» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/12/2019 - ඉරිදා ලංකාදීප
රාමුව වෙනස් කිරීමෙන් අලූත් අවස්ථා උපයා ගැනීම

ඇමේසන් යන සන්නාමය ලෝක ව්‍යාප්තය. ඇමේසන් සමාගම ඇමරිකානු පුරවැසියෙකු වූ ජෙෆ් බිසෝස් ගේ නවෝත්පාදන සංකල්පයකි. මෙක්සිකෝවේ උපත ලැබූ හෙතෙම දෙමාපියන් සමග ෆලෝරීඩාවට සංක‍්‍රමණය වූ අතර 1995 වසරේ මැද වොෂින්ටන් හි සියැටල් නගරයේ ස්ථාපිත කරන ලද ඇමේසන් සමාගම මුලින් පොත් අලෙවි කළේය. ඕනෑම පොතක් ලෝකයේ ඕනෑම තැනක සිට ඇමේසන් වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයෙන් ඇනවුම් කළ හැකි අතර එය නිවසටම එවනු ලැබේ. පසුව විදුලි උපකරණ, පරිගණක මෘදුකාංග, වීඩියෝ ක‍්‍රීඩා, ඇගළුම්, සෙල්ලම්බඩු හා ස්වර්ණාභරන යනාදිය අන්තර් ජාලයෙන් අලෙවි කිරීම දක්වා ව්‍යාප්ත වූ අතර අද වන විට නැවුම් ආහාර වර්ග ඇනවුම් කිරීම දක්වා ව්‍යාප්ත වී තිබේ. දිනකට භාණ්ඩ මිලියන සියයක් දක්වා ඇනවුම් කරන තැනට ඇමේසන් ප‍්‍රචලිත වී ඇති අතර ගනුදෙනුකරුවන්ගේ විශ්වාසනීයත්වය ඉහළම ප‍්‍රතිශතයක තිබේ. මෙතෙක් වෙළද සැලකට ගොස් බඩු මුට්ටු මිල දී ගත් ජනී ජනයා තමන්ට අවශ්‍ය ශීතකරණයේ සිට කෝපි කෝප්පය දක්වා ඇනවුම් කරති. මෙය මෙතෙක් පැවැති සම්ප‍්‍රදායික රාමුව වෙනස් කරන ලද අවස්ථාවකි.

ඇමේසන් භාණ්ඩ මිල දී ගැනීම වෙනස් කරන ලද අතර ගමන් බිමන් සදහා වාහනයක අයිතියක් තිබීම අවශ්‍ය නැති කර තිබේ. එකී වෙනස කරන්නේ ඌබර් සේවාවයි. ඇප් එකක් බාගත කරගෙන තිබීම වැදගත් අතර වාහනයක් සන්තකයේ තබා ගැනීම වැදගත් නැති බව ඔප්පු කර තිබේ. වාහනයක හිමිකාරීත්වය පමණක් නොව එය තමන්ම පදවා ගෙනයාම ද යල් පැන ගිය අදහසක් වන බව පෙනේ. රියැදුරු රහිත වාහන අනාගතයේ දී භාවිතා වනු ඇත. සංචාරකයෝ හෝටල් වෙන්කරගත් ස්වභාවය ද අලූත් රාමුවකට අවතීර්ණ වී තිබේ. එයට අනුව බී ඇන්ඞ් බී යනුවෙන් සංකල්පයක් අන්තර් ජාලයේ පවතින අතර තමන්ට නවාතැන්ගත යුතු තැන කලින් වෙන්කරගත හැකි අතර හෝර්ටල් පමණක් නොව ඕනෑම තැනක ස්ථානයක් පරිහරණය කළ හැකි වී තිබේ. නිවසින් පිටත්ව කාර්යාලයට පැමිණ සේවය කරන අදහස ද අතීතයට එකතු වනු ඇත. කාර්යාල ක‍්‍රමය අහෝසි වන අතර ඉඩකඩ ඇති තැන් අන්තර් ජාලයේ අලෙවි කෙරේ. අවශ්‍යනම් පමණක් ඒ තැන් වලට එකතු විය හැකිය. වෙනමම කාර්යාල නඩත්තු නොවන අතර නිවසේ සිටම වැඩ කරන ස්වභාවයක් සකස් වී තිබේ. ගිග් ඉකොනොමි එයට සම්බන්ධ වී ඇති අංශයකි. තමන්ට කරගත යුතු කාර්යය අන්තර් ජාලයට යොමුු කරන අතර එය නොදන්නා තැනක සිටින ශ‍්‍රමිකයෙකු අතින් නිම කෙරේ. එයට ගෙවීම අන්තර් ජාලයෙන් සිදුවෙයි. මෙම අලූතින් පැන නැගෙන ගිග් ඉකොනොමි ස්වභාවය මෙම වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 500 ඉක්වමන ව්‍යාපාරයක් වනු ඇති බවට පුරෝකථනය වී ඇත.

