» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/12/2016 - ඉරිදා ලංකාදීප
ජනමතය විමසීම අවදානම් වන ලකුණු

සමීක්ෂණ, ජනමත විචාරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක වැදගත් මෙවලම්ය. ජනතා මතය දැනගැනීමට ඒවායෙන් හැකිවෙයි. ජනමත විචාරණයක දී අහන්නේ ජනතාවගේ කැමැත්තය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් කලින් කල සිදුකරන වෙනස්කම් ගැන ජනමතය විමසා බැලීම සුදුසුය. ජනමතය නොසලකා වැඩ කරන ආණ්ඩු අධිපතිවාදී බවට පත්වෙයි. මැතිවරණයක දී අධිපති ආණ්ඩු ගෙදර යවන්නට ජනතාවට පුලූවන්කම ලැබේ. ජනයා නොතකා බලහත්කාරයෙන් බලයේ ඉන්නා ආණ්ඩු ඡන්ද පවත්වන්නට කැමැති නැත. හැකිතාක් කල් ඡන්ද කල් දමා බලයේ ඉන්නට තැත් කරන ආණ්ඩු අන්තිමේදී ජනමතය හමුවේ පරාජය වෙන්නේ නොසිතන අවස්ථාවකය.

ආණ්ඩු බලයෙන් පහ කරන අලූත් ආණ්ඩු පත් කරන ඡන්දය කෙසේ වෙතත් ජනමතය විමසීම ද අවදානමක් බවට පත්ව තිබේ. නොබෝදා එනම් පසුගිය ඉරිදා ඉතාලියේ ජනමත විචාරණයක් පැවැත්විණි. ප‍්‍රතිසංස්කරණ සහිතව රටට අලූත් ව්‍යවස්ථාවක් සකස් කරන ලද අතර ආණ්ඩුව සූදානම් වූයේ මෙම කරුණු ගැන ජනමතය විමසීමටය. ඉතාලි අගමැති මැටෙයෝ රෙන්සි ලාබාල තරුණයෙකු වශයෙන් අගමැතිධුරයට පත්වන විට ජගත් ප‍්‍රජාව මහත් ඇල්මක් දැක්වීය. ෆෝචූන් සඟරාව හෙතෙම වඩාත් බලයක් ඇති නොඑසේනම් බලපෑමක් කළ හැකි ලෝකයේ වයස අවුරුදු හතලිහට අඩු නායකයන් ගේ ලැයිස්තුවේ තුන්වැනි තැනට ඔසවා තැබීය. ආර්ථික සහ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් අගමැති රෙන්සි පෙනී සිටියේය. මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නට යෝජනා ගෙන ආවේය. ආණ්ඩුවේ නීති වෙනස් කිරීමේ පටිපාටිය පහසු කරන යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර මෙතක් නව නීති සම්පාදනයේ දී සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වූ අතර සෙනෙට් බහුතරයක් නැති අවස්ථාවල පවා ආණ්ඩුවට අවශ්‍ය නීති සංශෝධනය කරගත හැකිවන සේ ව්‍යවස්ථා වෙනස්කරන්නට යෝජනා කළේය. එයට කැබිනට් සහ සෙනෙට් අනුමැතිය ලබා ගත්තේය. ව්‍යවස්ථාව සංශෝධනයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක පමණක් නොව ජනමත විචාරණයකින් සම්මත විය යුතුය. ජනමත විචාරණයේ දී පරාජය වුවහොත් තමන් ඉවත්වන බව අගමැතිවරයා කියා තිබුණි. ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය වූයේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව සියයට 59.11 ක් කියා සිටීමයි. ඉතාලි ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාට නිල කාලයක් නැත. කැබිනට් මණ්ලඩයේ විශ්වාසය පවතින තෙක් එය දැරිය හැකිය. කෙසේ වෙතත් වත්මන් ඉතාලි ආණ්ඩුවට 2018 මැතිවරණය තෙක් බලයේ ඉන්නට සියළු අවස්ථාව තිබුණ අගමැති මැටෙයෝ රෙන්සි ජනමත විචාරණ පරාජය සමග ධුරයෙන් ඉල්ලා අස්වන තීරණය නිවේදනය තිබේ.

