» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/08/2019 - ඉරිදා ලංකාදීප
නිදිවර්ජිත රැකියා ජීවිත අවදානමක් ඇති කරයි

නිදිවර්ජිත බව හා ජීවිතය අතර සම්බන්ධයක් ඇති බව බි‍්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වන මැතිව් වෝකර් ගේ පර්යේෂණයක් සනාථ කර ඇත. හෙතෙම කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. පැය අටක නින්දක් මනුෂ්‍යයාට අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි. නින්ද පැය අටකට වඩා අඩුවන විට එය මතකය දුර්වල කරන අතර පිලිකා අවදානම වැඩි කරන බව අවධාරණය කර ඇත. ඔහු කරන ලද පර්යේෂණය ඇසුරු කරගෙන අපි නිදාගන්නේ ඇයි? යන ප‍්‍රශ්නය කේන්ද්‍ර කරගෙන කෘතියක් රචනා කර තිබේ. ලෝකයේ පවතින ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුද අතරවාරයේ නින්ද ගැන දක්වන අවධානය ඉතා වැදගත් සාකච්ඡාවකට ලක් ව ඇති බව සදහන් කළ යුතුය.

මහාචාර්යවරයා, නිදිවරනවිට මොලයේ ඇතිවන වෙනස්කම් ගැන පර්යේෂණය වෙනුවෙන් පැය පහකට අඩු නින්දක යෙදෙන හා සාමාන්‍යයෙන් පැය අටක් නිදාගන්නා පිරිස් ගැන දත්ත එකතුකර ඇති අතර ඔවුන්ගේ මොලයේ ක‍්‍රියාකාරීත්වය ස්කෑන් කර තිබේ. එහි දී පැය පහකට අඩු නින්දක් සහිත අවස්ථාවල ටෙස්ටෙස්ටරෝන් සාන්ද්‍රණය සාමාන්‍යයෙන් පවතින මටට්මට වඩා වෙනස් වී ඇති අතර එය අවුරුදු දහයකින් වයස්ගත අයෙකුට හා සමාන බව පෙනී ගොස් ඇත. නින්ද අඩු බව පිලිකා අවදානම පමණක් නොව නිදා ගැනීමට අවශ්‍ය පැය අට ගැන නොතකා ක‍්‍රියා කරන අවස්ථාවල මතක තබා ශක්තිය ද දුර්වල වන බව මෙම පර්යේෂණයේ දී සනාථ වී ඇත. නින්දේ දී මොලය ආශ‍්‍රිතව සිදුවන ක‍්‍රියාකාරකම් හෙතෙම දීර්ඝ වශයෙන් අනාවරණය කරයි. දිවා කාලයේ දී මොලයට ලැබුණ තොරතුරු එක පැත්තක එකතුවන අතර රාත‍්‍රී නිදාගන්නා අවස්ථාවේ දී ඒවා වෙනත් පැත්තක ස්ථිර වශයෙන් ගබඩාකෙරෙන බව සොයා ගෙන තිබේ. එය ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයකි. දිවාකාලය හා රාත‍්‍රිය වශයෙන් වෙන්වීම හා රාත‍්‍රියේ දී වැඩ කිරීමෙන් තොරව නින්ද ස්වභාවිකවම නියම කරන්නේ මෙම මතක ගබඩාවේ ක‍්‍රියාකාරීත්වය නිසා බව මෙම පර්යේෂණය පෙන්වා දෙයි.

