» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/03/2017 - ඉරිදා ලංකාදීප
බලවත් නායකත්ව ජාත්‍යන්තරය තුළ මතුවෙන ස්වභාවය

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සම්බන්ධ ආන්දෝලනාත්මක තොරතුරු සෑහෙන ප‍්‍රමාණයක් මෑත කාලය තුළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණයට සම්බන්ධ කරගෙන නිකුත්වන ප‍්‍රකාශ ඒ අතරින් කැපී පෙනෙයි. පරිගණක දත්ත අවභාවිතා කර ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කරන ලද රුසියානු ජනාධිපති පුටින් ඇමරිකාවේ ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කරන්නට ක‍්‍රියා කරන ලද බවව එහි කියැවෙයි. ඒ අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කිසියම් කාර්ය භාරයක් කරන ලද බවට හෙළිදරව් වෙමින් තිබේ. එහි සත්‍ය අසත්‍යතාව ගැන ප‍්‍රකාශ කළ නොහැකිය. නමුත් ඇමරිකාවේ සේවයේ නිරත රුසියානු තානාපතිවරයා සමග සීමාව ඉක්මවා සමීප සම්බන්ධතා පවත්වන ලද චෝදනාව පදනම් කරගෙන ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා සේවයෙන් ඉල්ලා අස්වී ඇත. අලූතින්ම පත්වූ ජනාධිපති කාර්ය මණ්ඩල පිරිස අතර සති කිහිපයක් ගතවන්නටත් කලින් වාර්තා වු මෙම සිදුවීම විශාල මතවාදයක් නිර්මාණය කළේය.

ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ප්ලෙන් සිය ඉල්ලා අස්වීම ගැන සඳහන් කරමින් ජනාධිපති හා උප ජනාධිපතිවරයාගෙන් සිද්ධිය ගැන සමාව ගත් අතර මෙය හේතු වූයේ නව ජනාධිපතිවරයා ගේ පත්වීම සමග ජගත් නායකයන් හා සබඳතා තර කර ගැනීමට කරන ලද සියුම් උත්සාහයේ දී බව ප‍්‍රකාශ කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා සමග ඇමරිකාව සමීප වෙන්නට උත්සාහ කරන්නේ ඇයි? ජාත්‍යන්තර විචාරකයන්ට අනුව එයට හේතුවක් තිබේ. නව ප‍්‍රවනතා අනුව වඩා බලවත් ප‍්‍රබල චරිත කෙරෙහි ආකර්ශනයක් තිබීමයි.

ලෝක නායකයන් අතර නායකත්වය දකින්නේ කෙසේද? ප‍්‍රධාන වශයෙන් මෘදු නායකයෝ සිටිති. ඔවුන්ට තම හැකියාව මත පෞර්ෂය අනුව තමුන්ගේ ගමන් මග හා දර්ශනය ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කරයි. දෙවනුව දැඩි නායකයෝ වෙති. ඔවුන් දක්‍ෂ ලෙස රාජ්‍ය පාලනය කරන්නේ සිය ප‍්‍රබල බව අඟවමින්ය.

රුසියානු ජනාධිපති පුටින් තද පාලකයෙකු සේ පෙනී සිටියි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදි, ජපන් අගමැති ෂින්ෂෝ අබේ, චීන ජනාධිපති ෂින් ජින්ග්පින් වැනි ලෝකයේ ඉතාම බලවත් චරිත අතරට ඩොනල්ඞ් ට‍්‍රම්ප් අලූතෙන්ම එකතු වූ බව සඳහන් කළ හැකිය. මෙම නායකයන් පෙනී සිටින්නේ පුද්ගල දක්ෂතාව මතය. (Great Man Theory) ඔවුන්ගේ නමට ඉදිරියෙන් ඇති අතර ප‍්‍රතිභාව රාජ්‍ය පාලනයට නතු කර ගනී. සාමාන්‍යයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුළ පුද්ගල බලය සීමා කෙරේ. ලිබරල් අදහස් ඇති සමාජ ආයතන ගැන විශ්වාසය තබයි. ජනතාව සිය ඡන්දයෙන් නායකයන් පත් කරගන්නා අතර එකී නායකයන්ගේ ගමන ආයතනික ව්‍යුහය ශක්තිමත් කරගෙන ඉදිරිට යනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් පුද්ගල ප‍්‍රතිභාව සහිත නායකයෝ ආයතන රාමුව ගැන වැඩි අවධානය යොමු කරන්නේ නැත. එය පොදු ජනතාවගේ ද අභිප‍්‍රායයි. තමන්ට වැඩක් කරගන්නට පාලකයා හමුවීම ප‍්‍රමාණවත් යැයි හිතන ජන කොටසක් සිටී. නායකයා තීන්දු ගන්නේ නැති, ඒ වෙනුවට ආයතන වලට පවරන ස්වභාවයෙන් තීරණ ඉක්මන් හා ප‍්‍රතිඵලදායී නොවන බව ඇතැම් ජන කොටස් විශ්වාස කරයි.

