» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/07/2017 - ඉරිදා ලංකාදීප
බි‍්‍රතාන්‍ය මැති ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තු ඇඳුම ගැන ලිහිල් රීතියක්

ස්කයි නිවුස් දේශපාලන වාර්තාකරු නොබෝදා අවධානයට ලක්විය යුතු තොරතුරක් අනාවරණය කළේය. එයට අනුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සැසි වාරවල දී මැති ඇමැතිවරුන්ට තමන් කැමැති ඇදුමකින් සැරසී සභාවාරයට එන අවසරය ලැබේ. එය පිරිමි පාර්ශවයට පමණක් ලැබී ඇති අවස්ථාවකි. එරට කතානායක ජෝන් සිමන් බ‍්‍රකව් එය නිවේදනය කර තිබේ. කතානායක ධුරයට පත්වන විට හෙතෙම කොන්සර්වටිව් පක්ෂ මහජන නියෝජිතයෙකු වන අතර පලපුරුදු දේශපාලනඥයෙකි. හෙතෙම 2009 වසරේ මැද සිට කතානායක ධුරය හොබවන අතර ප‍්‍රායෝගික පැති සලකා බලා තීරණ ගන්නා මැදහත් පුද්ගලයෙකු වශයෙන් ප‍්‍රකටය. සාමාන්‍යයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් ටයි කෝට් වලින් සැරසී ඉතා ගාම්භීර ලෙස සැසි වාර වලට සහභාගී වූ නමුත් මෙම තීරණයට පසුබිම් වූ මූලික හේතුව මෙකී දිනවල පවතින අධික උශ්ණත්වය හෙයින් එය සලකා බලා බව ස්කයි නිවුස් ප‍්‍රවෘත්තිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

බි‍්‍රතාන්‍යය සම්ප‍්‍රදාය ඉහළින් සලකන ලද රටක් බව සඳහන් කළ යුතුය. එරට පාර්ලිමේන්තුව තුළ රීති සහ උසස් සම්ප‍්‍රදාය විශාල ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මකය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය වෙනුවෙන් මෙම සම්ප‍්‍රදාය ඉහළින් ආරක්ෂා වූ අතර ඇතැම් සම්ප‍්‍රදායයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග තහවුරු කරන්නට හේතු වූ බව ද ප‍්‍රකාශ වෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සිය පාර්ලිමේන්තු ව්‍යුහය සකස් කරගැනීමේදී එහි ආදර්ශය ලබාගත් බව සඳහන් කළ යුතුය. පාර්ලිමේන්තුවේ කතානායකට හිස නැමීම, ආසනන පැනවීම, රීති ප‍්‍රශ්න ඇසීම, පුද්ගල චරිත වලට ආමන්ත‍්‍රණය කරනු වෙනුවට කතානායක වෙත කතා කිරීම යනාදී වශයෙන් නොයෙක් අංශ මෙහි දී පෙන්වා දිය හැකිය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සභාගර්භයට ප‍්‍රවේශ වන මැති ඇමැතිවරු හිස නමා ගෞරව කරන අතර එය කරන්නේ කතානායකවරයා වෙනුවෙන් යැයි පවතින විශ්වාසය වැරදි එකකි. කතානායක අසුනට ඉහළින් කිතුණු ආගමික සංකේතයක් ඇති අතර හිස නමන්නේ එයටය. පක්ෂ විපක්ෂ අසුන් පනවා ඇති පැති අතර යම් පරතරක් තබන්නේ අතීතයේ කඩුකස්තාන වලින් සන්නද්ධව පැමිණෙන පාර්ලිමේන්තු නියෝජිතයන් වාද වල දී ආවේගයෙන් කිසියම් අවස්ථාවක කඩුව ඇද සටනට සූදානම් වුවහොත් කඩු පතේ දිග සලකා බලාය. කතානායක වරයාට උත්තර දෙන සම්ප‍්‍රදාය ඇති වූයේ සභා සාමාජිකයන් එකිනෙකා අමතා චෝදනා ඇතිවනු වැලැක්වීම සඳහාය. ඉකුත් වසර සිය ගණන තුළ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව යම් යම් ලක්ෂණ සම්ප‍්‍රදාය වශයෙන් ඉදිරියට යන අතර නොගැලපෙන ඒවා වෙතොත් ඒවා කාලීනව සංශෝධනය කෙරේ. ස්කයි නිවුස් දක්වන අන්දමට සම්පූර්ණ යුරෝපීය ඇදුම අනවශ්‍ය යැයි නිගමනයකට එන්නේ ද ඒ අනුවය.

