» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/06/2018 - ඉරිදා ලංකාදීප
අලූතින් ඉදිකරන ගොඩනැගිලි වල වහලට සූර්ය පැනල් අනිවාර්ය කෙරේ

වසර 2020 සිට අලූතින් ඉදිකරන ගොඩනැගිලි වල වහල සඳහා සූර්ය පැනල් භාවිතා කිරීම ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තය අනිවාර්ය කර තිබේ. නව නිවාස ඉදිකරන විට ඒවායේ වහල සූර්ය තාපයෙන් විදුලිය ලබාගත හැකි පරිදි සකස් කළ යුතු අතර එවැනි නියෝගයක් පනවන ලද ඇමරිකාවේ පළමු ප‍්‍රාන්තය බවට කැලිෆෝනියාව පත්ව ඇත. බොහෝ දුරට ලෝකයේ පළමුවැනි ස්ථානය වීමට ද ඉඩ තිබේ. නොමිලේ ලැබෙන සූර්ය තාපය බලශක්තියක් වශයෙන් භාවිතා කරන්නට ලෝකයේ දියුණු රටවල් දක්වන උනන්දුව මෙයින් පැහැදිලි වෙයි.

කැලිෆෝනියාව ඇමරිකාවේ විශාල ප‍්‍රාන්තයකි. ලෝස් ඇන්ජලිස් හැරුණ විට එරට ඉතාම ජනප‍්‍රිය නගරය පිහිටි ප‍්‍රදේශය වශයෙන් සැලකේ. ජනගහනය සම්බන්ධයෙන් නිව්යෝක් නගරය පමණක් දෙවැනි වෙයි. කැලිෆෝනියාවේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 2.8 ඉක්මවන අතර කැලිෆෝනියාව රටක් වශයෙන් සැලකුවහොත් ලෝකයේ විශාලතම ආර්ථිකයක් හිමි රටවල් ලැයිස්තුවේ පස්වැනි තැනට පත්වනු ඇත. අලූත් අවස්ථා සොයා ගිය පිරිසක් ඇමරිකාව යනුවෙන් රටක් නිර්මාණය කළේය. අලූත් දේ සොයා ගැනීම සඳහා කැපවීමෙන් බලවත් ජාතියක් බවට පත්ව තිබේ. ඇමරිකාව මෙම පරිවර්තනය තුළ ක‍්‍රියාකරන ලද ආකාරය ගැන නොයෙක් විවේචන පවතී. එනමුත් ජාත්‍යන්තරය තුළ ඇමරිකානු ව්‍යුහය සම්පූර්ණයෙන් අභියෝගයට ලක් කරන්නට නොහැකි වී තිබේ.

ප‍්‍රාන්තයේ අලූතින් තනන නිවාස වෙනුවෙන් සූර්ය බලශක්ති උපයෝගීතාවය ගැන කැලිෆෝනියානු බලශක්ති කොමිසම නව රෙගුලාසි පනවන්නේ ඇයි? ආර්ථිකයට ලැබෙන වාසි සලකා බලා බව පැහැදිලිය. නිවාස වල වහලයේ ඇති සූර්ය තාප පැනල් වලින් දිවා කාලයේ දී ආලෝකය හා ඉවුම් පිහුම් වැඩ කරගන්නා විට බලශක්ති වියදම බිංදුවට බසී. නව ප‍්‍රවනතා අනුව වාහන ආරෝපනය කරන ලද බැටරි බලයෙන් ධාවනය වන අතර එය ද ඉන්ධන භාවිතය සීමාකරන හේතුවකි. එය වැසියන්ගේ යහපතට හේතු වෙයි. සූර්ය කෝෂ නිසා ප‍්‍රාන්තයේ බලශක්ති උත්පාදන වැඩසටහන් නවීකරණය වන අතර එයින් විශාල වාසියක් ලැබේ.

