» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/02/2017 - ඉරිදා ලංකාදීප
විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ගේ අතට පත්කිරීම

විශ්ව විද්‍යාලය යන සඳහන තුළ අර්ථ සම්පන්න බවක් තිබේ. පාසලක ඉගෙන ගත් දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් විශ්වය පුරා පැතිරී ගිය දැනුම අවබෝධය ලබන තැන බව දන්වයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවන්නේ ලංකා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ය. එහි නිර්මාණය, සංකල්පය හා ප‍්‍රභාව ගැන වර්තමානයෙහි ද උසස් පිලිගැනීමක් තිබේ. ශ‍්‍රී ලාකේය ප‍්‍රජාවට ඔක්ස්ෆඞ්, කේම්බි‍්‍රජ් වැනි විශ්ව විද්‍යාල තරමට පේරාදෙණිය උසස් තැනක් විය. නමුත් මෑතක සිට එහි ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල දරුවන් ගේ හැසිරීම කනස්සල්ලට හේතු වී ඇති බව පෙනේ.

නොබෝදා මාධ්‍ය වාර්තා කළ පරිදි එහි අසනීප වූ ශිෂ්‍යයෙකු රෝහල් ගත කරන්නට දරන ප‍්‍රයත්නයේ දී ගැටුමක් හටගෙන ඇත. තොරතුරු අනුව අසනීප වූ ශිෂ්‍යයා ප‍්‍රතිකාර සඳහා ගෙන යන්නට ගිලන් රථය ඉක්මනින් පැමිණ නැත. එය ප‍්‍රමාද හෙයින් රෝගී ශිෂ්‍යයා අන් ක‍්‍රමයකින් වෛද්‍යවරයෙකු හමවට පමුණුවා තිබේ. ප‍්‍රමාද වූ ගිලන් රථ රියැදුරු සහ සහායක සිසුන් කිහිප දෙනෙකුගේ පහර කෑමකට ලක් වූ බව ද කියැවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි නිරත දරුවන් ගෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සම්බන්ධ අයට හෝ බාහිර කිසිවෙකුට පීඩාවක් සිදුවීම සැලකිල්ලට ලක් විය යුතුය. මෙරට තරුණ පෙළ අතරින් විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ සුළු පිරිසකි. ඔවුහු යම් අවබෝධයක් ඇති බුද්ධිමත් පිරිසක් වන බව සඳහන් කළ යුතුය. තරුණ ජවය තුළ අයුක්තිය නොඉවසන, අසාධාරණයට එරෙහිව සටන් වදින රතු ලේ ඇති බව පිලිගත හැකිය. නමුත් ගිලන් රථ රියැදුරෙකුට හිංසා කිරීමට තරම් ශික්ෂණයක් නැති පිරිහුණ මට්ටමට පත්වීම බලවත් වරදකි. එය කවර මිනුම් දණ්ඩක් අනුව වේවා තද දෝෂ දර්ශනයට ලක් විය යුතුය.