බි‍්‍රතාත්‍ය කතානායකවරයාගේ නිවේදනය අනුව ඉදිරියේ දී ටයි පැළඳ, කෝට් එකකින් සැරසී පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී විය යුතු නැත. මෙම තීරණය කෙනෙකු ගේ ඇදුම පැළදුම දෙස බලා තීරණවලට නොඑළැඹෙන්නට යම් ආකාරයකට හේතුවනු ඇත. බි‍්‍රතාන්‍ය මාධ්‍ය හා විශේෂයෙන් සමාජ මාධ්‍යවල මෙකී තීරණයට පක්ෂව හා විපක්ෂව අදහස් ඉදිරිපත්ව තිබේ. මෙම තීරණයට එරෙහි පාර්ශව කියන අන්දමට සමහර විට ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු කොට කලිසම් වලින් සැරසී පාර්ලිමේන්තුවට එන්නට බැරි නැති බව දක්වන්නේ උපහාසයෙන්ය.

ලෝකයේ නොයෙක් රටවල් සිය පාලන ක‍්‍රමය සම්බන්ධ ඇවැතුම් පැවැතුම් සකස් කරගෙන තිබේ. ඒවායේ සම්ප‍්‍රදාය මෙන්ම විනයක් ද තිබේ. සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ එරට පාලන නියෝජිතයන්ගේ ඇදුම එරට ආදර්ශ පාඨයක් කරගත්තේ ‘‘මෙන් ඉන් වයිට්’’ කියමින්ය. පිරිසිදු සුදු ඇදුම දේශපාලන වෘත්තිය ඉදිරියේ ගරුත්වයක් ඇති කරන්නට සමත්විය. එය දේශපාලනයට එන පිරිස නරක ඇබ්බැහිවීම් වලට පෙළඹීම නතර කරන උපායක් බදු වූ බව දැක්විය යුතුය. ජපානය ද මෙම පිවිතුරු සුදු සංකේතය එරට දේශපාලනයේ දී යොදා ගැනේ. ඡන්දය ඉල්ලා ජනතාව හමුවට යන දේශපාලනඥයෝ තම අත්වල සුදු අත් මේස් පළඳිති. එයින් කියන්නේ දුෂණ හෝ වංචා වලට සම්බන්ධ නැති පිරිසිදු අත් තමන් සතු බවය. බි‍්‍රතාන්‍යයේ ටයි-කෝට් පැත්තකින් තැබීම අධික උශ්ණත්වය හෙයින් වන අතර සිංගප්පූරුවේ හෝ ජපානයේ සුදු ඇදුම අඟවන්නේ අනෙකකි. නමුත් මෙම පැති වලින් පෙන්වන්නේ කිසියම් විනයක් හා සදාචාරයක්ය. බි‍්‍රතාන්‍ය ඉතාම ඉහළ සම්ප‍්‍රදායක සිට සරල ලිහිල් ඇදුමක් දක්වා වෙනස්වන නමුත් පාර්ලිමේන්තුව විනයක් නැති අසංවර තැනක් බවට පත්වනු ඇතැයි එයින් දක්වන්නේ නැත. සාමාන්‍ය උශ්ණත්වය දරාගත නොහැකි වන තැනට පරිසරය පත්වන විට ගෙල හිරවන සේ ටයි බැඳගෙන තද සීතලට අඳින කෝට් එකකින් සැරසීම නොගැලපෙන බව බි‍්‍රතාන්‍ය තේරුම් ගෙන තිබේ. රට තුළ විනය, හැදියාව වෙනුවෙන් පෙනී සිටින්නට පාර්ලිමේන්තුව සමත්නම් ඇඳුම පැළදුම එපමණ ප‍්‍රශ්නයක් නොවන බව තහවුරු වෙයි. සමාජ විනය හදන්නට පාර්ලිමේන්තුවට ආදර්ශයක් විය යුතු අතර එය අනෙක් සියළු දෙයට වඩා වැදගත්ය. අවංකත්වය, පාරද්‍රෘෂ්‍ය තීරණ ගැනීම, කැපවීම හා සදාචාරවත් බව තහවුරු කරන්නට සමත්වන මහජන නියෝජිතයන් එය ඇªමෙන් හුවා දක්වන්නට අවශ්‍ය නැත.

