» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/02/2018 - ඉරිදා ලංකාදීප
අනිවාර්යයෙන් කියැවිය යුතු පොතක් ගැන කියන බිල් ගේට්ස්

අන්තර් ජාලයේ ජනප‍්‍රිය තීරු ලිපි රචකයන් සිටී. බිල් ගේට්ස් ඒ අතරින් අයෙකි. ‘ගේට්ස් නෝට්ස් ’ යනුවෙන් ජාත්‍යන්තර අවධානය දිනා ගත් තීරු ලිපියක් ලියන විශාල ධනවතෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා අනිවාර්යයෙන් කියැවිය යුතු පොතක් ගැන බ්ලොග් සටහනක් තබා තිබේ. ‘‘එන්ලයිට්මන්ට් නව්’’ වන මෙම පොත නිකුත් වෙන්නේ ලබන මාසයේ දීය. එහි පූර්ව පිටපතක් ගේට්ස් වෙත යවා ඇති අතර එය කියැවීමෙන් අමන්දානන්දයට පත්ව ඇති බිල් ගේට්ස් එහි කර්තෘ ස්ටීවන් පින්කර් ගේ ද්‍රෘෂ්ඨිය මහත් සේ අගය කරයි.

ස්ටීවන් පින්කර්ගේ මෙම කෘතිය ධනාත්මක එකක් වන අතර සාමාන්‍යයෙන් ජනතාව දකින ද්‍රෘෂ්ඨි කෝණය වෙනස් කරන්නට හේතුවන අන්දමේ වැදගත් පෙන්වාදීම් කර තිබේ. සාමාන්‍යයෙන් සිදුවන දේ ගැන තක්සේරු කරන අප එදා නම් මෙහෙම නැහැ අද මේ මොනවාද වෙන්නේ කියා කම්පාවට පත්වන්නට හුරු වී සිටිති. නමුත් පින්කර් ගේ කෘතිය ලෝකය යහපත් වී ඇති අතර කම්පාවීමට කිසිම හේතුවක් නැති බව තර්කානුකූලව පෙන්වා දෙයි. බිල් ගේට්ස් ගේ අවධානය දිනා ගන්නේ එකී ප‍්‍රවේශයයි.

මෙම කෘතියට අනුව 1990 දී ලෝකයේ ජනගහනයෙන් සියයට විස්සක් කුසගින්නේ සිටියේය. 2015 වන විට එය සුළු ප‍්‍රමාණයකි. 1960 ගණන් වල ලෝකයේ දරු උපත් වලින් සියයට තිස් පහක් අඩු බර මන්ද පෝෂිත තත්ත්වයේය. අද එය ඉතාම අඩු ප‍්‍රතිශතයකය. මැලේරියාව තුරන් කර තිබේ. ක්ෂය රෝගය, පෝලියෝ ඇතුළු බෝවෙන රෝග වලින් මියයන ප‍්‍රමාණය අඩු වී තිබේ. බෝ නොවෙන රෝග පවා පාලනය කරගත හැකි තරමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ලබා ඇති දියුණුව මානව යහපතට බලපා ඇත. මනුෂ්‍ය ඝාතන තවත් පැත්තකි. හැම තැනම වර්තාවන මිනීමැරුම් හෙයින් ලෝකය නරක තැනක් යනුවෙන් සිතයි. නමුත් පින්කර් ඉලක්කම් මගින් මේවා අසත්‍ය බව පෙන්වා දෙයි. ජනගහනයට සාපේක්ෂව මනුෂ්‍ය ඝාතන අඩු වී තිබේ. යුද ගැටුම් හෙයින් සිදුවන ඝාතන 1945 සිට අද වන විට විසි ගුණයකින් පහත වැටී ඇත. යුද්ධ ඇතිවීම වලක්වන ජාත්‍යන්තර නීති රීති එයට බෙහෙවින් හේතු වී ඇති බව දැක්වෙයි. ලෝකයේ පැවැත්ම යහපත් තැනක් බව පැහැදිලි කරන්නට මෙම කරුණු ප‍්‍රමාණවත් බව බිල් ගේට්ස් පෙන්වා දෙයි.

