» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/03/2020 - ඉරිදා ලංකාදීප
දේශපාලන පක්ෂ අර්බුදයකට පත්කරන ජනතා බලවේග

ලෝකයේ වයස්ගතම අගමැතිවරයා වශයෙන් සැලකෙන මහතීර් මොහමඞ් මහතා පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. නිල වශයෙන් හේතුවක් ප‍්‍රකාශ වී නැත. අනූහතර හැවිරිදි මහතීර් සිය පළමු ධුර කාලයේ දී මැලේසියාව ලෝකයේ ඉහළම තැනෙකින් තැබීය. මැලේ ජාතිකයන් බැරිකමින් මුදවාගෙන ඕනෑම දෙයක් පුලූවන් ජාතියක් වශයෙන් නැගී සිටින ආත්ම ශක්තියකින් පුබුදුවාලූහ. පළමුවෙන් හෙතෙම 1981-2003 තෙක් මැලේසියාවේ අගමැති වශයෙන් ක‍්‍රියා කළේය. දේශපාලනයෙන් පැත්තකට වී සිටි මහතීර් ගැන නැවත කතාබහ ඇතිවූයේ විපක්ෂ සන්ධානයකට සම්බන්ධවීමෙන් ඉනික්බිතිවය. ඔහු ගේ ඌනෝ පක්ෂ නායකත්වයෙන් පමණක් නොව කි‍්‍රයාශීලී දේශපාලනයෙන් ද ඉවත්වී සිටි මහතීර් අලූත් සන්ධානය යටතේ මැතිවරණයෙන් ජයගෙන 2018 වසරේ සිට නොබෝදා ඔහු ඉල්ලා අස්වන තෙක් රට වෙනුවෙන් සේවය කළේය.

මහතීර් මොහමඞ් ගේ ඉල්ලා අස්වීම සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ මුහුණ දී ඇති අර්බුදය මැනැවින් සනාථ වන අවස්ථාවක් සේ දක්වති. මහතීර් දේශපාලනය කරන ලද කාලයේ පක්ෂය ඉතා වැදගත් තැනක පැවැතිණ. දේශපාලන පක්ෂ ගොඩනගා ඒවායේ බලය තහවුරු කරගැනීම අවශ්‍ය සාධකයක් විය. පක්ෂයක බලය වෙනුවට බලවේගයක තරම ඉතාම තීරණාත්මක වී තිබේ. අලූත් ජනතා බලවේගයක් අරමුණු කරගෙන සන්ධාන හැදෙන අතර එම සන්ධාන වල අරමුණ සාක්ෂාත් කරගත් පසු අත්හැර දැමේ. නිතර හැදෙන සන්ධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ තුළ ප‍්‍රධාන ප‍්‍රවාහයක් වී ඇත.

මහතීර් එක්සත් මැලේසියා ජාතික සන්ධානය පිහිටුවීය. ඌනෝ යනුවෙන් ජනතාව අතර ප‍්‍රචලිත වූ අතර අවසාන කාලය වන විට පක්ෂයට හා එහි ප‍්‍රබල නායකයන්ට විරුද්ධව දූෂණ චෝදනා එල්ල විය. මහතීර් මොහමඞ් පසුව මැලේ ජාතිකයන්ගෙන් කොටසක් සහ දූෂණ විරෝධීන් පිරිසක් සමග එකතු වී දූෂණ තුරන් කරන ව්‍යාපාරයක් ඇරඹීය. එම සන්ධානය දෙවන වර අගමැති ධුරයට දෙරටු විවර කරන අතර සන්ධානය ගැන ජනතා ප‍්‍රතිචාර නරක අතට හැරෙන විට මහතීර් එයින් ඉවත් වී තිබේ. පලපුරුදු නායකයා සන්ධාන වැඩපිලිවෙලින් ඉවත්වන විට එම සන්ධානය පිහිටුවන ලද මුල් අරමුණ සාර්ථක කරගත නොහැකි වී තිබුණ බව ද සදහන් කළ යුතුය.

මැලේසියාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ ප‍්‍රධාන පක්ෂ ව්‍යුහය බිද වැටෙමින් තිබේ. හොදම උදාහරණ යුරෝපා රටවල් වලින් ලැබේ. පුුුරුදු වාමාංශික ව්‍යාපාර අද දේශපාලනයේ නැත. ජාතිකත්වය අනුව සන්ධාන හැදේ. අන්ත ජාතිවාදී සන්ධාන බහුලය. පරිසරය පදනම් කරගෙන ඇතැම් පක්ෂ නිර්මාණය වී තිබේ. පොදු අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා සන්ධාන හැදීම සාමාන්‍ය දෙයක් වී ඇත. පුද්ගල චරිතය වටා එකතු වී සන්ධාන හැදෙන අතර පක්ෂ යාන්ත‍්‍රණයට වඩා පුද්ගලයාට බලයක් හැදේ. ‘‘ද ගාඩියන්’ පුවත් පත 1950 සිට රටවල් විසි එකක දේශපාලන පක්ෂ ගැන පළ කරන ලද වාර්තාව මෙහි දී නැවත මතක් කළ යුතුය. එයට අනුව ලෝකයේ පවතින පැරණි යල් පැන ගිය පක්ෂ පැවැත්මෙන් ඉවත් වෙමින් තිබේ. ප‍්‍රංශය හා ඉතාලිය යන රටවල පැරණි ප‍්‍රබල දේශපාලන පක්ෂ නමයක් පැත්තකට විසි වී ඇති බව එමගින් අනාවරණය කර ඇත. ජර්මනියේ ද එය සිදුවෙමින් පවතින අතර පක්ෂ ව්‍යුහය වෙනස්වන නිසා යුරෝපා පාර්ලිමේන්තුවේ සංයුතියට එල්ල වී ඇති පීඩනය මැනැවින් දක්වන බව ‘‘ ද ගාඩියන් ’’ අනාවරණය කළේය. සුපුරුදු පක්ෂ යාන්ත‍්‍රණය ගැන තරුණ පරම්පරාව මෙහි දී දක්වන ආකල්ප ඉතා තීරණාත්මකය. වෙනස් නොවන තද ස්ථාවරය අත්හැර දමා ඇති අතර කාලානුරූපව ඇති කරන ප‍්‍රවණතා සලකා බලා ඡුන්දය පාවිච්චි කරන ප‍්‍රවණතාවයක් මතු වී තිබේ. එය අවධානයට ගත යුතු අලූත් පැත්තකි.

සමාජ මාධ්‍ය යේ බලපෑම ද සම්ප‍්‍රදායික පක්ෂ අබිබවා සන්ධාන හදන්නට උපකාරී වන බව පෙනේ. නූතන ව්‍යුහය අනුව සමාජ මාධ්‍ය වලින් අලූත් අදහස් අවුලූවයි. ඒවා සම්ප‍්‍රදායික දේශපාලන පැවැත්මට අභියෝගයකි. ඕනෑම රටක ජන නායකයන් සියළු දෙනාටම වෙන වෙනම පුද්ගලික මත ඇත. ඒවා සම්ප‍්‍රදායික පොදු මාධ්‍ය භාවිතාවේ දී යටපත් විය හැකි නමුත් සමාජ මාධ්‍යයේ දී පාලනයකින් තොරව මුදා හැරේ. එයින් ඇතිකරන කැළඹිම ප‍්‍රබලය. සියුම්ය. සම්ප‍්‍රදායික පක්ෂවලට වඩා වේගවත් හැසිරීමක් එයින් සිදුවේ. විවිධ මත දරන කණ්ඩායම් එකතු කරගැනීමට ද සමාජ මාධ්‍ය වලින් පිටිවහලක් ලැබේ. එම ස්වභාවය ඉතා සංකීර්ණ තත්ත්ව ඇති කරන අතර අවසානයේ දී එක අදහසක් පමණක් සාක්ෂාත් කරගනු සදහා ප‍්‍රබල සන්ධාන හැදෙන තත්ත්වයක් ඇති වී තිබේ. ඒවායෙන් හැදෙන මතවාදී බලවේග විශාල බලයක් නිර්මාණය කරයි. ජනතා ආකර්ශනය දිනා ගනී. අවසානයේ දී එක එක හවුල්කාර පක්ෂවල අරමුණු සාක්ෂාත් නොවන තැන ඒවා බිද දමා ඉවත්ව යති. ඉතා පටු අරමුණු සහිතව පිහිටුවන බලවේග වශයෙන් ජනතාව මෙම පැවැත්ම ගැන කල්පනා කරන බව පෙනේ. පටු අරමුණු පමණක් නොව කෙටි කාලයකට එකගවන ප‍්‍රතිපත්ති අනුව ඇතිවන බලවේග බව සදහන් කරන්නට පුලූවන්කමක් තිබේ.

