» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/01/2019 - ඉරිදා ලංකාදීප
ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථිකය සමග සමාජයේ ප‍්‍රවනතා

බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ යම් ආකාරයක ගැටළු මතු වී ඇත. ආර්ථික සහ සමාජ දියුණුව සීමාසහිත බවට විශාල මතවාදයක් අලූතින් මතුවෙමින් තිබේ. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහිත රටවල ආර්ථිකයේ පවතින දුබලතා, අර්බුද හා සමාජ විෂමතා මෙකී ස්වභාවය තහවුරු කරන බව පෙනේ. ලිබරල් ලක්ෂණ අඩු සහ යම් ප‍්‍රමාණයකට අධිපතිවාදී පාලන ක‍්‍රම තුළ ආර්ථික දියුණුව සෑහෙන ඉහළ මටට්මක බව මැදහත් විචාරකයෝ පවා ප‍්‍රකාශ කරන්නට නැඹුරු වී සිටිති. පුද්ගල නිදහස නැති රටක ප‍්‍රගතියකින් පලක් නැති බව ප‍්‍රකාශ කරමින් සිටි පාර්ශව, වේගවත් ආර්ථික වර්ධනයක් ඉල්ලමින් සිටී. ආර්ථිකයේ දියුණුව උදෙසා සිය නිදහස යම් ප‍්‍රමාණයකට සීමා කරන තද පාලන ව්‍යුහ සඳහා කැමැති වෙමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථික ක‍්‍රමය එකට එකතු වූ පසුබිම තුළ ආර්ථික වර්ධනයකට අවකාශ සහිත බව මුල් වකවානුවේ දී විශ්වාස කළේය. බටහිර රටවල ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම තුළ අලූතින් ලැබුණ අවස්ථා එයට පාදක විය. ලෝක ආර්ථිකයේ සංවර්ධන දත්ත එය තහවුරු කළේය. 1990 වසරේ දී ලෝක ආදායමෙන් සියයට දොලහක පමණ ප‍්‍රතිශතයක් යම් ප‍්‍රමාණයකට නිදහස අඩු රටවල ආර්ථිකයට නතුවී තිබුණි. එයින් අදහස් කළේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අඩු රටවල්ය. ෆ‍්‍රීඩම් හවුස් ආයතනය එම හෙළිදරව් කිරීම කළේය. ෆ‍්‍රීඩම් හවුස් නිදහස සම්බන්ධ දර්ශකය අනුව නව ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින රටවල් වල බලපවත්වන ලද විවෘත ආර්ථික ක‍්‍රමය සාර්ථක ප‍්‍රතිඵල අත් කර දුන්නේය.

නමුත් මෑත කාලය තුළ එම රාමුව වෙනස් වී තිබේ. වර්තමානයේ සලකා බැලීම එහි අනෙක් පැත්ත වන අතර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථිකය ගැන පැවැති පිලිගැනීම ආපසු හැරෙමින් තිබේ. ෆ‍්‍රීඩම් ආයතනය සඳහන් කරන පරිදි මෑත කාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස සීමා සහිත රටවල ආර්ථිකයේ ප‍්‍රතිශතය ලෝකයේ සමස්ථයෙන් සියයට 33 දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරි වසර පහ තුළ එම ස්වභාවය ලෝක ආර්ථිකයෙන් හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වනු ඇතැයි සැලකේ. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අඩු චීනය, රුසියාව, සවුදි අරාබිය වැනි රටවල් ආර්ථික අතින් වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තරයේ පිලිගැනීම වී තිබේ. නරෙන්ද්‍ර මෝදි අගමැතිවරයා ගේ තද පාලනය ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අභිබවා ඇති අතර එය ආර්ථිකයේ වර්ධනයට හේතුවක් වී ඇත. සිංගප්පූරුව ආර්ථික අතින් දියුණු වී ඇති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අඩු තවත් රටක් වශයෙන් දක්වයි. වියට්නාමය එම ලේඛණයට ඇතුළු වෙමින් තිබේ. මෙම රටවල් වල පාලන ක‍්‍රම ඉදිරියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපෑම් සිදුවී ඇති බව නොරහසකි. නමුත් ආර්ථික වර්ධනය අතින් ප‍්‍රබල ස්ථානයකය.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති සහ විවෘත ආර්ථිකයේ ලක්ෂණ දියුණුව කෙරෙහි අඩුවෙන් බලපාන්නේ කෙසේද? ඒවා අලූතින් සලකා බලන්නට අවශ්‍යය. තීන්දු ගැනීමේ ක‍්‍රියාවලිය දුර්වල වනවා විය හැකිය. වේගයෙන් ක‍්‍රියාත්මක වීම වෙන්නට බැරි නැත. හොඳ සැලසුම් හා ඒවා කාලානුරූපීව වෙනස් කිරීමේ ප‍්‍රතිඵලයන් වෙන්නට ද, ඉඩ තිබේ. තවත් වාර්තාවක් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ දියුණුම රටවල් පහලොවක ලැයිස්තුවකින් තුනෙන් දෙකක් නව ලිබරල් ප‍්‍රතිපත්ති සහිත රටවල් නොවේ. ඇමරිකාව පවා විශාල සංවර්ධනයක් බව පෙන්වන නමුත් ජනගහනය අතර ආදායම බෙදීයාමේ විෂමතා පුලූල් වී ඇත. 1970 දී ඇමරිකාවේ සමස්ථ ආදායමෙන් සියයට අටක් පුරවැසියන් අතරින් සියයට එකක පිරිසක් අතට පත් වී තිබුණි. අද එම සියයට එකක පිරිස අත එරට සමස්ථ ආදායමෙන් සියයට විස්සක් බෙදී ගොස් ඇති බව ප‍්‍රකාශ වෙයි. ලෝකයේ නව ලිබරල් ප‍්‍රතිපත්ති ඉතාම ඉහළින් භාවිතා වන රටක ආර්ථිකයේ විෂමතා එවැනි මට්ටමක බව විශේෂඥයෝ පෙන්වා දෙන ඉතාම වැදගත් කාරණයකි.

