» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/05/2019 - ඉරිදා ලංකාදීප
සාමූහික වගකීම පැහැර හැරීම බලවත් වරදකි

රටක පාලනය ගෙන යන නියමුවෝ සුළු පිරිසකි. එම ධුර හොබවන්නෝ සතුව ඉතා විශාල වගකීමක් තිබේ. අතපසුවීම හෝ නොසැලකිල්ල කිසිම සමාවක් දිය යුතු කාරණා නොවේ. මහජන නියෝජිතයන් වශයෙන් බලයට පත්වන ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය සුවිශේෂි වැදගත්කමක් ඇති අංශයකි. ආරක්ෂක මණ්ඩලය එයටත් වඩා සුවිශේෂි ආයතනයකි. නොබෝදා බි‍්‍රතාන්‍ය කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍ය ග්වින් විලියම්සන් ධුරයෙන් පහ කරන්නට එරට අගමැතිනි තෙරේසා මේ තීරණය කළේය. එය ඉතා ආන්දෝලනාත්මක සිද්ධියකි. ආරක්ෂක මණ්ඩලයේ රහස් පිටවීමේ සිද්ධියකට විලියම්සන් මහතා වගකිව යුතු බව තීරණය වී ඇත.

තෙරේසා මේ අගමැතිනිය මෑත භාගය තුළ පැති ගණනාවකින් පීඩනයකට ලක් වී සිටින්නීය. යුරෝපා සංවිධානයෙන් ඉවත්වීමේ තීරණය එයින් ප‍්‍රමුඛය. වට ගණනාවකින් යෝජනා කළ නොයෙක් අදහස් වලින් පවා පලක් නොවූ අතර එය කෙලින්ම අගමැතිනිය වෙත එල්ල වී ඇති ප‍්‍රබල ප‍්‍රශ්නයකි. බි‍්‍රතාන්‍ය ආර්ථිකය ද අවාසිදායක තැනකය. පසුගිය දා අනාවරණය වූ අන්දමට බි‍්‍රතාන්‍ය පවුමක වටිනාකම ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව වසර තිහකට මෙපිට කාලය තුළ අවම අගයකට පත්ව තිබේ. මේවා අතරතුර අගමැතිනියගේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ලේකම් එනම් ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් රහස් පිට කිරීමේ චෝදනාවකට ලක් විය. පරීක්ෂණයකින් පසු ඔහු ධුරයෙන් පහ කිරීමට තෙරේසා මේ අගමැතිනිය පියවර ගත්තේය. ආණ්ඩුව තුළ ජනප‍්‍රිය භාවයෙන් පමණක් නොව ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බල සංතුලනය ගැන ගැටළු තිබිය දී පවා අගමැතිනිය ගත් තීරණය ඉතා නිර්භීත එකක් බව අවිවාදාත්මකය.

බි‍්‍රතාන්‍යයේ තීරණයකට අනුව රැහැන් රහිත දුරකතන ජාලාවල පස්වන පරම්පරාවේ ව්‍යාපෘතියක් සම්බන්ධව හුවායි ආයතනය සමග ගිවිසුමක් ඇති කරගෙන තිබුණි. එය බාහිර පාර්ශව වලට අනාවරණය වී තිබේ. ටෙලිග‍්‍රාෆ් පුවත් පත ආරක්ෂක මණ්ඩල ඉතා රහසිගත රැස්වීමක දී මෙම ව්‍යාපෘති යෝජනාව අනුමත කළ බව වාර්තා කළේය. තවත් මාධ්‍ය හා වෙනත් සන්නිවේදන ජාලා මෙම අනාවරණය පසුව ප‍්‍රශ්න කර ඇත. හුවායි ආයතනය සමග ගනුදෙනු කිරීම ඔස්ටේ‍්‍රලියාව නතර කරන ලද අතර එසේ තිබිය දී බි‍්‍රතාන්‍යයේ ව්‍යාපෘතියකට අවසර ලැබීම විවාදයකට හේතු විය. කෙසේ නමුත් ආරක්ෂක මණ්ඩලයේ තීරණය මාධ්‍ය වලින් අනාවරණය වූයේ කෙසේ ද යන්න බලවත් ප‍්‍රශ්නයක් වී තිබුණි. එය ගැන පරීක්ෂණයක් කරන්නට බි‍්‍රතාන්‍ය අගමැතිනිය තීරණය කළේය. ආරක්ෂක අමාත්‍යවරයා වගකිව යුතු බව සාක්ෂි සහිතව සනාථ වී තිබුණි. ඔහු ධුරයෙන් ඉවත් කිරීම හැර විකල්පයක් අගමැතිනියට නොවූ බව පැහැදිලිය. බලයෙන් ඉවත් කරන ලද ආරක්ෂක අමාත්‍යවරයා ඉතා පැහැදිලිව කියා සිටියේ තමන් වරදක් නොකරන ලද බවය. තමන්, තමන්ගේ නිලධාරීන්, ආරක්ෂක උපදේශකයන් හෝ පුද්ගලික කාර්ය මණ්ඩලය අතින් තොරතුරු එළියට යාමේ වරදක් සිදුවී නම් තමන් අස්කිරීම සාධාරණ විය හැකි නමුත් කිසිසේත් වගකිව යුතු කරුණක් නොවන බව ගිවින් විලියම්සන් මහතා ප‍්‍රකාශ කළේය. එවැනි පසුබිමක පවා අගමැතිනියගේ තීරණය වෙනස් වූයේ නැත. වෙනත් තැනකින් මෙම තොරතුරු මාධ්‍යයට නිකුත් වී ඇති බව තහවුරුවන කිසිම සාධකයක් නැති බව හිටපු ආරක්ෂක අමාත්‍යවරයාට ලිිපියකින් කියා සිටි අතර අගමැතිනි තෙරේසා මේ ගත් තීරණය ආපසු හැරවූයේ නැත.

