» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/06/2017 - ඉරිදා ලංකාදීප
පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත්වීමේ අදහස

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගියදා පැරිස් සම්මුතිය ගැන අදහස් දැක්වීය. හෙතෙම කියා සිටියේ ඇමරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවය. සී.එන්.එන්. පුවත් සේවය එය විශාල අවධානයක් ඇති කරන අන්දමට වාර්තා කර තිබිණ. මුළු ලෝකයම පරිසර තත්ත්ව හා කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් විශාල අවධානයක සිටී. ඇමරිකාවේ නව නායකයා වශයෙන් පත්වූ ට‍්‍රම්ප් මැතිවරණ කාලයේ දී පමණක් නොව ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ද ආන්දෝලනාත්මක තීරණ ගත් අතර ඒවා ලෝකය පුරා අලූත් අවධානයක් ඇති කරන්නට සමත්විය. මෙකී පැරිස් තීරණය ද එබදු අති විශාල අවධානයක් අත් පත් කරගත් එකක් සේ සැලකෙයි.

2015 වසරේ දී ලෝක නායකයන් ප‍්‍රංශයේ පැරිස් නගරයේ දී මුණ ගැසුණි. එහි දී එක අරමුණකින් ක‍්‍රියාකරන එකගතාවයකට පැමිණියේය. ගෝලීය උෂ්ණත්වය ඉහළයාම බලවත් තර්ජනයක් බව ලෝක නායකයන් මෙහි දී සාකච්ඡා කරන ලද අතර වසරකට උෂ්ණත්වය ඉහළයාම සියයට දෙකකට අඩු අගයකින් පවත්වාගෙන යන්නට හැකි අයුරින් කාර්මික ව්‍යුහය පවත්වාගෙන යාමට එකඟවිය. රටවල් 187 ක් මෙම සම්මුතියට අත්සන් කළේය. සියළුම රටවල් ඕසෝන ස්ථරයට වන හානි වැලැක්වීම සිය වගකීම බව තේරුම් ගත්තේය. ඕසෝන ස්ථාරයට හානි වන විට එය හිරු එළිය කෙළින්ම මහ පොලවට පතිත කරවන හේතුවකි. එය ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්නට බලපායි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මිහිතලයේ අයිස් කදු දිය වන අතර රටවල් ගණනාවක් මුහුදු ජලයෙන් යටවී වෙරලබඩ අහිමිවන තර්ජනයක් ඇති විය හැකි යැයි මෙහි දී සාකච්ඡා විය.

පැරිස් සම්මුතිය අත්සන් කර අවුරුදු දෙකක් ගත වන විට තත්ත්වය වෙනස් වන ලකුණු පහල වන්නේ ජාත්‍යන්තරය විමතියට පත් කරමින්ය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ නිර්වචනයට අනුව පැරිස් සම්මුතිය ඇමරිකාවේ ආර්ථික වර්ධනය අඩාලකරන එකකි. වේගවත් කාර්මීක ගමන අඩාල කළහොත් ඇමරිකාවේ ආර්ථිකය අනතුරකට පත්වන අතර එය ලෝකයේ වෙනත් රටවල් සමග සසඳන විට ඇමරිකානු ආර්ථිකයේ පසුබෑමකට හේතු විය හැකි බව ඇමරිකානු ජනාධිපතිවරයා ගේ අදහසයි.

