» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/09/2018 - ඉරිදා ලංකාදීප
කෘෂි නවෝදයක් වෙනුවෙන් නෙදර්ලන්තයේ අත්දැකීම

නෙදර්ලන්තය කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පතාක යෝධයෙකු වන ලකුණු පහල කර ඇති අතර කුඩා රටක් වශයෙන් තාක්ෂණික ගොවිතැන භාවිතා කර අනාගතයේ සරු අස්වැන්නක් ලබා ගන්නේ කෙසේදැයි ජගත් ප‍්‍රජාවට උගන්වන්නට සමත්ව තිබේ. නෙදර්ලන්තයේ වගා කළ හැකි ඉඩම් ප‍්‍රමාණය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමාණයට යම් සමානකමක් ඇත. ජනගහනය ද මිලියන දහ හතක් බව 2016 වසරේ දත්ත අනුව දැක්වෙයි. මෙම කුඩා රට සිය දක්ෂ මානව සම්පත කෘෂිකර්මයේ අභිවෘද්ධිය උදෙසා මෙහෙයවන ආකාරය ලෝකයේ විද්වතුන් ගේ අවධානයට ලක් වූ වැදගත් කාරණයකි.

අමෙරිකාවට වඩා දෙසිය හැත්තෑ ගුණයක් කුඩා නෙදර්ලන්තයේ කෘෂි නවෝදය ගැන ලෝක වාසීහු කතා කරන්නේ ඇයි? ජනගහන වර්ධනය හා ආහාර හිඟය එයට පදනම් වී ඇත. වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන දහය ඉක්මවනු ඇතැයි සැලකේ. මෙම පිරිස ගේ අවශ්‍යතා වෙනුවෙන් ජලය හා පොසිල ඉන්ධන හිඟ වනු ඇති බව ගණන් බලා ඇත. වඩාත්ම බලවත් ගැටළුව ආහාර හිඟයයි. විසි එක්වැනි සියවසේ දී කුසගින්න වඩාත් බලවත් සමාජ ප‍්‍රශ්නයක් වනු ඇතැයි විශ්වාස කෙරේ. අවම වශයෙන් බිලියනයක් එනම් ලෝක ජනගහනයෙන් දහයෙන් එකක් ප‍්‍රමාණවත් ආහාර නොලැබීමෙන් අර්බුදයට පත්වනු ඇත.

නෙදර්ලන්තයේ ගොවියෝ තාක්ෂණය බහුලව භාවිතා කරති. නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනාගත් වාර්තාවකට අනුව එරට අර්තාපල් වගා කරන ගොවියෙකු ඒ වෙනුවෙන් රියැදුරෙකු රහිත සී සෑමේ යන්ත‍්‍රයක් භාවිතා කරයි. පොහොර හා රසායනික ද්‍රව්‍ය ඉසීම හා වගාව පරීක්ෂා කිරීමට ඩ්‍රොන යානා දෙකක් යොදවා ඇත. සෑම අර්තාපල් පැලයකම වර්ධනය නිරීක්ෂණය කෙරේ. සාමාන්‍ය අර්තාපල් අස්වැන්න අක්කරයකට ටොන් නමයකි. නමුත් මෙම ගොවියාගේ අස්වැන්න ටොන් විස්ස ඉක්මවා තිබේ. සෑම ගොවියෙකුම අලූත් අධ්‍යයන වලින් ප‍්‍රයෝජන ගනී. එරට ගොවිතැන හා සත්ව පාලනය කරගෙන යන ගොවියෝ ඉඩම හා ජලය පරෙස්සමෙන් භාවිතා කරති.

