» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/01/2017 - ඉරිදා ලංකාදීප
සත්‍යයට පසු හෙළිදරව් කරන දේ හඳුනා ගන්නේ කෙසේද?

පශ්චාත් සත්‍ය යනුවෙන් අලූත් අර්ථදැක්වීමක් පැමිණ තිබේ. සත්‍යයට පසු සමාජයෙහි එළැඹුම මෙකී පශ්චාත් සත්‍ය නොඑසේනම් සත්‍යයට පසු අවධිය බව විශ්වාස කෙරේ. ඔක්ස්ෆර්ඞ් විශ්ව කෝෂය මෙම post-truth යන වචනය ඉකුත් වසරේ ජාත්‍යන්තරයේ බහුලවම භාවිතා කරන ලද වචනයක් සේ සඳහන් කරයි. එසේ දක්වන්නේ ඇමරිකානු ජනාධිපතිවරණ සටන සමග එම වචනය පාවිච්චි කරන ලද වාර ගණන බව දැක්වෙයි. විද්‍යාර්ථීන්, මාධ්‍යවේදීන්, නිර්මාණවේදීන්, මුල්‍ය ගනුදෙනුකරුවන් පමණක් නොව ඇතැම් දේශපාලනඥයන් ද සත්‍යයට වඩා සමීප වූයේ එහි ඊළඟ අවධියටය. ඇත්ත වශයෙන්ම සත්‍යයෙහි පශ්චාත් අවධිය කුමක්ද?

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ඉතාම තියුණු මුහුණුවරක් ගෙන තිබිය දී හිලරි ක්ලින්ටන්ට අදාල පුවතක් එක්තරා වෙබ් අඩවියක සඳහන් විය. වොෂින්ටන් නගරයේ ජනාකීර්ණ නොවන තැනක පීසා අවන්හලක ළමා අපචාර සිදුවන අතර එහි බාල දරුවන් රඳවා ඇති බව හෙළිදරව් කළේ හිලරි ක්ලින්ටන් එයට වගකිව යුතු බව දක්වන අයුරින්ය. මෙම පුවතින් තැති ගත් උතුරු කැරොලිනාවේ විසි අට හැවිරිදි තරුණයෙකු ගිනි අවියක් ද රැගෙන අවන්හලට කඩා වැදුණු අතර ඔහු මෙම පුවත නිසා කොපමණ කම්පනයට පත්ව තිබුණා ද යත් තමන්ම මෙම බාල දරුවන් ගලවා ගත යුතු යැයි තීරණය කළේය. පොලිසිය වහාම මෙම ගිනි අවිය සහිතව පීසා අවන්හල දෙවනත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. නැතිනම් ඔහු අතින් නිරපරාදේ ජීවිත කිහිපයක් අනතුරකට ලක්වන්නට ඉඩ තිබුණ අතර ඔහු අවසානයේ දී තේරුම් ගත්තේ මෙම වෙබ් ප‍්‍රවෘත්තිය සත්‍යයේ ඊළඟ පියවර බවය. අද වන විට මෙම සිද්ධිය විශාල නිර්වචන වලට පාදක වී තිබේ. බුද්ධිමතුන් සාකච්ඡා කරන්නට පටන්ගෙන ඇත. තොරතුරු වාර්තාකරණයේ දී සත්‍යයට එහා ගිය වාර්තාකරණයකින් ඇති වන බලපෑම කෙබදු දැයි සියුම් විග‍්‍රහ ඉදිරිපත්කරන්නට පෙළැඹී ඇත.

බි‍්‍රටික්ස් නොඑසේනම් බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම කෙරෙහි වැඩිම බලපෑමක් කළේ ගිණි පුපුරු මෙන් ඇවිලීගිය ඇත්තට එහා ගිය තොරතුරු බව අද තහවුරු වී තිබේ. බි‍්‍රතාන්‍ය සතියක් පාසා ඩොලර් මිලියන 437 ක් යුරෝපා සංගමයට ගෙවූ අතර ඒවා ඉතිරි කරගත හැකි නම් සතියකට සියළු පහසුකම් සහිත රෝහලක් බැගින් ඉදි කළ හැකි බව යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතයේ සිටි අය ප‍්‍රචාරය කළේය. නමුත් එකී ඉලක්කම් ඇත්ත නොවේ. සත්‍ය ඉක්මවා ගියේ අරමුණ වෙනුවෙන් බව ප‍්‍රකාශ වන නමුත් එයින් ඇතිකරන ලද ප‍්‍රතිපලය අද ගැටළු ඇති කර තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ද සත්‍ය ඉක්මවා ගිය පශ්චාත් සත්‍ය බහුලව උපයෝගී කරගත්තේය. මේවායේ වාර්තාවන සිද්ධි ඇත්ත දැයි දන්නා කෙනෙකු නැත. පැහැදිලි මූලාශ‍්‍ර හෙළිදරව් නොවේ. ප‍්‍රවෘත්තිය ගොතන්නේ හුදෙක් සත්‍යයට සමාන අන්දමට වන නමුත් සත්‍ය අභිබවා ගිය අරමුණක් එය පළ කිරීමෙන් අරමුණු කරයි. මාධ්‍ය භාවිතාව පුළුල් සහ ඉතා සංකීර්ණ අවධියක ඇති මේසමයෙහි මාධ්‍ය වාර්තාකරණය සත්‍ය ඉක්මවා යන්නේ එයට යටින් ඇති අරමුණ හදුනාගත නොහැකි සේ සඟවමින් බව ජාත්‍යන්තරය අද සාකච්ඡාකරයි.

