» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/10/2018 - ඉරිදා ලංකාදීප
කාබනික ගොවිතැන ගැන ඉන්දියාවේ සිකිම් ප‍්‍රාන්තයේ අත්දැකීම

ඉන්දියාව විශාල රටකි. ප‍්‍රාන්ත විසි නමයක් පමණ එක රටක් තුළ වෙනම අනන්‍යතා සහිතව පාලනය වෙයි. කුඩාම ප‍්‍රාන්තය සිකිම් වන අතර එය භූතානය, ටිබෙට් හා නේපාලයට මායිම් වී පිහිටා තිබේ. සුන්දර පරිසර පද්ධතියකින් හා හොඳ දේශ ගුණයකින් යුක්තය. ජනගහනය අඩුම ප‍්‍රාන්තය වශයෙන් ද දැක්විය හැකිය. වැඩි වශයෙන් කෘෂිකර්මයට නැඹුරු ප‍්‍රාන්තයකි. සිකිම් ප‍්‍රාන්තය හැඳින්වීමේ දී විශේෂත්වයක් තිබේ. ගොවිතැන සම්පූර්ණයෙන්ම කාබනික එකකි. මෑත කාලය තුළ වස විස පොහොර හෝ රසායනික භාවිතා කරන්නේ නැති ගොවිතැන ව්‍යාප්ත වී තිබේ. ප්ලාස්ටික් හා දිරාපත් නොවන ෆෝම් වර්ග භාවිතය එහි තහනම් කර තිබේ. ප‍්‍රාන්තයේ කාබනික ගොවිතැන නරඹා අත්දැකීම් ලබන්නට හා නිපදවන අස්වැන්න භුක්ති විඳින්නට සෑහෙන සංචාරකයන් පිරිසක් පැමිණෙන අතර එය අමතර ආදායමක් ලැබෙන මාර්ගයකි.

සිකිම් ප‍්‍රාන්තය කාබනික ගොවිතැනට නැඹුරු වන්නේ 2003 වසරේ දීය. ගොවියන්ට රසායනික පොහොර සහනාධාරය සැපයීම සියයට දහයකින් කපා හැරියේය. එතැන් සිට වසර හතක කාලයක් තුළ තෝරාගත් ගම් 396 ක් කාබනික පොහොර පමණක් භාවිතා කරන තැනට නැඹුරු කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තවත් වසර කිහිපයක් ඇවෑමෙන් සිකිම් ප‍්‍රාන්තයේ ඉඩම් හෙක්ටයාර් අට දහසක් රසායනික යොදන්නේ නැති, කාබනික පොහොර පමණක් භාවිතා කරන බවට සහතික කරනු හැකි විය. එය හොඳ අත්දැකීමක් බව පෙණින. ලෝකයේ නොයෙක් රටවල් කාබනික ගොවිතැන කෙරෙහි නැඹුරු වෙමින් පැවැති අවධියකි. කාබනික ආහාර වලට ලැබෙන ඉල්ලූම සීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. 2010 වසරේ දී එහි ප‍්‍රතිපත්ති සම්පාදකයෝ සිකිම් ප‍්‍රාන්තය කාබනික ප‍්‍රාන්තයක් බවට පත් කරන තිරණයක් ගත් අතර අවුරුදු පහක් අවසන් වන විට සම්පූර්ණ ප‍්‍රාන්තයටම බලපාන පරිදි කාබනික තත්ත්ව සහතිකය ලබා ගැනීමට සමත්විය.

