» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/08/2018 - ඉරිදා ලංකාදීප
සවුදියේ කාන්තාර සංචාරක කලාපයෙන් අපට ඉගෙන ගත හැකි පාඩම

සවුදි අරාබිය ඛනිජ තෙල් වලින් පොහොසත් රටකි. ලෝකයේ ඉසුරුමත් රටවල් අතර ඇති රටකි. එහි කර්කශ, කාන්තාර ප‍්‍රදේශ බහුලය. සවුදි අරාබිය සංචාරකයන් එතරම් කැමැති රටක් නොවේ. තද ඉස්ලාම් නීති, ඇස් පමණක් ඉතිරිවන පරිදි සම්පූර්ණ ශරීරය වසා ගත් කාන්තාවන් සැරිසරන වීදි සහ මත් පැන් තහනම වැනි කාරණා බටහිර සංචාරකයන් ආකර්ශනය කරන කාරණා නොවන බව සඳහන් කළ යුතුය. සවුදි අරාබිය විනෝදය, ආස්වාදය රහිත කාන්තාර කලාපයක් සංචාරක පාරාදීසයක් කරන සැලැස්මක් ප‍්‍රකාශයට පත්ව ඇත. මෙම යෝජනාව ලෝකය පුරා අලූත් අවධානයක් දිනා ගෙන තිබේ.

ලෝකයේ වැඩිම විදේශ විනිමය වත්කම් සහිත රටවල් අතර හතර වැනි තැන සිටින සවුදි ආරබිය පාලනය කරන්නේ රජ පවුලකි. මැතිවරණ හෝ දේශපාලන පක්ෂ නැත. දැනට පාලනය කරන සල්මාන් අල් සවුඞ් රජු ගේ බලය පවරන ලද ඔටුන්න හිමි කුමාරයා මොහමඞ් බින් සල්මාන් අබ්දුල් අසීස් අල් සවුඞ් සිය රාජ්‍යයේ රාමුව වෙනස් කරන උත්සාහයක නිරතව සිටී. කාන්තාර ප‍්‍රදේශය මහා සංචාරක කලාපයක් බවට පරිවර්තනය කරන්නට හෙතෙම සැලසුම් කර ඇත. එයට අනුව ඩිස්නිලන්තය මෙන් දෙකහමාරක් විශාල මහා කලාපයක් සංවර්ධනය කිරීමට යෝජනා කර තිබේ. කාන්තාරය නිදහස විඳින්නට හැකි ප‍්‍රදේශයකි. එහි නැවුම් වාතය ආස්වාදනීය එකකි. දෙවියන්ගේ ආශීර්වාදය ලත් තැනක් බව සවුදි පාලකයෝ කියා සිටිති. මෙම ප‍්‍රදේශයේ සංචාරය සඳහා අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු වසර 2030 වන විට අවුරුද්දකට මිලියන 30 ක සංචාරක පිරිසක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව අනාවරණය වෙයි. මක්කම වන්දනාව සවුදි අරාබිය කරා වැඩිම සංචාරක පිරිසක් කැඳවන හේතුවක් වී තිබේ. ආගමික බැතිමතුන් වශයෙන් අවුරුද්දකට එන පිරිස දෙගුණයක් තෙක් නංවන්නට අලූත් සංචාරක සැලැස්ම සමත්වනු ඇත.

සවුදි අරාබියේ සුපිරි ධනවතුන් අවුරුද්දක් පාසා ලෝකයේ වෙනත් සංචාරක කලාප වල සංචාර වල නිතර වන අතර එරට විනිමය ඇමරිකානු ඩොලර් බිලියන විසි පහක් රටින් එපිටට ඉවත්ව යන බව ගණන් බලා තිබේ. එයින් කොටසක් ද ඉතිරි කරගැනීමට නව සංචාරක පාරාදීසය සමත්වනු ඇත. සවුදියට යාබද ඩුබායි නගරය ලෝකයේ ප‍්‍රකට සංචාරක මධ්‍යස්ථානයක් වන අතර එහි ඉදිකර ඇති සුපිරි වෙළඳ සංකීර්ණ දහය සහ සංචාරක හෝටල් සියයකට අධික ප‍්‍රමාණය නිතර සංචාරකයන්ගෙන් පිරී පවතී. ලෝකයේ විශාලතම සංචාරක කේන්ද්‍රස්ථාන අතරින් තුන් වැනි තැන ඩුබායි නගරය හිමි කරගෙන තිබේ. අලූතින් ඉදිවන සවුදි අරාබියේ කාන්තාර සංචාරක කලාපය ඩුබායි නගරය හා එකතු වී සංචරණයේ නිරත ලෝක වාසීන්ට අලූත් අත්දැකීමක් ඇති කරනු ඇත.

