» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/05/2018 - ඉරිදා ලංකාදීප
කෘෂිකර්මයේ පුනරුදය ගැන ඉතිහාසයේ සිට නොසැලකිල්ල

කෘෂිකර්මය දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් තිබිය යුතු බව ඉතිහාසයේ සිට අවධානයට ලක්ව තිබේ. යෝජනා ඉදිරිපත් කර ඇති අතර අදහස් සමාජගත කරයි. එනමුත් ආපසු හැරී බලන විට මෙරට කෘෂි අංශය දිනෙන් දින අඩාල වී තිබේ. 1935 වසරේ දී එවකට කෘෂිකර්ම අමාත්‍ය ඞී. එස්. සේනානායක මහතා කෘෂිකර්මය ගැන කෘතියක් ලියා පළ කර තිබේ. එම කෘතියේ පිටපත් පරිහරණයේ නැති අතර සොයා ගැනීමට අපහසුය. ඉංග‍්‍රීසියෙන් ලියා ඇති එය Agricultural and Patriotism යනුවෙන් දැක්වෙයි. කෘෂිකර්මය හා දේශානුරාගය නැතිනම් කෘෂිකර්මය හා දේශපේ‍්‍රමය වශයෙන් දැක්විය හැකිය. ජාතියේ පියා වශයෙන් ගෞරවාදරයට ලක්වන මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතා වසර අසූ තුනකට කලින් කියා ඇති දේ අදටත් වලංගු බව සඳහන් කළ යුතුය.

ඞී. එස්. සේනානායක මහතා සිය කෘතියේ පෙරවදන වෙනුවෙන් ලියා ඇති දේ සාරාංශ කළ හැකිය. ‘‘කෘෂිකර්මය ධනය උපයන හෝ අස්වැන්න වැඩි කරගන්නා එකක්ම නොවේ. එය කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් නොවන අතර එය අත්‍යවශ්‍යයෙන්ම පොදු ජනතාව නිරතවන පුද්ගල සේවා අංශයක් වන අතර ජාතික අවශ්‍යතා පදනම් කරගෙන මෙරට ඉඩම් පරිහරණය සම්බන්ධ අවස්ථාවකි. ගොවියන් ගේ ජීවන පැවැත්ම ආරක්ෂා වන අතර එයින් උපයන ලාභය දේශයේ ජීවනාලිය බව’’ දක්වා ඇත.

ආහාර සැපයුම, ඉඩම් ප‍්‍රතිපත්තිය, නාගරීකරණය, වාරිමාර්ග, කෘෂි ණය ගෙවාගත නොහැකි ගොවීන් වෙනුවෙන් විසදුමක්, කෘෂි අධ්‍යාපනය, ජනතාවගේ පෝෂණ මටට්ම, පශු සම්පත් සංවර්ධනය, සාමූහික ක‍්‍රියාකාරීත්වය, කෘෂි නිෂ්පාදන අලෙවිය හා කෘෂිකර්මයේ ශ‍්‍රම අර්බුදය යන අනු මාතෘකා යටතේ මෙම කෘතිය ඉතා සාරවත් අදහස් ඉදිරිපත් කර තිබේ. දශක අටකට කලින් වකවානුවක කෘෂිකර්ම අමාත්‍යවරයා දෙස් විදෙස් තත්ත්ව සමාලෝචනය කර විෂයානුබද්ධ කෘතියක් සම්පාදනය කිරීම විරල අවස්ථාවකි. එදා මෙදා තුර කෘෂිකර්ම විෂය භාරව කටයුතු කරන ලද මෙරට මැති ඇමැතිවරු අතින් මෙපමණ විශිෂ්ඨ අධ්‍යයනයක් කෙරී නැත. තනතුර සමග යැපෙන, බලය හා වරප‍්‍රසාද ගැන පමණක් ඇමැතිවරු අවධානය යොමු කර තිබේ. කෘෂි අංශයේ පරිහානියට පත් වීමට එය ද හේතු වී ඇති බව මෙමගින් තේරුම් ගත හැකිය.

