» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/02/2019 - ඉරිදා ලංකාදීප
එකිනෙක යා කෙරෙන රටවල් වලින් ගොඩනැගෙන ආර්ථිකය

චීන ආණ්ඩුව ‘‘එක මාවතක් එක තීරයක්’’ යනුවෙන් සැලැස්මක් දියත් කරමින් සිටී. ලෝකයේ රටවල් විශාල ප‍්‍රමාණයක් එකවර යා කෙරෙන යෝධ සැලැස්මකි. රටවල් යා කෙරෙන සහයෝගීතාවයක් මගින් අලූත් ආර්ථිකයක් ගොඩනැගීමට යෝජනා කරයි. නොබෝදා චීනය ලෝකයේ දිගම පාලම ඉදිකර සම්බන්ධතා වඩා පහසු කළේය. හොංකොං, ෂුහායි හා මැකා යන නගර යා කරන පාලමකි. එය කිලෝ මීටර් පනස් පහක් දිග වන අතර ඇමරිකානු ඩොලර් බිලියන 126.9 ක ආයෝජනයක් බව මාධ්‍ය වාර්තා අනාවරණය කළේය. ඉතාම ඉක්මනින් ඉදිකිරීම් අවසන් කරන ලද එය පසුගිය වසරේ විවෘත කළේ චීන වැසියන්ට අලූත් අවස්ථා උදා කරමින්ය.

දීර්ඝ කාලයක් සැලසුම් කළ රටවල් යා කරන ලද තවත් පාලමක් ගැන සඳහන් කළ යුතුය. එය කිලෝ මීටර් දොලහක් පමණ දිග ඩෙන්මාර්ක් හා ස්විට්සරලන්තය යා කළ පාලමකි. මුහුද මැද කිලෝ මීටර් අටක දුරින් කෘතීම දුපතක් හදා එහි සිට තවත් කිලෝ මීටර් හතරක් ගෙවා ගමනාන්තයට ළඟා වන සේ ඉදිකිරීම් සම්පූර්ණ කර තිබේ. පාලමක් ගොඩනගන බවට සාකච්ඡා කළ දිනයේ දිට එය විවෘත කළ 2000 වසරේ මැද භාගය තෙක් කාලය තුළ එය ඉදිකිරීමේ දී නොයෙක් අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවි ඇති බව ප‍්‍රකාශ වෙයි. 1936 වසරේ දී මෙම සම්බන්ධතාවය ගොඩ නැගිය යුතු බව මුලින් කතා වී තිබේ. පළමු ලෝක යුද කාලයේ දී අදහස අත්හැර දමා ඇත. 1973 වසරේ දී නැවතත් රටවල් දෙකක නායකයෝ එකතු වී රටවල් දෙක යා කරන පාලම ගොඩනගන ගිවිසුමට අත්සන් කළහ.

