» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/11/2018 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුබල කරන බලවේග තේරුම් ගැනීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලවත් තර්ජනයකට ලක්ව ඇති බව ලෝකයේ සෑම වාස භූමියකින්ම අසන්නට ලැබෙන පොදු අදහසකි. බහුතර ජනතාවගේ කැමැත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ජන සම්මතවාදය ඉතාම වැදගත්ය. නූතන සන්නිවේදන ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට දෙන පිටිවහල ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. නූතන සමාජ මාධ්‍ය මගින් කරන මෙහෙයුම් ඉතාම සංකීර්ණ තැනකට පත්ව ඇත. ජන සමාජයේ සෑම පුද්ගලයෙකුටම සිදුවන්නේ කුමක්දැයි සමානව දැන ගැනීමේ අවස්ථාව අහිමි කර ඇති අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මතු වී ඇති තර්ජනයේ සෑහෙන කොටසක් බව සඳහන් කරන්නට අවශ්‍යය.

දේශපාලන ප‍්‍රචාරණයේ සම්ප‍්‍රදායික රාමුවක් තිබුණි. එය රැස්වීම් ආකාරයෙනි. ජනතාවට තම නියෝජිතයා හමුවීම සුලබ දෙයකි. දැන් මහජන නියෝජිතයෝ අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය භාවිතා කරති. මෙකී මාධ්‍ය මෙවලම් වලින් තොරතුර දැනගැනීමට අවස්ථාව නැති කොටසක් සමාජයේ සිටී. එම පිරිස නවීන මාධ්‍ය වලට නැඹුරුව අඩුය. සමාජ මාධ්‍ය වේගයෙන් ව්‍යාප්ත වන අතර තොරතුර විකෘති කරන අවස්ථා තරගකාරීව වර්ධනය වෙමින් තිබේ. සත්‍යය පතුරවන බව පෙන්වන සමාජ මාධ්‍ය මගින් ම එකිනෙකට වෙනස් මාධ්‍ය තොරතුරු ප‍්‍රකාශ කරන බව නිරීක්ෂණය කළ හැකිය. පක්ෂ හා විපක්ෂ යනුවෙන් මතවාදී කඳවුරු දෙක පමණක් හදුනාගත නොහැකිය. නොයෙක් තැන් වලින් මත ඉදිරිපත්වෙයි. ඒවායේ දරුණු අසත්‍ය තිබේ. විකෘති කිරීම් ඇත. පාලනය කරගත නොහැකි තරමට අදහස් ඉදිරිපත් වෙයි. සමාජ මාධ්‍ය ප‍්‍රබලය. තොරතුර ඉක්මනින් සමාජ ගත වෙයි. එයට කට කතා එකතුවන අතර ඇත්ත සොයා ගැනීමට කිසිසේත් හැකියාවක් නැත. ජනතාව බලාපොරොත්තු වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට තොරතුරු තාක්ෂණ යුගයේ දී නිර්මාණය වී ඇති ව්‍යුහය තේරුම් ගැනීම පහසු නැත.

නූතන සමාජ මාධ්‍ය ව්‍යුහය මගින් ඇති කරන බලපෑම ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ සාකච්ඡාවට ලක්ව තිබේ. යුරෝපා සංවිධානයෙන් බි‍්‍රතාන්‍ය ඉවත්වන තීරණය කෙරෙහි විශාල බලපෑමක් කළේ සමාජ මාධ්‍ය මගින් ඇති කරන ලද අලූත් මත ගොඩනැගීම බව පිලිගෙන ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රහණය පිටුපස ක්ෂණික තොරතුරු විප්ලවය සිටි බව නොරහසකි. ලෝකයේ නොයක් රටවල සම්ප‍්‍රදායික දේශපාලනය අවදිවන අලූත් අදහස්ධාරී ව්‍යාපාර හෙයින් ව්‍යාකූල වී ඇත. එම අදහස් පාලනය කරගත නොහැකි ආකාරයකින් සමාජය තුළ පැතිරෙයි. ව්‍යාජ මතය ගොඩනැගීමට වලකා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන අභියෝගයට මුහුණ දීමේ දී දේශපාලනඥයන් අලූතින් හිතන්නට අවශ්‍යය. සම්ප‍්‍රදායික ප‍්‍රචාරණය අභිබවා සමාජ මාධ්‍ය භාවිතාව ගැන අවධානය යොමු කළ යුතුය. ජනතාව සමග පවත්වන සංවාදය ඉක්මනින් කරන සත්‍ය පතුරවන ආකාරයකට නැඹුරු කරගත යුතුව තිබේ.

ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලන ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අලූතින් මුහුණ දී ඇති මෙම තාක්ෂණික ස්වභාවයට සූදානම් විය යුතුය. එයට හැකියාව ඇති අලූත් පරපුරක් මෙරට දේශපාලනයට අවශ්‍යකර තිබේ. සමාජ මාධ්‍ය මගින් කරන ආක‍්‍රමණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන ස්වභාවයකට හරවා ගැනීම කාලීණ අවශ්‍යතාවයකි. එවැනි පරිවර්තනයකට සුදුසු ආකාරයේ ව්‍යවස්ථාවක් රටට නැත. ශ‍්‍රී ලංකාවේ ජන සමාජයේ පරමාර්ථ සාක්ෂාත් කරන ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට සෑහෙන වතාවක් උත්සාහ දරා තිබේ. සියළු ව්‍යවස්ථාවල පසුබිම දේශපාලනඥයන්ගේ බලය කේන්ද්‍ර කරගෙන ඇත. අවස්ථාවාදී ව්‍යවස්ථා බව පැහැදිලිය. බලයේ ඉන්නා පක්ෂය තම බලය තහවුරු කරගැනීමට ඉඩ ලැබෙන අන්දමට ව්‍යවස්ථාවට වගන්ති එකතු කර තිබේ. වගන්ති සංශෝධනය කර ඇත. දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ද ඇති කරන ලද විකෘතියක ප‍්‍රමාණය අද ප‍්‍රායෝගිකව දැක ගත හැකිය.

සියලූ දෙනාට එකමුතුව සමගියෙන් වාසය කරන්නට හැකි පරිසරයක් ශ‍්‍රී ලාංකික ජන සමාජයට අවශ්‍යය. නමුත් රට තුළ සෑහෙන අවුල් ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගැනීම ජනතාවගේ පැත්තෙන් වැදගත්ය. එයට පක්ෂව මෙන්ම එරෙහිව ද බලවේග බොහෝය. ව්‍යවස්ථා වලින් ඇති කරන අවුල් හා නවීණ මාධ්‍ය මගින් ඇතිකරන සංකීර්ණ තත්ත්වය හමුවේ ගමන් කළ යුතු මාවත කුමක්ද? මෙම නවීන සන්නිවේදන යුගයේ ඒ සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග කවරේද? ප‍්‍රතිපත්ති මොනවාද? මේ ප‍්‍රතිපත්ති එක් කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුගේ ව්‍යායාමයක් පමණක් විය යුතුද? ප‍්‍රශ්න කරන්නට සිදුවී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව විශාල අන්තර් කාල පරිච්ඡේදයකට ප‍්‍රවේශ වී තිබේ. ජනතාව සතු බලය පිළිබිඹු නොවන අවස්ථාවක පසුවෙයි. පාර්ලිමේන්තුව, මහජන නියෝජිතයන්ගේ කාර්ය භාරය විශාල ගැටළු සහගත තැනකය. මහජන ඡන්දයෙන් බලයට පත් කරන ලද මැති ඇමැතිවරු මහජන මතය පැත්තකට දමා තමන්ගේ මතය අනුව කටයුතු කරන්නට පටන් ගෙන ඇත. සමාජ මාධ්‍ය අවුලවන මතය අනුව මහජන නියෝජිතයෝ ස්ථාවරය වෙනස් කිරීම ද තවත් එක ලක්ෂණයක් වී තිබේ. ආපසු හැරී බලන අවස්ථාවේ සමාජය පියවරෙන් පියවර ගමන් කර තිබෙන දිසාව සෑහීමකට පත් විය නොහැකිය. බහුතරයක් විශ්වාස කරන අන්දමට සමාජයේ අපේක්ෂා සපුරාලන්නට අසමත්ව ඇත. සමාජය නිහඬ කර තිබේ. වැරැද්ද හෝ නිවැරැද්ද වෙනුවෙන් නිර්භීතව සාකච්ඡාවක් මෙහෙයවන්නට සමාජයේ වැඩි උනන්දුවක් නැත. ජන නායකයින් සහ ජනමත ප‍්‍රධානීන් මේ විවාදයට ඇතුලත් විය යුතුය. බුද්ධිමතුන් සිය පර්යේෂණ හා සංකල්ප මුදා හැරිය යුතුය. විද්වත් සමාජය සමග එකතුවන පූජ්‍ය පක්ෂයේ මග පෙන්වීම මනාව විහිදිය යුතුය.

වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ සමාජ ප‍්‍රවාහය තුළ විසඳා ගත යුතු ගැටලූ ගණනාවකි. ආර්ථිකය ප‍්‍රශ්නයකි. නිෂ්පාදනය අඩාලවීම, අකාර්යක්ෂමතාව සහ පිරිවැය ඉහළ යාම එය තුළ තිබේ. ජීවන වියදම ජනතාවට දැනෙන තැනට පැමිණ ඇත. අධ්‍යාපනය ගැන තෘප්තිමත් විය හැකිද? අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ආණ්ඩුවේ රැකියාවක් ඉල්ලා වීදි බැසීම සාර්ථක එකක්ද? සෞඛ්‍ය පහසුකම්, පොදු ගමනාගමනය, රජයේ සේවය හෝ අවසාන වශයෙන් යුක්තිය හා සාධාරණත්වය ගැන සතුටු විය හැකිද? රට යහපත් දේශයක් කරන්නට නම් දේශපාලනයට අවංක හා වගකීම් ඇති බව පෙන්වා දී හොඳ පාලනයක් ඇති කරන්නට සාමූහික ප‍්‍රයත්නයකට හඩක් නැගිය යුතුවෙයි.

‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දුෂ්ඨ, අවසානයේ විකට, අවිශිෂ්ට බලහත්කාරකමක් නොව හොඳ බලාපොරොත්තු ඇතිකරන පරම නිදහසයි.’’ යනුවෙන් අමෙරිකානු ලේඛක ජේම්ස් බෝල්ඞ්වින් මහතා ප‍්‍රකාශ කර තිබේ. මෙම විකෘතියෙන් නිදහස් වීම අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත තහවුරු කළ යුතුය. රටට ගැලපෙන ක‍්‍රමයක් සකස් කරගැනීම අවශ්‍යය. දේශපාලනයෝ බල ලෝභීභාවය වෙනුවට රට ගොඩනැගීමට ක‍්‍රමයක් හදා ගැනීම ඉතා වැදගත් බව පැහැදිලිව පෙනේ. සියළු සංකල්ප අතර ජනතා අභිලාශය තේරුම් ගැනීම ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? තීන්දුව ගැනීමට රටේ ජනතාව සම්බන්ධ කරගත යුතුය. ජනතාව හා ජනතා නියෝජිතයන් අතර තිබිය යුතු සංවාදය නතරවීම සෑම ගැටළුවකම ප‍්‍රධාන පැත්ත බව පෙනේ. මුලින් සඳහන් කරන ලද පරිදි නූතන සමාජ මාධ්‍ය වලින් කරන බලපෑම උත්සන්න වීමට එය හේතුවකි.

නිසි අවස්ථාවේ ඡන්ද පවත්වා ජනතා තීරණය ඉල්ලා සිටීම ආරම්භ කරන පියවරකි. සමාජය තුළ මතු වී ඇති අර්බුද වල මුල නිසි අවස්ථාවේ ඡන්ද පැවැත්වීමට අසමත් වීමය. ස්වාධීන මැතිවරණ කොමිසමක් පිහිටුවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පියවර ගත් නමුත් ඡන්ද පැවැත්වූයේ නැත. ජනතා මතය අවහිර කළේය. එය විශාල පීඩනයකි. ජනතාවගේ පීඩනය ඡන්දයක දී නිදහස ලබයි. පලාත් සභාව, මහ මැතිවරණය රටේ ජනතාවගේ පැත්ත බලා ගැනීමට සුදුසු පියවර වශයෙන් සදහන් කළ යුතුය. සමාජ මාධ්‍ය වලින් මතු කරන විකෘති වලින් ප‍්‍රයෝජන ගැනීමට ඉඩ තැබිය යුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට සමාජ මාධ්‍ය වලින් අවස්ථාව ගැනීම වැදගත්ය. හොඳ බලාපොරොත්තු ඇති කරන ජනතාවාදී පාලන ක‍්‍රමය නිර්මාණය කිරීමට අවශ්‍ය තීන්දුව ජනතාවගෙන් ඉල්ලා සිටීම හැර අන් ක‍්‍රමයක් නැත. අලූතින් එල්ලවන අභියෝග තේරුම් ගෙන එයට නිසි අවස්ථාවේ පියවර ගැනීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ හැකි වනු ඇත.