ජන ජීවිතයේ සෑම අංශයක්ම අලූත් වී ඇති අතර අවුරුදු විස්සකට කලින් සිතිවිල්ලක්ව තිබුණ දේ අද ඇස්පනා පිට සිදුවෙමින් තිබේ. එම රාමුව ජීවිතය පහසු කර ඇත. ස්ථිර කාර්යාලයක් නැති, අවශ්‍ය දේ ගෙදරටම ගෙන්වා ගන්නා අතර සුපුරුදු සාප්පු සවාරිය අහෝසි වන ස්වභාවය තුළ තවත් වසර දහයක් දොලහක් ගත වන විට සුපුරුදු ගුවන් තොටුපොල සංකල්පය ද අහෝසි වන ලකුණු පහල වී තිබේ. එයට හේතුව ඌබර් ගුවන් යානා සංකල්පයක් ද හදුන්වා දෙන බව ප‍්‍රකාශවීමයි. ඕනෑම තැනක් ගුවන් තොටුපොලක් විය හැකි අතර මගීන් නංවා ගෙන අහසට යන යානා නිසි පිලිවෙලකට අනුව රටින් රට යාත‍්‍රා කරනු නිසැකය. මේවාට අවශ්‍ය පිරිවැය අතැ`ගිලි අග ඇත. ස්පර්ශයකින් ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කෙරේ. තවත් වසර විස්සකින් කර්මාන්ත, බලශක්ති, ප‍්‍රවාහන හා සේවා අංශ කිසිදා විශ්වාස නොකළ අලූත් රාමුවකට මාරු විය හැකි බව පැහැදිලිය.

මෙම සියළු පැති ගැන අවධානය යොමු කරන අතරවාරයේ දී අධ්‍යාපනය ද අලූත් යුගයකට ඇතුළු වෙමින් තිබේ. ඉතාම හොද පාසලට හෝ විශ්ව විද්‍යාලයට ඇතුළුවන ශිෂ්‍ය ප‍්‍රමාණය අසීමිත විය හැකිය. ස්මාට් පංති කාමර අද යුගයේ විස්මයක් නමුත් තවත් දශකයකින් දෙකකින් ලෝකයේ එහා කෙළවරේ ඇති පාසලක උගන්වන දේ මෙහා කොනේ දරුවෙකුට අන්තර් ජාලයෙන් බලා සිටිය හැකිවනු ඇත. ප‍්‍රසිද්ධ විභාගවලට පෙනී සිට ඒවා සමත්වන අවස්ථාව ද පුලූල් වන බව පෙනේ. වෙනස් නොවන දෙයක් නැති බව නිරීක්ෂණය කළ හැකිය. ව්‍යුහය වෙනස් වන අතර එයට ගැලපෙන පරිදි ආකල්ප වෙනස් වෙමින් තිබේ. වෙනස් වන දේ ගැන අලූතින් හිතන්නට සිදු වී ඇත.

