» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/09/2019 - ඉරිදා ලංකාදීප
වනාන්තරය ආරක්ෂා කරගැනීම කෙරෙහි පවතින විවාදය

ඇමේසන් වනාන්තරය ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන ලෝකය පුරා සෑහෙන විවාදයක් හටගෙන තිබේ. ඇමේසන් වනාන්තරයේ හටගත් ගිණිගැනීම් ස්වභාවික පරිසර පද්ධතියට බරපතල හානියක් කර ඇත. එය කොපමණ හැඟීම් දනවන සිද්ධියක් ද යත් ලෝකයේ පෙනැහැල්ල විනාශ වන බව දක්වන්නට පරිසරවේදීහු නැඹුරු වී සිටී. අනාවරණය වන අලූත් වාර්තා අනුව පසුගිය මාස අට තුළ ගිණි විපත් හැත්තෑ දෙදහසක් වාර්තා වී තිබේ. මෙකී ස්වභාවය ගැන විශාල අවධානයක් තිබිය දී පවා දින දෙකක් තුළ ස්ථාන හාරදහසක් පමණ හදිසි ගිණිගැනීම් සිදුවිය. මෙම ගිණි නිවා පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා බලවත් ප‍්‍රයත්නයක් දරා ඇත.

ඇමේසන් වනාන්තරය ලෝකයේ විශාලතම නිවර්තන වැසි වනාන්තරයයි. එහි ආරක්ෂා වන ගහ කොළ මගින් පරිසරයට මුදාහරින ඔක්සිජන් ප‍්‍රමාණය සමස්ථයෙන් සියයට විස්සක් පමණ වන බව ගණන් බලා තිබේ. වනාන්තරයේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් මිලියන 5.5 ක ප‍්‍රමාණයකි. වනාන්තරයෙන් සියයට හැටක් බ‍්‍රසීලයට අයත්වන අතර පේ?, කොලොම්බියා හා වෙනිසියුලා ඇතුළු රටවල් කිහිපයකට ද මායිම් වී තිබේ. බ‍්‍රසීලයට අයත් කොටසේ සිදුවන ගිණිගැනීම් අවස්ථා 2013 වසරේ සිට වේගයෙන් වර්ධනය වී ඇති අතර පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මෙම වර්ධනය සියයට 83 ක පමණ කැපීපෙනෙන විනාශයකි. එයට හේතුව කුමක් දැයි පරිසර ලෝලීහු ප‍්‍රශ්න කරමින් සිටී. තද දක්ෂිණාංශ මතවාදියෙකු වන බ‍්‍රසිල ජනාධිපති ජෙයර් බොලස්නාරෝ ඇමේසන් වනාන්තරය ගැන දරන ආකල්පය ද පරිසරවේදීන්ගේ නොසතුටට හේතු වී තිබේ.

ස්වභාවික සම්පත්, විශේෂයෙන් වනාන්තර ප‍්‍රදේශ ගැන දක්වන ආකල්ප සම්බන්ධයෙන් පැහැදිලි බෙදීමක් මෑත කාලය තුළ වාර්තා වී තිබේ. පරිසරය ආරක්ෂා කරගත යුතුය යන දැඩි ස්ථාවරය වාමාංශික අදහස් ඇති පටු පිරිසකගේ පසුගාමී අදහසක් බව බටහිර බලවත් නායකයන්ගේ මතය වී ඇත. විශේෂයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වනාන්තර ආරක්ෂා කරගැනීම වැනි අදහස් එතරම් අවධානයට ගත යුතු නැති බව දක්වා තිබේ. ස්වභාවික සම්පත් නිසි පරිදි උපයෝගී කර නොගැනීම සංවර්ධනයට බාධාවක් වන අතර පරිසරය ආරක්ෂා කරගැනීම වැනි කාරණා හෙයින් ලෝක ආර්ථික වර්ධනය අඩාල වන බව ට‍්‍රම්ප් වැනි පාලකයන්ගේ අදහස වී තිබේ. පැරිස් කාලගුණ සමුළු එකඟතාවයෙන් ඉවත්වන්නට ඇමරිකාව 2017 වසරේ දී තීරණය කරන ලද අතර එය ද පරිසරයට ලැදි පිරිස තැති ගන්වන තීරණයක් විය.

