» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/03/2019 - ඉරිදා ලංකාදීප
අහිමිවෙන්නට දෙයක් නැති බි‍්‍රතාන්‍ය දේශපාලනඥයෝ

බි‍්‍රතාන්‍යයේ දේශපාලනයෙහි නිරත ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් එරට පාර්ලිමේන්තු සැසිවාරයේ දී ස්වාධීනව කටයුතු කරන්නට තීරණය කර තිබේ. එම තීරණය ප‍්‍රකාශයට පත් කළ කණ්ඩායම තුළ සිටින එක මහජන මන්තී‍්‍රවරයෙකු එරට මාධ්‍ය වලට ප‍්‍රකාශයක් කළේය. ස්වාධීනව සිටින තීරණය හෙයින් තමන්ට ‘‘ අහිමි වෙන්නට දෙයක් නැති’’ බව කියා සිටියේය. අහිමි වෙන්නට දෙයක් නැති බව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් සඳහන් කරන විට අපට ප‍්‍රශ්නයක් නැගේ. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සෑහෙන ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන මන්තී‍්‍රවරුන්ට ස්වාධීනව කටයුතු කිරීම යම් දෙයක් අහිමිවන කාරණයක් ද? මැති ඇමැතිවරුන්ට හිතට එකඟව කටයුතු කළ නොහැකි ඇයි? මෙරට මහජන නියෝජිතයන්ගේ මෑත කාලීන ක‍්‍රියාපටිපාටි බරපතල ගැටළු ඇති කරයි. සිය නියෝජිතයෝ පාර්ලිමේන්තුවට යවන්නේ මෙහෙම කටයුතු කරන්නදැයි පොදු ජනතාව ප‍්‍රශ්න කරති. ස්වාධීනව ක‍්‍රියාකරන්නට මැති ඇමැතිවරු අසමත් බව පැහැදිලිය. බි‍්‍රතාන්‍ය නියෝජිතයන් ස්වාධීනවීම තුළ අහිමි වෙන දේ නැති නමුත් මෙරට මැති ඇමැතිවරුන්ට අහිමිවන දෙයක් ඇති බව පැහැදිලිය.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට අමතරව විපක්ෂ මතධාරී පිරිසක් ද ස්වාධීනව කටයුතු කරන බව කියා ඇත. බි‍්‍රක්සිට් එනම් යුරෝපා සංගමයෙන් ඉවත්වන තීරණය මෙම බෙදීමට පාදක වී ඇත. සංගමයෙන් ඉවත් විය යුතු ද යන්න තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීය. තවදුරටත් යුරෝපා සංගමයේ සිටිය යුතු නැති බව එරට වැසියෝ බහුතරයකගේ මතය විය. බි‍්‍රතාන්‍යයේ එවකට සිටි අගමැති ඬේවිඞ් කැමරන් තම ජනමත විචාරණය පරාජයවීම හේතුකරගෙන ධුරයෙන් ඉල්ලා අස්වූ අතර තෙරේසා මේ අගමැතිනිය සේ පත්වන්නේ එයින් ඉනික්බිතිවය. යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන රට තුළ ඇති තදබල ගැටුම් අතර තීරණයක් ගත නොහැකි තත්ත්වයක තේරේසා මේ අගමැතිනිය සිටී. අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් කෙරිණි. වාද විවාද සිදුවන අවස්ථාවේ දී පාර්ලිමේන්තුව පමණක් නොව පොදු ජනතාව ද පැති දෙකකට බෙදී වෙන් වී තිබේ. තද අන්තවාදී ස්වභාවයක් නිර්මාණය වී ඇත. එය එපමණ සුදුසු තත්ත්වයක් නොවන බව මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස බව පැහැදිලිව පෙනේ. මෙම පැති දෙකකට බෙදී අන්තවාදී වීමෙන් පලක් නැති බව ස්වාධීනවීමට තීරණය කළ මහජන නියෝජිතයන්ගේ අදහස වී තිබේ.