පැරිස් සම්මුතිය අනුව ගෝලීය උණුසුම පාලනය කරන ක‍්‍රියාකාරකම් වෙනුවෙන් ලෝක ප‍්‍රජාව පෙලගැසී ඇත. කැලිෆෝනියාව එහි ලා ඉදිරියෙන්ම සිටින බව සඳහන් කළ යුතුය. පරිසරයට හානි නොවන ස්වභාවික බලශක්තිය හැකි පමණින් උපයෝගී කරගනා ප‍්‍රතිපත්ති වලට ප‍්‍රාන්තය එළැඹෙයි. වසර 2050 වන විට විදුලිය නිපදවීම හා ප‍්‍රවාහනය සම්පූර්ණයෙන්ම පුනර්ජණනීය හෝ පරමානු බලයට පමණක් සීමා කරන නීති පනවන ලද කැලිෆෝනියාව මෙයට කලින් පනවන ලද අතර නිවාස වල වහලට සූර්ය කෝෂ භාවිතා කළ යුතු බව තීරණය කරන්නේ එයින් අනතුරුවය. දැනට සියයට විස්සක් පමණ වන ගෘහස්ථ සූර්ය බල පද්ධති භාවිතාව මෙම තීරණය අනුව විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි සැලකේ.

ජාත්‍යන්තර නායකයන්ගේ එකඟතාව මත තෙල් පරිභෝජනය අවම වන තැනට ලෝකය පුරා කරුණු යොමු වෙමින් පවතී. විදුලි වාහන හෙයින් ප‍්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයන් එන්ජිමක් නැති වාහන නිපදවන තීරණයට එළැඹ තිබේ. යුරෝපය, චීනය ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවක් ඛනිජ තෙල් භාවිතා කරන රථ වාහන රට තුළ භාවිතා කළ හැකි අවසාන දිනය ගැන නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත. ඉන්දියාව මෙහි දී තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. කේරළ ප‍්‍රාන්තයේ කොචින් ගුවන් තොටුපල සම්පූර්ණනේම සූර්ය බලශක්තියෙන් බල ගැන්වී තිබේ. 2013 දි අත්හදා බැලීමක් වශයෙන් සූර්ය පැනල් හාරසියයක් උපයෝගී කරගත් අතර එහි සාර්ථකත්වය අනුව ගුවන් තොටුපොලේ සම්පූර්ණ විදුලිය ජනන අවශ්‍යතා වෙනුවෙන් සූර්ය පැනල් වෙනුවෙන් ආයෝජනය කර තිබේ. එයට වියදම් කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 9.5 කි. ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ බලධාරීන්ට අනුව මෙම පිරිවැය අවුරුදු හයකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගත හැකිය. කටුනායක ගුවන් තොටුපොලේ පර්යන්තය සංවර්ධනය කරගත නොහැකිව සිටින රටට සූර්ය බලයෙන් තාක්ෂණික විප්ලවයක් යෝජනා කිරීම ප‍්‍රයෝජනයක් නැත.

සූර්ය බලය විදුලියට හරවන තාක්ෂණය දියුණු කරන්නට ප‍්‍රකට නව නිපැයුම්කරුවන් වන මාර්ක් සුකර්බර්ග් හා බිල් ගේට්ස් පෙරමුණ ගෙන ඇත. නුදුරු අනාගතයේ දී උත්පාදනය කරන සූර්ය විදුලිය බලය රාත‍්‍රී කාලය දක්වා ගබඩා කළ හැකි ජවසම්පන්න බැටරි නිපදවීමට ද අත්හදා බලමින් සිටී. පුද්ගලික අංශයේ ආයෝජකයන් ගණනාවක් එකතුවී මෙම පර්යේෂණ වෙනුවෙන් අරමුදලක් පිහිටුවාගෙන ඇති බව වොෂින්ටන් පෝස්ට් පුවත් පත වරක් හෙළිදරව් කළේය. ලෝක ප‍්‍රජාවගේ බලශක්ති අවශතා සූර්ය බලයෙන් සම්පූර්ණවන යුගය නොබෝ කලකින් එළැඹෙනු ඇත. ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් දැනට පවතින රාමුව සහමුලින්ම වෙනස්වන්නට ඉඩ ඇති බව සැලකිය යුතුය.

