» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/03/2018 - ඉරිදා ලංකාදීප
අයිතිකාරීත්වය අත්හරින සමාජ ක‍්‍රමයක් බිහිවෙයි

ජන ජීවිතය වේගයෙන් තාක්ෂණය වෙත නැඹුරු වෙමින් පවතී. මනුෂ්‍යයන් වශයෙන් මෙතෙක් අනුගමනය කරමින් සිටි සියළු පැති අභියෝගයට ලක්වන්නට හේතු වී ඇත. ජන ජීවිතය පමණක් නොව ඇවැතුම් පැවැතුම් හා සංස්කෘතික ගුණාංග වලට ද තාක්ෂණික මෙවලම් වල බලපෑම තියුණු වී තිබේ. ආර්ථික සහ සමාජ පැවැත්ම කෙරෙහි තාක්ෂණයෙන් පමණක් නොව ඒවායේ ප‍්‍රතිඵලයක් වශයෙන් වෙනස් වන ආකල්ප මගින් ඇති කරන වාසි සහ අවාසි කෙරෙහි විද්වතුන් නොයෙක් පැති වලින් කරුණු දක්වා තිබේ.

තාක්ෂණය සමග සිදුවන පරිවර්තනය කුමක්ද? අයිතිකාර සමාජය අහෝසි වෙමින් තිබේ. හැම දෙයක් ගැනම අයිතියක් අවශ්‍ය ද යන ප‍්‍රශ්නය ජනී ජනයා සාකච්ඡා කරමින් සිටී. භෞතික සම්පත් සම්බන්ධයෙන් පවතින අයිතිය අත්හැර ඒවා අවශ්‍ය වේලාවේ දී පමණක් ප‍්‍රයෝජනයට ගන්නා සමාජයක් නිර්මාණය වෙමින් තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්. බුෂ් පුරවැසියන්ට සියළු දේ හිමිකාරීත්වය ලැබෙන සමාජයක් ගැන බෙහෙවින් උනන්දු වූ කෙනෙකි. ඔහු පමණක් නොව ඇමරිකාවේ සිටි සෑම ජනාධිපතිවරයෙකුම පුරවැසියන්ට නිවසක අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය. බුෂ් ජනාධිපතිවරයා 2003 වසරේ පෙබරවාරි මාසයේ දිනක පවත්වන ලද කතාවක දී ආර්ථික වශයෙන් ශක්තිමත් ජන සමාජයක් සහ දේපල හිමිකාරීත්වය පුරවැසියන් බිහිකිරීමේ උවමනාව ගැන කතා කර තිබේ. එය විශාල වශයෙන් එකල ලෝක අවධානයට ලක් වූ එකකි. නිවසක්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ඉතිරි කිරීම් මගින් පුරවැසියන්ගේ අයිතිකාර බව ඇතිකිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති බුෂ් පියවර ගත් අතර ඒ වෙනුවෙන් බදු සහන ප‍්‍රකාශයට පත් කර නොයෙක් අණ පණත් මගින් පහසුකම් සම්පාදනය කරන ලද බව ඇමරිකානු ඉතිහාසය දක්වයි. වර්තමානයේ ඇමරිකානු සමාජය පමණක් නොව නොයෙක් රටවල ජනතාව තමන්ටම දෙයක් අයිති කරගැනීමේ උවමනාව අඩු කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ පවා සෑම ජන නායකයෙකුම ජනතාව වත්කම් ඇති පිරිසක් බවට පත් කරන අභිලාශයෙන් කි‍්‍රයා කළේය. නිවසක් ඇති, හොඳ අධ්‍යාපනයක් ලැබූ පුද්ගලික වාහන අයිතිය සහිත දරු පවුලක් මගින් රටේ සංවර්ධනය පිලිබිඹු වන බව පාලකයෝ විශ්වාස කළහ. රට දියුණු කර ජනතාව කිසියම් ආර්ථික ශක්තියක් ඇති පිරිසක් බවට පත් කරන්නට පැවැති සෑම ආණ්ඩුවක්ම සැලසුම් දියත් කළේය. ආණ්ඩු ඉදිරිපත් කරන ලද වැඩ සටහන් වල අඩු පාඩු හෝ දුර්වලතා ගැන නිතර අදහස් පළවෙයි. නිසි ආකාරයට සමාජයේ සෑම පුද්ගලයෙකුටම සංවර්ධනයේ ප‍්‍රතිලාභ අත්පත් නොවීම ගැන පතල විවේචන තිබේ. වත්මන් ආණ්ඩුව පමණක් නොව ඉදිරියේ දී බලයට පත් වීම අරමුණු කරගෙන ජනතාව හමුවට යන දේශපාලන නායකයන් පවා ජනතාවගේ දේපොල අයිතිව ඇති කිරීම වත්කම් වැඩිකරන්නට අනුබල දෙන ව්‍යුහය සකස් කරන බවට පොරොන්දු දෙමින් තිබේ. නමුත් ලෝකයේ පැවැත්ම අනුව මෙරට පැවැත්ම ද ක‍්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව පෙනේ. ජාත්‍යන්තර ප‍්‍රවනතා අනුව අයිතිය ගැන දක්වන උනන්දුව අඩු වෙමින් පවතී. තමන්ටම අයිතිය තකන්නේ නැත. ජනී ජනයා අයිතිය අත්හරින්නට සූදානම්ය. ගෙය දොර, යාන වාහන පමණක් නොව ඇදුම් පැළදුම් පවා අවශ්‍ය වේලාවට පමණක් ප‍්‍රයෝජනයට ගන්නා මෙවලම් බවට පත්කරගෙන ඇත.