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් සහිත රටකි. 1931 වසරේ සිට ජනතා ඡන්දයෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රම අනුගමනය කර අත්දැකීම් තිබේ. 1977 අවුරුද්දේ බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එතෙක් පැවැති සංවෟත ආර්ථික ක‍්‍රමය වෙනස් කර විවෘත ආර්ථිකය හදුන්වා දෙනු ලැබුවේය. සමාජයට එය විශාල ආර්ථිකයක අවස්ථා උදා කළේය. ආනයන අපනයන අංශ වල තිබුණ තද නීති රීති ලිහිල් කළ අතර ආගමන හා විගමන අංශ පහසු කළේය. මෙරට ජනගහනයෙන් විශාල කොටසක් එය ප‍්‍රතිලාභ අත්පත් කරගත හැකි අවස්ථාවක් වශයෙන් කල්පනා කළේය. ජනතාව තුළ යම් ආකාරයක ආශ්වාදයක් ඇති කරන ලද බව සඳහන් කළ යුතුය. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය හා විවෘත ආර්ථිකය මගින් ජීවිත වල සෑහෙන වෙනස් කම් කර ඇති නමුත් එය මතබේධාත්මකය. ලිබරල් ප‍්‍රවනතා රහිත පාලන ක‍්‍රමයක දී ජන ජීවිතය වඩාත් දියුණුවට පත්ව ඇති බව ප‍්‍රකාශ වෙයි. මෙම විවාදය තුළ පැන නැගෙන ගැටළු ගණනාවකි.

රට තුළ පරිවර්තනයක් සිදුවී ඇත. මහා මාර්ග, ඒවායේ ධාවනය වන වාහන, අලූත් දැවැන්ත ගොඩනැගිලි, සංකීර්ණ ආයෝජන ව්‍යුහ පමණක් නොව ලෝකයේ රටවල් අතර පවත්වන සම්බන්ධතා පවා දියුණු තියුණු වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය අනුව අත්පත් කරගෙන ඇති මෙම වෙනස්කම් ජන ජීවිතය සාක්ෂාත් කර තිබේද? මෙම පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් යැයි ප‍්‍රකාශ කළ හැකිද? දේශපාලනඥයෝ ඉතාම පටු අරමුණු සහිතව ආත්මාර්ථකාමීව ක‍්‍රියාකරන බව පැහැදිලිව පෙනේ. බලය ගන්නා දේශපාලනඥයෝ ජනමතය ගැන නොසලකා හැසිරෙති. දේශපාලනඥයන් පිලිකුල් කරන තරමට ක‍්‍රමය විකෘති වී තිබේ. සංවර්ධනය අත්පත් කරගෙන ඇති නමුත් ජීවිත ගොඩනැගී නැත. පුරවැසියෝ අලූත් වටයකින් වෙනස් ප‍්‍රශ්න සැහෙන ප‍්‍රමාණයකට ගොදුරු වී ඇත. දේශපාලනය ධනය හා බලය උපයන ව්‍යුහයක් බවට පත් කරගෙන තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වලින් සමන්විත පාලනයක් යැයි කල්පනා කළ හැකිද? ලෝකයේ බොහෝ රටවල සිදුවන ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය හා විවෘත ආර්ථිකය අද දරුණුු ප‍්‍රශ්න කිරීම් වලට ලක්ව තිබේ. එහි සාර්ථකත්වය ගැන යම් විරෝධයක් නැගී ඇත. එය ලිබරල් රටවල පවතින උසස් තත්ත්වයේ නොවන අතර ක‍්‍රමය අසතුටුදායක බව හඩගා කියන්නට සෑහෙන පිරිසක් නැඹුරු වී ඇත. සමාජ බෙදීම් වලට හේතු වී ඇති බව සඳහන් කරන අතර දුප්පත් හා පොහොසත් පාර්ශව අතර පරතරය ඉතා පුලූල්වීම සෑහෙන අයහපත් ආකාරයකට බලපා තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ගැන ප‍්‍රශ්න කිරීමක් තිබේ. සංවර්ධන වේගය අඩාලවීම ජන ජීවිතය අපහසුතාවයට පත් කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්ය. ජනතාව වෙනුවෙන් යුක්ති සහගත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තහවුරු කරන අතරවාරයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට පාලකයන් පියවර ගත යුතුව තිබේ. එය පහසු නැත. අභියෝගයකි. පවතින සම්ප‍්‍රදායික ව්‍යුහයෙන් ගැලවී අලූත් ස්වභාවයකට පරිවර්තනය කළ යුතු අවස්ථාවකි. පවතින දුබලතා ජනතාවට තේරුම් කර දිය යුතුය. ජනතාවගේ සහභාගීත්වයෙන් සංවර්ධනය නව ප‍්‍රවේශයකට යොමු කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලිබරල් ප‍්‍රතිපත්ති, විවෘත ආර්ථිකයේ ලක්ෂණ සහ ජනතාව අතර පවත්වන සාධනීය සංවාදය රට වෙනත් මගකට යොමු කරනු ඇත.