නව විද්‍යාත්මක පර්යේෂණ අනුව වගාව ආරක්ෂිත ගෘහ වල පවත්වාගෙන යයි. ප‍්‍රධාන වගාබිම් වල ජලය භාවිතය සියයට අනූවකින් කපා හරින්නට සමත්ව තිබේ. වස විස රසායනික භාවිතාව සීමා කර ඇත. ආරක්ෂිත ගෘහ වල වගාව ඵලදායී වන අතර අස්වනු හානිය ඉතාම අවම කරගන්නට සමත්ය. තත්ත්වයෙන් උසස් සහ ඉහළ අස්වැන්නක් සහිත වගාව ගොවියන්ගේ අතමිට සරු කර තිබේ. නෙදර්ලන්තයේ තක්කාලි වගා කරන ගොවියෙකු සිය ආරක්ෂිත ගෘහ වල සීමිත ඉඩකඩක වර්ග 17 ක තක්කාලි වගා කර ඇති අතර එයින් ලබන අස්වැන්න විශ්වාස කළ නොහැකි තරම් ප‍්‍රගතියක් බව දැක්වේ. වර්ග සැතපුමක භූමි ප‍්‍රදේශයක වැඩිම අස්වැන්න නෙදර්ලන්තයෙන් වාර්තා කර තිබේ. විශාල ඉඩම් ප‍්‍රමණයක අඩුම අස්වැන්න නවිඞීරියාවෙන් වාර්තාවන අතර ඇමරිකාව හෝ චීනයට පවා නෙදර්ලන්තයේ දක්ෂ ගොවියන්ගේ ඉහළ නිෂ්පාදන මටට්මට ළඟා විය නොහැකි වී ඇත.

ගොවියන්ගේ දැනුම අවබෝධය නංවන්නට විශ්ව විද්‍යාල වල පර්යේෂණ මහත් සේ උපකාරී වී තිබේ. වෙලින්ටන් විශ්ව විද්‍යාලය ලෝකයේ කෘෂි අංශය ගැන පර්යේෂණ පවත්වන ඉහළම තැනක් බවට පත්ව ඇත. එහි විද්‍යාර්ථීන්ට අනුව ඉදිරි වසර හතලිහ තුළ ලෝක ඉතිහාසයේ වසර අට දාහක කාලයක් තිස්සේ ගොවීහු නිපදවන ලද බව බෝග ප‍්‍රමාණයට වඩා නිෂ්පාදනය කරන්නට සිදුවන අතර එම අභියෝගය දිනාගැනීම සඳහා තාක්ෂණික බෝග වගාව ඉතා ප‍්‍රයෝජනවත් වන බව දක්වයි. කෘෂිකර්මය, සත්ව පාලනය යන අංශ පමණක් නොව ඒවායේ ඵලදායී හා කාර්යක්ෂමතාව ඇතිකරන නව මෙවලම් නෙදර්ලන්තයේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබේ. එය හුදෙක් සැප පහසු කාර්යාලවල නිලධාරීන්ගේ බලපෑම් වලට වඩා, ගොවිපොලවල වැඩකරන තාක්ෂණය හා ධෛර්යය එකතුකරගත් ගොවි පරපුරක දක්ෂතාවය බව නෙදර්ලන්තයෙන් ලැබෙන වාර්තා පෙන්වයි.

නෙදර්ලන්තයේ ගොවියෝ සිය වගා කටයුතු කරගෙන යාමේදී තාක්ෂණය භාවිතා කරන ප‍්‍රමාණය ගැන ද අනාවරණ තිබේ. ගොවියෝ නිතර පාංශු තත්ත්ව පරීක්ෂා කරති. පී.එච් අගය ගැන අවධානයෙන් සිටිති. පොහොර යෙදවිය යුතු ප‍්‍රමාණ ගැන එයින් අවබෝධයක් ලැබේ. පස් සාම්පල් පරීක්ෂා කිරීමට ඩොලර් සුළු ප‍්‍රමාණයක් වැය වන අතර වාර්තාව ඇප් එකකින් ගොවියාගේ ජංගම දුරකථනයට ලැබේ. ලෝකයේ ගොවියන් මිලියන 570 ක් පමණ පිරිසකගෙන් සියයට පහකටවත් මෙවැනි අවස්ථා නැත. එහි ප‍්‍රතිඵලය විශාලම ධාන්‍ය, එලවලූ, පලතුරු මල් සහ සත්ව නිෂ්පාදන නිපදවන්නා බවට පත්වීමය. එපමණක් නොව 2016 වසරේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක බීජ අලෙවි කර තිබේ. විද්‍යාත්මකව වැඩි දියුණු කරන ලද නෙදර්ලන්ත බීජ විශේෂ මිල දී ගන්නට නොයෙක් රටවල ගොවියෝ කැමැතිය. එහි ගුණාත්මක භාවය හා ඉහළ පලදාව රහස වී තිබේ.

