» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/10/2017 - ඉරිදා ලංකාදීප
ජන සමාජයේ සිතැගි අවධානයට ගත යුතු පාලකයෝ

මෑත කාලය තුළ ලෝකයේ රටවල් ගණනාවක පැවැති ජනමත විචාරණ කිහිපයක් සලකා බලන විට ඒවා අපූරු පාඩමක් උගන්වයි. එකක් ස්පාඤ්ඤයේ දී නොබෝදා පැවැත්විණි. කැටලෝනියා ප‍්‍රාන්තය ස්පාඤ්ඤයෙන් ස්වාධීනත්වය ඉල්ලන අතර එය උදෙසා ප‍්‍රාන්තය මගින් පවත්වන ලද ජනමත විචාරණය මහත් කලබැගෑනියක් ඇති කළේය. අනෙක වාර්තා වූයේ ඉරාකයෙනි. ඉරාකයේ කුර්දිස්ථානය ද වෙන්වන අදහස ඉලක්ක කරගෙන ජනමත විචාරණයක් කුරිදි පලාතේ පවත්වන ලදී. එහි ප‍්‍රතිඵලය ද ඉරාකයෙන් වෙන්වීමේ අවශ්‍යතාව පෙන්වන ලද අතර මෙම ජනමත විචාරණ දෙකම එම රටවල ආණ්ඩු වල පාලනයට විරුද්ධව පවත්වන ලද ඒවා බව සඳහන් කළ යුතුය. ඒවා පවත්වන ලද පසුබිම හා එයින් ලෝකයේ වෙනත් රටවල ස්වාධීනත්වය තකා කි‍්‍රයා කරන කණ්ඩායම් වලට ඇති කරන ලද පෙළඹවීම අධ්‍යයනයට ලක් වීය යුතුව තිබේ.

ජනමත විචාරණ ඡන්දය පවතින අවස්ථාවේ දී වෙන්වීම ඉල්ලන කණ්ඩායම් හා ස්පාඤ්ඤ රජයේ ආරක්ෂක අංශ අතර ගැටුම් පැවැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. බැටන් පොලූ වලින් පහර දෙන සහ රබර් උණ්ඩ වලින් වෙඩි තබා ජනයා පලවා හරින දර්ශන දිගින් දිගටම හෙළිදරව් කළේය. ස්පාඤ්ඤ ආණ්ඩුව සිය ආරක්ෂක අංශ යොදවා ජනමත විචාරණ ඡන්ද පොලට යන පිරිස පාලනය කරන්නට බැට දෙන බව දක්නට ලැබිණ. ස්පාඤ්ඤය කියා සිටියේ මෙම ජනමත විචාරණය නීති විරෝධී හා ව්‍යවස්ථාවට එරෙහි එකක් බවය. නමුත් කැටලෝනියා ප‍්‍රාන්තයේ ගිණි නිවන හමුදාවේ පාලනය ප‍්‍රාන්ත ආණ්ඩුවට අයත්ය. ගිණි භටයෝ ඡන්දය දාන්නට එන ජනතාව ආරක්ෂා කළහ. ජනතාව ආරක්ෂා කරමින් මධ්‍යම රජයේ හමුදා මෙහෙයුම් වලට අවහිර කරන ලද බව සඳහන් විය. ස්වාධීනත්වය ඉල්ලන ජනයාගේ ඡන්දය ප‍්‍රකාශ කිරීම වලක්වන අරගලය බාසිලෝනා ඇතුළු නගර වල වැඩිපුර පැවැති අතර නගරයේ වැසියන් හාරසිය හැටකට වඩා තුවාල ලැබූ බව බාසිලෝනා නගරාධිපති මාධ්‍ය ඉදිරියේ කියා සිටියේය. ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට අනුවක් පමණ වෙන්වීම අවශ්‍ය බව පෙන්වා දී ඇති බව පසුව එහි ප‍්‍රතිඵල අනාවරණය කරන අතර කැටලෝනියා ප‍්‍රාන්තයේ තනි තීරණය අනුව පවත්වන ලද ජනමතය විමසීම ස්පාඤ්ඤ රජය බරපතල අර්බුදයකට පත් කළ බව එයින් පැහැදිලිවෙයි.