ජාත්‍යන්තරයේ සිදුවෙන දේ මෙබඳුය. දේශපාලනඥයන් සහ ජනතාව අතර පවතින පරතරය පුලූල් වන තරම කෙතරම් ද යත් නිතර නොසන්සුන් තත්ත්ව ඇතිවෙයි. ඉතාම ඉහළ ජනප‍්‍රියත්වයක් ඇති බව පෙනෙන නමුත් වැසියන් ගේ අදහස වෙනස්ය. මත වෙනස්වන සුළුය. අස්ථාවරත්වය එහි ප‍්‍රතිඵලයකි. ඡන්දය දී ආණ්ඩු පත් කරන ජනතාව කෙටි කාලයක් තුළ එම ආණ්ඩු ක‍්‍රියා කරන ආකාරය ගැන බේධ ඇති කරගනී. එයට බලපාන කරුණු ගණනාවකි. දෙපාර්ශවය අතර සමීප බව එයට එක් හේතුවක් විය හැකිය. ජනතාව සහ පාලකයන් අතර පරතරයක් තිබුණි. ජනතාව කියන කරන දේ සම්බන්ධව ඉක්මනින් තොරතුරු සන්නිවේදනය වූයේ නැත. සමාජ මාධ්‍ය සන්නිවේදනය මෙම පරතරය වෙනස්කර ඇත. පාලකයන් කරන කියන දෑ ගැන සමාජ සන්නිවේදනය ප‍්‍රබලය. ජනතාවට ද මතයක් තිබේ. සියුම් අදහසක් ඇත. එකී අදහස අනුව ක්ෂණයකින් විවිධ මත නැගේ. මත නැගී අදහස් පැතිරෙයි. එය විශාල විවේචනයක් වෙන අවස්ථා බහුලය. ආණ්ඩු අවධානය යොමු කරන්නේ නැති පැති ගැන අදහස් නැගෙන අතර ඒවා පාලනය කරගැනීමට අපහසුය. ලෝකයේ තැනින් තැන සිදුවෙන්නේ එයයි.

ඉතාලියේ අගමැතිවරයාගේ තීරණයට යම් ප‍්‍රමාණයකට බලපාන්නේ එයයි. කොපමණන සද්භාවයකින් ව්‍යවස්ථාව වෙනස්කරන්නට උත්සුක වන නමුත් ජනතාවට එයින් ඇතිකරන්නේ සැකයකි. ආර්ථිකය වෙනුවෙන් ගන්නා තීරණ ගැන මතු කරන්නේ විශාල විවේචනයකි. එහෙයින් ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය අහිතකර එකක් බවය පත්වෙයි. ජනතාව ක‍්‍රියා කරන අන්තවාදී තීරණ වලින් රටේ පැවැත්මට කොපමණ අවාසි සිදුවෙනවාදැයි විචාරයක් නැත. බි‍්‍රතාන්‍ය යුරෝපා කොමිසමෙන් ඉවත්වන තීන්දුවට හේතුවන ජනමත විචාරණයට බලපෑවේ මේ හා සමාන තත්ත්වයකි. කොලොම්බියාවේ ගැටුම් දශක හයක් පැවැති අතර එය අවසන් කරන සාම ක‍්‍රියාවලියකට ජනතා අනුමැතිය ලබා ගැනීමට පැවැති ජනමත විචාරණය ද එරට ජනතාව ප‍්‍රතික්ෂේප කළේ මෑතක දීය. ෆාක් ත‍්‍රස්තවාදය රටට මහත් විනාශයක් ඇති කළේය. ජීවිත දෙලක්ෂ විසි දහසකට වැඩි ගණනක් අහිමි කර තිබුණ අතර දස ලක්ෂයකට ආසන්න වැසියන් පිරිසක් රට හැර යන්නට පොළඹවන ලද බව වාර්තා වෙයි. බිහිසුණු ත‍්‍රස්තවාදය සාම කි‍්‍රයාවලියක් මගින් අවසන් කරන ප‍්‍රයත්නය විශාල ජයක් ලෙස ජගත් ප‍්‍රජාව විශ්වාස කළේය. කොලොම්බියානු පාලකයන් සටන් විරාමයක් යෝජනා කරන ලද අතර ත‍්‍රස්තවාදී නායකයන් සමග සාකච්ඡා කර සටන් හමාර කර සාමකාමී රටක් ඇති කරන ගිවිසුමකට ගියේය. නමුත් ජනමත විචාරණයපරාජය වූ අතර සාම ගිවිසුම වෙනස්කරන්නට රටට සිදුවිය.