ලංකා විශ්ව විද්‍යාලයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය මෙරට පළමු විශ්ව විද්‍යාලය වනු පමණක් නොව ඥාණ ගවේශනය අරමුණු කරගෙන අලූත් සම්ප‍්‍රදායයක් ලංකාවේ ඇති කරනු සඳහා ගත් සුවිශේෂී ප‍්‍රයත්නයකි. ආරම්භක ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවන යෝජනාව එන්නේ 1899 දීය. එය සම්මත කරගෙන කමිටු පිහිටුවා තීරණයකට එළැඹෙන්නට සෑහෙන කාලයක් ගත වී තිබේ. ලංකා විශ්ව විද්‍යාලයේ දෙවැනි ප‍්‍රධානියා වශයෙන් අයිවර් ජෙනිංග්ස් මහතා පැමිණෙන අතර හෙතෙම විශාල උනන්දුවකින් එහි ලා පියවර ගනියි. 1954 වසරේ අප‍්‍රියෙල් මාසයේ දිනක ලංකා විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත වන විට දශක පහමාරක් ගතෙ වී තිබේ. මෙහි කාර්යය හමාර කරන සුවිශේෂී ආකාරය දකින ඔහු ගේ සේවය ඉන්පසු ඉල්ලන්නේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයයි. එය අතුරු කතාවකි. ලංකා විශ්ව විද්‍යාලය පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සේ නම් කරන ලද අතර අද එහි අධ්‍යයනය ලබන ශිෂ්‍යයන් ගෙන් සමහර දෙනෙක් ඇතැමෙකු විශ්ව විද්‍යාලයක අර්ථය නොදැන හැසිරෙන තරමට පත්ව ඇති බව සිද්ධි වලින් පෙන්නුම් කරයි. එක්තරා අවස්ථාවක අයිවර් ජෙනිංග්ස් කියන්නේ කවුද යනුවෙන් අහන ලද බව වාර්තා වූ අතර තවත් වතාවක දී විශ්ව විද්‍යාල භූමියේ රඟ දක්වන ලද නාට්‍යයක සිපගන්නා දර්ශනයක දී හූ තියා නාට්‍ය රඟදැක්වීම නතර කරන තැනට ශිෂ්‍ය ආකල්ප පටු එකක් වූ බව සඳහන් කළ යුතුය. විශ්ව විද්‍යාලයේ ගිලන් රථයේ රියැදුරු සහ සත්කාරක සේවකයා පහරදීමකට ලක් ව රෝහල් ගත කරන්නේ මෙම පිරිහීම තවත් උච්ච ස්ථානයකට පත්වීම සනිටුහන් කරමින්ය.

කවුද මේවාට වගකියන්නේ යන ප‍්‍රශ්නය අහන්නට පුලූවන. ශිෂ්‍ය විනය පිරිහීම ගැන ආණ්ඩුව වගකිව දිය යුතු යැයි ලෙහෙසි උත්තරයක් ලැබෙන්නට ඉඩ තිබේ. විශ්ව විද්‍යාලය යනු හුදෙක් ආණ්ඩුවකින් පාලනය කරන, ශිෂ්‍යයන් ඉගෙන ගන්නා ඉහළ විද්‍යායතනයක් පමණක් නොවේ. එය සමාජයේ හරස් කඩකි. එහි අධ්‍යාපනය හදාරන්නේ දැනුම අවබෝධය අතින් ඉහළ ප‍්‍රජාවකි. ප‍්‍රශ්න කිරීම, පර්යේෂණයෙහි නිරතවීම හෝ අලූත් දේ සොයා යාම හැර අන් දෙයක් බලාපොරොත්තු විය යුතු නැත. ජෙනිංග්ස් කවුදැයි සොයන්නට උනන්දුවක් නැති සමහර දරුවන් අතර ගිලන් රථ රියැදුරෙකු එසේ නැත්නම් අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සමග ගැටුමක් ඇති කරගැනීමට තරම් ඉක්මන් වන පිරිසක් සිටීම සාමාන්‍ය දෙයක් යැයි වටහා ගත හැකිය.

මෙකී පැවැත්ම වෙනස් කළ හැක්කේ කෙසේද? ඉකුත් දශක කිහිපය තුළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බිහි වූ විද්‍යාර්ථීහු විශාල සංඛ්‍යාවක් සිටිති. මෙරට මෙන්ම ජාත්‍යන්තරව ද ස්වකීය දක්ෂතා පිළිබිඹු කරන්නට සමත්ව ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන එහි ගෞරවය වෙනුවෙන් පියවර ගැනීමට එහි උපාධිධර විද්‍යාර්ථීන්ට කිසියම් කාර්ය භාරයක් කළ හැකිය. ශිෂ්‍ය විනය, විශ්ව විද්‍යාලයේ පුනරුදය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ස්වාධීනත්වය සහ අනාගතය උදෙසා ස්ථාවර බව ඇතිකරන්නට විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ට කිසියම් රාමුවක් බිහිකරන්නට දායක විය හැකිය. එසේ කරන්නනට ඉඩ දෙන සේ මතවාදයක් ගොඩනැගිය හැකිය.