1990 ගණන් වල සත්‍ය ඉක්මවා ගිය රීතිය අනුගමනය කරන්නේ නිර්මාණශීලී දැන්වීම් සහ මහජන සම්බන්ධතා ආයතන යනාදියයි. ඒවායේ පළකරන දේ රසාලිප්තය. ඇත්තම නොවේ. සත්‍ය ඉක්මවා ගිය ආරෝපනයකි. බ‍්‍රෑන්ඞ් කිරීමේ දී කරන සත්‍ය ඉක්මවා ගිය ආකෘතිය මාධ්‍ය හා දේශපාලනය වෙත පැමිණ තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඉහළටම පැමිණියේ එයයි. කිසිසේත් විශ්වාස කරන්නට නොහැකි දේ මාධ්‍ය වල ප‍්‍රධාන තොරතුරු වශයෙන් පළ විය. මහජනතවගේ බුද්ධියට කතා කිරීම වෙනුවට හදවතට කතා කිරීම එහි ශෛලියයි. බුද්ධිය අවදි කිරීමට වඩා හැඟීම් ඇවිලීම පහසුය. පශ්චාත් සත්‍ය කරන්නේ තර්කය ගොඩනැගීම වෙනුවට පුද්ගලයා ඔසවා තැබීමයි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් අසත්‍ය ප‍්‍රකාශ කරන බව හෙළිදරව් වූයේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ අවස්ථාවල සමාජයේ ඉහළම ස්ථර එයට සාවධාන වූයේ එම සත්‍යයට එහා ගිය කතා කියන්නේ ඔහුගේ ගමන වෙනුවෙන් බවය. ඇමරිකානු ධඡය නැවත අභිමානයෙන් ඔසවන, ලෝකයේ ඉහළම තැනට රට කැඳවන ජාතිකානු අවශ්‍යතවයේ දී අසත්‍ය ප‍්‍රකාශ කළත් එය හේතුවක් ඇතිව කරන එකක් බවට කඩතුරාවක් සකස් විය. අද මෙම සත්‍යය ඉක්මවා ගිය යුගය තේරුම් ගැනීම වැදගත්ය.

ඇත්ත හදුනා ගන්නේ කෙසේද? පශ්චාත් යුගයේ ඇති අභියෝගය එයයි. ඇත්ත නොවන බව දැන දැනුම එයට ඉඩ දුන් දැනුමැති සමාජය අද වික්ෂිප්තව බලාගෙන ඉන්නේ පීසා අවන්හලට කඩා වැදුණ ගිනි අවිගත් පුද්ගලයාගේ භූමිකාව දෙසය. ඇමරිකානුවන් අතරින් සෑහෙන කොටසක් සත්‍ය හා එහි පසු අවධිය අතර අතරමං වී සිටී. නියමාර්ථය හදුනාගත නොහැකිව අර්බුදයකය. ලෝකයේ දේශපාලනය, මැතිවරණ හා ආණ්ඩු පිහිටුවීමේ ක‍්‍රියා පටිපාටිය සාධක හා තොරතුරු මූලාශ‍්‍ර වලට හැඟීම්බර වී ඇතැයි ජාත්‍යන්තරයේ ඇතැම් කොටස් කරුණු දක්වන්නට පටන්ගෙන තිබේ.

