිද්ධිය ගැන විවිධ පැති වලින් වාර්තා කර තිබේ. ඝාතනය වූ නගරාධිපතිවරයා ඇතුළු පවුලේ අයගේ මරණ ගැන කතා කරන නගරාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු කියා ඇත්තේ සෝදිසි වරෙන්තුවක් සමග පොලිසිය පැමිණි නමුත් අවසානයේ දී වෙඩි වරුසාවක් එල්ල වූ බවය. ජනාධිපති ඩුටෙර්ටේ ගේ ආරක්ෂක ප‍්‍රධානියෙක් කියා තිබුණේ මෙම නගරාධිපතිවරයා ඇතුළු පවුලේ අය මත්ද්‍රව්‍ය ජාවාරම්කරායන්ගේ ලේඛනයේ සිටි බවය. මත් ද්‍රව්‍ය ජාවාරම් කරන ලද නමුත් පවුල් පිටින් වැනසිය හැකිද? නමුත් පිලිපීන නායකයා කියන අන්දමට ස්වභාවය එපමණකටම භයානකය. සමාජය අති විශාල විනාශයකට ගොදුරු වී තිබේ. එය කොපමණ ද යත් ජනාධිපතිවරයා සිය ජනාධිපතිවරන රැුස්වීම් වලදී ප‍්‍රසිද්ධියේ කියා සිටියේ සියළුම ජාවාරම්කාරයන් ඝාතනය කර රට නිදහස් තැනක් කරන බවය. එය සනාථ කරමින් අද වන විට හත්දහසකට වැඩි පිරිසක් ඝාතනය වී ඇත. මත් ජාවාරම්කරුවන් හෝ ඇබ්බැහිවූවන් වශයෙන් මෙම පිරිස කිසිම නඩුවිභාගයක් නැති තීන්දුවකට යටත් වී ඇත.

රොඞ්‍රිගෝ ඩුටේර්ටේ පිලිපීනයේ ජනාධිපතිධුරයට පත් වූයේ 2016 ජුනි මාසයේ දී ය. එයට කලින් හෙතෙම දවාවෝ හි නගරාධිපතිවරයාය. ජනාධිපතිවරණයට ජන්දය ඉල්ලන අතර හෙතෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළේය ‘‘මගේ ජනතාව දිව්‍ය ලෝකයට යනවා නම්, මම අපායට ගියත් කමක් නැහැ ’’ යනුවෙනි. එසේ කියන්නේ එපමණකටම රට තුළ අවිචාරමත් සමයක් තිබුණ හෙයින්ය. ඔහු බලයට පත් කරන්නට තීරණාත්මක සාධකයක් බවට එම ප‍්‍රකාශය හේතු වූ බව සැලකෙයි. මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නැත්තටම නැති කරනවා යැයි කියා සිටියේ රට අනතුරුදායක තැනක් බව පෙන්වමින්ය. ඩුටාර්ටේ කියන දේ කරන කෙනෙකු සේ ප‍්‍රකටව සිටියේය. හෙතෙම වෘත්තියෙන් නීතිඥයෙකි. කොන්ග‍්‍රස් නියෝජිතයෙකු වශයෙන් දවාවෝ නගරයේ සේවය කළ ඩුටේර්ටේ පසුකාලයක දී පිලිපීන වැසියන්ගේ ජන්දයෙන් එහි උප නගරාධිපති වූ අතර පසුව නගරාධිපති ධුරයට පත්විය. හෙතෙම වසර විසි දෙකක් නගරය පාලනය කරන ලදී. අපරාධකරුවන්ට ඉඩ නොදෙන වැර දරන අයෙකු සේ හෙතෙම ප‍්‍රචලිතය. දවාවෝ නගරය මැරකල්ලි අරක්ගත් තැනක් ව තිබුණි. ඔහුගේ පාලන කාලය තුළ නගරාධිපතිවරයා හුදෙකලාව මැර කණ්ඩායම් සමග සටන් කරන ලද බව සඳහන් වෙයි. එක් අවස්ථාවක ඔහු කියා සිටියේ තමන්ම ඇතැම් ඝාතන කරනලද බව වන අතර තවත් අවස්ථාවක එසේ කළේ නැති බව ප‍්‍රකාශ කළේය. කෙසේ නමුත් ඒ කාලයේ ද ජාත්‍යන්තර මාධ්‍ය ඩුටාර්ටේ හදුන්වා සිටියේ යතුරු පැදියෙන් යන මාරයා වශයෙනි. කෙසේ නමුත් කාලයකට පසු මෙම නගරය ඉතාම සාමකාමී තැනක් බවට පත් විය. එකී අත්දැකීම පදනම් කරගත් රොඞ්රිගෝ ඩුටාර්ටේ ජනාධිපතිධුර කාලය තුළ පිලිපීනයේ මත් ජාවාරම තුරන් කර යහපත් රටක් හදන අධිශ්ඨානයෙහි සිටින බව නිරීක්ෂණය කළ හැකිය.