හොඳ අධ්‍යාපනයක් ලබා ඇති මැද පන්තියේ ජන කොටස කෘෂි ක්ෂේත‍්‍රයට අවතීර්ණ විය යුතු බව මහාමාන්‍ය සේනානායක මහතා සිය කෘතියේ අවධාරණය කර ඇති වැදගත් කාරණයකි. මැද පන්තියේ ජන කොටස කෘෂිකර්ම කටයුතු වලට සම්බන්ධ නොවුනහොත් ප‍්‍රශ්න ඇතිවිය හැකි බව එතුමා එදා කියා ඇති දේ අද සත්‍යයක් වී ඇත. ‘‘ නීතිඥයන්, රජයේ සේවකයන් හෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ඉතිරි කිරීම් වලින් ඉඩම් මිල දී ගෙන තමන්ගේ වත්කමක් සේ පවත්වාගෙන යා යුතු නැති අතර කෘෂිකර්මයෙහි නිරතවී ගොවිපොල ඇසුරේ ජීවත් විය යුතු බව’’ පෙන්වා දී තිබේ. ‘‘ඉගෙනගත්, ආදායමක් ඇති සමාජ කොටසට ගොවි ජනතාවගේ දුක තේරුම් යා යුතු අතර කෘෂිකර්මය නගා සිටුවන්නට එම පිරිස කැප විය යුතු’’ බව එතුමා අවධාරණය කර ඇති කරුණකි. ‘‘මැද පන්තිය ශක්තිමත් කළ යුතුයි. අලූත් දේ සොයා ගන්නේ යමක් කළ හැකි පිරිස. ඒ අය අලූත් දේවල් කර සමාජයේ අනෙක් කොටසට බෙදා දෙන්නට පියවර ගත යුතු’’ බව ද කියා තිබේ. සාර්ථක ගොවිතැනකින්, සාර්ථක ව්‍යවසාය ඇති කරගත හැකි අතර සාර්ථක ජීවන මට්ටමක් ඇතිවන බව මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතා පෙන්වා දී ඇති දර්ශනයයි.

මුළු රටේම වී ගොවිතැන තිබුණා. ඉහළ පැලැන්තිය වී ගොවිතැන අමතක කර තිබේ. ගමේ දුප්පත් ගොවියා වී ගොවිතැන වෙත තල්ලූ කරලා. ආහාර වලින් රට ස්වයං පෝෂණය කරගත යුතුව තිබේ. රට රටවලින් ආනයනය කිරීම හොඳ නැහැ. යනුවෙන් එහි කියා ඇත්තේ අද අලූත් වාක්‍යවලින් කියන ‘‘ෆුඞ් සිකියුරිටි - ආහාර සුරක්ෂිතතාව’’ බව සඳහන් කිරීම අවශ්‍යය. ‘‘තේ, රබර් හා පොල් වගාව එක්ක ආදායම් ඇති අය එකතු වුණා. ඒක හරියටම තමන්ගේ තත්ත්වයට කළ දෙයක්. ඒවා අපේ දේවල් නොවේ. මෙම වගාවන් නිසා අපේ දේවල් සමාජයෙන් ඈත් වුණා. අපනයන ආර්ථිකයට යොමු වුනාම අපගේ රටට අවශ්‍ය කෘෂි ආර්ථිකය හැදුනේ නැහැ යනුවෙන්’’ එතුමා ඇත්ත ප‍්‍රකාශ කර තිබේ. අපේ රටේ කෘෂි කර්මයෙහි නිරත පිරිස සියයට විස්සයි. ඉන්දියාවේ ද ඒ හා සමානයි. නමුත් බි‍්‍රතාන්‍යයේ සියයට 33 ක් සහ ජර්මනියේ සියයට 38 ක් බව සඳහන් කරන Agricultural and Patriotism කෘතිය ජාත්‍යන්තරය සමග තරග කරන ගොවිතැනකට අවතීර්ණ විය යුතු බව එහි මැනවින් අවධාරණය කර තිබේ. අද වන විට ශ‍්‍රී ලංකාවේ අපනයන කෘෂි කර්මය අර්බුදයට ලක්ව ඇත. ඉඩම් හිමි වැවිලිකරුවෝ වගාවෙන් ලාභ සොයන අතර ගොවි ජනතාවගේ ජීවිත ඉතාම දුෂ්කර තැනකට පත්ව තිබේ. මෙම යතාර්ථය තේරුම් ගැනීම වැදගත්ය.

‘‘විශ්ව විද්‍යාල වලින් පිට වන අයට රැකියා නැහැ. මැද පන්තියේ හැම කෙනෙක්ම රජයේ රැකියා බලාපොරොත්තු වෙනවා. මෙම සියළු දෙනාට රජයේ සේවයට ඇතුළු වෙන්නට බැහැ. ගැලවීමට ඇති එකම අවස්ථාව ගොවිතැනට ප‍්‍රවේශ වීමයි. කෘෂි කර්මය රටේ ධනය උපයන මාර්ගය වන අතර ඉදිරියටත් එයම බව ද මෙම කෘතියේ තවත් තැනක දක්වා තිබේ.

මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතා ගේ දැක්ම අදට ගලපා ගන්නේ කෙසේද? ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මයේ අර්බුදය මෙම කෘතිය ඇසුරෙන් තේරුම් ගැනීමට අපට හැකියාවක් තිබේද? මෙරට කෘෂි අංශය භාර මැති ඇමැතිවරු, නිලධාරීන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙම කෘතිය කියැවිය යුතුය. අලූත් පරම්පරාව මෙරට ගොවිතැන ගැන මෙමගින් කර ඇති අනාවරණය අධ්‍යයනය කළ යුතුය. මැද පන්තිය ඉවත්වීම ගොවිතැන කොන් වීමට බලපාන එක සාධකයකි. එය අවංකව තේරුම් ගැනීම වටී. දශක අටක් තිස්සේ මෙම පැති ගැන සොයා නොබැලීම හෙයින් තව දුරටත් ගොවිතැන සමාජයේ පහල ස්ථරයේ වෘත්තියක් බව තහවුරු කර තිබේ. එය ශ‍්‍රී ලංකාවේ දුර්වලතාවයකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගොවිතැන වඩා අවධානයට ලක් නොවූ අලූත් අධ්‍යයන හා පර්යේෂණ වලට භාජනය නොවූ ක්ෂේත‍්‍රයක් වශයෙන් පවතී. අලූත් දැනුම සහිත නවෝත්පාදක අදහස් ඇති මධ්‍යම පැලැන්තයේ ජන කොටස කෘෂි අංශය වෙත යොමු වූවා නම් අද පවතින අර්බුදය හට නොගන්නා බව පැහැදිලිය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් ගොවිතැන අඩු ආදායම් ලාභී අයගේ යැපෙන මාර්ගයක් සේ කොන් කර ඇති අතර එයට තිබුණ ගරුත්වය දුර්වල කර තිබේ. ගොවියන් දුප්පත්කමින් මුදවන ක‍්‍රියාමාර්ග යෝජනා කරන අතර අනෙක් සමාජ ස්ථර වල ජන කොටස් කෘෂි අංශයට යොමු කිරීමට සැලසුම් සකස් කරන්නේ නැත. එය දුබලතාවයකි. අදටත් ගොවිතැනේන දී සහන දෙන්නේ පහළම කොටසටය. එම කොටස සහන වලින් ජීවත් වන අතර ක්ෂේත‍්‍රය දියුණුකරන්නට යොදවන ප‍්‍රාග්ධනයක් සේ සලකන්නේ නැත. ශ‍්‍රී ලංකාවේ මැදි ආදායම් ලබන ජන කොටස කෘෂිකර්මයට යොමු කරන වැඩ පිලිවෙලක් අවශ්‍යය. මහ පොලව සමග සම්බන්ධ නොවී පැවැත්මක් නැත. මැදි ආදායම් ජන කොටස ඉඩම් මිල දී ගෙන කුලී කරුවන් ලවා අපනයන භෝග වගා කර වැවිලිකරුවන් බවට පත්වීම නිරර්ථක උත්සාහයක් බව පෙන්වා දිය යුතුය.

අද රට තුළ කෘෂි අංශයෙහි අර්බුදයක් තිබේ. එළවලූ පලතුරු ඇතුළු සියළු භෝග වගා කරන ගොවියෝ අසරණය. අල හා ලූනු විකුණන්නට නම් බදු වැඩිකරන ගැනට රට පත්ව තිබේ. එයින් පාරිභෝගිකයා අසරණ වෙයි. එලවලූ ගොවියෝ අස්වැන්න කසල ගොඩවල් වලට හලා යන බව අනාවරණය වෙයි. වට්ටක්කා වගා කළ ගොවියෝ ඒවායෙන් දන් සැල් දෙන බව පෙනේ. කෘෂිකර්මය ගැන රට තුළ දර්ශනයක් නැත. ප‍්‍රශ්නයට මුල එයයි. මෙරට විසූ ජන නායකයෝ දර්ශනය ඉදිරිපත් කර තිබේ. ජාත්‍යන්තරයට ගොස් රටේ කෘෂිකර්මය හා එහි උරුමය ගැන කරුණු පෙන්වා දී ඇත. පොතපත ලියා තිබේ. මේවා ආදර්ශයට ගැනීම වැදගත්ය. අද පවතින දුබලතා වටහා ගෙන අලූතින් කෘෂි යුගයක් ආරම්භ කිරීමට තීරණය කළ යුතුය. ගොවිතැන ජන ජීවිතයේ පදනම කරගත යුතුය.