කොලාම්බියාව, ඉතාලිය හෝ බි‍්‍රතාන්‍ය පාලකයන්ටත්, ජාත්‍යන්තර ප‍්‍රජාවටත් එම රටවල පවත්වන ජනමත විචාරණ කෙරෙහි බලවත් විශ්වාසයක් තිබිණි. නූතන ජනසමූහයා සිද්ධි සම්බන්ධව තමන්ගේ විනිශ්චය දෙන ආකාරය වෙනස් බව මෙයින් පැහැදිලිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුළ තීරණ ගැනීම තවත් සංකීර්ණ කරන බව මෙයින් නිරීක්ෂණය කළ හැකිය.

ශ‍්‍රී ලංකාව අභිමුවෙහි ද මෙයට සමාන තත්ත්වයකට මුහුණ දිය යුතු අවකාශයක් තිබේ. රටට අලූත් ව්‍යවස්ථාවක් සාකච්ඡුා කරමින් සිටී. එක පැත්තකින් එය දශක තුනකට වැඩි කාලයක් පැවැති ත‍්‍රස්තවාදයෙන් මුදවා ගත් රටට අලූත් බලාපොරොත්තුවකි. සාමය ස්ථිරසාර කරන්නට අලූත් ව්‍යවස්ථාව පිටිවහලක් වනු ඇතැයි බලවත් විශ්වාසයක් තිබේ. වත්මන් ආණ්ඩුව පුලූල් සහයෝගීතාවයකට ගියේ රට තුළ විශාල වෙනස්කම් අපේක්ෂාවෙන්ය. සමාජ පරිවර්තනයක් ඔස්සේ නව යුගයක් අපේක්ෂා කරන අතර ව්‍යවස්ථා සංශෝධනය එහි එක් වැදගත් කොටසකි. බලය බෙදාහරින සහ පවතින බල රාමුව වෙනස් කරන උවමනාව සෑහෙන කාලයක සිට සාකච්ඡාවට ලක්ව තිබේ. නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු අතර එහි ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් අනුමත කරගත යුතුය. 1978 සම්මත කරගන්නා ලද දැන් බලපවත්වන ව්‍යවස්ථාව එය සංශෝධනය කරන ආකාරය පෙන්වා දී ඇති අතර ජනමත විචාරණට එහි වැදගත් සන්ධිස්ථානයකි.

දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ජනතාව තීරණ ගන්නේ කෙසේදැයි විමසා බැලීට ඉතාලි සිද්ධිය එක උදාහරණයකි. නායකයන් අධිෂ්ඨානශීලීව කැපවීමකින් වෙහෙසෙන නමුත් ජනතා විශ්වාසය ඇති කරගැනීම පහසු නැත. සමහර රටවල සිද්ධි ව්‍යාප්ත වෙන්නේ වෛරය පදනම් කරගෙන බව පෙනේ. පාලකයන් ගේ ක‍්‍රියාකලාපය කෙරෙහි මතුවන විරෝධය ජන රැල්ලක් බවට පත් වන අතර එය ඉතා උසස් අදහස් පවා පරාජයට පත් කරන බව පෙනේ. මහජන මතය ගැන සැලකිල්ල දැක්වීම අවශ්‍යය. තොරතුරු තාක්ෂණ යුගයේ දී මාධ්‍ය හැසිරෙන්නේ සමාප‍්‍රදායික ආකාරයට නොවේ. නොසිතන දේ සමාජ මාධ්‍ය වල පළවෙයි. ඒවා වැදගත්කමක් නැති කතා බව හිතන්නේ පාලකයන්ය. ජනමතය විමසීම ආණ්ඩු ගෙදර යවන්නට තරම් බලවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක් බව ජාත්‍යන්තරය ඔප්පු කර තිබේ.