» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/11/2019 - ඉරිදා ලංකාදීප
ටියුනීසියාවේ සිදුවන දේශපාලන පරිවර්තනය තෙරුම් ගැනීම

ටියුනීසියානු ජනරජයේ ජනාධිපතිවරණය සති දෙකකට කලින් පැවැත්විණ. අලූත් ජනාධිපති කායිස් සෙයිඞ් සියයට හැත්තෑව ඉක්මවූ ඡන්ද පදනමක් අත්පත් කරගෙන විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ඇත. ඔහු වෘත්තීය වශයෙන් දේශපාලන පසුබිමක් රහිත පුද්ගලයෙකි. ටියුනිස් විශ්ව විද්‍යාලයේ නීති අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් ක‍්‍රියා කර ඇති අතර ව්‍යවස්ථා කටයුතු විශාරදයෙකි.

ටියුනීසියාව මෑත කාලය තුළ මහත් මතබේධ හටගත් රටකි. සිවිල් ගැටුම් ඇති විය. සමාජ මාධ්‍ය එම ගැටුම් පෝෂණය කළේය. බටහිර මාධ්‍ය අරාබි වසන්තය යැයි එයට පටබදින ලදී. අරාබි වසන්තය ඇරඹෙන්නේ ටියුනීසියාවෙන්ය. ඉස්ලාම් රටවල් පුරා ලැව් ගින්නක් සේ පැතිර ගිය අතර පාලකයන්ට එරෙහිව විශාල මතවාදයක් ගෙන ගියේය. 2010 වසරේ දී ආරම්භ වූ අතර වසරක් දෙකක් වන විට ටියුනීසියාවේ සිට ලිබියාව, ඊජිප්තුව, යෙමන් සහ බහරෙන් ඇතුළුව කලාපය පුරා ව්‍යාප්ත වී තිබුණි. බලයේ සිටි පාලකයන්ගේ ක‍්‍රියාකලාපය නිසා ජන ජීවිතය පත්ව ඇති පීඩනය මෙමගින් අවධාරණය කෙරිණි. ගැටුම්, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා බහුලව සිදුවූ අතර වහාම රෙජීමය වෙනස් කරන සේ බලකිරීම මෙම විරෝධතාකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම විය.

උද්ඝෝෂකයන්ගේ ප‍්‍රධාන මාතෘකාව වූයේ රැකියා හිගයයි. ලක්ෂ ගණන් තරුණ තරුණියෝ රැකියා විරහිතව සිටියහ. තරුණ අසහනය වර්ධනය විය. ජනතාව අධික ජීවන වියදමකින් පීඩා විදින අතර, පාලකයන්ගේ දූෂණ, දේශපාලන නිදහසක් නැතිවීම මෙම ජන විරෝධතා වල දී අවධාරණය වූ කරුණුය. අරාබි වසන්තයෙන් දින විසි අටකට පසු ටියුනීසියාව වසර විසි තුනක් පාලනය කළ බෙන් අලි ඉල්ලා අස් විය. ඔහුට විරුද්ධව මිනී මැරුම්, විශාල දූෂණ සහ බලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ආරක්ෂාව පතා අන් රටකට පලා ගියේය. හෙතෙම දස වසරකට පසු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වෙයි. 2015 වසරේ දී මෙම විප්ලවය මෙහෙයවූ පක්ෂයට රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාකරදීම උදෙසා නොබෙල් ත්‍යාගය හිමිවීම ද විශේෂත්වයකි.

තිබුණ පාලනය පෙරලා දමා අලූතින් පත් කරගත් නායකයන්ගේ පාලනය ගැන ද ප‍්‍රසාදයක් නොතිබුණ අතර ටියුනීසියාවේ තරුණ පෙල රට පාලනය වෙනුවෙන් අලූත් මුහුණක් ඉල්ලන්නේ එයින් අනතුරුවය. ජනතාව ගේ අධිෂ්ඨානය වූයේ රට තුළ විනය ඇති කිරීමයි. නීතිය තහවුරු කරන අතර දේශපාලනඥයන්ගේ දූෂණ තුරන් කිරීමයි. දේශපාලන නායකයන්ගේ හැසිරීමට විරෝධය පල කරන ව්‍යාපාර නැවත නැවතත් හටගනිමින් තිබුණි. එම පසුබිම තුළ ජනාධිපතිව සිටි බෙජි ඉසාබෙසි නැවතත් තරග නොකරන තීරණයක සිටි අතර එසේ තිබිය දී හදිසියේ අභාවයට පත්වීම හේතුවෙන් ජනාධිපතිවරණය ඉක්මන් විය.

