» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/06/2019 - ඉරිදා ලංකාදීප
කොස්ටාරිකා රාජ්‍යයේ ඛනිජ තෙල් සේවකයන්ට වෙනත් රැකියා

කොස්ටාරිකා රාජ්‍යයේ අලූත් ජාතික සැලැස්ම අනුව ඛනිජ තෙල් කර්මාන්තය ආශ‍්‍රිතව සේවය කරන දස දහස් සංඛ්‍යාත සේවකයන්ට වෙනත් රැකියා සොයාගැනීමට සිදුවනු ඇත. එරට ජනාධිපති කාලෝස් ඇල්වරාඩෝ නොබෝදා කාබනීහරණ ජාතික සැලැස්ම ප‍්‍රකාශයට පත් කළ අතර එයට අනුව ඉතාම තද තීන්දු ගැනෙනු ඇතැයි සැලකේ. ඛනිජ තෙල් භාවිතය අවම කරනු ඇත. හරිත පාරිසරික තත්ත්ව වෙනුවෙන් සෑහෙන ආයෝජනයක් කරනු ඇති අතර එම තිරණ සමග බලශක්ති භාවිතය සම්බන්ධයෙන් පවතින රාමුව වෙනස්විම නොවැලැක්විය හැකිය.

මධ්‍යම ඇමරිකානු රටක් වන මෙහි එක පැත්තක් කැරීබියන් දුපත් වලට හා තවත් පැත්තකින් පැනමා ඇලට මායිම් වෙයි. මිලියන පහක පමණ ජනගහනයක් ජීවත් වන කුඩා රටකි. වැසියන්ගෙන් සෑහෙන පිරිසක් හොද අධ්‍යාපනයක් ලබා තිබේ. කෘෂිකර්මය හා පාරිසරික සංචරණය ප‍්‍රධාන ආදායම් මාර්ග අතර ඇත. සෑහෙන විදේශ සමාගම් ප‍්‍රමාණයක් එරට ආයෝජනය කර ඇති අතර වෙනම කලාපයක් එයට වෙන් කර තිබේ. කොස්ටාරිකා රාජ්‍ය පසුගිය වසරේ වෙළඳ පොල ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දුන්නේය. ණය හා අය වැය හිඟය ඉහළ ගියේය. බලශක්ති සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්ති වෙනස් කිරීම අර්බුදයෙන් ගොඩඑන මගක් සේ අනුගමනය කරන බව සැකයක් නැත. තෙල් භාවිතය නතර කරන තීරණයකට එළැඹීම එහි වැදගත් සංධිස්ථානයකි. පිරිවැය කපාහරින අතර පරිසරය ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියකි.