බලශක්ති ව්‍යුහය වෙනස්වීම සමග ඉදිරි වසර විස්ස තුළ බොරතෙල් මිල බිංදුවට වැටෙනු ඇති අතර තෙල් ආදායම රටට අහිමිවීමෙන් පත්වන ඉරණමෙන් ගැලවීම සඳහා වසර විස්සක කාලයක් ප‍්‍රමාණවත් බව පෙන්වා දෙන මොහමඞ් බින් සල්මාන් අබ්දුල් අසීස් අල් සවුඞ් කුමාරයා මෙම සංචාරක සැලැස්ම ඇතුළු අලූත් වැඩ පිලිවෙල ගණනාවක් සිය සංවර්ධන වැඩ පිලිවෙලට ඇතුලත් කර ඇත.

සවුදි අරාබිය සංචාරක තෝතැන්නක් කරන්නේ කෙසේද? කාන්තාරයේ ඇති අවස්ථා ගැන දැන් සිට විශාල පෙළඹවීමක් ඇති කරන්නට සූදානම් වෙයි. වීසා ක‍්‍රමය සංශෝධනය කරන්නට සූදානම්ය. ඔටුවන් පිට නැගී කාන්තාර තරණය ඉතිහාසයේ සිට පවතින දෙයකි. සවුදි අරාබිය ඔටු සැනකෙළියක් පවත්වන්නට යයි. හොඳම අශ්වයන් ඇති කරන ධනවත් සමාජ සවුදියේ සිටී. අශ්ව සංදර්ශන ද සංචාර ආකර්ශනයට හේතු වෙයි. කාන්තාරයේ පවතින නිශ්ශබ්ධතාවය, එහි පවතින රථ වාහන දුම් වලින් දුෂ්‍ය නොවූ නැවුම් වාතය සහ ස්වභාවික දර්ශන සංචාරකයන් වෙනුවෙන් අලූතින් අලෙවි කරන්නට සැලසුම් කර තිබේ. එය අලූත් දර්ශනයකි. අවුරුද්දකට මිලියන තිහක්, එක මාසයකට අඩුම තරමින් ලක්ෂ විසිපහක් සංවාරකයන් ගෙන්වා ගැනීම විශාල ඉලක්කයකි.

කාන්තාරයකට මාසයකට ලක්ෂ විසි පහක් සංචාරකන් ගෙන්වන්නට සූදානම් වන විට ශ‍්‍රී ලංකාව සංචාරක අවස්ථා සම්පාදනය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. ශ‍්‍රී ලංකාවට අවුරුද්දකට පැමිණෙන වැඩිම සංචාරක පිරිස පසුගිය වසරේ පැමිණ ඇති අතර එය ලක්ෂ විසි එකකට මදක් වැඩි ප‍්‍රමාණයකි. මෙරටට අවුරුද්දකට එන ප‍්‍රමාණය අභිබවා මාසයකට ගෙන්වා ගන්නට සවුදි අරාබිය අලූතින් සැලසුම් කරයි. කාන්තාරයකට සංචාරකයන් ගෙන්වා ගැනීම පහසු නැත. සූදු, මත්පැන් සහ ලිංගික අවස්ථා සංචාරක ව්‍යාපාරයට තිබිය යුතු යැයි තවමත් ආකල්ප සකස් වී ඇත. නමුත් සංචාරක ව්‍යාපාරය පරිවර්තනය වී තිබේ. නොයෙක් පරමාර්ථ එයට සම්බන්ධ වී ඇත. විවිධ රටවල, එකිනෙකට වෙනස් සංස්කෘතීන් හා භූගෝලීය ලක්ෂණ සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ දී වැදගත් වී ඇත. මනුෂ්‍ය හැඟීම් සහ පරිසරය ඒ අතරින් තවත් ඉස්මතු වී ඇත. නැවුම් වාතය ආශ්වාස කරමින් නිදහසේ සිටින අවකාශය සම්පාදනය කරගැනීම අලූතින් එකතු වී ඇත. මුළු ලෝකයම විස රසායනික භාවිතා කර ආහාර පාන නිපදවන අතරවාරයේ කාබනික එලවලූ පලතුරු වලින් සන්තර්පනය වී රසවත්වීම සංචාරකයන්ගේ අභිලාශය වී තිබෙන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