ශ‍්‍රී ලංකාව නිදහස ලබා ගෙන දශක හතකට ආසන්න කාලයක් ගත වී තිබේ. මෙකී කාලය තුළ පාලකයන් වශයෙන් තෝරාගත් බහුතරයකගෙන් ඇªම හැර අනෙකක් රටට ලැබී තිබේද? ලබන වසරේ දී නිදහසේ හැත්තෑව වන විට අමනකම්, වෛරය, ඊර්ෂ්‍යාව, පුද්ගල අසත්‍ය විවේචනය සහ තර්ජනය යන කාරණා වලින් පොහොසත් වූ දේශපාලනය ගරුකටයුතු ක්ෂේත‍්‍රයක්ද? සමාජය දේශපාලනඥයන් දෙස පොදුවේ බලන්නේ වංචාකාරී, මැරයන් සේ ය. ඡන්දය ගැනීම උදෙසා මහජනතාව හමුවේ හැකි තරම් බොරු පොරොන්දු දෙන, ලැජ්ජාවක් නැති පිරිසක් වශයෙන්ය. එය ගරුත්වයක්ද? ජනතාව තමන් කෙරෙහි එවැනි ආකල්පයක ඉන්නා බව දේශපාලනයෙහි නිරත අය හොඳීන් දන්නා කාරණයකි. තමන් ඉදිරියේ අතිශය ගෞරවයෙන් නැමෙන ජනතාව යටි හිතෙන් දොස් කියන බව දේශපාලනඥයන් නොදන්නවා නොවේ. එය දැනගෙන කටයුතු කරන මෙරට දේශපාලනඥයන් උත්සාහ කරන්නේ දෙවිවරුන් සේ ඔවුන් පත් කරන ලද ජනතාවගෙන් ඇත් ව මහා මන්දිර වැනි සුඛෝපභෝගී කාර්යාල වල වෙසෙන අතර පාවෙන මාලිගා වලින් රට පුරා සැරි සරන්නටය. හැකි සෑම අවස්ථාවකම විදේශ සංචාර වල නිරත වන්නටය. මෙරට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මහජන නියෝජිතයන් පත්ව ඇති තරම ගැන මෙයට වඩා කතා කළ යුතුද?

ශ‍්‍රී ලංකාවේ පාරිසරික වෙනස්කම් ගැන ජනතාවට හැඟීමක් තිබේ. වර්තමානයෙහි උෂ්ණත්වය වෙනස්ව ඇති තරම පැහැදිලිය. දශක හතක ඉතිහාසයට වඩා අද පරිසරය වෙනස්ය. කිසිසේත් දරාගත නොහැකි සීතලක් එදා මෙදා කාලය තුළ මෙරට තිබුණේ නැති බව පැහැදිලිය. නමුත් මෙරට දේශපාලනඥයන්ගෙන් කොටසක් අදටත් හැසිරෙන්නේ හොඳට තද කරගත ටයි ගැටවලින් ගෙල සිරකරගෙනය. සම්පූර්ණ යුරෝපීය ඇදුමෙන් සැරසී සිටී. ජනතාව මුණ ගැසෙන්නට ගමට යන සහ පාර්ලිමේන්තු ගමන අතරතුර මෙවැනි ඇදුමකින් දෙන ආදර්ශය කුමක්දැයි ප‍්‍රශ්න කළ යුතුය. පාර්ලිමේන්තුවට බටහිර ඇදුම ආවේ බි‍්‍රතාන්‍යයෙන්ය. එහි විශිෂ්ඨයන් විනයක් ඇතිව පාර්ලිමේන්තුවට පැමිණි අන්දම අනුකරණය කර නිදහස ලැබූ ලංකාවේ ක‍්‍රමය ද සකස් විය. එය අමතක කළ යුතු නැත. දශක හතක අවසානයේ දී පවා රටට අනන්‍ය ඇදුමක් පැළදුමක් ගැන හිතන්නට නොහැකි වූයේ ඇයි? මේවා මෙරට පැවැත්ම තුළ ඇති දුර්වලතාවයකි.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සිය සභාගර්භයේ සැරසිය යුතු ඇදුම ගැන ලිහිල් පිලිවෙතකට යන විට ශ‍්‍රී ලංකාව ද තමන්ගේ පැත්ත ගැන හිතන්නට සූදානම්වීම වැදගත්ය. ඇදුමට කලින් පුද්ගලයෝ ආදර්ශවත් විය යුතුය. පොදු ජනතාවගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවට එන ජන නායකයෝ ආදර්ශවත් වීම අවශ්‍යය. වර්තමානයේ ජනමාධ්‍ය පවා පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී එහි සභිකයන්ගේ අශීල වදන්, ආකෝෂ පරිභව සහ අන්‍යයන් හෙලා කතා කරන අන්දම විසුරුවා හරින්නේ මෙම තත්ත්වය ගැන ගැඹුරින් හිතනන්නට ඉඩ දෙමින් බව අමතක කළ යුතු නැත. නමුත් ඒවා තේරුම් නොගන්නා බහුුතරයක් මහජන නියෝජිතයෝ ජනතා අවධානය රැකෙන්නේ ඇදුමෙන් හා චන්ඩි හැසිරීමෙන් යැයි උපකල්පනය කරන බව පෙනේ. එය කොපමණ වරදක්ද?