දූෂණ විරෝධී තීරණගැනීම ලෝකයේ ඇතැම් ප‍්‍රබල නායකයන් අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් බවට පත් වෙමින් තිබේ. දූෂණ හා වංචා දුරු කිරීම අරමුණු කරගෙන ගනු ලබන තීරණ යුක්තිගරුක සහ සාධාරණ විනිශ්චයක් සහිත යැයි පැහැදිලි කරන්නට හැකියාවක් නැත. නමුත් ජනතා අවධානයට ලක්ව තිබේ. දූෂිත වැඩ පිලිවෙල තුරන් කරන්නට තම නායකයා කැපවී ඇති බව පෙන්නුම් කරන ප‍්‍රබල සංකේත බවට යම් යම් තීරණ ඉවහල් වී ඇත. චීන හා සවුදි අරාබි නායකයන් හැසිරෙන අන්දම හොඳ උදාහරණ සේ සැලකිය හැකිය. මෙම රටවල් දෙකම අනන්‍ය පාලන ක‍්‍රම අනුගමනය කරන අතර බලවත් චරිත සේ නැගී සිටින නායකයෝ එකී තීරණ ස්වකීය අරමුණු මුදුන් පත්කරගනු සඳහා උපයෝගී කරගෙන ඇත්තේ කෙසේදැයි අවධානයට ලක් කිරීම ඉතාම වැදගත්ය.
චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් එරට අති විශාල දූෂිත ජාවාරම් වලට එරෙහිව සටන් ආරම්භ කරන ලද අතර එකී ව්‍යායාමය ඔහුගේ ප‍්‍රබල තීරණ වල තරම තහවුරු කර තිබේ. ඒ අතරවාරයේ පසුගියදා සවුදි අරාබියෙන් වාර්තා වූ කරුණු අනුව එරට ඔටුන්න හිමි කුමාරයා සේ සැලකෙන මොහමඞ් බින් සල්මාන් එරට දූෂණ මැඩපැවැත්වීම උදෙසා ගත් තීරණ ජාත්‍යන්තර මාධ්‍ය තුළ තවත් විශාල ආන්දෝලනයක් ඇති කරන ලද බව නිරීක්ෂණය කළ හැකිය.
චීනය එරට කොමියුනිස්ට් පක්ෂයේ දහ අට වැනි සම්මේලනයේ සිට දූෂණ විරෝධී ව්‍යාපාරයක් අරඹයි. ජනාධිපති ධුරයට පත් ෂී ජින්ග් පින්ග් කොමියුනිස්ට් ක‍්‍රමය විවෘත ආර්ථික හර පද්ධතියට යොමු වන අවස්ථාවේ දී පක්ෂයේ සහ පාලන අංශයේ වගකීම් උසුලන පිරිස දූෂණවල නිරත බවට නැගෙන චෝදනා අවධානයට ගත්තේය. අභ්‍යන්තර තත්ත්වය සියුම්ව ගවේශණය කරන ලද ජනාධිපති ෂි ජින්ග් ඉකුත් කාලය තුළ චීනයේ ප‍්‍රධාන පෙලේ පුද්ගලයකුන් හැත්තෑ දහසකගෙන් පමණ සැක කටයුතු දූෂිත තත්ත්ව සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර ඇති බව ෂින්හුවා ප‍්‍රවෘත්ති ඒජන්සිය නොබෝදා නිවේදනය කළේය. චීන නායකත්වය වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවත්වන නොනවතින මෙහෙයුම ඉහළ සිට පහල දක්වා පාලන තන්ත‍්‍රය පිරිසිදු කරන බව ද එම නිවේදනයෙහි දක්වා තිබුණි.
චීන ජනාධිපතිවරයා දූෂණයට විරුද්ධව කි‍්‍රයා කිරීම ජනප‍්‍රිය සටන් පාඨයක් කර ගත් අතර කොමියුනිස්ට් පක්ෂය තුළ පක්ෂ සාමාජිකත්වය වෙනුවෙන් ක‍්‍රියාකරන අධිකරණයක් පිහිටුවීය. එරට ඉතා බලවත් ව්‍යුහයක් වූ අතර චීන නීති රාමුවටත් ඉහළින් තීරණ ගනිමින් වරදකරුවන් අත්අඩංගුවට ගෙන දඩුවම් කරන්නට හැකි එකකි. එහි පරීක්ෂණ වලදී හෙළිදරව් වූ කරුණු අනුව නාගරික ප‍්‍රදේශ වල මිලියන 1.3 ක් හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල ලක්ෂ හයකට වැඩි නිලධාරීන් හා පක්ෂ නියෝජිතයන් ද`ඩුවම් ලබා ඇති අතර බලයේ සිටින ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය සිය පාලනයේ නොකළ යුතු අප‍්‍රසන්න කරුණු සඳහන් වගන්ති අටකින් යුතු ප‍්‍රඥප්තියක් ද සම්මත කර තිබේ. වසර පහකට කලින් ප‍්‍රකාශයට පත් කළ එයට අනුව සැක සහිතව කටයුතු කරන පුද්ගලයන් ගැන කරන ලද පරීක්ෂණ අවසානයේ දී වරදකරුවන් කර ඇත්තේ මෙම ප‍්‍රඥප්තිය උල්ලංඝනය කරන ලද පිරිස බව සඳහන්ය.