ඩුටාර්ටේ ගේ මත් ජාවාරම මැඩලන අනන්‍ය ක‍්‍රමය ලෝක නායකයන්ගේ විවේචනට ලක්ව තිබේ. මුලින් හෙතෙම කියා සිටියේ සියළුම දෙනාට බාර වෙන ලෙසය. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා ජාවාරම්කරුවන් අමතමින් ප‍්‍රසිද්ධියේ කියා සිටියේ බාර නොවුනහොත් සහතික වශයෙන්ම මරා දමන බවය. මත්ද්‍රව්‍ය වලට ගොදුරුවූවන්ගෙන් ගැහැට විඳීමින් සිටි දෙමාපියෝ පවා තමන්ගේ දරුවන් වහා පුනරුත්තාපනය විය යුතු අතර වෙන කළ හැකි දෙයක් නැත්නම් ඩුටාර්ටේගේ පිලියම හැර වෙනත් දෙයක් නැති බව දැනගෙන සිටියේය. මානව හිමිකම් සංවිධාන, ආගමික නායකයන් සහ පිලිගත් චරිත ඝාතනය නතර කරන්නැයි ඉල්ලන නමුත් ඔහු කියන්න්නේ වෙන විකල්පයක් නැති බවය.

ලක්ෂ හතලිහක් පමණ මත් ද‍්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති අතර ඩුටේර්ටේ මත්ලෝලීන්ට පමණක් නොව ජාවාරම්කරායක්ට ද එයින් ඈත් වෙන්නැයි බල කළේය. දොලොස් ලක්ෂයක වැඩි පිරිසක් බාර වූ බව එරටින් ලැබෙන නිල වාර්තා දක්වයි. ලෝකයේ අපරාධ වාර්තා අනුව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ තිප්පොලක් බවට පිලිපීනය පත්ව ඇති අතර එහි ඇති දහස් සංඛ්‍යාත දූපත් ව්‍යුහය එයට හොඳ පසුබිමක් සකස් කර ඇති බවය. දේශපාලනය හා මැර තත්ත්වය නඩත්තු කරන්නට මත් ද්‍රව්‍යයෙන් දූෂිත සමාජ ක‍්‍රමයට පිටුවහලක් බව ඩුටාර්ටේ ගේ තර්කයයි.

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු හෙතෙම ජනමාධ්‍යවේදීන් අමතා කියා සිටියේ ‘‘මෙම ක‍්‍රමයෙන් දූෂිත වී ඇති අගතිගාමී මාධ්‍යවේදීන්ට මරණය අත්වන’’ බවය. පිරිසිදු නැති අය පාඩමක් ඉගෙන ගත යුතු බව වැඩිදුරටත් කියා සිටියේය. වර්ග කිලෝ මීටර් ලක්ෂ තුනකින් සමන්විත පිලිපීනයේ ජනගහනය මිලියන සියයකි. ජනගහනය වැඩිම රටවල් ලේඛනයේ දොලොස්වැනි තැන හිමි කරගෙන තිබේ. ජාත්‍යන්තර ලේඛන වල පිලිපීනය මත්ද්‍රව්‍ය වට ගොදුරු වූ රටක් වශයෙන් හැඳීන්වෙන අතර එය කෘෂිකර්මයට ප‍්‍රසිද්ධ රටට විශාල අවමානයක් ඇති කර දී තිබේ.