ඉතාම හොඳ පාරිසරික සාදක සහිත ශ‍්‍රී ලංකාව කෘෂි අංශය ගැන දක්වන ආකල්ප කෙබªද? ජනතාව ගොවිතැනින් ඉවත් වෙමින් තිබේ. ගොවියන්ට වගා කිරීමට ඉඩම් නැත. ඉඩම් ඇති ගොවියෝ අවශ්‍ය ශ‍්‍රමය හිඟකම ප‍්‍රශ්නයක් කරගෙන ඇත. අලූත් පරම්පරාව ගොවිතැනට කැමැති නැත. එයට හේතුව ගොවිතැනින් ලැබෙන අඩු ආදායමයි. වගා කටයුතු ඵලදායී නැති අතර අකාර්යක්ෂමය. මෙරට ගොවිතැන නංවනු සඳහා අලූත් පරියේෂණ කරන්නේ නැති තරම්ය. පැවැති සමාප‍්‍රදායික ගොවිතැන වියැකී යමින් පවතින අතර රට තුළ තිබුණ බීජ වර්ග අභාවයට ගොස් තිබේ. පිටරටින් බීජ වර්ග ආනයනය කරන අතර රටට අවශ්‍ය තරම් එලවලූ, පලතුරු හා බව බෝග නිපදවා ගැනීමට නොහැකිවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඒවා ආනයනය කරන්නට සිදුවී ඇත.

1977 දී මෙරට ආර්ථිකයෙන් සියයට 31 ක කොටසක් කෘෂි අංශයට අයත්ව තිබුණි. කෘෂි නිෂ්පාදන ආර්ථිකයට දක්වන දායකත්වය තුනෙන් එකකට ආසන්න ප‍්‍රමාණයක් බව පෙනේ. නමුත් 2017 දී කෘෂි අංශය ආර්ථිකයට දක්වන දායකත්වය සියයට හතක් දක්වා අඩු වී තිබේ. වසර හතලිහක් තුළ පැවැති සෑම ආණ්ඩුවක්ම කෘෂිකර්මයට විශාල අවධානයක් දැක්වීය. ගොවිතැන නගා සිටුවන්නට විවිධ යෝජනා ක‍්‍රියාත්මක කළේය. පොහොර සහනාධාර, විවිධ බෝග වෙනුවෙන් ණය යෝජනා ක‍්‍රම, ජල සම්පාදනය හා බදු සහන ඒ අතර තිබුණ බව සිහිපත් කළ යුතුය. නමුත් කෘෂි අංශයේ පිරිහීම වලක්වන්නට නොහැකි වී තිබේ. එය විශේෂ අවධානයට ලක් විය යුතු කරුණකි.

ශ‍්‍රී ලංකාව හා සමාන ජනගහනයක් ඇති නෙදර්ලන්තයේ වගා කළ හැකි ඉඩම් ප‍්‍රමණය මෙරට ඉඩම් ප‍්‍රමාණය හා සමානය. නමුත් එරට කාලගුණ තත්ත්ව වගා කිරීමට තරම් සුදුසු නැත. අධික ශීතල ගොවිතැනට හානි කරයි. ප‍්‍රමාණවත් ආලෝකය නැත. ජල සම්පත පරෙස්සමෙන් භාවිතා කරන්නට සිදුවී තිබේ. එම සියළු අභියෝග ජයගන්නට නෙදර්ලන්තයට හැකියාව ලැබී ඇත. ආරක්ෂිත ගෘහ වල කෘතීම පරිසර පද්ධති ගොඩ නගයි. ක‍්‍රමාණුකූලව ජලය හා පොහොර සම්පාදනය කරන අතර නිතර කරන පරීක්ෂාකාරීවීම ගොවිතැනේ යෙදවුම් සීමා කර තිබේ. තාක්ෂණය යහමින් භාවිතා කරන අතර එයට පහසුකම් ඇත. ගොවියා හා විද්‍යාඥයා අත්වැල් බැඳ ගෙන තිබේ. නුදුරු අනාගතයේ දී ලෝකයේ ඇතිවිය හැකි ආහාර හිඟය ගැන අවධානය යොමු කර ඇත. ගොවිතැන් කරන පුරවැසියන් ගේ සමාජ තත්ත්වය පිලිබඳව අභිමානය ඉතාම වැදගත් තැනක බව පෙන්වා දිය යුතුය. තාක්ෂණයෙන් පොහොසත්, සමාජය සමග මනා සම්බන්ධතා ඇති නෙදර්ලන්තයේ ගොවියෝ තමන්ගේ ගොවිතැන ගැන විශ්වාසය තහවුරු කරගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ අංශ, ගොවි සංවිධාන මෙම පැති අධ්‍යයනය කළ යුතුය.