චීන කොමියුනිස්ට් පක්ෂය දූෂිත පුද්ගලයන් ලෝකයේ ඕනෑම තැනක දී කොටු කරගත හැකි පරිදි විශේෂ මෙහෙයුම් පවත්වාගෙන යන අතර ස්කයි නෙට් නමැති එකී පියවර අනුව රටවල් අනුවක සැඟවී සිටි පුද්ගලයන් 3,339 ක් ඉකුත් අගෝස්තු අවසන් වන විට නැවත රටට ගෙන්වාගෙන තිබේ. මෙයින් 628 දෙනෙකු හිටපු නිලධාරීහු වන අතර එම පිරිසගෙන් ආපසු පවරාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් බව ක්ෂින්හුවා පුවත් ඒජන්සිය තවදුරටත් කියයි. එරට ජාතික බියුරෝව කරන ලද සමීක්ෂණයක් අනුව මෙකී දූෂණ විරෝධි වැඩ පිලිවෙලෙහි ක‍්‍රියාත්මක ස්වභාවය ගැන චීන වැසියන්ගෙන් සියයට 92.9 ක් කැමැති බව දැක්වෙයි.
චීනය එසේ ක‍්‍රියාත්මක වන අතර සවුදි අරාබියේ ස්වභාවය ද එයට සමානය. සල්මාන් බින් අබ්දුල් අසීස් රජු ගේ මග පෙන්වීම අනුව ආරම්භ කර ඇති සවුදි අරාබියේ දූෂණ විරෝධී කමිටුව ක‍්‍රියාත්මක වන අන්දම ද සවුදි වැසියන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනේ. මුලින් දක්වන පරිදි ඔහුගේ පුත‍්‍රයා වන සල්මාන් කුමාරයා දූෂණ විරෝධී බලවේගය අතට ගෙන තිබේ. රජ පවුලට සම්බන්ධ ඔහුගේ ඥාති සොහොයුරන් ඇතුළු කුමාරවරු එකොලොස් දෙනෙකු මුදල් වංචා හා දූෂණ චෝදනා පදනම් කරගෙන අත් අඩංගුවට ගෙන තිබේ. එයට අමතරව අමාත්‍යවරු හතරදෙනෙකු සහ හිටපු අමාත්‍යවරු දස දෙනෙකු සහ ආයෝජකයන් සෑහෙන පිරිසක් ද කමිටුවේ වැටලීම් වලට ගොදුරු වී ඇත. මෙම පිරිස රියාද් හි සුවිසල් හෝටලයක නතර කර ප‍්‍රශ්න කරන අතර පවුලේ අයට පවා මුණ ගැසෙන්නට ඉඩ නොදෙන බව අනාවරණයවෙයි. සවුදි අරාබියේ ආරක්ෂක ප‍්‍රධානියා සේ ක‍්‍රියා කරන ලද අබ්දුල්ලාහ් කුමාරයා ද අත් අඩංගුවේ පසුවෙයි. බලය උපයෝගී කරගෙන රැකියා සැපයීම හා හමුදාවට අවශ්‍ය කරන මෙවලම් හා වෙඩි නොවදින ඇªම් ටෙන්ඩරයක් ඔහුගේ සමාගමකට පැවරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
සවුදි අරාබියේ ප‍්‍රකට ආයෝජකයන්, ධන කුවේරයන් දූෂණ විරෝධී කමිටුවේ අත් අඩංගුවේ සිටී. මෙම වැටලීම් ගැන ලැබෙන තොරතුරු හෙයින් සවුදි අරාබියේ සාමාන්‍ය වැසියන් අතරින් යම් කොටසක් ඉතාමත් ප‍්‍රීතියෙන් පසුවෙන බව ද ජාත්‍යන්තර මාධ්‍ය මගින් අනාවරණය කරන අවධානයට ලක් විය යුතු වැදගත් කරුණකි. සවුදි අරාබියේ ජනගහනයෙන් හරි අඩක් අවුරුදු විසි පහට අඩු තරුණන්ය. මෙම තරුණ පිරිස වෙනස් අදහස් ඇති සහ රට තුළ මොනවා හෝ සිදුවිය යුතු යැයි හිතන පිරිසකි. ප‍්‍රතිපත්ති නොව පවතින ක‍්‍රමය බිඳ වෙනසක් ඇති කිරීම තරුණන්ගේ අවශ්‍යතාව වී තිබේ. පවතින තත්ත්වය තුළ දූෂණ, අක‍්‍රමිකතා පවතින අතර මෙම වංචා සහගත තත්ත්වය වෙනස් කරන්නට ඉක්මනින් මොනවා හරි කරන්නට අවශ්‍ය බව තරුණන්ගේ ආකල්පයයි. සවුදි අරාබියේ මොහොමඞ් බිල් සල්මාන් කුමාරයා ගේ කමිටුවේ කරන දූෂණ වලකන මෙහෙයැවීම් ගැන ප‍්‍රසාදය පළ වෙන්නේ එහෙයින්ය.
