ඉන්දියාව 2011 වසරේ දී එරය වැසියන්ට ආහාර අයිතිය තහවුරු කරන පණතක් ඉදිරිපත් කළ අතර වසර දෙකකට පසු පාර්ලිමේන්තු අනුමැතියෙන් එය නීතියක් බවට පත් කර තිබේ. ජනතාවට ආහාර වෙනුවෙන් අයිතියක් ඇති අතර ඉන්දීය ආණ්ඩුව එය සම්පාදනයට නීතියෙන් බැඳී ඇත. හාල්, තිරිඟු සහ මෙනේරි නිශ්චිත ප‍්‍රමාණයක් පාලන මිලට දුප්පත් ජනතාව වෙනුවෙන් නිෂ්පාදනය කරන අතර ගැබිනි හා කිරිදෙන මව්වරු කුඩා දරුවන් සඳහා පෝෂණ ආහාර අවශ්‍ය අයට නොමිලේ සම්පාදනය කෙරේ. තමිල්නාඩුවේ පවත්වාගෙන යන අම්මා කැෆේ අවහන් හල ඉන්දියාවේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ සංකල්පයෙහි කැපී පෙනෙන එකකි.
බි.බී.සී.පුවත් සේවාවේ ගීතා පාන්ඬේ චෙන්නයි හි පිහිටි අම්මා අවන්හලෙන් ආහාර ගෙන එහි අත්දැකීම ලෝකය පුරා සන්නිවේදනය කළාය. එපමණක් නොව ඉන්දියාවේ පුවත් පත් හා මාධ්‍ය ජාලා අම්මා අවන්හලෙහි ආහාර සපයන ආකාරය අගය කරමින් තොරතුරු විශාල ප‍්‍රමාණයක් අනාවරණය කර තිබේ. තමිල්නාඩු දේශපාලනයෙහි ප‍්‍රකට චරිතයක් වන ජේ. ජයලලිතා අම්මා ආහාර සංකල්ලයෙහි නිර්මාතෘවරියයි. එය පදනම් කරගෙන සෑහෙන ජනප‍්‍රියතාවයක් අත් පත් කරගත් නමුත් තමිල්නාඩුව පුරා ඇති දෙසීයකට වැඩි අම්මා අවන්හල් වලින් මැතිවරණය කරන තද උවමනාවක් තිබුණ බවක් අනාවරණය නොවේ. අම්මා අවන්හල් විවෘත කිරීමෙන් අවුරුද්දකට පසු තමිල්නාඩුවේ පැවැති මැතිවරණයෙන් ආසන තිස් නමයකින් තිස් හතරක් දිනාගන්නට ජයලලිතා සමත් විය. දේශපාලන විචාරකයන් කියා සිටියේ සමස්ථ තමිල්නාඩුවම වෙනස් කරන්නට එවකට තිබුණ එක අවන්හලකට හැකියාවක් නැති බවය.
අම්මා අවන්හල පිරිසිදු සහ අඩුම මිලට ආහාර දෙන තැනකි. දවසේ තුන්වේලටම ආහාර ලබාගත හැකි අතර අඩු ආදායමක් ලබන වැඩ කරන ජනතාවට එය සෑහෙන අස්වැසිල්ලකි. බි.බී.සී.පුවත් සේවාවේ මාධ්‍යවේදිනිය ලියන අන්දමට පරිප්පු හා කුළුබඩු මිශ‍්‍රකර තනන ලද බත් හා කිරි මිශ‍්‍ර කර සකස් කරන ලද බත් ඉන්දියානු රුපියල් පහකට අලෙවි කර ඇති අතර පසුව එය තවත් මිල අඩු කරන ලද අතර නොමිලේ වුව ද ආහාර ගැනීමේ බාධාවක් නොතිබුණ බව මෙම අවන්හල් ජාලය ගැන කියන තවත් වාර්තා දක්වයි.