රහසිගතව ගත් තීරණයක් මාධ්‍යයට නිකුත්වීම ප‍්‍රශ්නයක් නොවේ. එය පිටකරන ලද්දේ කෙසේ ද යන්න සොයා ගැනීම ඉතා වැදගත්ය. විශ්වාසය කඩ කිරීම බරපතල කාරණයක් සේ අගමැතිනිය දක්වන ලද බව සඳහන් කළ යුතුය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු බාහිර පාර්ශව අතට පත්වීම ඉතා නරක බව බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වැනි වැදගත් ධුරයක් හෙබවූ කැබිනට් සාමාජිකයෙකු ඉවත්කරන්නට නොපැකිලෙන හේතුව එයයි.

බි‍්‍රතාන්‍යයෙන් ලැබුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් රටට තිබේ. එහි නොයෙක් වෙනස්කම් ඇති කරන ලද බව පිලිගත යුතුය. පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථාවාදී ලෙස ක‍්‍රමය වෙනස් කිරීමේ වරදට වර්තමාන ජන සමාජය වන්දි ගෙවමින් සිටී. බලයේ සිටීම හැර වෙනත් අභිලාශයක් නැති නායකයෝ රට පත්ව ඇති ඉරණමට වගකිව යුතුය. ව්‍යවස්ථාවක් රහිත, සම්ප‍්‍රදායානුකූලව ක‍්‍රමය ආරක්ෂා කරගෙන ඇති බි‍්‍රතාන්‍ය සිය කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය හා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ බලපාන කරුණුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම ගැන ඉතා බරපතල සේ සලකන බව තේරුම් ගැනීම වැදගත්ය.

මෑත කාලය තුළ මෙරට ආණ්ඩුවල කැබිනට් රහස් කිසිවෙකුට රහසක් වූයේ නැත. කැබිනට් සාකච්ඡාවෙන් නැගිට එන ඇමැතිවරු ඒවා සිය සගයන්ටත් විශේෂයෙන් මාධ්‍ය හිතවතුන්ටත් බෙදාදුන් අවස්ථා බහුලය. මාධ්‍ය සමග හොඳ හිත පවත්වාගැනීමට රහස්‍ය තොරතුරු පැවසීම ඉතා සුලබව සිදුවිය. රාජ්‍ය ආරක්ෂාවට බලපාන කරුණු පවා කිසිම පාලනයකින් තොරව එලියට පැමිණි අවස්ථා තිබේ. කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී පමණක් නොව රූපවාහිනී වැඩසටඑනකට එන ඇමැතිවරු පවා අතිශය සංවේදී රහසිගත තොරතුරු කිසිම වගකීමක් රහිතව ප‍්‍රසිද්ධියට පත් කළ අවස්ථා සාක්ෂි සහිතව පෙන්වා දිය හැකිය. මාධ්‍ය මගින් මේවා විශාල අකුරින් පළ කරන විට ඒවා තමන්ගේ සමත්කම් බව හිතන තරමට මෙරට ඇමැතිවරුන්ගේ පරමාර්ථ පටු මට්ටමක පැවැති බව කණගාටුවෙන් පවා මතක් කර දිය යුතුය.