මනුෂයා දියුණු වන විට දිවා හා රාත‍්‍රී කාල වල නොනවත්වා වැඩ කරන්නට නැඹුරු වූ අතර එය නිෂ්පාදනය හා ආර්ථිකය සම්බන්ධ ප‍්‍රශ්නයකි. ලෝකයේ පැවැත්ම දිවා හා රාත‍්‍රී වශයෙන් වෙන් කරන නමුත් මනුෂ්‍යයා සිය අවශ්‍යතාව පදනම් කරගෙන එය කෘතීමව වෙනස් කරන තීරණයකට යයි. නින්ද ගැන නොතකා එක දිගටම වැඩ කිරීමේ දී දිවා කාලයේ මොලයට ලැබෙන තොරතුරු වලින් සියයට හතලිහක් ගබඩා නොවෙන බැවින් අමතක වන බව සනාථ වී තිබේ. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. දිවා කාලයේ දී එකතු කරගන්නා දැනුම මතකයට යවා දත්ත එකතුකරගැනීමේ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන නිසා මතකය ගිලිහී යන බව පර්යේෂණ පෙන්වා දී ඇත.

මහාචාර්යවරයා ගේ පර්යේෂණය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දී ඉතා වැදගත් බව පෙන්වා දී තිබේ. ඉගෙනගන්නා දරුවන් පාසලට යන්නට කලින් හොඳ නින්දක් අවශ්‍ය වන අතර ඉගෙන ගැනීමට කලින් හා පසුව ලබන නින්ද නිසා මොලය ක‍්‍රියා කරන්නේ උරාගන්නා හොඳ ස්පෝන්ජ් එකක් සේ බව පෙන්වාදෙන හෙතෙම එය උරා ගැනීමෙන් පසු දත්ත මතක ගබඩාවට යොමු නොවුනහොත් තව දුරටත් උරාගැනීමට නොහැකි වන තත්ත්වයක් උදා වන බව ද දක්වා තිබේ. එය ඉගෙන ගැනීමේ දී එපමණ සුදුසු තත්ත්වයක් නොවේ.

රාත‍්‍රී නිදිවර්ජිතව කරන රැුකියා අවදානම් සහගතය. අනෙක ඉගෙන ගැනීමේ දී පැය අටක නින්ද ගැන විශේෂයෙන් සැලකිල්ලක් දැක්වීම අවශ්‍යය.

දියුණු රටවල් පමණක් නොව දියුණු වෙමින් පවතින රටවල් ද දිවා රාත‍්‍රී නොසලකා වැඩ කරන පියවර ගෙන තිබේ. එය ජීවිතවලට අවදානමක් බව ඔප්පු වී ඇත. ශ‍්‍රී ලංකාව වැනි රටවල් නින්ද ගැන එපමණ අවධානයක් යොමු කරන්නේ නැත. විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේ දී දරුවන්ගේ පැය අටක නින්ද ගැන අවධානයක් යොදවන්නේ නැති සමාජය මතකය පරීක්ෂා කරනු සඳහා විභාග පවත්වමින් සිටී. මෙම දිනවල පවත්වන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය එයට එක උදාහරණයකි. වසර දෙකක හැදෑරීම් අවසානයේ දී දරුවන් මෙම විභාගයට ඉදිරිපත් වන අතර එම කාලය තුළ පාසලේ දී හා බාහිර ටියුෂන් මගින් ඉගෙන ගැනීමට මහත් වෙහෙසක් දරන ලද බව අමතක කළ යුතු නැත. සාමාන්‍යයෙන් පැය කොපමණ ප‍්‍රමාණයක් දවසකට ඉගෙන ගත්තේ දැයි ප‍්‍රශ්න කළහොත් ඇතැම් දෙමාපියන්ට පමණක් නොව දරුවන්ට පවා පැය විසි හතරම පාඩම්වල නිරත වුවද ප‍්‍රමාණවත් නැති බව හිතන තරමට මෙරට අධ්‍යාපන ක‍්‍රමය විෂමය. හැබෑ ප‍්‍රශ්නය පැන නැගෙන්නේ විභාගයේ දීය. ප‍්‍රශ්න පත‍්‍රය අතට ලැබුණ පසු උත්තර අමතකය. එයට හේතුව නිදිවරමින් කරුණු පාඩම් කළ නමුත් ඒවා මතකයේ ගබඩා වී නැත. අධි ධාරිතාවයකින් තොරතුරු මොලයට දෙන නමුත් ඒවා ජෛව විද්‍යාත්මකව කළමණාකරනය නොවන පසුබිමක උත්තර ලියන්නට පුලූවන්කමක් නැත. අධ්‍යාපනයේ දී පැන නැගෙන ප‍්‍රශ්නය එයයි.