පාලම හදන යෝජනාවට එකඟ වූ නමුත් එහි වැඩ කටයුතු කරගෙන යන අතරවාරයේ එම දැවැන්ත කාර්යයට ආර්ථික අර්බුදය දැනී තිබේ. තාවකාලිකව වැඩ නතර කර ඇත. පසුව නැවතත් එය නිවැරදි කරගෙන අරමුණු මුදුන් පත් කරගන්නා විට එහි ප‍්‍රතිලාභ ලබන්නේ අලූත් පරම්පරාවකි. ඇමරිකානු ඩොලර් බිලියන තිස් දෙකක් පමණ වැය වූ බව ප‍්‍රකාශ වන නමුත් එහි ගමන් පහසුව සලසා ඇති අධිවේගී මාර්ගය, දුම්රිය මාර්ග පද්ධතිය යනාදිය රටවල් දෙක මැනැවින් යා කර තිබේ. ආයෝජකයන්ගේ ගණන් බැලීම අනුව වසර 2037 වන විට පාලම ඉදිකිරීමේ පිරිවැය සම්පූර්ණයෙන් ආවරණය කරගත හැකිය. මිලියන 3.7 ක ජනගහනයකට එක රටක ජීවත් වී අනෙක් රටක රැකියා කරන්නට අවස්ථාව උදා වී ඇත. ගුවනින් හෝ මුහුදෙන් ඒවායේ ගමන් කාලසටහන් අනුව සමහරවිට දවස් ගණනක් ගත විය හැකි මෙම රටවල් දෙක යා කරන පාලම එය විනාඩි තිස් පහකට සීමා කර තිබේ. පැය භාගයකට වඩා විනාඩි පහක් ගතවන කාලය වෙනුවෙන් මුදලක් වැයවන නමුත් එය විශාල අවස්ථා උත්පාදනය කර තිබේ. රටවල් දෙක අතර භාණ්ඩ ප‍්‍රවාහනය වේගවත් වී ඇත. සංචාරක අවස්ථා වර්ධනය වී තිබේ. පාලම හරහා යන එන වාහන හා මගීන් ගාස්තු ගෙවිය යුතුය. අලූත් ආර්ථිකයක් ගොඩ නැගී තිබේ. රටවල් දෙක අතර වීසා ප‍්‍රශ්න විසඳා ගැනීමෙන් පසු ජනතාව ලැබෙන අවකාශයෙන් ප‍්‍රයෝජන ගනිමින් සිටිති. ලෝකයේ නගර හා රටවල් යා කරන අවස්ථා ගැන මෙම සිද්ධි අත්දැකීම් සපයයි.

අලූත් ව්‍යුහයක් මගින් විශාල පරිවර්තනයක් අපේක්ෂා කරන ශ‍්‍රී ලංකාව ද සම්බන්ධතා ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ගොඩබිම් මාර්ගයක් තැනීම ගැන වරින් වර සාකච්ඡා කෙරේ. එයට කැමැති පිරිසක් සහ අකමැති පිරිසක් සිටී. ලෝකයේ නොයෙක් රටවල් ඉක්මනින් ගමන් බිමන් යා හැකි තත්ත්වයට පත්වන විට ලබන වාසි හා අවාසි මැනැවින් සාකච්ඡා කර තීරණයකට එළැඹිය යුතුය. දෙරට අතර පරතරය කිලෝ මීටර් විසි තුනක් පමණකි. රාමේෂ්වරම් හි දනුෂ්කොඩිය හා තලෙයිමන්නාරම සම්බන්ධ කිරිමෙන් අලූත් ආර්ථික දොරටුවක් විවෘත කරගත හැකිය. පැරණි විශ්වාස අනුව දෙරට ගොඩබිමින් යා වී තිබී ඇත. පහලොස්වැනි සියවසේ දී එම මාර්ගය විනාශ වී තිබේ. දෙරට අතර දුම්රිය මගක් තිබුණ අතර මගීන් දිවයින කෙළවරට දුම්රියෙන් පැමිණ මුහුද තරණය කර ඉන්දියාවට ප‍්‍රවේශ වූ බව ඉතිහාසය දක්වයි.