අලූතින් තේරී පත් වූ ජනාධිපතිවරයා එනම්, කායිස් සෙයිඞ් පවතින රාමුව වෙනස් කරනු සදහා ස්වාධීනව ඉදිරිපත් වීමට තීරණය කර තිබුණි. පළමු වටයේ දී ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම බහුතරය ලබා ගැනීමට නොහැකිවිය. නමුත් දෙවන වටයේ දී සෙයිඞ් වේගයෙන් ඉදිරියට පැමිණි අතර තරුණ ඡන්ද වලින් සියයට අනූවක් ලබා ගැනීමට සමත් වූ බව ටියුනීසියාවේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵල වාර්තා විශ්ලේෂණ පෙන්වා දෙයි.

ජනාධිපතිවරණ වේදිකාවේ දී ස්වාධීන සමාජ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ කායිස් සෙයිඞ් කතා කළේ දූෂණ විරෝධය ගැන දරන අදහස පමණකි. ටියුසියානු වැසියෝ අනෙක් කිසිිවක් ජනාධිපති අපේ්ක්ෂකයාගෙන් බලාපොරොත්තු නොවූහ. ජනතා ධනය කොල්ලකන පාලනය වෙනස් කිරීම ගැන පමණක් සම්පූර්ණ අවධානය යොමු කළහ. පාලකයෝ නීතිය නොතැකීම හා ව්‍යවස්ථා විරෝධීව හැසිරීම ටියුනීසියාවේ පවතින අවුල් ජාලයට මුල බව ජනාධිපතිවරණ වේදිකාවේ දී කියා සිටි හෙතෙම නැවතත් විනය ගරුක පාලනයක් ගොඩනැගීම තම එකම අභිලාශය බව පෙන්වා දුන්නේය. ජනතාව කායිස් සෙයිඞ් නම් කළේ ‘‘රොබෝකොප් ’’ වශයෙනි. ඡන්දයට කලින් පුවත් පතකට දුන් සාකච්ඡාවක දී ජනාධිපති අපේක්ෂක කායිස් සෙයිඞ් කියා සිටියේ නැවත වතාවක් මරණ දඩුවම රටට හදුන්වා දිය යුතු බවය. ජනාධිපතිවරණය වෙනුවෙන් කිසිම දැන්වීමක් පළ නොකරන ලද අතර දූෂණ විරෝධය තරුණ පෙල අතර මාතෘකාවක් කරන්නට සෙයිඞ් ට හැකියාව ලැබුණි. එය ජයග‍්‍රහණයේ මාවත සැකසූ බව විචාරක අදහසයි.