ලෝකයේ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් මනුෂයාගේ කි‍්‍රියාකාරකම් වලින් සිදුවන බලපෑම ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව පැහැදිලි තීරණයකට පැමිණ තිබේ. නමුත් මනුෂ්‍ය කි‍්‍රයාකාරකම් වලින් පරිසරයට සිදුවන හානිය ගැන තර්කයක් ඇත. ලෝකයේ එක්තරා කණ්ඩායමක් ඉතා තදින් පැරිස් සම්මුතිය අගය කරන අතර ලෝකයේ පැවැත්ම වෙනුවෙන් කාර්මීකරණය සීමා කර පරිසරය ආරක්ෂා කළ යුතු බව ඔවුහු කියා සිටිති. අනෙක් කණ්ඩායම තර්ක කරන්නේ මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් වලින් එපමණ බලපෑමක් පරිසරයට නොවන අතර එය මහන්සිවී වෙනස් කළ යුතු තත්ත්වයක් නොවන බවය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා පෙනී සිටින්නේ මෙම පැති දෙක අතර වෙනත් මානයක් වෙනුවෙන්ය. ඔහු කියන්නේ ඇමරිකානු සංවර්ධනය අඩාල කරන්නට පරිසර ප‍්‍රශ්න හේතු කරගත යුතු නැති බවය. ඔහු සමහර විට කියන්නේ ලෝකයේ අනෙක් රටවල් ඇමරිකාව වෙත කරන බලපෑමක් වශයෙනි. පරිසර බාධා වලින් ඇමරිකානු ආර්ථිකය ඇන හිටීන්නේ නම් එය ප‍්‍රශ්නයක් බව හෙතෙම කියා සිටී.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත්වන බවට ප‍්‍රකාශයක් කරන විට ලෝකයේ වෙනත් ප‍්‍රධාන පෙලේ නායකයෝ එයට විරුද්ධව අදහස් පළ කර තිබේ. විශේෂයෙන් ජර්මන් චාන්සල් ඇන්ජෙලා මර්කර් කියා සිටියේ ඇමරිකාව ඉවත්වන තීරණය කණගාටුවට කරුණක්. එහෙම නමුත් ලෝකයේ සියළු රටවල් එය ඉදිරියට ගෙන යන අතර කිසි විටෙක එය නතර කළ නොහැකි බවය. එය අනුමත කරමින් ලෝකයේ තැනින් තැන ඉතාමත් තීරණාත්මක අදහස් පළ වන අතර වෙනදාට වඩා කාලගුණ විපර්යාස සහ හදිසි විපත් වාර්තා වන විට ලෝක නායකයන් පරිසය ආරක්ෂා කරගැනීම කෙරහි තව දුරටත් නතු වෙමින් තිබේ.

ලෝක නායකයන් ගේ අදහස ගෝලීය උණුසුම වැඩි කරන ගල් අගුරු සහ ඛනිඩ තෙල් වැනි බලශක්ති ප‍්‍රභව වලින් හැකිතාක් ඈත් විය යුතු බවය. නමුත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් තාක්ෂණයෙන් උසස් පිරිසිදු ගල් අගරු භාවිතාව නරක නැති බව විශ්වාස කරයි. ඔහුට අනුව මේවායෙන් වන හානිය අඩු අතර එයින් ඉවත්වුවහොත් ඇමරිකානු ආර්ථිකයට බලපෑමක් වන බව නැවත නැවතත් ඉතා අවධානයෙන් පෙන්වා දෙයි.

පැරිස් සම්මුතිය වැදගත් එකකි. ඉතිහාසයේ සිට මේ දක්වා ලෝකයේ සංවර්ධනය තුළ ගහ කොල වන සතුන් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දුන්නේය. මිනිසා පමණක් ජීවත්විය යුතු අතර ඒ වෙනුවෙන් සියළුම සම්පත් පරිහරණය කරන්නේ සාහසික අන්දමට බව පරිසර හිතකාමීහු පෙන්වා දෙති. මෙම ගමන එක්තරා අවදානමක් බව පෙනෙන්නේ ලෝකයේ පැවැත්ම අනතුරුදායක වන බව අනාවරණයවීම සමගය. ගහකොළ වැනසී, ගෝලීය උණුසුම වැඩිවුවහොත් මනුෂ්‍යයාගේ ඉරණම ඛේදවාචකයකින් අවසන්විය හැකි ව තිබුණ අතර අද ලෝකයේ නායකයන් එකතු වී ඇත්තේ එය වලකාගෙන යහපත් මිහිතලයක් අනාගත පරපුරට ඇති කරන උවමනාව ඇතිවය. නමුත් සම්පූර්ණයෙන් ම පරිසරය ගැන පමණක් සැලකිල්ල යොමු කරමින් ඉතා සාවධාන ගමනක් ගියහොත් පවතින ආර්ථික හා සමාජයීය තත්ත්වයට අත්පත්වන ඉරණම කුමක්ද? අතරමැදි අදහස් ඇති අය නගන තර්කය එයයි.

