» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/04/2018 - ඉරිදා ලංකාදීප
ව්‍යාපාර කඩා වැටීමට හේතුව සොයා බැලීමේ වැදගත්කම

උත්සව කාලසීමාව උදා වෙමින් තිබේ. සිංහල හා දෙමල අලූත් අවුරුද්දට තව සති දෙකකි. ජනතාව එම වකවානුව සඳහා සූදානම් වෙමින් සිටී. දූදරුවන් ඥාතීන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගැනේ. නිවසට එන අමුත්තන් වෙනුවෙන් පමණක් නොව නෑගම් යන අවස්ථා වල දී ද සෑහෙන වියදමක් දරන්නට සිදුවෙයි. ලැබෙන ආදායම පමණක් නොව අලූතෙන් උපයා ගන්නා අවුරුදු අත්තිකාරම් යන සියල්ල වියදම් කරන්නේ සතුට වෙනුවෙන්ය.

ඉකුත් නත්තල් කාලයේ දී සහ ජනවාරි උදා වෙන විට ද රට තුළ උත්සව සිරියක් ගත්තේය. මෙරට වැසියන් සැහෙන තරමින් අලූතින් ඇදුම් පැලඳුම් ආහාර පාන මිල දී ගත් නමුත් වෙනදා තරම් වෙළඳාමක් නැති බව වෙළඳ ව්‍යාපාරිකයෝ කියා සිටියහ. ජනතාව උත්සව වලදී වියදම් කරන ප‍්‍රමාණය දෙගුණ තෙගුණ වී තිබේ. එනමුත් ව්‍යාපාරිකයන්ට අනුව වෙනදා තරම් වෙළඳාම නැත. ව්‍යාපාර කඩා වැටී ඇති බවට ඔවුහු මැසිවිලි නගති. සිංහල හා දෙමල අලූත් අවුරුදු වකවානුවේ දී ද ව්‍යාපාරිකයන් එසේ සඳහන් කරන්නට බැරි නැත.

ආර්ථිකයේ ස්වභාවය අනුව ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩු වැඩි වෙයි. ආර්ථික සක‍්‍රීය බව අනුව වෙළඳ පොල හැසිරෙන අන්දම සම්පූර්ණයෙන් වෙනස් විය හැකිය. එය උත්සව වකවානු වල දී ද වෙළඳාම අඩු වීමට බලපාන එක හේතුවකි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම ව්‍යාපාර වලට ගැටළු මතු වෙයි. ව්‍යවසායකයන් අර්බුද වලට මුහුණ පාන අතර ව්‍යාපාර කරගෙන යා නොහැකිව අත්හරින්නට සිදුවන අවස්ථා තිබේ. වීදියේ වෙළඳාම පරිවර්තනයක් සිදුවෙමින් පවතී. එය ශ‍්‍රී ලංකාවේ ද සුළු ව්‍යාපාරිකයාගේ සිට සාමාන්‍ය වෙළෙන්දා දක්වා බලපාන බව පෙනෙන්නට තිබේ.

පසුගියදා බි‍්‍රතාන්‍යයේ ‘‘ටෙලිග‍්‍රාෆ්’’ පුවත්පත කරන ලද අනාවරණයක් අනුව පසුගිය පස් වසර තුළ බි‍්‍රතාන්‍යයේ ව්‍යාපාර 969 ක් වසා දමන්නට සිදුවී තිබේ. කඩමණ්ඩිය පමණක් නොව සාමාන්‍ය වෙළඳ සැල් පවා අර්බුදයකට පත්ව ඇත. රට පුරා කරන ලද සමීක්ෂණයක් අනුව සාමාන්‍යයෙන් දින විසි දෙකකට වතාවක් එක ව්‍යාපාරික ස්ථානයක් වැසී ඇත. ‘‘ද ගාඩියන්’’ පුවත් පත පළ කරන තොරතුරකට අනුව බි‍්‍රතාන්‍යයේ වෙළඳ ව්‍යාපාර අර්බුදයකට පත්වීම සොයා බලා ඒවාට හැකි පමණින් විසඳුම් සම්පාදනය කරන ව්‍යාපෘතියක් තිබේ. පාරිභෝගික අලෙවි ක්ෂේත‍්‍රයේ නියමුවෙකු සේ සැලකෙන සුප‍්‍රකට බිල් ග‍්‍රාම්සි එයට මුල් වී ඇත. ව්‍යාපාරයක් බිඳවැටෙන විට එයට පාදක වී ඇති කරුණු සොයා බලා ස්වාධීන වාර්තාවක් ඔහු ඇතුළු කණ්ඩායම පිලියෙල කරයි. 2013 වසරේ සිට එම කාර්යය කරගෙන යන අතර විසි එක්වැනි සියවසේ ව්‍යාපාරික ස්වභාවයට මුහුණදීම සඳහා ව්‍යාපාරිකයන් මෙහෙයැවීම ද එහි තවත් අරමුණක් වී තිබේ. මෙම වාර්තාව එරට පාර්ලිමේන්තුවට හා අගමැතිනියට ඉදිරිපත් කෙරේ. එහි අනාවරණය කරන කරුණු පදනම් කරගෙන ව්‍යවසාය වෙනුවෙන් අය කරන බදු වල සිට සියළු ගාස්තු හා සේවා වෙනුවෙන් ප‍්‍රතිපත්ති තීරණ සම්පාදනය වෙයි.