මෙම අලූත් බලශක්ති යුගයේ දී ශ‍්‍රී ලංකාව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය කුමක්ද? අනාගතය වෙනස්වන බව පෙනි පෙනී මෙරට බලධාරීහු ඉන්ධන වෙනුවෙන් මිල සූත‍්‍රයක් අනුගමනය කරයි. විදුලි බිල වෙනුවෙන් ද මිල සූත‍්‍රයක් හඳුන්වා දෙන්නට යෝජනා කර තිබේ. කැලිෆෝනියාව සිය වැසියන්ගේ බලශක්ති වියදම බිංදුවක් කිරීමට සැලසුම් කරන විට ශ‍්‍රී ලංකාව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය එයට හාත්පසින්ම වෙනස් එකකි. ඛනිජ තෙල් භාවිතා කිරීමේ වියදම සම්පූර්ණයෙන්ම පොදු ජනතාවගේ පැත්තට තල්ලූ කරන්නට තීරණයක් ගෙන තිබේ. මෙරට බලශක්ති අංශය ඉතාම අසංවිධානාත්මකය. බලශක්ති උත්පාදනය පිරිවැය තරගකාරී ස්වභාවයක නැත. බලශක්ති අංශයෙහි සිදුවිය යුතු පර්යේෂණ වල නිරත වන්නට මෙරට වගකිව යුතු අංශ වලට අවධානයක් නැත. ඒ වෙනුවෙන් යොදවන්නට ධනය පමණක් නොව අවශ්‍ය තරම් මානව සම්පත ද හිඟ බව අවිවාදිතය. නමුත් ලෝකයේ වෙනස්වන පැති දෙස බලා ප‍්‍රතිපත්ති සකස් කරගැනීමට අවධානය යොමු කළ යුතුය.

ශී‍්‍ර ලංකාවට ඛනිජ තෙල් සම්පත් ඇති රටක් නොවේ. තෙල් ආනයනය මත විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් වියදම් කරන්නට සිදුවී ඇත. විදේශ සම්පත් අඩු හෙයින් විනිමය වැය කිරීම පරීක්ෂාකාරීව කළ යුතුය. එහෙත් බොරතෙල් ආනයනය වෙනුවෙන් කරන පිරිවැය නතර කළ නොහැකි තැනට පත්ව තිබේ. ඛනිජ තෙල් භාවිතා කරන යුගය අවසන් බව පෙනි පෙනී තෙල් මත යැපෙන්නට ශ‍්‍රී ලංකාවට සිදුවී ඇත. සූර්ය බලය අනාගත විදුලිය නිෂ්පාදනයෙහි පෙරමුණ ගැනෙන තත්ත්වය මෙහි දී අමතක කළ යුතු නැත. ඉන්දියාව එරට කේරල ප‍්‍රාන්තයේ ගුවන් තොටුපොල සූර්ය බලයෙන් බල ගන්වන විට කැලිෆෝනියාව වසර 2020 සිට ඉදිකරන නිවාස වල වහල සූර්ය කෝෂ වලින් සමන්විත විය යුතු බව නියම කර ඇත. වහලයට ඇස්බස්ටෝස් හෝ උළු සෙවිලි කරනු වෙනුවට කෙලින්ම සූර්ය කෝෂ වලින් ආවරණය කිරීමට හැකිවන පරිදි තාක්ෂණය ද දියුණු වී ඇත. වහල සෙවිලි කිරීමට වැයවන වියදම නතර කරන අතරවාරයේ නිවසේ විදුලිය ද වහලයෙන් උත්පාදන කෙරේ. අද රට තුළ තාක්ෂණික ප‍්‍රවනතා සහ බලශක්තියෙහි අනාගතය ගැන ප‍්‍රමාණාත්මක සංවාදයක් නැත. ලෝකයේ සිදුවන වෙනස්කම් වලින් ලබාගත හැකි ප‍්‍රයෝජන ගැන සිතා බලන්නේ නැත. එයට හේතුව කුමක්ද?

අලූත් පැති හඳුන්වා දී ජන ජීවිතය පහසු කළ යුතු මෙරට ආණ්ඩුව බලශක්ති නිෂ්පාදනය කෙරෙහි හදුන්වා දෙන නවතම පැති ගැන අන්ධකාරයෙහි සිටී. ජනතාව බලශක්තිය වෙනුවෙන් විශාල වියදමක් දරන අතර ඒ වෙනුවෙන් අය කරන බදු සහ නඩත්තු කරන ව්‍යුහය අති විශාල හිරිහැරයකි. රටට අලූත් ප‍්‍රතිපත්ති අවශ්‍යය. බලශක්ති ක්ෂේත‍්‍රයේ වෙනස්කම් සමාජයට හදුන්වා දෙන්නේ කෙසේදැයි සොයා බැලීමට විද්වතුන් පියවර ගත යුතුය. ඛනිජ තෙල් වලට ඇබ්බැහි වී සිටින රටක් ආකල්ප වෙනස්කර අලූත් යුගයකට යොමු කිරීම පහසු නැත.