ශ‍්‍රී ලංකාවේ සංචාරක සැලසුම් අලූතින් සකස් කරන්නට අවශ්‍යය. සංචාරක කර්මාන්තය ආණ්ඩුවකට මෙහෙයැවීම පහසු නැත. පුද්ගලික ව්‍යවසායකයන්ට එහි දී විශාල අවස්ථා තිබේ. සංචාරක කර්මාන්තයේ ප‍්‍රතිපත්ති තීරණය කර අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආණ්ඩුව භාරගත යුතු අතර පුද්ගලික ව්‍යවසායකයන් තරගකාරීව ක්ෂේත‍්‍රය දියුණුව සඳහා ආයෝජනය කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහනයේ දී පවතින අධික වාහන තදබදය සංචාරක ව්‍යාපාරයට හිරිහැරයකි. පැය හත අටක් ගුවනින් එන සංචාරකයෙකුට නුවර හෝ දඹුල්ලට ගමන් කරන්නට තවත් පැය හත අටක් ගමන් කිරීම ගැටළුවකි. අභ්‍යන්තර ගුවන් ගමන් සේවා තර කළ හැකිය. පුද්ගලික අංශයේ සමාගම් වලට සේවා ආරම්භ කරන්නට ඉඩ දී ඒවායේ ගමන් මාර්ග, ගාස්තු හා තත්ත්වය පාලනය කිරීම සිවිල් ගුවන් සේවා අධිකාරියට කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ පරිසර පද්ධති ආශි‍්‍රතව අලූත් ආයෝජන කරන්නට අවස්ථා තිබේ. ගංගා සහ මුහුද භාවිතා කර බෝට්ටු, රැවල් ඔරු සංචාරක කටයුතු ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? යුද ගැටුම් අවසන් කර ඇති අවස්ථාවක සාගරය හා ගංගා ප‍්‍රයෝජනයට ගැනීම ගැන අලූතින් හිතන්නට අවශ්‍යය.

අලූත් ව්‍යවසාය ගැන හිතන ආයෝජනයන් ඇතත් එම පිරිසට බාධක තිබේ. ආණ්ඩුව, පලාත් සභා සහ පලාත් පාලන ආයතන වලින් නොයෙක් නීති රීති පනවා තිබේ. දශක ගණනක් තිස්සේ කේබල් කාර් ව්‍යාපෘති ගැන වාද කරමින් සිටින අතර අලූත් දෙයක් රටට හදුන්වා දෙන්නට විශාල බාධක තිබේ. මහා පරිමාන හෝටල් සංකීර්ණ හා සමානව කුඩා කබානා සංකල්පවලට ද සංචාරක ව්‍යාපාරයේ අවස්ථා ඇත. එයාර් බී ඇන්ඞ් බී යනුවෙන් අලූත් අදහස් ව්‍යාපාරයට එකතු වී ඇත. ඔන්ලයින් ක‍්‍රමයට කෙලින්ම ගම් දනව් වල පරිසර හිතකාමී නවාතැන් පහසුකම් සම්පාදනය කිරිමකි. මෙවැනි පැති ඇතුලත් අලූත් ව්‍යායක් ගොඩනැගීම මෙරටසංචාරක කර්මාන්තයට වැදගත්ය.