අද වන විට කොස්ටාරිකා රාජ්‍යයේ භාවිතා කරන බලශක්තියෙන් සියයට අනූ අටක් පොසිල ඉන්ධන එනම් බොරතෙල් වලින් තොරය. එය ලෝකයේ කිසිම රටකින් වාර්තා නොවන ඉහළම භාවිතාවකි. රට පුරා සෑම ස්ථානයකින් ම තෙල් රහිත විදුලිය භාවිතා කිරීම ගැන විවිධ තොරතුරු ලැබේ. ජල විදුලිය, සුලං විදුලිය බලාගාර ඒ අතර ප‍්‍රමුඛ වන අතර නිවාස සූර්ය විදුලිය භාවිතා කිරීම ආරම්භ කර තිබේ. එරට භාවිතා කළ බලශක්තියෙන් සියයට විසි පහක පමණ ප‍්‍රමාණයක් තෙල් වලින් සපුරා ගන්නා කාල වකවානුවක් තිබුණ අතර එයට බලපෑවේ ප‍්‍රවාහන අංශයයි. එරට දහසක් දෙනා ගෙන් 287 කට මෝටර් වාහනයක් තිබේ. එරට පත් වෙමින් තිබුණ භාවිතාව අනුව කලින් වසරේ ඉන්ධන ආනයනය සියයට එකොලහකින් වැඩිවීමක් වාර්තා විය. නමුත් දැන් එය ආපසු හැරී තිබේ. සැලසුම අනුව වසර 2050 වන විට වාහන වලින් හෝ කර්මාන්ත වලින් සිදුවන වායු විමෝචනය බිංදුවක් දක්වා පාලනය කරනු ඇත. එහි පළමු පියවර ඉන්ධන භාවිතා කරන බස් හා ටැක්සි ධාවනය අත්හිටුවීය. දැනටමත් රටේ ඉඩම් වලින් සියයට පනහක වන වගාව කර ඇති අතර එය තවත් වර්ධනය කරනු ඇත. කාබනික දුම් පිටවීම 1940 දී තිබුණ තත්ත්වයට තවත් වසර පහලොවක් ඇවැමෙන් ගෙන එන අතර වසර 2050 වන විට කාබන් විමෝචනය බිංදුවක් වන ඉලක්කය සාක්ෂාත් කර ගත හැකි වනු ඇතැයි සැලකේ. ලෝකයේ කිසිම රටකට මෙම ආදර්ශය අනුගමනය කළ හැකිද? කාලගුණික විපත් වලින් ලෝකය ආරක්ෂා කරගන්නට යෝජනා ඉදිරිපත් කරන විද්වත්හු ප‍්‍රශ්න කරති.

දශක දෙක තුනකට කලින් සූර්යයාගේ ආලෝකයෙන් බහුලව විදුලිය නිපදවන්නට හැකි යැයි විශ්වාසයක නොසිටියේය. සුළු ප‍්‍රමාණයකින් යම් බලශක්තියක් නිපදවිය හැකි බව දැනගෙන සිටිය නමුත් එම බලය ලෝකයේ අත්‍යවශ්‍ය වටිනාකමක් සපුරනු ඇතැයි කිසිසේත් විශ්වාස කළේ නැත. 2015 වසර වන විට පවා ලෝකයේ විදුලිය බල නිෂ්පාදනයෙන් සියයට එකක පමණ සුළු කොටසක් සුළං හා සූර්ය විදුලිය උත්පාදනයට වෙන් වී තිබුණි. දැන් පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ අනෙකකි. එනම් වසර 2050 වන විට ලෝකයේ භාවිතා වන බලශක්තියෙන් හරි අඩක් සූර්ය බලයෙන් නිපදවනු ඇත.

ඉදිරි වසර තිහ තුළ සෑම ගෘහයක්ම විදුලිය බලාගාරයක් බවට පත් වනු ඇති බව ගණන් බලා තිබේ. එය පුලූල් දර්ශනයකි. බලශක්තිය උත්පාදනය හා අලෙවිය අතිවිශාල ආයෝජනයක් සහිත දැවැන්ත කර්මාන්ත බවට තිබුණ මතය ශුන්‍ය වෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් බලශක්ති උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කර තිබේ. එය විශාල බලයක් ඇති වගකීමක් ඇති අංශයක් සේ සැලකේ. ලෝකයේ නොයෙක් රටවල් නිවාස ඉදිකරන විට හිරු එළියෙන් නිවස බලගැන්වීමට හැකි යටිතල පහසුකම් සහිතව නිර්මාණය කළ යුතු බව අනිවාර්ය කර ඇත. ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තය එයින් එකකි. වසර 2020 වන විට රජයේ හෝ පුද්ගලික අංශයේ මහල් තුනකට වැඩි ඉදිකිරීම් වල දී සූර්ය කෝෂ භාවිතය අනිවාර්ය සාධකයකි. කර්මාන්තශාලා වලට 2030 වන තෙක් කල් දී තිබේ. මෙම අවශ්‍යතාවය සම්පූර්ණ නොකරන්නේ නම් ඉදිකිරීම් සැලසුම ප‍්‍රතික්ෂේප කරයි. කැලිෆෝනියා ප‍්‍රාන්තයේ වසරකට නිවාස 113,000 ක් ඉදිවන අතර දැනට එහි සූර්ය කෝෂ භාවිතාව සියයට 15 කි. වසර 2020 වන විට ජාතික විදුලිය බල පද්ධතියෙන් භාවිතය බිංදුවක් බවට පත්වන ගෘහ ඒකක ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඉදිවනු ඇතැයි අපේක්ෂාවයි.