ස්ටීවන් පින්කර් ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහු පර්යේෂණ කර ගණන් හදා පෙන්වන තෙක් ජනතාව මිත්‍යාවක පිහිටා සිටියේය. ලෝකය දුප්පත් අතර අති විශාල පිරිසක් බඩගින්නේය. හැමතැනම අනතුරු හා ඝාතන සිදුවෙයි. මෙම මිත්‍යා අදහස් පැතිරෙන්නේ සිද්ධි ගැන තොරතුරු වාර්තාවන ප‍්‍රමාණය අනුවය. එය පින්කර් ගේ ‘‘එන්ලයිට්මන්ට් නව්’’ කෘතිය කරුණු සහිතව අනාවරණය කරයි. ඇත්ත පෙන්වාදෙන කරුණු අනාවරණය කරන අන්දම බිල් ගේට්ස් ගේ ඇගයීමට ලක් වන ප‍්‍රබල හේතුව වී තිබේ.

අකුණු අනතුරු ඉතාම වැඩි බව අපට හිතෙන දෙයකි. අකුණු වලින් මිය යන අය ගැන තොරතුරු නිතිපතා වාර්තා වෙයි. එය ජනතාව අතර භීතියක් ඇතිකරයි. නමුත් මෑත වසර සියය ඇතුලත අකුණු අනතුරු තිස් පස් ගුණයකින් අඩු වී තිබේ. එය තාක්ෂණයේ දියුණුව සමග වාර්තාවන හොඳ පැත්තකි. උස් ගොඩනැගිලි වල අකුණු වලක්වන ක‍්‍රම යෙදවීම හා යාන වාහනවල ගමන් කරන ප‍්‍රමාණය අනුව අකුණු වලින් ගැලවෙන්ට හැකිවීම වාසියක් වී තිබේ. මහ පාරේ සිදුවන අනතුරු ද වාහන ප‍්‍රමාණය හා ජනගහනයේ වර්ධනය අනුව පාලනය කරගත හැකි මට්ටමකට වැටී ඇත. නමුත් මේවා පිලිගන්නට සමාජය සූදානම් බව පෙනෙන්නේ නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීති, බදු ක‍්‍රම හා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වැනි දේ වලින් ලෝකයේ ජීවත්වන මිනිසුන් ගේ එදිනෙදා කාර්යය අසීරු කරන අතර මේවා වෙනස් කළ යුතු බව ඇතැමෙක් තර්ක කරයි. නමුත් ආණ්ඩුවක කාර්යය වෙනස් වුවහොත් පවතින තත්ත්වය තවත් නරකක එකක් විනා වෙනසක් නොවන බව පින්කර් මහාචාර්යවරයාගේ ‘‘එන්ලයිට්මන්ට් නව්’’ කෘතිය අනාවරණය කරයි.

වැඩ පොලේ දී සිදුවන අනතුරු ගැන ද මෙම කෘතිය කරුණු දක්වා තිබේ. එය ගේට්ස් නෝට්ස් වලින් උපුටා දක්වන කරුණකි. අද වන විට ඇමරිකාවේ වසරකට වැඩ කරන විට සිදුවන අනතුරු නිසා මියයන ප‍්‍රමාණය පන් දහසකි. ජනගහනය අද ප‍්‍රමාණයට වඩා පහෙන් දෙකකට අඩු කාලයේ දී එය විසි දහසක් වී තිබේ. නූතන ඉන්ජිනේරුවන්ගේ ශිල්පීය දක්ෂතා සහ යාන්ත‍්‍රීකරණයට නැඹුරුව හෙයින් තව දුරටත් වැඩ පොලේ දී සිදුවන අනතුරු පහත වැටී ඇත. නමුත් සමාජය එය පිලිගන්නේ නැත. කරුණු වාර්තා වූ සැනෙන් හිතන්නේ මේ තරම් අනතුරු මොකද? මේ රටට මොනවා වෙලාද? යනුවෙන්ය.

ජනතාවගේ පැවැත්ම පහසු වන සේ වෙනස් කරන්නට ගෘහ මෙවලම් බලපා ඇති බව ද මහාචාර්යවර්යා සිය කෘතියෙන් හෙළිකරන බව එය උපුටා දක්වන බිල් ගේට්ස් දක්වා ඇත. රෙදි සෝදන මැෂිම එයින් එකකි. 1920 දී කාන්තාවක් සතියකට පැය එකොලහමාරක් රෙදි සේදීමේ කටයුතු සඳහා වැය කළේය. 2014 වන විට එය පැය එකහමාරකට සීමා වී ඇත. නමුත් ගෘහණිය එම ඉතිරි කරගත් කාලය අනෙක් දේ වෙනුවෙන් වෙන් කරගෙන ඇති හෙයින් අතිශය කාර්ය බහුල තත්ත්වයට පත්ව ඇති අතර කිසිම වැඩක් කරන්නට වෙලාවක් නැති බව කියන්නේ එවැනි පසුබිමක බව ද මෙම කෘතියේ පෙන්වා දී ඇති වැදගත් අදහසකි. දරුවන්ගේ බුද්ධිවර්ධනය සෑම දශකයකටම වතාවක් තුන් ගුණයකින් වැඩි වන බව ද කෘතියේ අවධාරණයෙන් පෙන්වා දී ඇති කාරණයක් සේ බිල් ගේට්ස් උපුටා දක්වන බව සඳහන් කළ හැකිය.