ශ‍්‍රී ලංකාව ද මෙම තත්ත්වයට මුහුණ දුන්නේය. එහි දී සත්‍ය ඉක්මවා ගිය තොරතුරු සම්පාදනය වීම ගැන උදාහරණ දක්වන්නට අවශ්‍යම නැත. මෑත කාලය තුළ එය එතරම් විශාල ලෙස පැතිරී ගියේය. සත්‍යයට පසු යුගයක් බිහිවිය. මෙම පශ්චාත් සත්‍ය සමාජගතවන විට ජනතාව එයින් වින්දනයට පත්විය. බුද්ධිය අභිබවා හැඟීම් වලට ඉඩ දුන්නේය. සත්‍ය හා සත්‍ය වෙනුවට මතුවෙන කාරණා වෙන්කරගත නොහැකි තත්ත්වයකට හුරුවිය. කිසියම් අරමුණක් උදෙසා සමාජය මෙහෙයවුයේ හොඳ අවබෝධයකින් පසු වූ බුද්ධිමතුන්ය. විද්‍යාර්තීහුය. සමාජ සංවිධාන ඒ අතර විය. සන්නිවේදන ජාලාය. සමාජ වෙබ් අඩවි බහුලව එයට හවුල් විය. ඉලක්ක ගත අරමුණක් වෙනුවෙන් ඇතිකරන ලද පශ්චාත් සත්‍ය යුගයේ එක්තරා අවස්ථාවක අද රට පවතින බව සඳහන් කරන්නට අවශ්‍යය. දේශපාලනය, රාජ්‍ය පාලනය සහ මහජන සන්නිවේදනය මෙකී සත්‍යයට පසු අවධියක් බිහි කිරීම මගින් රට තුළ ඉතා සංවේදී, සංකීර්ණ තත්ත්වයක් ජනනය කරන ලද බව පැහැදිලිය. ජනතාව ඇත්ත කුමක් දැයි හදුනාගන්නට උත්සාහ කළේ නැත. එය අයටත් පවතී.

අති විශාල මුදල් සොරකම්, දුෂණය, බලය අයුතු ලෙස භාවිතා කිරීම, මැර බලය, මාධ්‍ය මර්දනය යනාදී ක්ෂේත‍්‍ර වශයෙන් මේවා වෙන් කරගතහොත් එකී අංශ යටතේ සත්‍යට එහා ගිය තොරතුරු සම්භාරයක් ජනතාව අතට පත්විය. එය පරිවර්තනයක් උදෙසා යම් කාර්ය භාරයක් කරන ලද බව සැක නැත. නමුත් භයානක අවසානයක් කරා ගමන් කරන්නට ඉඩකඩ නැතැයි කියන්නට කිසිම හැකියාවක් නැත. පසු සත්‍ය යුගයේ දී ඇත්ත වශයෙන්ම සත්‍යයැයි ජනතාව තේරුම් ගන්නේ මොනවාද? අද ජාත්‍යන්තරය පවා ප‍්‍රශ්න කරමින් සිටින්නේ එයයි.

ඉතාම ගැඹුරින් සලකා බැලිය යුතු හානියක් තිබේ. මනුෂ්‍යයන්ගේ විශ්වාස, ගතිගුණ, වටිනාකම් සහ සමාජ සාරධර්ම වලට මෙකී සත්‍යයේ පසු අවධියේ දී අත්පත් වන ඉරණම කමක්ද? ගිනි අවියක් ගෙන පීසා අවන් හලට කඩා වැදුණ අවංක පුද්ගලයා හැබෑවටම විශ්වාස කළේ දරුවන් හිංසනයට පත් වන අතර එය හිලරි ක්ලින්ටන් පවුලේ වැඩක් බවය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙනුවෙන් මතු වූ එම තොරතුර හෙතෙම ගවේශනශීලී විචාරකයෙකු නොකර හැඟීම්බර වැසියෙකු බවට පත් කරන ලද අතර අද විශාල නිග‍්‍රහයකට ගොදුරු වී සිටී. සත්‍යයට පසු ඇතිවිය හැකි මෙම ඉච්ඡුාභංගත්තව ගැන හිතන්නට නායකයන්ට වගකීමක් ඇත. සමාජය තුළ ආරෝපනයක් කළ හැකිය. බුද්ධිය වෙනුවට හදවතට කතා කිරීම පහසුය. සත්‍ය වෙනුවට එහි පසු අවධිය ඇති කළ හැකිය. එය කරන ආකාරය නූතන සන්නිවේදනයේ දී අනේක වාරයක් අත්හදා බලා තිබේ. නමුත් එයින් පසු බිහිවන යුගය දෙස වගකීමකින් බලන්නට සූදානමක් තිබේද? ජාත්‍යන්තර ප‍්‍රජාව ඔවුන්ට ඇති ශක්තිය, බලය හා මතධාරීන්ගේ තියුණු තර්ක ඉදිරියේ සංශෝධනය වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාව එය සකස් කරගන්නේ කෙසේද?