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන ධාරාවේ පක්ෂ දෙකක මධ්‍යස්ථ මතධාරීහු ස්වාධීනවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. ඉවත් වූ මන්ත‍්‍රීවරියකට අනුව ‘‘පැරණි ව්‍යුහයේ දේශපාලනයෙන් බැහැර වනු සඳහා මෙය එක පියවරකි.’’ මැද මාවතේ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටීම තමන්ට කිසිවක් අහිමි වන දෙයක් නොවන බව පෙන්වන අදහසට එකඟ වන තවත් මන්ත‍්‍රීවරයෙකු ‘‘ ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ අදට නොගැලපෙන’’ බව කෙලින්ම කියා ඇති අතර ‘‘දේශපාලන වශයෙන් අනාථයන් බව ජනතාව තීරණය කර හමාර’’ බව ද දක්වා තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ නිර්මාණය වූ වකවානුවේ බි‍්‍රතාන්‍ය තුළ තිබුණ සංයමය අඩු වූ අවස්ථාවක අදීන අදහස් ඇතිව මැද මාවතක් වෙනුවෙන් ස්වාධීන වන තීරණයක් ගත් කණ්ඩායම දෙස එරට ජනතාව ගේ අවධානයට ලක් ව තිබේ. බි‍්‍රතාන්‍ය තුළ අන්තවාදී අදහස් පැතිරෙමින් තිබේ. ජාතිවාදය මතු වී ඇත. ඇමරිකාව තුළ පවා අන්තවාදය ඇතිවෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. අන්තවාදයෙන් ජයගත් සමාජ නැත. එය විශාල පරිහානියකි. මැද මාවතක් නිර්මාණය කරන අරමුණ ඇතිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ප‍්‍රකාශ කළ කණ්ඩායමේ තීරණය වැදගත් වන්නේ එහෙයින්ය.

මැද මාවත කෙසේ වෙතත් අවංකව ජනතා සේවය වෙනුවෙන් පෙනී සිටින්නට මෙරට මැති ඇමැතිවරුන්ට හැකියවක් තිබේද? රටට වැඩදායක දේශපාලනයෙහි නිරත පිරිස ඉතාම සුළු පිරිසකි. වැඩි දෙනෙකු පක්ෂයේ සහ හෝ පක්ෂ නායකයන්ගේ විලංගුවට පත්ව තිබේ. ස්වකීය මතය අනුව ක‍්‍රියා කරන්නට බහුතරයකට හැකියාවක් නැත. එක පැත්තකින් තමන්ගේ තනතුරු හෝ වරප‍්‍රසාද වලට නතුය. ඇත්ත වෙනුවෙන් පෙනී සිට ස්වාධීනව කතා කළහොත් තමන්ට අහිමිවන අවස්ථා ගැන සිතති. ධනය හෝ බලය හැර අනෙකක් නොවේ. නායකයා කියන දේ හැර වෙන යමක් හිතන්නට සූදානම් නැති, වැල යන අතට මැස්ස ගහන දේශපාලනයක් මෙරට පවතින බව සඳහන් කළහොත් එය අතිශයෝක්තියක් නොවේ. දේශපාලනයට ප‍්‍රවේශවන සෑම පුද්ගලයෙකුම, මුලින් විශාල අදහස් ඇතිව සිටී. රට වෙනස් කරන, ප‍්‍රතිපත්ති ගරුක හා විනය ගරුක කටයුතු ගැන මහ ඉහලින් කතා කරයි. නමුත් ජනතාවගේ ඡන්දයෙන් පත් වී බලය අතට ගත් පසු යතාර්ථය දැන ගනී. ක‍්‍රමය තුළ හැසිරෙන්නට නිරායාසයෙන්ම හුරු වෙයි. එය නොතිබිය යුතු තත්ත්වයකි. ස්වාධීන, නිවහල් අදහස් ඇති නායකයන් වශයෙන් ගොඩ නැගෙන්නේ නැත. හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්නට නොහැකි දුබල දේශපාලන ක‍්‍රමයක ගොදුරු බවට පත් වෙති. එය