වාර්තාකරණය අනුව සහ ඕනෑම රටක දේශපාලනඥයන් හැසිරෙන අන්දම අනුව සමාජය තුළ මතිමතාන්තර පැතිරෙමින් තිබේ. මනුෂ්‍යයාගේ පැවැත්ම යහපත් ව ඇති නමුත් එය පිලිගන්නට ඉඩ අවුරන සේ පසුබිම සකස් වී ඇත. මෙම කාරණා පදනම් කරගනිමින් ස්ටීවන් පින්කර් ගේ ‘‘එන්ලයිට්මන්ට් නව්’’ කෘතිය හැමදෙනාම කියැවිය යුතු එකක් බව බිල් ගේට්ස් පෙන්වා දෙයි.

බිල් ගේට්ස් ගේ බ්ලොග් අඩවිය ඔහු භාවිතා කරන්නේ කියවන්නට අලූත් අවබෝධයක් ඇති කරන අන්දමටය. වන මානයකින් සිදුවන දේ ගැන හිතන්නට ඉඩකඩ සලසයි. නූතන තාක්ෂණයේ දියුණුව හා එය ජන ජීවිතයට බලපාන අන්දම ගැන සාකච්ඡුා කරයි. බිල් ගේට්ස් තමන් උපයන ධනයෙන් අති විශාල කොටසක් ලෝකයේ යහපත වෙනුවෙන් නැවත ප‍්‍රදානය කරමින් සිටින අතර ඔහුගේ දැනුම ද ප‍්‍රජාව වෙත බෙදා දෙන්නේ නොමසුරුව බව සඳහන් කළ යුතුය. එය නව ප‍්‍රවනතාවයක් සේ සැලකේ. ගේට්ස් නිතර යහපත් පැත්ත දකින්නට කැමැතිය. උපයන ධනයෙන් විශාල ප‍්‍රමාණයක් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ පොදු යහපත වෙනවෙන් ප‍්‍රදානය කරයි. මෙම පොතින් දක්වන කරුණු කෙරෙහි හෙතෙම නැඹුරුවූයේ එම ප‍්‍රවනතාව අනුව යමින්ය.

ශ‍්‍රී ලංකාවේ ජීවත්වන අප සියළු දෙනාගේ සිතන මතන හා ක‍්‍රියාකරන අන්දම වෙනස් කරගන්නට මෙම කෘතිය හොඳ පදනමකි. එන්ලයිට්මන්ට් නව් යනුවෙන් මහාචාර්යවරයා ලියන්නේ ලෝකයේ පැවැත්ම ගැන විශාල අධ්‍යයනයකින් අනතුරුවය. ස්ටීවන් පින්කර් ගේ කෘතිය සියළු දෙනාටම මිල දී ගැනීමට හැකියාවක් නැත. නමුත් මෙරට විද්වතුන් හා පර්යේෂකයන්ට එය කියැවිය හැකිය. එම කෘතියෙන් උපුටාගත් පරිච්ඡේද අන්තර් ජාලයෙහි තිබේ. ලෝකය වෙනස් වූ අන්දම ගැන හිතා මෙම පවතින තත්ත්වය දෙස සුබවාදීව බලන්නට අපටද වගකීමක් තිබේ. පිරිහීම වෙනුවට ප‍්‍රගතිය ගැන ද, විනාශය වෙනුවට ගොඩනැගුණු අන්දම ගැන ද හිතන්නට එය ආරාධනා කර තිබෙන බව සඳහන් කරන්නට අවශ්‍යය.

හදිසි අනතුරක් වන විට, දුප්පත්කම ගැන හෝ වෙනත් දෙයක් ගැන තොරතුරක් වාර්තා කරන අවස්ථාවේ දී අලූතෙන් හිතන්නට වගකීමක් තිබේ. ලෝකය නරකම තැනක් නොව ක‍්‍රමයෙන් යහපත් වෙමින් පවතින බව අවධානය යොමු කිරීම සුදුසුය.