දෙරට අතර ගමනා ගමන පහසුව ඉන්දු ශ‍්‍රී ලංකා වෙළඳ හා සංස්කෘතික සම්බන්ධතා තර කරන ලද අතර දෙරටෙහිම වැසියෝ එයින් ප‍්‍රයෝජන අත්පත් කරගෙන තිබේ. උතුරේ පැවැති යුද වාතාවරණය දුම්රිය හා බත්තල් සේවය අත්හැර දැමීය. සාමය උදා වීමෙන් පසු කොළඹ හා දකුණු ඉන්දියාව අතර මගී නැව් සේවාව නැවතත් ආරම්භ කරන ලද නමුත් එය සාර්ථක වූයේ නැත. වියදම හා කාලය ගැටළුවක් විය. වියදම් අඩුකර රටවල් දෙක අතර සම්බන්ධතාවට හදන ආකාරය ගැන රටවල් දෙකටම අදහසක් තිබේ. ආසියානු සංවර්ධන බැංකුව මෙම යෝජනාව වෙනුවෙන් ණය ආධාර කරන්නට එකඟ වී ඇත. වසර කිහිපයකට කලින් ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් බව ප‍්‍රකාශ වෙයි. එම පිරිවැය රටට විශාල අවස්ථා ඇති කරන බව සැකයක් නැත. විශේෂයෙන් ඉන්දියාවේ වේගයෙන් දියුණුවන තමිල්නාඩු ප‍්‍රාන්තය සමග ආර්ථික සම්බන්ධතා තර වෙනු ඇත. දෙරට අතර වෙළඳ ගිවිසුමක් තිබේ. ගොඩබිම මගින් සම්බන්ධ වුවහොත් එම ගිවිසුම වඩා සකී‍්‍රය කරන්නට හේතු විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන රටවල් දෙක ගොඩබිමෙන් යා කරන්නේ කෙසේ ද යන්න ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. ඉතිහාසයට අනුව ලංකාව වෙළඳ කේන්ද්‍රයකි. ඉන්දියාව, චීනය හා යුරෝපා රටවල් ගේ පැමිණීම හා පසුව රට යටත් කරගැනීම දක්වා වෙළඳාමට සෘජු සම්බන්ධයක් ඇත. මුතු, මැණික්, අලි ඇතුන් සහ කුළු බඩු වලින් පැවැතෙන වෙළඳාම පසුව බටහිර රටවල් වගා කරන ලද කෝපි, රබර් හා තේ අපනයනය දක්වා පුලූල් වී තිබේ. ඒවායෙන් ජාත්‍යන්තරය සමග ලංකාවට තිබුණ සම්බන්ධය අනාවරණය වෙයි.

සිංගප්පූරුවේ දියුණුවට සම්බන්ධතා බලපා තිබේ. මලයාසියාව, චීනය සමග හොඳ හිත පලූදු වී ඇති නමුත් එම රටවල් සමග සම්බන්ධ වී ක‍්‍රියා කර වාසිය තමන්ගේ පැත්තට හරවා ගන්නට සිංගප්පූරුව සමත්ව තිබේ. ලෝකයේ වඩා වේගයෙන් දියුණු වූ අලූත් අවස්ථා අනුව අබුඩාබි නගරය ඇමරිකාවට ගමන් කිරීමට පහසු තැනක් වී ඇත. අබුඩාබි ගුවන් තොටුපොලෙන් ඇමරිකාවට යන මගීන්ට වෙනම පර්යන්තයක දී වීසා කටයුතු සම්පූර්ණ කරන අතර එතැනින් පිටත්වන මගීන්ට ඇමරිකාවේ ඕනෑම ගුවන් තොටුපොලකින් අලූත් පරීක්ෂාවකින් තොරව ඇතුළු වන්නට අවසර දී තිබේ. අලූත් ගොඩබිම මාර්ගය තැනුව හොත් ශ‍්‍රී ලංකාවට එන මගීන්ට පහසුවෙන් ඉන්දියාවට ඇතුළු විය හැකි අන්දමට පසුබිම සකස් කරන්නට පුලූවන්කම තිබේ. ඒවායෙන් අතිරේක අවස්ථා රටට ලැබේ. ලෝකයේ වෙනත් රටකින් එන මගියෙකුට කටුනායක ගුවන් තොටුපොලින් පිටතට පැමිණ කෙලින්ම දකුණු ඉන්දියාවට ගොඩබිමින් යා හැකි නම් අද පවතින ප‍්‍රවාහන බාධා සෑහෙන ප‍්‍රමාණයකින් ජය ගත හැකි වනු නිසැකය. මුහුදෙන් හෝ අහසින් දවස් ගණනක් වැය කර කරන ගමන ගොඩබිම මාර්ගයකින් පැයකට අඩුවෙන් කරගත හැකිනම් එය සෑහෙන වාසිදායක කාරණයකි.