පසුගිය වසරේ පැවැති බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජය අත්කරගත් ජෙයර් බොලස්නාරෝ එරට නාගරික ප‍්‍රදේශවලට සීමා වී තිබුණ සංවර්ධනය ග‍්‍රාමීය පෙදෙස් දක්වා ව්‍යාප්ත කරන තීරණයක පිහිටියේය. මැතිවරණ වේදිකාවේදී සංවර්ධනය ගැන දක්වන ලද අදහස් වලට කැපී පෙනෙන ආකර්ශණයක් ඇති විය. ජයග‍්‍රහණයෙන් පසු ඇමේසන් වනාන්තරය සමීප ප‍්‍රදේශයේ මාර්ග, දුම්රිය මාර්ග හා වරාය වෙනුවෙන් ආයෝජන අවස්ථා ඇති කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වනාන්තරය ආශ‍්‍රිත ප‍්‍රදේශ ජනාකීර්ණ වීමට පටන්ගෙන තිබේ. නොයෙක් අවශ්‍යතා වෙනුවෙන් ප‍්‍රවේශවන පිරිස වනාන්තරයේ ඉඩම් අයිතිකරගනිමින් සිටින බවට සැක පහලවෙයි. ශ‍්‍රී ලංකාවේ දී පවා හේන් වගාවේදී වනාන්තර එළි පෙහෙළි වන අතර බ‍්‍රසීලයේ සිදුකරන මහා පරිමාන කෘෂි ව්‍යාපෘති ඇමේසන් කලාපය තෙක් විහි දී යන බවට විශ්වාසයක් තිබේ.

ඇමේසන් වනාන්තරය ලෝකයේ විශාලතම වැසි වනාන්තරය නමුත් එය පාලනය කළ යුතු බ‍්‍රසීලයට අවශ්‍ය පරිදි බවට අලූත් අදහසක් පැන නැගී තිබේ. වරින්වර හටගන්නා ලැව් ගිණි නිවන අදහස ඇතිව ලෝකයේ ඇතැම් රටවල් බ‍්‍රසීලයට යෝජනා ගෙන එන නමුත් එරට පාලකයෝ එය ප‍්‍රතික්ෂේප කළහ. රට අභ්‍යන්තරයේ තත්ත්ව තමන්ට පාලනය කළ හැකි බව බ‍්‍රසිලය කියා සිටියේය. සිංහරාජ වනාන්තය ආරක්ෂා කරන්නට ලෝකයේ වෙනත් රටක් දක්වන උනන්දුවකට එය සමාන කළ හැකිය. ස්වභාවික සම්පත ආරක්ෂා කරන අදහස ඇතිව ඉදිරිපත් වන බලවේග ඉදිරිපත් කරන බලපෑම් ස්වාධීන රාජ්‍යයකට දරා ගැනීමට අපහසු වන අතර සාමාන්‍ය ජනතාවට නොඉවසන සුළු තත්ත්ව ඇති කරයි. වනාන්තරය ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන නොයෙක් උපදෙස් හා යෝජනා ගෙන එන විවිධ රටවල් බ‍්‍රසිලයේ ජනතාවගේ එදිනෙදා පැවැත්ම වෙනුවෙන් කරන මෙහෙවර ගැටළු සහගත තැනකට පත් කරනු ඇති බවට මතයක් ඇති වී තිබේ.

කුඩා රටවල් වලට ලෝකයේ බලවත් ජාතීන් එල්ලකරන පීඩනය ගැන අදහසක් ඇමේසන් වනාන්තරයේ ආරක්ෂාව ඔස්සේ මතු වී තිබේ. සංවර්ධිත රටවල් ස්වභාවික සම්පත් විශාල වශයෙන් විනාශ කර පරිසර තත්ත්ව අභියෝගයකට පත් කළ අතර එයින් ඉනික්බිතිව ආරක්ෂා වී ඇති පද්ධති ඔවුන්ගේ උවමනා වෙනුවෙන් කළමණාකරනයට සූදානම්වීම අයුතු තත්ත්වයක් වශයෙන් ද සැලකේ.

වනාන්තරය සම්බන්ධයෙන් පමණක් නොව, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, අධිකරණය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පවා මැදිහත්වීම මෙයට නොදෙවෙනි බව ප‍්‍රකාශ කළ යුතුව ඇත. රටවල් වලට ආවේනික සහ අනන්‍ය භාවිතාවක් ඇති අතර ලෝකයේ තත්ත්වයට තර්ජනයක් බව දක්වමින් කුඩා රටවල අභ්‍යන්තර ආකෘතිය වෙනස් කිරීමට එල්ල කරන පීඩනය සාධාරණීකරනය කරන්නට හැකියාවක් නැත. ශ‍්‍රී ලංකාව පවා මෙම පසුබිම අධ්‍යයනය කිරීම සුදුසුය. නොයෙක් ප‍්‍රවේශයන්ගෙන් මෙකී මැදිහත්වීම් අවතීර්ණ විය හැකිය. ඒවා සොයා බලා, යතාර්ථය හැඳිනගෙන අනුකූලතාව දක්වන්නට ශක්තිමත් නායකත්වයක් රටකට අවශ්‍යය. බලවත් රටක පෙන්වා දීම අකුරටම අනුගමනය කර ලෝකයේ උවමනාව අනුව පරිසරය, දේශපාලනය, අධිකරණය හෝ මාධ්‍ය පැවැත්ම සකස් කරගැනීම රටක නිවහල්භාවය නොවේ. අනන්‍යතාවය වශයෙන් හැඳීන්විය නොහැකි බව අවධාරණය කළ යුතුය.