ඉන්දියාවේ ජනගහනයෙන් වඩාත්ම දුප්පත් කොටස මෙම අම්මා අවන්හල් වලින් දිනපතා ආහාර ගන්නට නැඹුරු වී සිටිති. දුප්පත් අයගෙන් තුනෙන් දෙකක පමණ කොටසක් මෙම අවන්හල් වලින් යැපෙන බව දැක්වේ. එයට කරන වියදමෙන් සෑහෙන කොටසක් තමිල්නාඩු අය වැයෙන් වෙන් කෙරේ. සහල් සහ පරිප්පු තමිල්නාඩු රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවෙන් ලැබෙන අතර ජලය හා විදුලිය පලාත් පාලන ආයතන වලින්ය. ස්වේච්ඡාවෙන් මෙන් වැඩ කරන කාන්තාවන්ට ගෙවන දීමනාව ද තමිල්නාඩු ආණ්ඩුවෙන් ගෙවන බව දැක්වෙයි. කෙසේ නමුත් තමිල්නාඩු දුප්පත් ජනතාව තම දෛනික ආදායමෙන් විශාල කොටසක් ආහාර වෙනුවෙන් කරන ලද වියදම මෙයින් පිරිමසා ගෙන ඇති අතර පිරිසිදු සරල අහාර වේලකින් තෘප්තිමත් වී තිබේ. තමිල්නාඩු දේශපාලනයේ දී ජනතාවට නොමිලේ තෑගි සම්පාදනය විශාල අවධානයකට ලක් වූ කරුණකි. කරුණානිධි මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් තමන්ගේ අනුගාමිකයන්ට රූපවාහිනි සහ ලැප්ටොප් බෙදා දුන් බව නොරහසකි. නමුත් සුළු ආදායමකින් ජීවත්වන ජනතාවට දිනපතා ආහාර වේලක් ලැබීම එයට වඩා පරිත්‍යාගයක් සේ සනිටුහන් වී තිබේ.
එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වන අන්දමට දිනපතාම රාත‍්‍රි ආහාර රහිතව කුසගින්නේ නින්දට යන ලෝකවාසීන් ප‍්‍රමාණය බිලියනයක් බව දක්වයි. දුප්පත්කම එපමණ තියුණු ඉරණමකි. ලෝකයේ නොයෙක් තැන අති විශාල ආහාර ප‍්‍රමාණයක් නාස්තිවන නමුත් කුස ගින්නට ආහාර නැතිව දුක් විඳීන ජන කොටසක් සිටී. තමිල්නාඩුව ඒ අතරින් යම් කොටසකට නිතිපතා ආහාර සම්පාදනය කරයි. ඉන්දියානු ආණ්ඩුව ආහාර ලබාගැනීම ජනතාවගේ අයිතියක් බව පාර්ලිමේන්තුවේ සම්මත කරන විට එය ප‍්‍රායෝගිකව සැලසුමකට අනුව කරගෙන යන්නේ අම්මා අවන්හල් වල කෑම සම්පාදනය කරන වැඩ පිලිවෙල අනුවය.
ලෝකයේ රටවල් හතලිහක් අද වන විට ජනතාවගේ එදිනෙදා ආහාරවේල අයිතියක් බව පිලිගෙන තිබේ. ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය, චීනය සහ කැනඩාව ඇතුළු රටවල් එම අයිතිය පිලිගෙන ඇති රටවල් අතර සිටින බව දැක්වීම වැදගත්ය. ශ‍්‍රී ලංකාව මෙම අයිතිවාසිකම අතර ඇත්තේ කොතැනකද? මෙරට ආහාර පහසුව හා ජනතාවගේ ජීවන මට්ටම ගැන සිතන ඕනෑම කෙනෙකු ජනතාවට එදිනෙදා වේල ප‍්‍රශ්නයක් නැති බව හිතන්නට ඉඩ තිබේ. නමුත් ඇත්ත එය නොවේ. ආහාර සම්බන්ධ කරගෙන විශාල පන්ති පරතරයක් නිර්මාණය වී ඇත. එය එතරම් යහපත් නැත. වර්තමානයේ කරන මහා පරිමාන විවාහ උත්සවයක් ගැන අවධානය යොමු කරන්න. හෝටලයක විවාහ උත්සවයක දී එක පිඟානකට අය කරන අඩුම මුදල රුපියල් දෙදහස ඉක්මවා ඇත. එම මිලක සිට වේලක අය කිරීම රුපියල් පනස්දහස ලක්ෂය ඉක්මවා යන ස්වභාවයක් පවතින බව නොරහසකි. හෝටලයක පවත්වන මංගල උත්සවයකට සහභාගීවන කිසිවෙකු මෙම වේල භුක්ති විඳින්නේ කුස පිරෙන තරමට විනා එහි ඇති සංදර්ශනයෙනි හිත පිරෙන අන්දමට නොවේ. රට තුළ ආහාර වේලක් වෙනුවෙන් අති විශාල මුදලක් වියදම් කරන්නට හැකි පිරිසක් සිටිය දී එය දකින එය කෙරෙහි කනස්සල්ලෙන් ජීවත්වන පිරිස ගැන අප අවධානය යොමු කළ යුතුව තිබේ. සෑම දෙනෙකුම සතුටු කරන ආහාර සංස්කෘතියක් රටට අවශ්‍ය බව පිලිගත යුතුය.