ලිබරල් මත දරන පිරිස පුද්ගලයාට වඩා ආයතන ශක්තිමත් කිරීම වැදගත් බව උපකල්පනය කරන අතර නායකයෙකු පුද්ගල ශක්තිය පෙන්වා නැගී සිට තනි තීරණ ගෙන ක‍්‍රියාත්මක වන අවස්ථාවල එය වඩා ඒකාධිපති ස්වරූපයක් ගන්නා බව දක්වයි.

ජාත්‍යන්තරය තුළ නායකත්ව සම්බන්ධ විශාල විවාදයක් වර්තමානයෙහි තිබේ. නායකයන් සර්ව සම්පූර්ණ විශිෂ්ඨ පුද්ගලයන් විය යුතුම නැති බව එක කොටසක් තර්ක කරයි. සර්ව සම්පූර්ණ නායකයන් නැති බව ලිබරල්වාදීන්ගේ මතයයි. ජනතාව තෝරා ගන්නා නායකයා කෙබදු පෞර්ෂයයක සිටින නමුත් නිසි ක‍්‍රියාකාරීත්වයෙන් යුතු ආයතන හෙයින් දුර්වලතා පැත්තකින් තබා නිසි සේ මෙහෙයැවෙනු ඇති බව සැලකේ. මෙසේ හෙයින් පුද්ගලයාගේ ශක්තිමත් බව ඉතාම වැදගත් නැති බව ලිබරල්වාදීහු කියා සිටිති. එය සාක්ෂාත් කරනු සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන සංවිධාන බලවත් කරන කර්තව්‍යය වෙනුවෙන් ලිබරල්වාදීහු නිතර පෙනී සිටියි. ආයතනික ව්‍යුහය බලවත් වීමෙන් ජනතා අභිලාශයන් සාක්ෂාත් කරන්නට නායකත්වයට හැකි වනු ඇතැයි ලිබරල් මතයයි. මාධ්‍ය නිදහස, සිවිල් සංවිධාන ශක්තිමත් කිරීම, ස්වාධීන අධිකරණය, බලය බෙදා හැරීම සහ තොරතුරු දැනගැනීම වැනි අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්නේ එහෙයින්ය. නමුත් තවත් පිරිසක් කෙලින්ම කියන අදහස අනෙකකි. ශක්තිමත් නායකයෙකු නැති සමාජ වල නිතර අවුල් ඇතිවන අතර ප‍්‍රශ්න ඉක්මනින් විසඳාගත නොහැකවීමෙන් සමාජ ව්‍යාකූල වන බව පෙන්වා දෙයි. ආයතනික කාර්ය භාරයට වඩා ශක්තිමත් නායකයෙකු සෘජුව තීරණ ගෙන ඉක්මනින් අර්බුද පාලනය කිරීම වැදගත් බව දෙවැනි මතය වශයෙන් සාකච්ඡා වෙමින් තිබේ. මෙවැනි සාකච්ඡාවකට පදනම හැදෙන්නේ එදිනෙදා කාර්ය පහසු කරගැනිමේ දීය. තීරණගන්නට නායකයෙකු අසමත් වෙන්නේ නම් ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ කෙසේදැයි ලිබරල්වාදීන්ට ප‍්‍රතිවාදී අදහස් දරන්නන්ගේ විමසීමයි.