ගාඩියන් පුවත් පත බිල් ග‍්‍රාම්සි උපුටා දක්වමින් පළ කරන ලද ලිපියෙහි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට සෙල්ලම් බඩු අලෙවි ව්‍යාපාර ජාලයක් පත්ව ඇති අර්බුදය අනාවරණය කර තිබේ. එයට අනුව එකී ව්‍යාපාරයෙහි ශාඛා තුන්සියයක් ඇති අතර ව්‍යාපාරික ගැටළු හෙයින් එහි ශාඛා හැටක් වසා දමන තීරණයක් ගෙන ඇත. එහි ප‍්‍රතිඵලයක් අනුව දහසකට රැකියා අවස්ථා අහිමිවෙයි. පාරිභෝගිකයන් සෙල්ලම් බඩු මිල දී ගන්නා ස්වභාවය වෙනස් වීම ව්‍යාපාර ජාලය අර්බුදයකට පත්වන හේතුවක් වී ඇත. 2017 වසරේ බි‍්‍රතාන්‍යයේ පාරිභෝගිකයන් ස්මාට් දුරකථන මගින් කරන ලද අන්තර්ජාල ගනුදෙනු ප‍්‍රමාණයෙහි වටිනාකම පවුම් බිලියන හයකි. සෑම පවුම් හයකින් එකක් අන්තර් ජාල මිල දී ගැනීම් වී තිබේ. මෙම ස්වභාවය වෙළඳ සැල් වල අලෙවිය බරපතල සේ සීමා කර ඇත. බිල් ග‍්‍රාම්සි වාර්තාව අනුව බි‍්‍රතාන්‍යයේ වෙළඳ සැල් වලින් සියයට දහයක් අනවශ්‍ය තැනට පත්ව ඇති අතර අඩුම තරමින් ස්ථාන පනස් දහසක් වසා දමන්නට නියමිතය.

වෙළඳ සැල් වල අලෙවිය අඩුවී ඒවා සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ සිදුවන පෙරැළිය දියුණු වෙමින් පවතින රටවල පොදු සාධකයක් වෙන ලකුණු පහල වී තිබේ. වෙළඳාම ඉතාම තරගකාරී වනු පමණක් නොව එයින් සැලකිය යුතු ප‍්‍රතිශතයක් අන්තර් ජාලය මගින් කරන සෘජු ගනුදෙනු බවට පත්ව ඇත. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර ගනුදෙනුව සිදුවන විට සම්ප‍්‍රදායික තොග හා සිල්ලර ව්‍යාපාරික අංශ තුළ ප‍්‍රශ්න මතු වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ වෙළද ව්‍යාපාර වලට ද මෙම තත්ත්වය බලපාන පසුබිම සකස් වෙමින් තිබේ. රට තුළ අන්තර් ජාල ගනුදෙනු කරන දේශීය සමාගම් සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. අලිබාබා, ඇමේසන්, ඊබේ, බිට්කොන් වැනි ජාත්‍යන්තර අලෙවි ජාල මෙරට පාරිභෝගිකයන් අතර ප‍්‍රචලිත බව සඳහන් කළ යුතුය. ලෝකයේ ඕනෑම තැනකින් භාණ්ඩ ගෙන්වන්නට අන්තර් ජාලය මගින් අවස්ථාව සම්පාදනය කරයි. ආනයනය සම්බන්ධව පවතින ව්‍යාපාරික අංශ පමණක් නොව මෙරට නීති රීති පවා අභියෝගයට ලක්ව ඇත.