මෑත කාලය තුළ ශ‍්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන අනාවරණ ගණනාවක් සිදුවිය. විශාල ප‍්‍රමාණයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය රට හරහා එහා මෙහා යන බව පෙනෙන්නට තිබිණ. රටට ගෙන එන ලද කන්ටේනර්වල තිබුණ මත් ද්‍රව්‍ය තොග ගැන අවධානය යොමු කරන විට එය භයානක තත්ත්වයක් බව නොකිවමනාය. මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් තද නීති රට තුළ තිබේ. සීමාව ඉක්මවා මත් ද්‍රව්‍ය ළගතබා ගැනීම මරණ දඩුවම නියම වන වරදක් බව දණ්ඩ නීති සංග‍්‍රහයේ දක්වා ඇත. නමුත් ලැබෙන වාර්තා අනුව දරුවන්ගේ සීනි බෝල වල සිට වයස්ගත අය හපන බුලත් විට දක්වා විවිධ වේශයෙන් මත් ද්‍රව්‍ය භාවිතාවට නැඹුරු වී තිබේ. එය ඉතා විනාශකාරී තත්ත්වයකි.

මත් ද්‍රව්‍ය ජාවාරම නතරකර එහි ගොදුරු වූවන් ගලවා ගැනීමට කිසියම් විද්‍යාත්මක පියවරක් අවශ්‍යය. වර්තමානයෙහි මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයට යවන අතර එහි රඳවා තිබේ. එම පිරිස දහස් ගණනක් බව දැක්වෙයි. පුනරුත්තාපනය වෙනුවෙන් ස්වේච්ඡුා සංවිධාන ගණනාවක් ක‍්‍රියා කරන නමුත් රට තුළ ඇති ස්වභාවය ගැන නිවැරදි අවබෝධයක් නැති බව පෙනේ. එය බලවත් අවධානයට ලක් විය යුතු තත්ත්වයකි. තරුණ පෙල මත්ද්‍රව්‍ය වලට ගොදුරු වුවහොත් එය රටට හානියකි. දරුණු ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන්ගැන මාධ්‍යවලින් කරන අනාවරණ පෙන්වන්නේ එහි අභාග්‍යසම්පන්න තත්ත්වයයි. පිලිපීනයෙහි අද සිදුවන දේ ගැන මෙරට අවධානය යොමු විය යුතුය. රොද්‍රිගෝ ඩුටාර්ටේ ප‍්‍රසිද්ධියේ ඝාතකයෙකු බවට පත්ව ඇති අතර එය ඔහුගේ පුද්ගලික උවමනාවක් නොවේ. රට විනාශ මුඛයෙන් ගලවා ගන්නට එය හැර අන් යමක් කරන්නට බැරි තත්ත්වයට පිලිපීනය පත්ව ඇත. සුළුවෙන් පැවැති මත් උවදුර මේ හා සමාන විනාශයක් කරන තෙක් පියවර නොගත් පිලිපීනය රටට අනාවරණය කරන පැති තේරුම් ගැනීම වැදගත්ය.

මත් ද්‍රව්‍ය ජාවාරම නීති පැනවීමෙන් තුරන් කළ හැකි දෙයක් නොවේ. සමාජ අවබෝධය අවශ්‍යය. ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා රටේ නායකයන් මෙහි විපත ගැන අවධානයෙන් සිටින්නට අවශ්‍යය. පිලිපීනය වැනි ක‍්‍රමයකින් රටේ මත් ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට වඩා දූරදර්ශීව ක‍්‍රියා කරන්නට ශ‍්‍රී ලංකාවට හැකියාවක් තිබේ. තත්ත්වය බරපතල නොවෙන්නට කලින් ජාවාරමට වැට බැඳ, ඇබ්බැහි වූවන් එයින් මුදවා ගෙන රටේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීම සුදුසුය.