පසුගිය කාලය තුළ ශ‍්‍රී ලංකාය පරිසර ගැටළු වලින් අප‍්‍රමාණ පීඩනයකට ලක්විය. ස්වභාවික විපත් නැති සුන්දර දිවයිනක් සේ පැවැති ශ‍්‍රී ලංකාව අද මුහුද, වැස්ස, ගංවතුර, නාය යාම පමණක් නොව ජල හිඟයෙන් ද ගැටළු වලට මුහුණ පා තිබේ. මෑත වසර දෙක තුන තුළ මෙරට ප‍්‍රධාන පලාත් කිහිපයක් තද ගංවතුර තර්ජනයකට ලක් වූ අතර එයින් රටට අහිමි වී ගිය ජීවිත ගණන සැලකිය යුතුය. විනාශ වූ දේපොල ආර්ථිකය බරක් විය. නියඟය හා වැස්ස රට තුළ නිෂ්පාදනය අඩාල කළේය. ජනතාව ජීවත් කරන පරිසර සංරක්ෂණයක වැදගත්කම රට පුරා කතා කරන අතර බෝහෝ විවේචනාත්මක අදහස් මතු වූයේ ස්වභාවික සම්පත් වනසන අන්දම ගැනය. වැලි, පස් සහ ගස් යනාදී වශයෙන් සීමාවකින් තොරව සම්පත් භාවිතාකරන්නට පටන්ගත්තේ සංවර්ධනය වෙනුවෙන්ය. ඒවා රට තුළ ස්වභාවිකත්වය වෙනස් කළේය. ඒ අතරවාරයේ ආනයනය කරන ඉන්ධන සහ ගල් අඟුරු වැනි දේ රට තුළ කාර්මීකරණය සම්බන්ධ උණුසුම් විවාදයක් ඇති කළේය.

ගෝලීය උණුසුම පාලනය කළ යුතු බව එක හෙලා පිලිගන්නා නමුත් ජනතාව බලශක්තිය අඩුවෙන් පාවිච්චි කරන්නට සූදානම් නැත. නායකයන් පමණක් නොව පොදු ජනතාව ද වාහන පරිහරණය විදුලිය හා කාර්මික නිෂ්පාදන වෙනුවෙන් ඉතාම පරෙස්සම් විය යුතුය. නමුත් අවබෝධය මගින් පමණක් නොව නීති වලින් ද එය අවනත ස්වභාවයක් දක්වා කැඳවන්නට අසමත්ය. ඇත්ත කතාව එයයි. ශ‍්‍රී ලංකාව විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් පරිසර හිතකාමී තත්ත්වයක සිටියේය. ජල විදුලිය එයට හොඳම උදාහරණයයි. නමුත් ජනගහනය වැඩි වී එම සියළු දෙනා විදුලි මෙවලම් පරිහරණය කරන විට නිපදවන විදුලිය ප‍්‍රමාණවත් නැත. දැන් වැඩුපුරම නිපදවන්නේ ගල් අඟුරු හා දැවි තෙල් මගින් කරන විදුලිය උත්පාදනයයි. පැරිස් සම්මුතිය අනුව මේවා පාලනය කළහොත් ඉදිරි දශකය තුළ රටට බරපතල බලශක්ති අර්බුදයක් ඇති වෙයි. කර්මාන්ත ශාලා වසා දමන්නට සිදුවන අතර එය රට තුළ රැකී රක්ෂා අනතුරකට පත් කරයි. ආර්ථිකයට ගැටළු ඇති වෙයි. මේවා ඉතා පරෙස්සමෙන් අවධානය යොමු කළ යුතු දෙපැත්තක් ඇති කාරණා සේ පෙනේ.

ශ්‍රී ලංකාවට කෙසේවත් ඇමරිකානු න්‍යාය අනුගමනය කළ නොහැකිය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරන අන්දමට පැරිස් සම්මුතියෙන් ඉවත්වන බව කියන්නට හැකියාවක් නැත. නමුත් පැරිස් සම්මුතිය ට එකඟවන අතර රටට ගැලපෙන අතරමැදි යෝජනා වලට ගමන් කරන්නට හැකියාව තිබේ. ප‍්‍රතිපත්ති සම්පාදකයන් සොයා බැලිය යුතු එකී අවකාශය දෙසය. ඉහළ යන බලශක්ති ඉල්ලූම සහ පරිසර අවශ්‍යතා සම්බන්ධයෙන් තුලිත ප‍්‍රතිපත්ති ඇති කරන්නට පාලකයන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා ජනතාව අතර සම්මුතියක් ඇති කරගත යුතුය. ස්වභාවික විපත් හෙයින් ජනතාව විශාල වේදනාවක ඉන්නා මෙම අවස්ථාවේ ඒ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.