ජාත්‍යන්තරයෙන් ඉගෙන ගත හැකි දේ කුමක්ද? හාවඞ් විශ්ව විද්‍යාලය මෙම පැති ගැන අවබෝධයක් ලබා ගත හැකි හොඳ උදාහරණයකි. ලෝකයේ විශිෂ්ඨ විශ්ව විද්‍යාල අතර හාවඞ් විශ්ව විද්‍යාලයේ සැලසුම, ක‍්‍රමවේදය හා අධ්‍යාපන ස්වභාවය ඉතාම සම්භාවනාවට පත්ව තිබේ. හාවඞ් හි ඉගෙනුම ලැබූවෝ අට දෙනෙකු ඇමරිකවේ ජනාධිපතිවරු වශයෙන් පත්ව ඇත. ලෝකයේ තවත් රටවල නායකයන් ගණනාවකි. බිලියනපතියන්, අධ්‍යාපනඥයන්, නොබෙල් ත්‍යාග ලාභීන් සහ නොයෙක් අන්තර් ජාතික සම්මානයට පාත‍්‍රවූවෝ සෑහෙන පිරිසකි. එම සියළු දෙනා එකතුවී හාවඞ් විශ්ව විද්‍යාලයේ දර්ශනය ගොඩනගන්නට සම්බන්ධ වී තිබේ. ශිෂ්‍යයන් විසි එක් දහසක් එනම් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ සම්පූර්ණ විශ්ව විද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය ලබාගත හැකි සියළුම දෙනාට සමාන කළ හැකි පිරිසක් මෙහි එක වරකට ඉගෙනුම ලබති. මෙහි අරමුදල් භාරයේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන තිස් අටකි. මෙම ධනය උපයෝගී කරගෙන අඛණ්ඩව විශ්ව විද්‍යාලය පවත්වාගෙන යන්නට කිසිම අපහසුවක් නැති බව එහි පාලකයන්ගේ අදහසයි. ලෝකයේ විශාලතම ධන භාරයක් සහිත, ශිෂ්‍ය ප‍්‍රජාවට අධ්‍යාපනය සම්බන්ධ ඉහළම අවස්ථා සම්පාදනය කරන හාවඞ් විශ්ව විද්‍යාලය ඇමරිකානු ආණ්ඩුවෙන් පාලනය කරන එකක් නොවේ. එය ස්වාධීනව මෙහෙයැවෙයි. එහි අධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් පන්දහසකට ආසන්නය. ආදර්ශ පාඨය සත්‍ය යන්නයි. අලූත් දේ සොයා යන, පර්යේෂණ වෙනුවෙන් වෙහෙසෙන ශීෂ්‍ය ප‍්‍රජාවක් නඩත්තු කරන හාවඞ් විශ්ව විද්‍යාලය කෙරෙහි එතැන ඉගෙනගත් සියළු දෙනාගේ ඇල්ම සහිතය. එහි උරුමය ආරක්ෂා කරන්නට එහි ඉගෙන ගත් විද්‍යාර්ථීහු කැපවීමෙන් පෙනී සිටිති. විශාල නඩත්තු අරමුදලක් ගොඩනැගෙන්නේ එහි අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන් ගේ සහාය ඇතිවය.

ශී‍්‍ර ලංකාවේ පවා ඇතැම් පාසල් වල ආදි ශීෂ්‍යයන් එම විදුහලේ සාර්ථකත්වය පසුබිමේ ඉන්නා බව නොරහසකි. විදුහලක් තුළ නොගැලපෙන දේ සිදුවන විට වහා මැදිහත්වන ඔවුහු ඒවායේ කීර්තිය ආරක්ෂා කරගන්නට දරන උත්සාහය නිරීක්ෂණයට ලක් විය යුතුය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අභිමානය අලූත් තැනකට ඔසවා තබන්නේ කෙසේද? ආණ්ඩුවෙන් යැපෙන, රජයේ වියදම් රහිත වන විට පවත්වාගෙන යා නොහැකි, විනය පිරිහී ගිය සිද්ධි වාර්තා වෙන සහ ඉහල මට්ටමේ දැනුම නිෂ්පාදනය කිරීම බෙහෙවින් අඩු අධ්‍යාපනය ආයතනයක් බව දැනෙන විට එහි අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන්ට වගකීමක් තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙනුවෙන් ඉදිරිපත්විය යුතුය තිබේ. එය හුදෙක් පරිබාහිර පිරිසක් විශ්ව විද්‍යායේ පැවැත්මට මැදිහත්වන ආකල්පයට වෙනස් තත්ත්වයක් විය යුතු බව සඳහන් කරන්නට අවශ්‍යය.