ගැබෝන් රාජ්‍යයේ ස්වභාවය මෙහි දී සලකා බලන්නට හැකියාවක් ඇත. මධ්‍යම අප‍්‍රිකානු රටක් වන එහි පාලනය ගෝත‍්‍රික පරම්පරාව අනුව සිදුවෙයි. වසර හතලිහක් පාලකයාව සිටි පියා ගෙන් පසු අලි බොන්ගෝ ජනාධිපති ධුරයට පත්ව ඇති අතර ඔහු එරට පරිසර, වනාන්තර හා සාගර අමාත්‍යවරයා වශයෙන් විදේශිකයෙකු පත් කරගෙන සිටී. බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු වන හෙතෙම වසර තිහක කාලයක් අපි‍්‍රිකාවේ සංරක්ෂණ කටයුතු වල නිරතව සිට ඇත. ගැබොන් හි වනාන්තර කලාප අධ්‍යයනය කර රැකබලා ගැනීමේ සැලැස්මක් සකස් කර තිබේ. හැබෑ පරිසර ලෝලියෙකි. ගැබෝන් රට වනාන්තර කපා වෙනත් රටවලට විකිණීමෙන් විනිමය උපයා ගන්නා අතර හෙක්ටයාර් මිලියන විසි දෙදහසක් තරම් වනාන්තරයෙන් වැසී තිබේ. මිලියන දෙකක පමණ ජනගහනයකින් යුක්ත වන අතර මෙම සුළු ජනගහනය සමග සසඳන විට රටේ බිම් ප‍්‍රමාණයෙන් සියයට අසූ පහක් පමණ වනාන්තර බව ප‍්‍රකාශ වෙයි. ගැබෝන් හි දැව ප‍්‍රංශයට අපනයනය කළ අතර වත්මන් ජනාධිපතිවරයාගේ පියා එය නතර කරන තීරණයක් ගත් පසු ප‍්‍රංශයේ ජනාධිපතිවරු දෙදෙනෙකු අවස්ථා දෙකක දී ගැබෝන් වෙත සංචාරය කර දැව අපනයනය නැවත ආරම්භ කරන සාකච්ඡා පවත්වන ලද බව වාර්තා දක්වයි. බටහිර රටවල් ලෝකයේ වෙනත් රටක ස්වභාවික සම්පත් හමුවේ තීරණ ගන්නා තවත් අවස්ථාවක් වශයෙන් එය විදහා දැක්විය හැකිය.

මෙම සිද්ධි වලින් ශ‍්‍රී ලංකාවට පවා පාඩමක් තිබේ. අපට අපගේ වපසරිය ආරක්ෂා කරගත යුතුය. ලෝකයේ එක පැත්තකින් ගෝලීයකරණයක් සිදුවන අතරවාරයේ රටවල් අතර නොයෙක් ගිවිසුම් හා බැඳීම් ඇති කරගන්නා නමුත් පවතින වාතාවරණය අවබෝධ කරගෙන ක‍්‍රියා කිරීම ඉතා වැදගත්ය. ඇමේසන් වනාන්තරය ආරක්ෂා කරගෙන ලෝකයේ යහපත වෙනුවෙන් තවත් තද බාධක පැනවිය හැකිය. අවට ප‍්‍රදේශ තහනම් කලාප කරන්නට නොහැකියාවක් නැත. නමුත් බ‍්‍රසීලය ප‍්‍රශ්න කරන අන්දමට එරට ග‍්‍රාමීය ජනතාවට සංවර්ධන ප‍්‍රතිලාභ නොලැබිය යුතුද? අනෙක් අතට ඇමරිකානු පාලනය ප‍්‍රශ්න කරන පරිදි පරිසරය යනු ඉතාම වැදගත් විෂයයක් ද? ඇත්ත වශයෙන්ම, පරිසර විනාශය වලක්වන්නට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ පවා වන විනාශය, වැලි ගොඩදැමීම, ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය සීමාව ඉක්මවා යමින් තිබේ. නීති රීති සෑහෙන ප‍්‍රමාණයක් පනවා ඇත. ජාත්‍යන්තර සම්මුති වලට පවා අත්සන් කර තිබේ. ලෝකයේ අවශ්‍යතා අනුව මෙරට ස්වභාවිකත්වය ආරක්ෂා කරන බව පෙන්වන නමුත් නිසි පරිදි නීති අනුගමනය නොකර සිටීම මෙරට ක‍්‍රමය වී තිබේ. ආරක්ෂක අංශ, දේශපාලනඥයන් හා මැර කල්ලි මෙරට ස්වභාවික සම්පත් විනාශ කරන අන්දම මාධ්‍ය වලින් නොයෙක් අනාවරණ කර ඇත. ජාත්‍යන්තර පෙළඹවීම අනුව නොව රටට අවශ්‍ය පරිදි ස්වභාවිකත්වය සහ පරිසරය ආරක්ෂා කරගැනීම ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. තද නීති වලටත් වඩා අප සියළු දෙනාගේ කැපවීම අවශ්‍යය.