සමාජ ආර්ථික පරිවර්තනයක් අපේක්ෂා කර ආණ්ඩු බලයට පත් කරන ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාව වෙනස් වීමට එකග විය යුතුය. ඉතිහාසයේ සිට පැවැති රාමුව වෙනුවට අලූත් දෙයක් කෙරෙහි නැඹුරුවීම අවශ්‍යය. පාලකයෝ හා ප‍්‍රතිපත්ති සම්පාදකයෝ මෙම පැති ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. සුපුරුදු පරිදි රජයේ රැකියා, ආණ්ඩුවේ අධ්‍යාපනය, ටියුෂන්, අසීරුවෙන් ගමන් බිමන් යන බස් සේවය, කිසිම පහසුකමක් නැති දුම්රිය ගැන තව දුරටත් විශ්වාසය තැබිය යුතුද? කාර්යාලයකට නොගොස් සේවයක් ලබා ගන්නට හැකි ආකාරයට රාමුව වෙනස් කළ යුතුය. අවුරුදු හතලිහකට වැඩි කාලයක් විවෘත ආර්ථික ක‍්‍රමය ක‍්‍රියාත්මක විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේවා වෙනස් කර අලූත් රාමුවක් හදන්නේ කෙසේ ද යන්න ගැන අප අතර සංවාදයක් ගොඩනැංවීමට සුදුසු කාල වකවානුවක් නිර්මාණය වී තිබේ.

ලෝකයේ බොහෝ දියුණු අන්තර් ජාල සේවා සහිත රටවල කඩමණ්ඩියක් නැත. පාරිභෝගිකයෝ අන්තර් ජාලයෙන් ඇනවුම් කරති. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා එකට මුණ ගැසෙන වැඩ පිලිවෙල තිබේ. අතරමැදියන් රහිත වන විට උසස් නිෂ්පාදන අඩුම මිලට ලබා ගත හැකිය. නුවරඑළියේ වැවෙන එලවලූ මිටි බැද කොළඹ තොග වෙළද පොලට එවා එයින් කොටසක් නාස්ති වූ පසු ඉතිරිය කොළඹ සිට ප‍්‍රධාන නගර වලට යැවෙන ක‍්‍රම ඉතාම ප‍්‍රාථමික මම්ටමේ බව අවබෝධ කරගත යුතුය. ආර්ථික මධ්‍යස්ථාන තව දුරටත් එලවලූ හෝ පලතුරු අලෙවි කරන තැන් වශයෙන් පවත්වාගෙන යා යුතුද? ජනතාවට මෙම අදහස ගැන කල්පනා කරන්නට අවස්ථාවක් තිබේ. ගොවියන් ගේ නිෂ්පාදන හා ගැනුම්කරුවන්ගේ ඉල්ලීම් එකට සම්බන්ධ කරන තැන් බවට හැරවිය හැකිය. ඇමේසන් සමාගම ලොව පුරා නැවුම් එලවලූ හා පලතුරු ප‍්‍රවාහනය කරන්නේ නම් අපට නොහැකි ඇයි? ඇමරිකාව තුළ දවසක් ඇතුලත හා රටින් බැහැර නම් දින දෙකක් හෝ තුනක් ඇතුලත ඇනවුම් ළගා වෙයි. ඇමරිකාවේ මිලියන 145 ක් පාරිභෝගිකයෝ ඇමේසන් ඇප් එකට එකතු වී සිටී. ශ‍්‍රී ලංකාවේ ජනගහනය මිලියන විසි එකකට ආසන්නය. මෙම කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය කරන ඇනවුම් ප‍්‍රමාණය පවුල් ගණනින් සලකා බැලූවහොත් හතරෙන් එකකටත් වඩා අඩුය. ව්‍යුහය වෙනස් කරන සැලැස්මක් සකස් කරන්නට ඇති බාධාව කුමක්ද?

අන්තර් ජාලය තවදුරටත් සුපිරි මෙවලමක් නොවේ. මෙරට සෑම පුරවැසියෙකුම දුරකතනයක් භාවිතා කරයි. සමාජ මාධ්‍ය ගිණුම් ප‍්‍රමාණය ඉතා විශාල බව වාර්තා වෙයි. ස්මාට් දුරකතනයකින් ලබා ගත හැකි අලූත් අවස්ථා ගැන අවධානය යොමු කළ යුතුය. අලූත් ආණ්ඩුව තාක්ෂණය ගැන පුලූල් අවධානයක් යොමු කරන බව පෙනේ. විදුලි සංදේශ සේවාව වෙනුවෙන් මෙතෙක් පැවැති බදු අඩු කර තිබේ. තව දුරටත් අන්තර් ජාල භාවිතා කරනු සදහා එය දිරිගැන්වීමක් විය හැකිය. භාවිතාව තවත් වැඩිවන විට බදු තවත් අඩු වනු ඇත. අවශ්‍ය එයට එළැඹුමක් පමණකි.