දීර්ඝ ඉතිහාසයක් සනිටුහන් වන ශ‍්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික දේශපාලනයට ද මෙම සන්ධාන හැදීමේ ප‍්‍රවනතාව මුහු වී ඇත. එක්සත් ජාතික පක්ෂය තවදුරටත් වලංගු නැති තරමට ස්වභාවය දරුණුය. එම පක්ෂයට සෑහෙන ස්ථිර පාක්ෂික පිරිසක් සිටී. පක්ෂයේ පාට හෝ සලකුණ ගැන දිවි හිමියෙන් කතා කරන කණ්ඩායමක් ඇත. එහෙත් එම පාර්ශවය ක‍්‍රමයෙන් කුඩා වෙමින් පවතී. අලූත් ඡුන්ද පාක්ෂිකත්වයට වඩා හැදෙන ‘‘බලවේගය’ ගැන සිතති. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එම ඉරණම අත් වී ඇත. වාමාංශික පක්ෂ දරුණු ලෙස මතවාදීව කැඞී වෙන්වී තිබේ. සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් හෝ ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දුන් එම තත්ත්වයට මුහුණ දී ඇති බව දැක්විය හැකිය. සෑම අවස්ථාවකම කුඩා පක්ෂ සන්ධාන වලට සහාය දෙන අතර බලය වෙනුවෙන් සිය සහභාගීත්වය අවස්ථාවක් කිරගැනීමට සූදානම් බව නිරීක්ෂණය කළ හැකිය.

මෑත කාලය තුළ මෙරට දේශපාලනයේ දී පක්ෂ අවලංගු වන අතර සන්ධාන හැදී තිබේ. ප‍්‍රධාන පක්ෂ මුල් කරගෙන ඒවා හැදෙන විට මතු කරන බලවේගය හුදෙක් පාක්ෂිකයන් ගේ ශක්තිය පෙන්වන එකක් නොවේ. පාක්ෂිකයන්ගේ ශක්තිය තරමට නිර්මාණය වන මතවාදී බලවේග ඇත. දූෂණ තුරන්කරන, පරිසරය ආරක්ෂා කරන, යහපත් පාලනය හෝ විනිවිද පෙනෙන තීරණ ගැනීම වැනි කරුණු මත සන්ධාන හැදෙමින් තිබේ. මේවායෙන් පෙන්වන ඉලක්ක අවසානයේ දී, එපමණ දුරට සාර්ථක වෙන්නේ නැත. මලයාසියාවේ බලවේගය හැදුන හැටි හා අරමුණ සාක්ෂාත් නොවනවිට ඒවා කැඞී වෙන්වෙන ආකාරය එයට එක උදාහරණයකි. යුරෝපා රටවල පවා සන්ධාන අරමුණු සාර්ථක නොවන පසුබිම තුළ ඉක්මනින් පැත්තකටවීම සාමාන්‍යයෙන් සිදුවන අතර අවසානයේ දී ආණ්ඩු වලට බලය අහිමිවන තැනට පත්වෙයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් අලූත් සන්ධාන හැදෙමින් තිබේ. ආණ්ඩු බලය අල්ලාගෙන ශ‍්‍රී ලංකාවේ සමාජ, ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම ප‍්‍රධාන අභිප‍්‍රාය බව අරමුණ වශයෙන් සදහන් කරති. එහෙත් මෙම සන්ධාන වල පැවැත්ම ගැන ප‍්‍රශ්න තිබේ. මෑත කාලය තුළ ප‍්‍රධාන පක්ෂ දෙක අනෙක් පක්ෂ සමග සන්ධාන ගත වූ අවස්ථා සෑහෙන ප‍්‍රමාණයකි. ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවන විශාල ප‍්‍රචාරයක් ද සමග ගොඩ නැගේ. අවසානයේ දී ඒවා දියැවී යන අතර අරමුණු සාක්ෂාත් කරගත නොහැකි වෙයි. සම්ප‍්‍රදායික පක්ෂ බලය වෙනුවට නැගෙන ජනතා බලවේගවල හරය අප අවධානයට ගත යුතු අතර පරෙස්සමෙන් අධ්‍යයනය කළ යුතුව තිබේ.