සූර්ය තාපය බලශක්ති ප‍්‍රභවයක් වශයෙන් ප‍්‍රයෝජන ගැනීමට ඇති නැඹුරුව ගැන මෙකී තොරතුරු වරින් වර පෙන්වා දී ඇත. ආදර්ශයට ගත හැකි අවස්ථා අනාවරණය කර තිබේ. නමුත් ඉතා හොඳීන් සූර්යාලෝකය ඇති ශ‍්‍රී ලංකාව එයින් ප‍්‍රයෝජන ගන්නේ නැත. මෙරට කරන ආනයන වලින් සියයට විසි පහක් ඉන්ධන ආනයන වියදම බව සඳහන්ය. එයින් සෑහෙන කොටසක් විදුලිය නිපදවීමට වෙන් කරන බව නොරහසකි. ජල විදුලිය උත්පාදනය කළ හැකි උපරිම සීමාවට ළඟා වී තිබේ. සුළං බලාගාර වලට සෑහෙන ආයෝජනයක් කළ යුතුය. සූර්යයාගෙන් විදුලිය නිපදවීම සඳහා තාක්ෂණය දිනෙන් දින දියුණු වෙමින් තිබේ. දහවල් කාලයේ නිපදවන විදුලිය රාත‍්‍රි අවශ්‍යතාවය වෙනුවෙන් ගබඩා කරන ආකාරය ගැන පර්යේෂණ සිදුවෙයි. සූර්ය කෝෂ වලින් දිවා කාලයේ නිපදවන විදුලිය පැය ගණනක් ගබඩා කළ හැකි බැටරි, සම්බන්ධ තාක්ෂණය සොයාගැනීමට මහන්සිවීම සමහර රටවල් සහ අන්තර් ජාතික පර්යේෂණ ආයතන විශාල පරිශ‍්‍රමයක් දරන කාර්යයකි.

ශ‍්‍රී ලංකාව උදාවන අලූත් යුගයේ බලශක්ති යාන්ත‍්‍රණය ගැන අවබෝධය තර කරගත යුතුය. කොස්ටාරිකා රාජ්‍ය ඉන්ධන භාවිතාව වලකන හා තෙල් කර්මාන්තයේ නිරත පුද්ගලයන්ගේ වෘත්තීය අවස්ථා අරභයා අලූත් නීති සම්පාදනය කළේය. නවෝත්පාදනයක් ආරම්භ කරන ලද අතර එයින් පරිසරය ආරක්ෂා කරන අතර ආර්ථිකයේ තිබුණ බලවත් ප‍්‍රශ්න නිරාකරණය කර ගත හැකි විය. පවතින රාමුව එසේම එනම් නොවෙනස්ව පවත්වා ගැනීම යුතුකමක් නොවේ. අලූතින් හිතන අලූත් පැවැත්මක් වෙනුවෙන් සටන් කරන විප්ලවීය යාන්ත‍්‍රණයක් රාජ්‍ය තුළ තිබිය යුතුය. සම්ප‍්‍රදාය බිඳ වෙනත් පැත්තකින් ප‍්‍රශ්න දෙස බලන ක‍්‍රමයක් රටට අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය දුර්වල බව රහසක් නොවේ. විදේශ වත්කම් හීන බව පුන පුනා සඳහන් කරන අතර ආනයන පාලනය කරන්නට උපරිම උත්සාහ දරයි. නමුත් රට තුළ පවතින ආකෘතිය වෙනස් නොකරන්නේ ඇයි? එයින් අත්පත් කරගත හැකි වාසි ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද?