» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/02/2020 - ඉරිදා ලංකාදීප
එලවලූ පලතුරු බහුලව වගා කරන සැලැසුමක්

ඇමරිකාවේ සුපර් බෝල් කී‍්‍රඩා තරඟ පවත්වන වකවානුවේ දී මෙක්සිකෝවෙන් එන ඇවකාඩෝ නොඑසේනම් අලිපේර තොග වෙළඳ පොලට ප‍්‍රවාහනය කරන වාහන වලට දැඩි ආරක්ෂාව සපයන බව එරට ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත නොබෝදා වාර්තා කර තිබුණි. වසරේ පළමු භාගයේ දී සුපර් බෝල් තරඟ පැවැත්වෙයි. අවසන් තරඟ පැවැත්වෙන දින වල දී ධනකුවේරයෝ තරඟ නරඹන්නට පැමිණෙති. අලිපේර ක‍්‍රිම් වල දවටන ලද කෙටි ආහාර බුදිමින් ධනවත් පිරිස තරඟ නරඹති. උසස් තත්ත්වයේ අලිපේර වලට සෑහෙන ඉල්ලූමක් ලැබේ. ඇමරිකාවට තොග වශයෙන් එන අලිපේර ලොරි පැහැර ගැනීමට සන්නද්ධ කල්ලි සූදානම්ව සිටින අතර ඒවා පැහැරගෙන ගොස් වැඩි මිලට විකුණන සිද්ධි බහුලව අනාවරණය වෙයි. දේශ සීමා තරණය කර මෙක්සිකෝවේ බටහිර ප‍්‍රදේශවල සිට ඇමරිකාවට ළඟ වන පලතුරු ප‍්‍රවාහන වාහන වලට ආරක්ෂාව යෙදවීමට සිදුවී ඇති අතර එය බිලියන ගණන් හම්බ කරන සොරකම් බව දැක්වෙයි. හරිත රන් වශයෙන් මෙම පලතුර මෙම දිනවල හැදින්වෙන අතර මෙක්සිකෝව අඩුම වශයෙන් අලි පේර මෙටි‍්‍රක් ටොන් 127,000 ක් ක‍්‍රිඩා උත්සව කාලය ඉලක්ක කරගෙන ඇමරිකාවට අපනයන කරන බව නිල වාර්තා හෙළි කරයි.

මුදල් හෝ මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනයේ දී මැර කල්ලි ඒවා පැහැරගෙන යන අවස්ථා විශ්වාස කළ හැකි නමුත් ඇවකාඩෝ නොඑසේනම් අලි පේර වශයෙන් අප හඳුන්වන පලතුර පැහැරගැනීම හිතා ගැනීමටත් බැරි සිද්ධියකි. ඉල්ලූම සම්බන්ධයෙන් අලූත් ප‍්‍රවේශයක් මෙතැනින් අනාවරණය වෙයි. අලි පේර ගැටුම් ඇති කරන පලතුරක ස්වභාවයට පත්ව ඇති අතර පසුගිය වසර හය තුළ ඇමරිකානු සුපර් බෝල් තරඟ සංවිධායකයෝ අඛණ්ඩව අලිපේර ගැන කරන ලද ප‍්‍රචාරය එයට එක හේතු වී ඇති බව දැක්වෙයි.

ඇමරිකාවේ අලි පේර ප‍්‍රවාහනය කරන වාහන වලට ආරක්ෂාව තර කරන අතරතුර පසුගිය වසර අවසාන කාලයේ දී ජපානයේ පැවැති වෙන්දේසියක දී කොමඩු විශේෂයක ගෙඩි දෙකක් ඇමරිකානු ඩොලර් 45,000 කට අලෙවි කරන ලද බවය. ‘යුබාරි මෙලන් ’ යනුවෙන් හඳුන්වා දී තිබුණ එම පලතුර වගාවේ දී කාබනික පොහොර භාවිතා කරන ලද අතර ගොවියෝ පුද්ගලිකවම නිරත වී පලතුර වර්ණය, රස සහ ස්වභාවිකත්වය ආරක්ෂා කරනලද බව අනාවරණය කර තිබුණි. කෙසේ වෙතත් ජපානයේ සාමාන්‍ය කොමඩු ගෙඩියක් ඇමරිකාුන ඩොලර් පහක් පමණ වන අතර විශේෂයෙන් නිපදවන ලද වර්ග වල ගෙඩියක අවම මිල ඇමරිකානු ඩොලර් 200 ක් දක්වා වන බව ප‍්‍රකාශ වෙයි. ලෝකයේ නොයෙක් රටවල් වර්ණයහා රස වෙනස්කරමින් පලතුරු නිපදවන අතර තිත්ත අඩු වැඩි කරන ලද කරවිල වර්ග හා ඇසුරුම පහසු කරන සේ ගෙඩියේ හැඩය හතරුස් කරන ලද පලතුරු විශේෂ පවා ඒ අතර වෙති. එලවලූ හා පලතුරු වලට ඇති ඉල්ලූම දිනෙන් දින ඉහළ යමින් තිබේ. ලෝක ජනගහනය වැඩිවන විට ආහාර අවශ්‍යතා ඉහළ යන අතර වැඩි අස්වැන්න කෙරෙහි අවධානය නිතැතින්ම යොමු වෙයි. ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් රහිත අවස්ථාවල මිල ඉහළ යන අතර වගාවෙහි නිරත ගොවියෝ පමණක් නොව සැපයුම්කරුවෝ ද හොඳආදායමක් ලබති.

කාලය වෙනස්වීම සමග මුහුණ දෙන්නට සිදුව ඇති අභියෝග ගැන ජාත්‍යන්තර සමාජය අවධානයෙක සිටී. තාක්ෂණික හා කෘතීම බුද්ධිය බහුලව ව්‍යාප්ත වන නමුත් ආහාර වෙළඳපොල ගැටළු වඩා සංකීර්ණ වී තිබේ. ජනගහනය වැඩිවෙන අතර ආහාර සැපයිය යුතුයි. ඉඩම සිමා සහිතය. කෘෂිකාර්මික කටයුතු වන යොමුවන ශ‍්‍රම බලකාය ද සීමිත වෙමින් තිබේ. ඉල්ලූමට සරිලන තරමට ආහාර, වෙළඳපොලට නොලැබෙනවිට මිළ ඉහල යන අතර අඩු ආදායමක් ලබන පිරිස එයින් පීඩාවට පත් වෙති. ඔවුහු දුප්පතුන්ය. මිළ වැඩිවන විට එයින් පීඩනයට පත්වන්නේ මෙම කොටසයි. ජීවත්වීමට අවශ්‍ය මූලික දේ සපයා ගන්නට ආදායමක් නැති කොටස අසරණවීම ඛේදවාචකයයි. ඇමරිකාවේ උත්සව කාලයේ දී අලි පේර වෙනුවෙන් සුපිරි ධනවතුන්ට බිහිවන වෙළඳපොල පමණක් නොව ජපානයේ කොමඩු වෙළඳ පොල ද විශේෂිත පැති වශයෙන් සැලකිය හැකිය.

වී වගාව අපරටට සම්ප‍්‍රදායික එකකි. ඒ හා බැදුන සංස්කෘතියක් ඇත. ගොවියන් ට වී වගාව බුද්ධ භෝගයකි. කමත මහාර්ඝ තැනෙකි. සිරිත් විරිත් හා චාරිත‍්‍ර තිබේ. වී ගොවිතැන බත සපයයි. රටට විනිමය උපයන කෘෂිකර්මයක් ද තිබේ. තේ වගාව එයින් ප‍්‍රධානය. රබර්, පොල් හා සහ සුලූ අපනයන භෝග ද වෙති. විනිමය උපයන කෘෂිකර්මය රටට ඇතුලූ වූයේ අධිරාජ්‍යවාදී බලපෑම අනුවය. මුතු, මැණික්, මිනිරන්, කුරුදු හා අනෙක් දේ මෙරට එන සංචාරක වෙළදුන් සමග හුවමාරු කරගන්නා වෙළඳ මාර්ගයක් ඉතිහාසයේ පැවතින. එකී වෙළඳ මං ඔස්සේ පැමිණි යුරෝපා ප‍්‍රජාව ලංකාව යටත් කරගත්හ. එයින් ඔබ්බට ගොස් ස්වකීය රටවල වෙළඳ පොළට අවශ්‍ය දේ මෙරට නිපදවූහ. කෝපි වගා කළේ ඔවුන්ට අවශ්‍ය හෙයිනි. කෝපි වගාව විනාශ වන විට තේ හා රබර් වගා කළහ. අස්වැන්න ඔවුහු එකතුකර ගත්හ. කුරුඳු ගස් විනාශ කිරීම අපරාධයක් සේ සැලකීය. වතු වගාව ඇරඹුණේ ද, ඒ හරහා කම්හල හා කම්කරු පෙලැන්තිය බිහිවුණේ ද බටහිර උවමනාව අනුවය. මාර්ග බිහි කෙරිණ. දුම්රිය සේවාව ඇරඹිණ. බැංකු ක‍්‍රමය ස්ථාපිත විය. සමස්ථ සමාජ රටාවම අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාව අනුවය. අද වසර හැත්තෑ දෙකක නිදහස සමරන ශ‍්‍රී ලංකාව මෙම රාමුවෙන් පිටතට පැමිණ අලූත් දේ ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය.

තේ වගාව විශාල දියුණුවක් ලබා නැත. තේ ගලවා ඉවත් කරන පිරිස් ඒවා කැබැලි කර විකුණති. රබර් වගා කරන ඉඩම් ප‍්‍රමාණය පිරිහී තිබේ. වගාව කරගෙන යාමට ශ‍්‍රමය හිඟය. වෙළඳ පොල ප‍්‍රශ්න තිබේ. වතු සමාගම් පවා තේ වෙනුවට කටු පොල් එනම් ෆාම් ඔයිල් වගාකරන්නට පෙළැඹෙන බව නිරීක්ෂණය කළ හැකිය. කෘෂිකර්මයෙහි නිරතරව උපයන ආදායම ප‍්‍රමාණවත් නොවන බව දකින අලූත් පරම්පරා ධනය සොය විදේශ රටවලට පිටත්ව යන අතර එය ජාතික ප‍්‍රශ්නයක මුහුණුවරගෙන ඇත. නවතම අවස්ථා ඇති කර කෘෂිකර්මයෙන් රටට ප‍්‍රයෝජන ගැනීම අවශ්‍ය කර තිබේ. හුදෙක් තේ, රබර් හෝ පොල් වලින් ඔබ්බට ගිය කෘෂිකර්ම අවස්ථා නිර්මාණය කරගත හැකිය.

අපනයනය කෙසේ වෙතත් රටට අවශ්‍ය එලවලූ හා පලතුරු වගාව කරගෙන යනු සඳහා නව ප‍්‍රවේශයකට යා හැකිය. සංචාරක කර්මාන්තයේ ඉලක්ක රටට තිබේ. මෙරටට එන සංචාරකයන්ට අවශ්‍ය තරමට බවබෝග නිපදවෙන්නේ නැත. විශේෂයෙන් තරු හෝටල වල සැපයීමේ දී ප‍්‍රමිතිය වැදගත්ය. උසස් ප‍්‍රමිතියකින් නිසි පරීක්ෂාවෙකින් ගොවිපොල පවත්වාගෙන යන ක‍්‍රම ඇති කළ යුතුය. අහසින් වැටෙන ජල බිඳුවක් ප‍්‍රයෝජනයට මුහුදට ගලායන්නට ඉඩ නොදෙන බව පෙර රජවරු අභිමානයෙන් කියා තිබේ. වැව් අමුණු බැඳ වගාවට පහසුකම් ඇති කළහ. අද අලූතින් වැඩ කරන්නට අවශ්‍යය. ජලය පමණක් නොව ඉඩම ද සීමිතය. සෑම බිම් අඟලක්ම උපරිම ප‍්‍රයෝජන ගත යුතුව තිබේ. එලවලූ, පලතුරු හා ධාන්‍ය වර්ග විශේෂ අවධානය යොමු කර වගා කළ හැකිය. මැලේසියාව, තායිලන්තය වැනි රටවල් මෙම අංශය නවෝත්පාදනයකට යොමු කර ඇත. ඊශ‍්‍රායලය, ජපානය හා චීනය තවත් ඉදිරියට ගෙන ගොස් තිබේ. වැඩිදියුණු කරන ලද බද්ධ විශේෂ පමණක් නොව පාංශු මාධ්‍ය රහිතව වගා කරන තරමට වගාව විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණුය. ඊශ‍්‍රායලය පරිසර සාධක පාලනය කර තිබේ. චීනය නවීන මෙවලම් නිපදවා ඇත. මිනිසුන් රහිතව වගා කරන තරමට දියුණුය. මහා පරිමානයෙන් වගා කරන විශාල භූමියට රොබෝ තාක්ෂණය යෙදවේ. පොහොර යෙදීමට පවා ඩ්‍රෝන යන්ත‍්‍ර භාවිතා කරයි. සුළු ප‍්‍රමාණයෙක් කරන වගාව සඳහා ද නවීන තාක්ෂණික උපකරණ නිපදවා තිබේ. මේවා සරල සහ පහසුවෙන් භාවිතා කළ හැකි අතර ශ‍්‍රම වියදම පාලනය කළ හැකිය.

දෙළුම් ලෝකය පුරා සුපිරි පලතුරකි. මැලේසියාව මෑතක දී සිය පලතුරු වගාව ගැන අලූත් අදහස් ඉදිරිපත් කළ රටකි. ස්ටාර් ෆෘට් වගාව දියුණු කර ඇත. ඒ අප දන්නා කාඹරංකා. වන අතර රඹුටන් හා පෙයාර්ස් ද මහා පරිමානයෙන් වගා කරන්නට සැලසුම් කරයි. තායිලන්තය එලවලූ පලතුරු සම්බන්ධයෙන් ජාන තාක්ෂණ පර්යේෂණ කර සොයාගෙන ඇති නව ප‍්‍රබේධ බිහි කර තිබේ. වෙරලූ ගෙඩිය ඔලිව් තරමට ම ගුණ බව සොයා ගෙන තිබේ. ආවේනික වෙරලූ වර්ග අද තුරන් වී ඇත. අඹ වර්ග රටට අහිමි වී තිබේ. සෑහෙන පලතුරු වර්ග ප‍්‍රමාණය අස්වැන්නෙන් ලැබෙන කාලයේ ඒවා ගස් යට ම විනාශ වී යයි. කොළඹට සැතුපුම් පනහක් හැටක් ඈතින් දිවුල්, බෙලි හා මොර වැනි දේ විකුනාගත නොහැකිය. සුපිරි වෙළඳ සැල් වල ආනයනය කරන ලද දේ තිබේ.

වගා කිරීම පමණක් නොව, අස්වැන්න නෙලා ගැනීම, ඇසිරීම හා බෙදාහැරීම දක්වා ප‍්‍රමිතිය හා තත්ත්වය උසස් කරන වැඩ පිලිවෙලක් රටට අවශ්‍යය. ලෝකයේ නොයෙක් රටවල්ල පලතුරු ඉල්ලයි. ඇමරිකාවේ මංකොල්ල කල්ලි ඇවකාඩෝ පැහැර ගන්නා කාලයට මෙරටින් යවන සැලසුම්ක් හදන්නට බැරි කමක් නැත. අත්හැරදමා ඇති තේ වතු, කුඹුරු පලතුරු වතු බවට හරවා ඒවා අධීක්ෂණය කරන පිලිවෙතකට යා හැකිය. විකල්ප සොයා යා යුතු අතර ලෝකයේ සිදුවන පරිවර්තනයට ගැලපෙන අන්දමට ගොවිපොල ද සකක් කරන්නට අපට හැකියාව තිබිය යුතුය.