ඉරාකයේ කුර්දිස්ථානය වෙන්වන අදහස ඇතිව දීර්ඝ කාලයක් සටන් කරමින් සිටි අතර මෙම පිරිස සිය මතය උරගා බලනු සඳහා ජනමත විචාරණයක් පවත්වන්නට 2014 වසරේ දී සිට කල් හරිමින් සිටියේය. ඉරාකය එයට ඉඩ දුන්නේ නැත. එය අවසානයේ දී නොබෝදා පවත්වන විට මිශ‍්‍ර ජන වර්ගවලට අයත් නගර සහ ඒවායේ පවතින සම්පත් බෙදීයන්නට ඉඩ ඇති අන්දම ගැන යම් කැළඹිලි සහගත බවක් තිබුණ බව පුවත් සේවා වාර්තා කළේය. බැග්ඩෑග් පාලනය මෙම ජනමත විචාරණයට තදින් විරුද්ධය. එය නතර කරන්නට හෝ පාලනය කරන්නට නොයෙක් උත්සාහ කළේය. අවසානයේ ජාත්‍යන්තර ගුවන් සේවා පාලනය කරන ලද අතර තෙල් සම්පත් සහිත කුර්දිස්ථායෙන් තෙල් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන සේ ජාත්‍යන්තර ප‍්‍රජාවට දැනුම් දුන්නේය. වෙන්වීම අපේක්ෂා කරන කුර්දිස්ථානයේ දේශ සීමා කොටසෙහි පමණක් මිලියන 5.5ක ජනගහනයක් ජීවත්වන බව දැක්වෙයි. ඉරාක අගමැතිවරයා මෙම ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී බව ප‍්‍රකාශ කරන ලද අතර එහි ප‍්‍රතිඵලය කුමක් වුවත් ඉරාකයේ ස්ථාවරයට බලපෑමක් නැති බව ද අවධාරණය කළේය. ප‍්‍රතිපලයෙන් කරන ලද බලපෑම කෙබදු මුහුණුවරක් ගන්නට ඉඩ තිබේදැයි පැහැදිලි නැති නමුත් කුර්දිස්ථාන් ජනමතයෙන් සියයට අනුතුනක් වෙන්වීමට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කර තිබේ.

මෙයින් පෙන්වන්නේ ආණ්ඩුවල පාලකයන් ජනතා මතය විමසීම සඳහා පවත්වන ජනමත විචාරණ ඇති බවයි. ආණ්ඩු වල බලය පරාජය කරමින් පවත්වන ජනමත විචාරණ විධි දෙකක් මෑතක දී ඉදිරියට පැමිණියේය. එකක් මහ ආණ්ඩුවෙන් වෙන් වන අරමුණ ඇතිව පලාත් ආණ්ඩු එනම් කැටලෝනියාවේ හෝ කුර්දිස්ථායේ පැවැති ඒවාය. තවත් ජනමත විචාරණයක් වෙනිසියුලාවෙ පවත්වන්නේ රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයැවීමෙනි. වෙනිසියුලානු රජය අලූත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරගන්නට සූදානම් වන අතර එරට විරුද්ධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එයට එරෙහිව දැවැන්ත අරගලයක් අරඹන ලද අතර හුදෙක් සටන් පාඨ කියමින් පාරට බහින ස්වභාවයට වඩා ඉදිරියට යන වෙනිසියුලාවේ දේශපාලන අරගලකරුවන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරන්නට තීන්දු කරන විට එයට එරෙහිව ස්වාධීන ජනමත විචාරණයක් පවත්වා එයින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්පත් කරගන්නට සමත්විය. එය ජන අරගලයේ තවත් වෙනස් ස්වභාවයකි.

දශක හයක් පැවැති ගැටුම් අවසන් කරන සාම ක‍්‍රියාවලියකට ජනතා අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණයත් කොලොම්බියාව පවත්වන ලද අතර එරට ජනතාව සාම ක‍්‍රියාවලිය ප‍්‍රතික්ෂේප කළේ මෑතක දීය. ඉතාලියේ ව්‍යවස්ථාව වෙනස් කරනු සදහා පැවැති ජනමත විචාරණයකින් අගමැතිවරයා පාඩමක් ඉගෙනගත්තේය. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට බි‍්‍රක්සිට් පමණක් නොව උතුරු ස්කොට්ලන්ත ජනමත විචාරණය ද එකිනෙකට වෙනස් පැති බිහි කරන ලද බව සදහන් කරන්නට අවශ්‍යය. එසේ තිබිය දී කැටලෝනියානු ප‍්‍රාන්තය මහ ආණ්ඩුව නොතකා ජනමත විචාරණය බලයෙන් පැවැත්වීම හා ඉරාකයේ කුර්දිස්ථානයේ ජනමතය විමසීම නීති විරෝධී බව කියන ඉරාකයේ මතය අවධානයට ගැනීම ඉතාම වැදගත් කාරණාය.

එක්තරා කාලයක ජාත්‍යන්තර ප‍්‍රජාවට තම රටවල පවත්වන ජනමත විචාරණ කෙරෙහි බලවත් විශ්වාසයක් තිබිණි. නූතන ජනසමූහයා සිද්ධි සම්බන්ධව හැසිරෙන හා තින්දු ගන්නා විලාශය ඉතාම සංකීර්ණ බව තේරුම් ගැනීම අවශ්‍යය. ජනමතය හා මතවාද අවුලවන්නේ සම්ප‍්‍රදායිකව නොවේ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇවිලෙන ජන මත දුර දිග නොබලා තීරණ ගන්නා මට්ටමට ජනතාව පොළඹවයි. ක‍්‍රමය ගැන කිසියම් ආකාරයක අතෘප්තිමත් යම් පිරිසක් අවුලවන දේ ලෝකය තැති ගැන්මකට ලක් කර ඇති බව පිලිගත යුතුය.