ජාතික ආරක්ෂාව, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ගැන මහජන නියෝජිතයෝ අවධානයට යොමු නොකරන්නේ මන්ද? එය ඉතාම වැදගත් කාරණයකි. සිද්ධියක අතපසුවීමකට පසු ඇතිවන තත්ත්වය ගැන අප පරීක්ෂාකාරී විය යුතුය. රහස්‍ය තොරතුරු ගැන ආණ්ඩුවේ වගකිව යුතු අංශ ඉතා පරෙස්සම්වීම වැදගත්ය.

ශ‍්‍රී ලංකාව මෑත ඉතිහාසය තුළ අවස්ථා ගණනාවක දී බරපතල කටුක අත්දැකීම් වලට මුහුණ දී තිබේ. දකුණේ හා උතුරේ කැරළි එයින් ප‍්‍රධානය. ඒවා සුළුවෙන් ආරම්භවී පසුව ත‍්‍රස්තවාදයක් දක්වා ව්‍යාප්ත විය. නොබෝදා පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාර මාලාව ද සුළු කොට තැකිය යුතු නැත. එම සිද්ධි සමහර කැබිනට් සාමාජිකයෝ දැන සිටිය බව රහසක් නොවේ. තවත් කැබිනට් ඇමැතිවරු මෙම ත‍්‍රස්තවාදීන් හා සම්බන්ධකම් පවත්වාගෙන ගොස් තිබේ. සමහර සිද්ධි නොදැන සිදුවූ බව සඳහන් කරන්නට බැරිකමක් නැත. නමුත් වරද අනාවරණය වූ පසු අප ගන්නා තීරණය කුමක්ද? ආණ්ඩුවේ ප‍්‍රධානීහු යම් යම් සංවිධාන වල ප‍්‍රබලයන් සමග ඇසුරුකරන විට බෙදාහදාගත් තොරතුරු ප‍්‍රයෝජනයට ගෙන ඉතා භයානක සිදුවීම් ඇති කරන්නට ඉඩ තිබේ. ආරක්ෂක අංශ වල ක‍්‍රියාකාරීත්වය හා පවතින නීති රීති තත්ත්ව ගැන පූර්ව තොරතුරු දැන ගැනීමට ත‍්‍රස්තවාදීහු සූක්ෂමය. ඒවා ත‍්‍රස්ත සංවිධාන වල ආයෝජන වශයෙන් සැලකේ. එවැනි පසුබිමක් ගැන අප අවධානය යොමු නොකරන්නේ ඇයි?

ශ‍්‍රී ලංකාව ගෝලීය ත‍්‍රස්තවාදයට ගොදුරු වී ඇත. එක පැත්තකින් අන්තර් ජාතික මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ශ‍්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් කරගෙන තිබේ. කලූ සල්ලි ජාවාරම් වලට ප‍්‍රකටය. මිනිස් ජාවාරම්වලට ද ගොදුරු වී ඇත. මේවායේ කටයුතු මෙහෙයවන නීති විරෝධී බලසම්පන්න නායකයෝ කිසියම් ආකාරයකින් රාජ්‍යයේ මර්මස්ථාන ඩැහැගෙන ඇත්දැයි සොයා බැලීම අත්‍යවශ්‍යය. එය සුළු පටු කාරණයක් නොවේ. වහාම නිසි සමාලෝචනයකට යා යුතුය. සමාගමක ආයෝජනයක් ගැන ආරක්ෂක අංශයේ රහසිගත රැස්වීමක සාකච්ඡාවක් අනාවරණය කීරීම බි‍්‍රතාන්‍යයට ගැටළුවක් නම් මෙම මුලින් සඳහන් කළ විෂම අංශ වල බලවත් තර්ජනයකට ලක්ව ඇති ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සුළු කොට තැකිය යුතු නැත. එසේ තිබිය දී ආරක්ෂක මණ්ඩලයට සහභාගී නොවීම, අදාල නොවනබාහිර පාර්ශව ආරක්ෂක මණ්ඩලයට සහභාගීවීම හා පලපුරුදු පිරිස දේශපාලන පටු තීරණ සලකා පැත්තකට කර තැබීම කිසිසේත් නොසිතන අවසානයක් කරා රට ගෙන යන්නට ඉඩ තිබේ. දේශපාලන වාද බේධ අත්හැර අවස්ථාවාදීවීම පසෙක තබා ඉතාම අවධානයෙන් කටයුතු කළ යුතු හෝරාව උදා වී ඇති බව සඳහන් කළ යුතුය.