නායකයෙකු හැසිරෙන, වචන පාවිච්චි කරන සහ තීරණ ගන්නට අනුගමනය කරන වේගවත් බව හෙයින් ලෝකයේ නායකයන් සිය ගණනක් අතරින් සුළු පිරිසක් වඩා ඉහළින් කැපී පෙනෙන ස්වභාවයකට පත්ව තිබේ. නරේන්ද්‍ර මෝදි යනුවෙන් සඳහන් කරන පමණින් ඔහුගේ තීරණ ගැනීම ගැන ප‍්‍රතිරූපයක් ඇති වෙයි. මුදල් නෝට්ටු අවලංගු කරන අතර එය ගැන කොපමණ මත ඇතිකර ව්‍යාකූල බවක් මතු කරන නමුත් හෙතෙම නොසැලී සිටියි. ඉන්දියාවේ දුප්පත්කම ගැන කතා වෙන නමුත් චන්ද්‍රිකා වැඩිම ප‍්‍රමාණයක් එකවර ගුවන් ගත කර වාර්තා පිහිටුවන්නට සූදානම්වෙයි. දූෂිතයන් ආරක්ෂා කරන්නේ නැත. චීන ජනාධිපති ෂින් ජින්ග්පින් පවා ලෝකය හිතන්න අපහසු තීරණ වලට අවතීර්ණ වෙයි. සේද මාවත නැවත ඇති කිරීම ඔහුගේ විශාල දර්ශනයකි. ගොඩබිමින් භාණ්ඩ රැගත් දුම්රියක් ලෝකයේ දෙකෙළවර යා කළේය. අසල්වැසි රාජ්‍ය සමග සම්බන්ධතා උණුසුම්ව තබාගනී. ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙම නායකත්වයන්ගේ එඩිතර බව ඉහළටම ප‍්‍රවිශ්ඨ කර තිබේ. තමන්ගේ දැවැන්ත ව්‍යාපාර ජාලය තුළ තීරණ ගත් අන්දමට ඇමරිකාව හසුරුවන්නට පටන්ගෙන තිබේ. ඇමරිකානු ප‍්‍රතිපත්තිය වෙනස් අන්දමට මතුකරන මෙම විවාද සම්පන්න අවස්ථාව ඉතාම තීරණාත්මක අන්දමින් ලෝක නායකයන්ගේ ගමන විශ්ලේෂණය කෙරෙමින් තිබේ.

මෙම පසුබිම තුළ ශ‍්‍රී ලංකාව තමන්ගේ අනන්‍ය විග‍්‍රහයකට යා යුතුව ඇති බව පෙනේ. දීර්ඝ කාලයක් රට තුළ නොවිසදුන ගැටළු ඇති බව පැහැදිලිය. එය එසේ වූයේ අවුරුදු තිහක් රාජ්‍ය පාලනය වෙනුවට ත‍්‍රස්තවාදය පාලනය කරන්නට නායකයන්ට සිදුවූ බව හෙයින් බව දැක්විය යුතුය. රට ගොඩනගන දර්ශනයක් ඉදරිපත් කර සමාජය ගොඩනගනු වෙනුවට භයානක තත්ත්ව වලට මුහුණ දෙන්නට පසුගිය ආණ්ඩුවල පාලකයන්ට සිදුවිය. මෙම තත්ත්ව සම්බන්ධයෙන් තීරණාත්මක සංවාදයක් රටට අවශ්‍යය. රට තුළ තීරණ ගැනෙන්නේ නැති බව කියන ඇතැම් අදහස් සාකච්ඡා කළ යුතු ලිබරල් කෝණයකින්ය. රටට ලිබරල් පාලනයක් අවශ්‍ය නම් වෙනත් විකල්පයක් නැත. සංවිධාන ව්‍යුහය ගොඩනගා සාමූහික තීන්දු වලට යන්නට සිදුවෙයි. දීර්ඝ වශයෙන් කතා කර පොදුවේ එකඟවෙන්නට නායකයන්ට සිදුවීම වැලැක්විය නොහැකිය. එය කිසිසේත් බලවත් නායකත්වයක් තුළින් ඒකාධිපති ස්වරූපයකින් මෙහෙයැවීමට වඩා සහමුලින්ම වෙනස්ය. යථාර්ථය එයයි. ලෝකයේ බලවත් නායකයන් අතරට ව්ලැඩිමීර් පුටින් එකතුවන විට ඔහු ගේ හැසිරීම, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ තීරණ ගැනීම අද වන විට ලෝකයේ පවතින පාලන ක‍්‍රම අතර වෙනස් එකක් වන අතර එය අවබෝධ කරගැනීම වැදගත්ය.

ආසියාව නිතර යැපුනේ පුද්ගල දක්ෂතාව අනුවය. එහි ගේ‍්‍රට් මෑන් තියරිය තිබුණි. ආසියානු රටවල් නැගී වර්ධනය වූයේ පුද්ගල බලවත්භාවය අනුව වන අතර සංවර්ධනය ගැන දැක්ම තනි තීරණ හා පෞර්ෂය එහි ලා බලපෑවේය. බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව නායකයාට වඩා ශක්තිමත් කළේ ආයතනයයි. ආයතනය හදා එයින් සමාජය හදන්නටය. අද ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාවේ සමහර රටවල් වග ගමන ආයතන හදා රටවල් ඉදිරියට ගෙන යන්නටය. තීරණයක් ගත යුතුව තිබේ. අත්හදා බලන්නට කාලයක් නැත. එය කාලය නාස්ති කිරීමකි. ආයතන වලින් ගමන යනවාද නොඑසේනම් පුද්ගලදක්ෂතාව උපයෝගී කරගන්නවා ද යන සාකච්ඡාවට රට සූදානම් විය යුතුය.