ශ‍්‍රී ලංකාව අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරයි. දීර්ඝ කාලයක් රටට අවශ්‍යව තිබුණ බව දක්වන බලය බෙදාහැරීමේ සංකල්පය එයට පදනම් වී තිබේ. ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් ද අවශ්‍ය තිබේ. සමාජය මෙම ව්‍යවස්ථා සහ ජනමත විචාරණ ගැන හිතන්නේ කෙසේදැයි සලකා බැලීම සුදුසුය. 1982 වසරේ දී මෙරට ජනමත විචාරණයක් තිබිණි. එය මගින් ඇති කරන ලද ප‍්‍රතිඵලය ගැන මෙරට ජනතාවට මතකය. වසර තිස් පහකට කලින් මෙරට පැවැති සමාජ පසුබිම අද නැත. ජාත්‍යන්තර ස්වභාවයේ සංකීර්ණ පැති වලින් මෙරට පෝෂණය වී නැතැයි කිව නොහැකිය.

අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ ඇයි? එයින් කරන පරිවර්තනය කුමක්ද? එය කරන්නේ කෙසේ ද යන්න ගැන ජන සමාජයේ සෑම ස්ථරයක් සමගම සාකච්ඡුාවක් සංවාදයක් අවශ්‍යය. අද එම සාකච්ඡාව දේශපාලනීකරණය වී තිබේ. ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ සමාජ අවශ්‍යතාව පදනම් කරගෙන නොව අවස්ථාවාදී අන්දමින් යැයි සිතන්නට සමාජය නැඹුරු වී ඇත. දේශපාලනය තුළ පංති බෙදීම තිබේ. අධිරාජ්‍යවාදීන්ගෙන් උරුම වූ ලක්ෂණ නඩත්තු කරන පංතිය සහ ඒවා රහිත පැලැන්තිය අතර පරස්පරතා හටගෙන තිබේ. අලූතින් හදන ව්‍යවස්ථාව යනු බිම් මට්ටමේ සිතැඟි ඉටු කරන මෙවලමක් දැයි ජනතාවට පැහැදිලි නැත. මෙවැනි පසුබිමක් හමුවේ අලූත් ව්‍යවස්ථාව ජනමත විචාරණයක් හමුවට ගෙනයාම ඉතාම බාරධූර කර්තව්‍යයක් වනු නොඅනුමානය.

අද රට තුළ බලපවත්වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු ද නැද්ද යන්න ගැන රට තුළ එකඟතාවයක නැත. බලය බෙදන තරම අනුව රටට විධායක බලය ඇති ජනාධිපතිවරයෙකු අවශ්‍ය බව සෑහෙන පිරිසක් මතු කරන අතර තවත් කොටසක් ජනාධිපති වෙනුවට විධායක අගමැති සහ එම ධුරය පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයට පත් කළ යුතු බව දක්වයි. අලූතින් පත් කරන සෙනෙට් සභාවක් ගැන යෝජනා ඉදිරිපත් වී තිබේ. මන්ත‍්‍රී ධුර ප‍්‍රමාණය වැඩිකරන්නට යෝජනා කර ඇත. ව්‍යවස්ථා සම්පාදක කමිටුව ඉදිරිපත් කරන ලද අදහස් අවසන් ඒවා නොවෙතත් මෙම අදහස් මගින් මතුකරන තත්ත්වය ද සරල එකක් නොවේ. එයට අමතරව පලාත් පාලන පණත අනුව පලාත් පාලන නියෝජිත සභිකයන්ගේ ප‍්‍රමාණය වැඩඩිකරන යෝජනා සාකච්ඡාවෙයි. ජනතාව තව තවත් මැති ඇමැතිවරු පත් කරගන්නට සූදානම්ද?

ලෝකයේ තැනින් තැන සිදුවන වැදගත් දේශපාලන සිද්ධි හුදෙකලා ඒවා නොවේ. ගෝලීයකරණය වූ ලෝකය තුළ සමාජ ගෝලීයකරණය වැදගත් කාරණයකි. දේශසීමා සහ ආර්ථිකය පමණක් නොව පුද්ගල සම්බන්ධතා හා ආකල්ප ගෝලීයකරණය වී ඇති පසුබිමක ශ‍්‍රී ලංකාව ඒවායෙන් දුරස්ථ නැත. මෙරට ජනගහයෙන් විශාල කොටසකට රටින් බැහැර අත්දැකීම් තිබේ. ක‍්‍රමයෙන් අන්තර් ජාල භාවිතාව ඉහළ යමින් පවතින අතර සමාජ මාධ්‍ය හා අන්තර් ජාල තොරතුරු වලින් පෝෂණය වන ජනතාවගේ ආකල්ප කෙරෙහි සියුම් අවධානයක් යොමු කළ යුතුය. පාලනයේ ඉහළ පැලැන්තිය බිම් මට්ටමේ විඥාණය අධ්‍යයනය කළ යුතුය. ජනතාව ජාත්‍යන්තර නූතන පැවැතීම් වලින් කරුණු උපයා ගන්නා අන්දම ද වෙසෙසින් අවධානයට ගත යුතුය.