අවංක, යහපත් අදහස් සහිතව ඉදිරිපත් වන දේශපාලනඥයන්ගේ වරදක්ම නොවේ. දේශපාලන පක්ෂ වල දෝෂයක් ද නොවේ. රට තුළ පවතින ගතානුගතික ස්වභාවයයි. පක්ෂ හෝ පුද්ගලයෝ අලූත් වෙන්නේ නැත. නායකයෝ කියන දේ කරනවා හැරෙන්නට අලූතින් හිතන්නේ නැත. විකල්ප අදහස් ක‍්‍රියාවට නංවන්නට උත්සාහ කළහොත් අඩුම තරමින් ආසන සංවිධායක ධුරය අහිමි වන බවට තැති ගැනීමක් තිබේ. වෙන රටවලට වඩා විශාල ආයෝජනයක් කර ඇති බැවින් දේශපාලන බලය නැතිවීම සියල්ල අහිමිවන තත්ත්වයකි. එය මෙරට දැකිය හැකි පොදු ස්වභාවයයි.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය තුළ වෙනස් විය යුතු එයයි. ගතානුගතිකත්වය අතහැර නව්‍ය පැති වලට යොමු විය යුතුය. දේශපාලනඥයන් පක්ෂ වල, පක්ෂ නායකයන්ගේ අණසක තුළ සිටින අතර රට තුළ සංහිඳීයාවක්, එකමුතුවක් ගැන කතා කරන්නේ කෙසේද? එක ප‍්‍රශ්නයක් ගැන හෝ එකමුතුවීමට රටට ඉඩක් ලැබුණේ නැත. ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වී පිහිටුවන ලද සංහිඳීයා ආණ්ඩුව විශාල ආරවුල් ඇති කළේය. ජනවාර්ගික ප‍්‍රශ්නය, ආර්ථිකය හදා ගැනීම, අලූත් ව්‍යවස්ථාවක් හෝ ආයෝජන ගැන කිසිම එකඟතාවයක් නැත. එයින් රට තුළ මතු වී ඇති සංකීර්ණ ස්වභාවය විශාල අවාසි ඇතිකර තිබේ. ජනතා නායකයෝ මේ බව නොදන්නවා නොවේ. පාර්ලිමේන්තුවේ කතා කරන අවස්ථා වල යතාර්ථය නොදැන අදහස් පළ කරනවා නොවේ. හැබෑව දැන දැනම අනෙක් ප‍්‍රලාප, ඕපාදූප හෝ චරිත ඝාතන වල නියුක්ත වෙති. එයින් දෙන ආදර්ශය කුමක්ද? රටේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්න අරභයා දේශපාලනයෙන් තොර ස්වාධීනව අදහස් දක්වන්නට අසමත් දේශපාලන ක‍්‍රමයකින් රටට ලැබෙන ප‍්‍රයෝජනය කුමක්ද?

ශ‍්‍රී ලංකාව තමන් අත්විඳින ක‍්‍රමය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. වෙනස් වෙන්නට නොහැකිනම් අලූතින් පටන් ගැනීමක් අවශ්‍යය. දේශපාලනයේ නිරත, තමන්ට යමක් කරන්නට නොහැකි බව දන්නා සියළු දෙනා විශ‍්‍රාම යා යුතුය. එය රටට කරන සේවයකි. අලූතින් එනම් බිංදුවෙන් පටන් ගැනීමට එය විශාල අවකාශයක් නිර්මාණය කරනු ඇත. ස්වාධීනව ක‍්‍රියාකරන්නට අසමත් නායකයෝ තනතුරු හා වරප‍්‍රසාදවලට මුවා වී ක‍්‍රියා කිරීමෙන් රටට සිදුවී ඇත්තේ සෑහෙන පසුබෑමකි. සෑම ලාංකිකයෙකුම රට හැර යන්නට තැත් කරමින් සිටී. තරුණන්ගේ ප‍්‍රයත්නය වෙනත් රටකින් තමන්ගේ අනාගතය සාක්ෂාත් කරගැනීමය. මෙම ප‍්‍රකෘතිය දකින්නට අසමත්වන ජනතා නියෝජිතයන් ගැන තීරණයක් ගැනීමට ජනතාව කල්පනා කළ යුතුය. තමන්ට ආඩම්බර වියහැකි, අවශ්‍ය අවස්ථාවක ස්වාධීනව අදහස් පළ කරන්නට සමත් එඩිතර පුද්ගලයන් තමන්ගේ නායකයන් සේ තෝරා ගැනීම බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ වගකීමකි.