චීනයේ හෝ සවුදි අරාබියේ දූෂණ වලක්වනු සඳහා එම රටවල නායකයන් අනුගමනය කරන පියවර යුක්ති සහගත එකක් යැයි මධ්‍යස්ථ අදහස් ඇති ජනතාව කිසිසේත් විශ්වාස කරන්නේ නැති බව පැහැදිලිව සඳහන් කළ යුතුය. කිසියම් දූෂණ හෝ වංචා සහගත තත්ත්වයක් තිබෙන්නට බැරි නැත. පාලකයන් තම බලය තහවුරු කරගැනීම සඳහා දූෂණ විරෝධය මෙහෙයැවන බව අවධානයට ගැනෙමින් තිබේ. විශේෂයෙන් සවුදි අරාබියේ රජු සිය පුත‍්‍රයා ලවා කරගෙන යන වැඩ පිලිවෙල සල්මාන් කුමරුගේ බලය තවදුරටත් තහවුරු කරනු සඳහා අනුගමනය කරන්නක් බව මධ්‍යස්ථ විචාරකයන්ගේ මතය වී තිබේ.
චීනය ලෝකයේ විශාල ආර්ථිකයක් ඇති රටක්. සවුදි අරාබිය තෙල් සම්පත අතින් පොහොසත් රටක්. මෙම රටවල් දෙකම බලවත් නායකයන් බිහි කර ඇති අතර එකී නායකයන් තමන්ගේ පාලනය උදෙසා අනුගමනය කරන දූෂණ වලකන වැඩ පිලිවෙල සංකීර්ණ එකකි. අද වන විට ලෝකයේ ඕනෑම රටක දූෂණය ගැන කතා කිරීම යනු දේශපාලන සටන් පාඨයකි. එය වැලකීමට ගන්නා පියවර සාධාරණ එකක් යැයි ගැනෙන්නේ නැත. තමන්ට අවශ්‍ය අය මඩින, තමන්ට අභියෝගයක් වන බලවේග පාලනය කරනු සඳහා භාවිතා කරන ආයුධයක් වී තිබේ.
චීනයට සවුදි අරාබියට පමණක් නොව ශ‍්‍රී ලංකාවට ද එය එසේ ම ය. සාර්ථකව ඉදිරියට ගිය ව්‍යාපාරිකයන්, ධනවතුන් ගැන සැකය මතු කර තිබේ. එම ධනය උපයන්නේ අසාධාරණයෙන් බව හිතන්නට සලස්වා තිබේ. දේශපාලන හිතවත්කම් සහ අයථා ක‍්‍රම ධනය උපයන පහසු මාර්ග යැයි අදහස් ජනිත කර ඇත. තීරණ ගන්නා නායකයන් දූෂිතයන් සහ දූෂණයට ඉඩ දෙන අය බව හිතන්නට සමාජය පොළඹවන බව පෙනේ. මෙයින් සිදුවන හො`ද නරක පැති ගැන වෙන වෙනම අධ්‍යයනය කරන්නට අවශ්‍යය. එක පැත්තකින් දූෂිතයන් සිටින අතර එම දූෂිත පිරිස දේශපාලන සම්බන්ධතා අනුව කලූ සහ සුදු චරිත බවට පත් වෙයි. හොඳ පුද්ගලයෝ ද පලිගැනීමට ලක්වෙති. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ද යුක්ති සහගත නැති දූෂණ වංචා මැඩ පවත්වන විශාල ප‍්‍රයත්න වල කොටස් කරුවන් වී තිබේ. එය දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම බිහිවූ ව්‍යාපාරයන්ය. දූෂණයට එරෙහි විය යුතුය. එපමණක් නොව දූෂණය බව කියමින් තමන්ට අභියෝගයක් වන ප‍්‍රතිවාදී චරිත පාලනය කිරීම ද නුසුදුසුය. එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරය ද අද මුහුණ පා ඇති ගැටළුවකි.
|