මෙරට නගරබද හෝ අර්ධ නාගරික ප‍්‍රදේශවල එදිනෙදා වැඩට එන පිරිසට ආහාර ගැන සතුටක් තිබේද? කොළඹ හෝ ඒ අවට තැන් වල උවමනා තරම් ආහාර විකුණන අවන්හල් ඇතත් ජනතාව ඒවායෙන් මිළ දී ගන්නා ආහාර ගැන සතුටක් නැත. ගෙවන මුදල පමණක් නොව ඒවා පිලියෙල කරන ආකාරය ද අතෘප්තිමත්ය. අක‍්‍රමවත් සහ අසංවිධානාත්මක මුලූතැන් ගෙවල් වල ප‍්‍රාථමික සෞඛ්‍ය විධිවිධාන හෝ අනුගමනය නොකර ආහාර විකුණන තැන් පවතින බව රහසක් නොවේ. දිනපතා වැඩට එන පිරිස තමන්ගේ ගෙදරින් සකස් කරගෙන එන කෑම වේල නැත්නම් පිටතින් මිල දී ගන්නට සිදුවන අතර ඒ වෙනුවෙන් වියදම් කරන මුදල ආදායමෙන් සෑහෙන කොටසක් බව තේරුම් ගත හැකිය. උපයන දෙයින් කොටසක් වියදම් කර එය ද අවම සතුටක් ගෙන දෙන ආහාරයක් නම් රට තුළ වැඩකරන ජනතාවගේ ධෛර්යය හා ආත්මශක්තිය ගැන අවධානය යොමු කරන්නේ කෙසේද? වැඩ කරන ආකල්ප ගැන හිතන්නේ කොහොමද?
ශ‍්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ ඇති නැති පරතරය යම් පමණකින් පාලනය කරන වැඩ සටහනක් අවශ්‍යය. රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදකයන් එය කෙරෙහි අවධානය යොමු කරන්නට අවශ්‍යය. රජයේ යාන්ත‍්‍රණය ගැන රට තුළ පවතින ආකල්පය හොඳ එකක් නොවේ. එහෙයින් පුද්ගලික අංශය හා ස්වේච්ඡුා සංවිධාන පොදු ජනතාවට සහන මිලට ආහාර වේලක් දෙන ස්ථිර වැඩ පිලිවෙලක් ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. එය අපහසු නැත. වෙසක් පොසොන් වැනි ආගමික අවස්ථාවල ආහාර දන්සැල් වලට රට තුළ විශාල උනන්දුවක් තිබේ. අනුරාධපුරය වැනි නගරවල වසර පුරා දන්සැල් පවත්වයි. කොළඹ නගරයේ පවා රෝහල හා වෙනත් තැන් වල උනන්දුවක් ඇති පිරිස එකතු වී සේවාවක් වශයෙන් අවශ්‍ය අයට ආහාර වේලක් දෙන වැඩ පිලිවෙල පවත්වාගෙන යයි.
රටට අවශ්‍ය සංවිධානාත්මකව පොදු ජනතාව වෙනුවෙන් ආහාර වේලක් දෙන ස්ථිර ක‍්‍රියාමාර්ගයකි. වියලි ආහාර හා එලවලූ විකුණන ව්‍යාපාරිකයන්ට එයට සහාය දිය හැකිය. සාමාන්‍යයෙන් විකුණන මිලට වඩා අඩුවෙන් හෝ තමන්ගේ අලෙවියෙන් කොටසක් සමාජ සත්කාරය වෙනුවෙන් වෙන් කළ හැකිය. පන්සලක් පල්ලියක් හෝ වෙනත් පොදු තැනක අවන්හල් සකස්කළහොත් ජලය විදුලිය සම්පාදනය රජයට හෝ පලාත් පාලන ආයතනයට කළ හැකි දෙයකි. සත්පුරුෂයන්ට ස්වේච්ඡාවෙන් වැඩ කරන්නට කැමැති අයට මෙම අවන්හල් වල සේවය කරන්නට පුලූවන්කම ලැබේ. කොතැනකින් හෝ අලූත් අදහසක් පැන නැගී සාමාන්‍ය ජනතාවගේ ආහාර වේල දරාගත හැකි මිලකට ලැබෙන වැඩ පිලිවෙලක් සකස්කළ හැකි නම් එය ඉතා වැදගත්ය. තමිල්නාඩුවේ අම්මා අවන්හල් ජාලය පෙන්වන්නේ එයට ඇති හැකියාවයි.
|