අනෙක රාත‍්‍රි වැඩ කරන ඇඟළුම් කම්හල්, හෙදියන් වැනි අංශ වල කාන්තාවන්, ආරක්ෂක අංශවල නිරත පිරිස් හා රාත‍්‍රි වැඩ කරන රියැදුරන් වැනි පිරිස් විවේකය නැති කම හා අඛණ්ඩව නිදිවැරීම නිසා වෘත්තීය පමණක් නොව ජීවිත අවදානමක සිටින බව සැලකිය යුතුය. මෑත කාලය තුළ වාහන අනතුරු බහුලව සිදුවී තිබේ. එක පැත්තකින් අධික තදබදය නිසා මානසික ප‍්‍රශ්න එයට හේතුවෙයි. සිදුවූ අනතුරු ගණනාවකට නිදිවැරීම ප‍්‍රධාන හේතුවක් ඇත. ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන, දරුවන්ගේ අනාගතය යහපත් කරන සැලැස්මක් සකස් කරන අවස්ථාවේ දී නිසි පරිදි නින්ද ලැබීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

විශේෂයෙන් මෙම අගෝස්තු නිවාඩු කාලයේ දී දෙමාපියන් සහ ගුරුවරුන් අලූතින් හිතන්නට අවශ්‍යය. පැය අටක නින්දක් නැති දරුවන්ගෙන් හොඳ ප‍්‍රතිඵල අපේක්ෂා කළ යුතු නැත. නින්ද අවශ්‍ය ඇයි ද යන ප‍්‍රශ්නයට මහාචාර්ය මැතිව් වෝකර් උත්තර දී තිබේ. පාසල් දරුවන්ගේ පැය අටක නින්ද ගැන ඇමරිකාව ප‍්‍රතිපත්ති තීරණයක් ගෙන ඇත. පාසල ආරම්භ කිරීම පෙරවරු 8.30 තෙක් කල් දමන්නට ඇතැම් ප‍්‍රාන්ත තීරණය කර ඇත. බි‍්‍රතාන්‍ය පවා ද්වීතියික අධ්‍යාපනයේ දී පාසල ආරම්භ කරන වෙලාව ප‍්‍රමාද කරන එකඟතාවයකය. එමගින් හොඳ ඉගෙනුමකට මග පාදන බව පිලිගෙන ඇති අතර පර්යේෂකයන් ගේ සොයාගැනීම් වලට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අවනත වී ඇත.

දරුවන් නියමිත වේලාවට පාසල් එවනු සඳහා පාන්දරින් අවදි කරන බව රහසක් නොවේ. ප‍්‍රධාන පාසල් අවට ඇති දුරගමන් බස් රථ ඒවායේ ගමන්කරන දරුවන්ගේ නිදා ගැනීමේ කාලය ගැන අපට ඉඟි කරයි. බස් රථයේ දී එන අතරවාරයේ පමණක් නොව පාසල් අවසන්ව ගෙදර යන අවස්ථාවේ දී ලබන කෙටි නින්ද දැනුම මොලයේ මතක ගබඩාවට යොමුකරන ජෛව විද්‍යාත්මක ක‍්‍රියාවලියට උපකාර කරන්නේ නැත. එහෙයින් දරවැන්ගේ යහපත සලසන රටක් වශයෙන් දරුවන්ගේ පැය අටක නින්දට ඉඩ දෙන ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ විය යුතුය. පාසල් නිවාඩු කාලයේ දී මෙම පැති ගැන අවධානය යොමු කිරීම සුදුසුය. අලූත් පාසල් වාරයේ දී දරුවන්ගේ පැය අටක නින්ද ගැන හිතන්නට අවශ්‍යය.