අයිතිය අත් හරින්නේ කෙසේද? ඉඩම්, ගෙවල්, යාන වාහන ඇතුළු වත්කම් මිලදී ගැනීම නතර කර තිබේ. ස්ථිර නිවාසයක් වෙනුවට නවාතැනක අවශ්‍යතාව ප‍්‍රයෝජනයට ගැනේ. විශාල ධනයක් වියදම් කර තමන්ටම ගෙයක් තනා ගැනීමට වඩා රැකියාව හෝ දරුවන්ගේ අධ්‍යාපනය සලකා ගැලපෙන තැනකින් වාසස්ථානයක් සම්පාදනය කර ගනී. ඉඩ කඩ විකිණීම ලෝකයේ විශාලතම ව්‍යාපාරයක් බවට පත්ව ඇත. නිවසක කොටසක් පමණක් නොව නිවාඩු දිනවලට තාවකාලිකව බැහැර යන විට එම කාලයට ද නිවස හෝ එයින් කොටසක් අවශ්‍ය කෙනෙකුට පැවැරිය හැකි වී තිබේ. එයාර් බී ඇන්ඞ් බී යනුවෙන් 2009 වසරේ ආරම්භ කරන ලද අන්තර් ජාල පුද්ගලික ව්‍යාපරයක් අද වන විට ඇමරිකානු ඩොලර් බිලියන 31 ක සමාගමකි. එය ලෝකයේ ඕනෑම තැනක ඉඩකඩ අලෙවි කරයි. සංචාරකයන් එමගින් ඉඩකඩ වෙන් කරගැනීම සියයට හැට පහකින් වර්ධනය වී ඇති අතර 2017 වසර අවසන් වින විට මිලියන 130 ක පිරිසක් අන්තර් ජාලය මගින් මෙම ආයතනය ප‍්‍රයෝජනයට ගෙන ඇත. මෙම කාර්යාල වල ඉඩකඩ අවශ්‍ය වෙලාවට තාවකාලිකව පවරන ව්‍යාපාර පවා පවතී. විශාල ඉඩක් ප‍්‍රයෝජනයට නොගෙන තනි පරිහරණයට තිබීම නාස්තියක් බව අද ආකල්පයයි. වාහනයක් පවා තමන්ගේම පරිහරණයට වෙන් කරගන්නේ නැත. ගමන වෙනුවෙන් අන්තර් ජාලයෙන් වාහන ඇනවුම් කරන්නට හැකි අතර එය වාසිදායක බව ජනතාව තේරුම් ගනිමින් තිබේ. පොත් මිල දී ගන්නේ නැත. පොතක් තමන්ටම අයිති විය යුතුය යන අදහස වෙනුවට එය අන්තර් ජාලයෙන් බාගත කරනෙග කියවන තැනට පත්ව තිබේ. නාට්‍යයක්, චිත‍්‍රපටියක් අවශ්‍ය වෙලාවක දී අවශ්‍ය කොටස පමණක් බලන්නට අවකාශය සකස් කරගෙන ඇත. ඌබර් යනුවෙන් අන්තර් ජාලයේ පවතින පහසුකම අනුව ඕනෑම තැනක යන්නට එන්නට වාහන ඇති නැති ස්වභාවය ප‍්‍රයෝජනයට ගත හැකිය. 2009 ආරම්භ වූ මෙම සේවාව අද වන විට ඇමරිකානු ඩොලර් බිලියන 70 ක ව්‍යාපාරයකි. එකම වාහනයකවත් අයිතියක් නැති සමාගමක් රියැදුරන් මිලියන හතක් ලියාපදිංචි කරගෙන ඇති අතර ලෝකයේ නගර 633 ක ප‍්‍රවාහන අවශ්‍යතා මෙහෙයවයි. තමන්ගේම අයිතියට වාහනයක් අනවශ්‍ය බව හිතන අලූත් පරම්පරාව මෙකී සේවාව ප‍්‍රයෝජනයට ගනිමින් තිබේ.