තාක්ෂණ හේතු, අන්තර් ජාල වෙළඳාම පමණක් නොව ආර්ථිකයේ ස්වභාවය අනුව ද දේශීය ව්‍යාපාරික අංශ ගැටළු වලට මුහුණ පා තිබේ. ‘‘බිස්නස් පාඩුයි’’ කියන්නේ එහෙයින්ය. ‘‘කිසි වැඩක් නැහැ වෙළඳාම අඩුයි’’ යනුවෙන් කතාකරන්නේ ද මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. කිසියම් අවස්ථාවක වෙළඳාම ගැටළු සහගත වීම සුදුසු තත්ත්වයක් නොවේ. ව්‍යාපාර අර්බුදයකට ලක්ව ඒවා වැසී යන තත්ත්වයක් උද්ගතවුවහොත් දස දහස් ගණනකට රැකියා අහිමිවන අතර පලාත් පාලන ආයතන වල සිට මධ්‍යම ආණ්ඩුව දක්වා පරිපාලන අංශ වල ආදායම් තත්ත්වය පහත වැටේ. රජයේ ආදායම අඩුවන විට එය අය වැය පාලනයට ප‍්‍රශ්න ඇති කරයි. තවත් වටයකින් ආර්ථිකය දුර්වල කිරීමකි. එහෙයින් එල්ලවන අභියෝග සලකා බලා වරින් වර විද්වත් ගවේශනයකට යා යුතුය.

ශ‍්‍රී ලංකාවේ දක්ෂ ව්‍යාපාරික ජාලයක් තිබේ. පරම්පරා ගණනක් විවිධ අභියෝග වලට මුහුණ දෙමින් ගොඩ නැගුණ සාර්ථක වෙළඳ ආයතන ඒ අතර ඇත. මේවායේ නිරත ව්‍යවසායකයෝ සමාජයේ ගෞරවයට පාත‍්‍ර වී සිටී. ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර හා සුළු වෙළඳ අංශ මුහුණ දෙන හැබෑ ගැටළු මොනවාදැයි වෘත්තීය මට්ටමින් සොයා බලන යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ හැකිය. අත්දැකීම් ඇති ජ්‍යෙශ්ඨ ව්‍යාපාරිකයන් එයට මුල් විය යුතුය. අලූත් පරම්පරාව ආරක්ෂා කරගෙන ආර්ථිකයේ සමබර බව පවත්වාගෙන යනු සඳහා විශේෂ ව්‍යාපාරික බල ඇණියක් සකස් කිරීමට කාලය එළැඹ තිබේ. එම බල ඇණිය මෙරට නොයෙක් ස්ථාන වල ව්‍යාපාර සම්බන්ධයෙන් පැන නැගෙන තත්ත්ව සමාලෝචනය කර ස්වාධීන නිර්දේශ ඉදිරිපත් කරන මට්ටමට පත් කළ යුතුය.

ආණ්ඩුව බදු වැඩි කරන විට, පලාත් පාලන ආයතන වල පරිපාලනය ගැන, අන්තර් ජාල වෙළෙදාමෙන් එල්ල වන අභියෝග සහ ආර්ථිකය අර්බුදයකට පත්වන අවස්ථාවේ නිෂ්පාදනය හා වෙළඳාම මුහුණ පාන තත්ත්ව ගැන සොයා බලා වගකිව යුතු අංශ වලට නිර්දේශ ඉදිරිපත් කිරීමට අලූත් පිලිවෙතක් සකස් කළ හැකිය. රජයේ ප‍්‍රතිපත්ති සකස් කිරීමේ දී මෙම ව්‍යාපාරික බල ඇණිය ගෙන් අදහස් විමසා කටයුතු කරන්නට ඉඩ ප‍්‍රස්ථාව ලබා ගැනීමට බැරිකමක් නැත. ලෝකයේ වෙනත් රටවල් වෙත එල්ල වන කරුණු කාරණා දැන හැඳීන රටට අනන්‍ය අන්දමට විකල්ප වැඩ පිලිවෙල සංවිධානය කිරීමට පියවර ගැනීම සුදුසුය.