ප‍්‍රංශයෙන් නිදහස ලැබූ 1956 වසරට පසු උපත ලැබූ පරම්පරවේ පුද්ගලයෙකු ටියුනීසියාවේ බලයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. ජනතාවට ඔහු ගැන අප‍්‍රමාණ බලාපොරොත්තු තිබේ. අලූත් ජනාධිපතිවරයාට දේශපාලනය ගැන කිසිම අත්දැකීමක් නැත. අරාබි වසන්තය ට පසු කලාපයේ රටවල් අතරින්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තට හැරුණු රටක් වශයෙන් ටියුනීසියාව ලෝක අවධානය දිනා ගත් අතර එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් යටතේ ජනාධිපතිවරණයක් දෙවන වතාවට ද පවත්වා තිබේ. ජනාධිපතිවරණය පැවැත්වෙන අතරවාරයේ පාර්ලිමේන්තු මැතිවණයක් ද තිබුණ නමුත් කිසිම සම්ප‍්‍රදායික පක්ෂයකට බහුතරයක් දිනා ගැනීමට හැකි වූයේ නැත. අවසාන වශයෙන් එකමුතුව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට පවා අවස්ථාවක් නැති බව ලැබෙන වාර්තා පෙන්වයි. දූෂණ තුරන් කර නීතිය තහවුරු කරනු ඇතැයි පොදු ජනතාව තුළ විශාල බලාපොරොත්තු ඇති නමුත් සිදුවන්නේ කුමක් දැයි තවමත් පැහැදිලි නැත. විශාල ජන වරමක් දුන් ජනාධිපතිවරයාගෙන් රට තුළ පාලනය තහවුරු කරනු ඇතැයි සෑහෙන විශ්වාසයක් මෝදු වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ පවතින ජනාධිපතිවරණය ගැන ද ජනතාව තුළ බලවත් අදහස් තිබේ. රාජපක්ෂ පාලනය පෙරලා බලයට පත් කළ ආණ්ඩුවෙන් යහපාලනය ගැන අපේක්ෂා තිබුණි. සිවිල් සමාජය හා තරුණ පිරිස රට තුළ බලවත් පරිවර්තනයක් ඇති කරනු ඇතැයි බලා සිටි බව නොරහසකි. නමුත් අද වන විට තත්ත්වය වෙනස් වී තිබේ. වෙනසක් කරන බව ප‍්‍රකාශ කර බලයට පැමිණි පාලකයන් ගෙන් ලැබුණ දේ ගැන ජනතාවට ප‍්‍රශ්න තිබේ. විශේෂයෙන් දූෂණ වංචා මැඩ නීති ගරුක පාලනයක් ඇති කරන්නට ගත් පියවර ගැන ගැටළු ඇත. අති විශාල දූෂණ හා ඒවා නීතිය හමුවට පමුණුවා දඩුවම් දෙන බව ප‍්‍රකාශ කර බලයට පැමිණි ආණ්ඩුව එහි දී අසමත් විය. තොරතුරු දැන ගැනීමේ අයිතිය හා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සංකේත පමණක් වී තිබේ. සුපුරුදු ගතානුගතික, බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් ශේෂ වූ පරිපාලන ක‍්‍රමය තුළ පැලැන්තිය ආරක්ෂා වී ඇති අතර ධෛර්යවන්ත, යමක් කරන්නට උත්සාහ කරන තරුණන් ගේ පරමාර්ථ සාක්ෂාත් වී නැත. මෑත කාලය තුළ සමාජ මාධ්‍ය මගින් එල්ල වූ විවේචන එයට හොද උදාහරණයකි. තරුණ පෙල ක‍්‍රියා කරන හා අවධානය යොමු කරන ආකාරය ගැන ආණ්ඩුව වටහා ගන්නට උත්සාහ කළේ නැත.

අලූත් යුගයක් ඉල්ලන රටට ජනාධිපතිවරණ වේදිකාවේ දී ලැබෙන්නේ මොනවාද? එය ද ප‍්‍රශ්නයකි. සෑහෙන පොරොන්දු ප‍්‍රමාණයක් ජනතාව හමුවේ තබා තිබේ. නොමිලේ දෙන දේ ගැන යහමින් ප‍්‍රකාශ වෙයි. ජනතාව ගේ බලාපොරොත්තුව ආණ්ඩුවෙන් දෙන දේ ගැනීමද? රට තුළ විනයක් ඇති කරන, නීතිය බලගන්වන, යුක්තිය ඉටු කරන ආකාරය ගැන අපේක්ෂකයන්ගෙන් ප‍්‍රකාශ වන තරම සීමිතය. උතුරු නැගෙනහිර ජනතාවට පමණක් නොව දකුණේ ජනතාවට ද පවතින ක‍්‍රමයෙන් ලැබෙන අවස්ථා ගැන ප‍්‍රශ්න තිබේ. ඒවාට උත්තරය ආණ්ඩුවෙන් ලැබෙන සහනාධාර, හෝ අතට මුදල් බෙදා දෙන පියවරක් නොවේ. එය ඉතාම පැහැදිලිය. සාධාරණ සමාජයක් අපේක්ෂා කරන ලද ජනාධිපතිවරණයට පසු පවත්වන වසර 2020 න් පසු පාලනය ගෙන යන ජනාධිපතිවරණය ගැන පුලූල් අදහසක් අවශ්‍යය. විශේෂයෙන් එලැඹෙන යුගය තාක්ෂණික එකකි. පවතින ක‍්‍රම වෙනස් වෙයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, ආහාර නිෂ්පාදනය හා බෙදාහැරීම යනා දී අංශ වල රාමුව වෙනස් වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පැරණි ගතානුගතික නිලධාරීවාදයෙන් අනාගතයේ දී පැවැත්මක් නැත. නමුත් ජනාධිපතිවරණ වේදිකාව මෙවැනි පැති ගැන සාකච්ඡා කරන්නේ නැති තරම්ය.

ශ‍්‍රී ලංකාවේ අභිවෘද්ධිය, ඉදිරි පැවැත්ම ගැන අවධානය යොමු කරන විට ජාත්‍යන්තරයෙන් ලැබෙන පාඩම වැදගත්ය. ජනතාව ගේ අපේක්ෂාව බලය නොවේ. බලය ඉල්ලන පාලකයෝ රටට හා ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඇති කරන්නේ කෙසේදැයි විමසා බැලීම සුදුසුය.