තමන්ටම නිවසක්, තමන්ගේ ගමන් බිමන් යන්නට තමන්ගේම වාහනයක් යන කාරණා තවත් වසර කිහිපයක් ගත වන විට කිසිම වැදගත්කමක් නැති ආකල්ප වන අතර මුදල් ගෙවා අත්පත් කරගන්නා ඉතාම වටිනා දේ බවට අත්දැකීම් බවට පත් වෙමින් තිබේ. දැනුම හා අවබෝධය වැඩි ජන කොටස අත්දැකීම් වෙනුවෙන් ආයෝජනය කරන්නට පටන් ගෙන ඇත. එය ඉතාම නූතන ව්‍යුහයකි. අයිති කරගැනීමේ අවශ්‍යතාව වෙනුවට ජීවත්වන අන්දම, සංචාරය කළ යුතු තැන්, අලූතින් හිතන්නට සුදුසු කාරණා යනාදිය වෙනුවෙන් ලෝකයේ එක්තරා කොටසක් නැඹුරු වෙමින් තිබේ. එය සීමා මායිම් නොතකා ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයකි. මෙකී නව ප‍්‍රවනතාව කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යය.

ජනතාව දේපොල අයිතිකරුවන් කරගැනීම වෙනුවට නිසි අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීමට හුරු කරන්නට අවශ්‍ය යැයි සිතන නායකත්ව ලෝකයට උවමනා කර තිබේ. ඉඩමක්, ගෙයක්, වාහනයක් හෝ වෙනත් දේ අයිතිකර ගැනීම වෙනුවට ඒවා නිසි සේ පරිහරණය කරන්නට අවශ්‍ය දැනුම හා අවබෝධය සමාජයට ලැබෙන දිනය වැඩි ඈතක නොවේ. එය ජනතාව තමන්ගේ අයිතිකාරීත්වය අත් හැර දැමීමෙන් පසු ඇති කරන්නා අලූත් යුගයක ආරම්භය වනු ඇත.