කාබනික ගොවිතැන ඇරඹූ මුල් වකවානුවේ ගොවියෝ පොහොර සහනාධාර අඩු කිරීම ගැන දුකට පත් වූහ. එනසාල් සහ ඉඟුරු වගාව එහි බහුලව සිදු කෙරිණ. ඉන්දියාවේ එනසාල් ලෝකයේ ප‍්‍රකට කුළුබඩු අතර වෙති. එයින් වැඩි කොටසක් නිපදවන්නේ සිකිම් ප‍්‍රාන්තයේය. පොහොර අඩුවන විට ඉඟුරු අස්වැන්න අඩු විය. එනසාල් වගාවේ තත්ත්වය ද එයම විය. වගාව නොයෙක් පලිබෝධකයන්ට ගොදුරු විය. කොළ වියැලී විනාශවන විට ගොවීහු කනස්සල්ලට පත් වූහ. මොනවා හෝ රසායනික බෙහෙතක් දී රෝග පාලනය කරන්නට බලධාරීහු උපකාර නොකරන බව කියමින් ඇතැම් ගොවියෝ මැසිවිලි නැගූහ. නමුත් සිකිම් ප‍්‍රාන්තයේ කෘෂිකර්ම අංශය ගොවියෝ ධෛර්යවත් කළහ. ප‍්‍රාන්තයේ ප‍්‍රධානීහු දර්ශනය ඉදිරිපත් කළ අතර එය ක‍්‍රියාවට නැගීමට බලකායක් සූදානම් කළේය. දිගින් දිගටම ගොවි ජනතාව දැනුම්වත් කරන වැඩ සටහන් පැවැත්වීය. රසායනික පොහොර අත් හැර දමන අතරවාරයේ කොම්පෝස්ට් පොහොර සකස් කර ගැනීමට පෙළඹවූහ. ප‍්‍රධාන කොම්පෝස්ට් අංගන ඉදිකර ඒවායෙන් නිපදවන පොහොර ගොවියන්ට බෙදාදුන්හ. රෝග පාලනය කරගැනීමට විවිධ කාබනික ක‍්‍රම පතුරවන ලද අතර එයින් යම් ප‍්‍රමාණයකයට සාර්ථක ප‍්‍රතිඵල ලැබිණි. අවසානයේ දී සිකිම් ප‍්‍රාන්තය කාබනික ප‍්‍රදේශයක් වශයෙන් ලෝක අවධානය දිනා ගත් අතර එය ආදර්ශවත් වැඩ පිලිවෙලක් සේ පැසසුමට ලක් විය.

සිකිම් ප‍්‍රාන්තයේ ගොවියන් ගේ වගාව කාබනික ස්වභාවයට හැරවෙන විට එහි අස්වැන්න අඩු වූ නමුත් ලැබෙන මිල ඉහළ ගියේය. ගොවියන් වෙත ගොස් අස්වැන්න මිල දී ගන්නා සමූපකාර දෙසීයක් පිහිටුවන ලද අතර ඒවා දින පහලොවකට වරක් ගොවියන්ට මුදල් ලැබෙන පිලිවෙලකට සැකසීය. අමතර වශයෙන් කාබනික ආහාර මිල දී ගැනීමට එන ගැනුම්කරුවෝ බහුල වූ අතර වගාව ගැන උපදෙස් ගන්නට විවිධ ප‍්‍රදේශ වලින් එන අය සහ විදේශික පිරිස එම ප‍්‍රාන්තයේ සංචාරක කර්මාන්තය සියයට තිස් පහක වර්ධනයක් ඇති කරන ලද බව වාර්තා වෙයි. ගොවියන්ට ලැබන ආදායම ඉහළ ගිය අතර පසු කාලීනව පොලව කාබනික පොහොර වලින් සරු වන විට අස්වැන්න ද ක‍්‍රමයෙන් වැඩිවූ බව එම ප‍්‍රාන්තයේ කෘෂි වාර්තා පෙන්වා දෙයි. එකම වැඩ පිලිවෙලක් අඛණ්ඩව ක‍්‍රියාවට නැගීම හෙයින් සාර්ථකත්වයට පත්ව තිබේ. පරිසර පද්ධතිය යහපත් වී ඇති අතර මී මැස්සන්ගේ බෝ වී ම ද වර්ධනය වී ඇත.

කෙසේ නමුත් කාබනික ගොවිතැනෙන් ලැබෙන අස්වැන්න අලෙවියෙන් හොඳ ආදායමක් ලැබුණ නමුත් ගොවි පවුල් වල එදිනෙදා ආහාර පරිභෝජනය සඳහා ප‍්‍රමාණවත් වූයේ නැත. ඉල්ලූම වැඩි දේ කෙරෙහි ගොවියෝ නැඹුරු වූ අතර ආහාර වෙනුවෙන් අවශ්‍ය දේ වෙනත් පලාත් වලින් ගෙන්වා ගන්නට සිදුවිය. එය යම් අවාසියක් නමුත් සිකිම් ප‍්‍රාන්තයේ ගොවියන්ගේ ආදායම යහපත් විය. ප‍්‍රාන්තය ගැන ඇති පිලිගැනීම ඉතා ඉහළ එකක් වූ බව සඳහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද කාලයක් තිස්සේ වස විස නැති ගොවිතැන ගැන කතා කරමින් සිටී. ආණ්ඩුව පොහොර සහනාධාර අඩු කර ඒ වෙනුවට කාබනික පොහොර භාවිතය දිරි ගන්වන වැඩ පිලිවෙලක් ඇරඹීය. වි‍ශේෂ ආයතනයක් පිහිටුවා වී ගොවිතැන කාබනික එකක් බවට පත් කරන අතර අවශේෂ වගාවන් පවා පොහොර හා කෘමි රසායනික භාවිතය නතර කරන වැඩ පිලිවෙලක් දියත් කළේය. ග්ලයිපොසෙට් තහනම ඒ අතර ප‍්‍රධාන තැනක් ගත්තේය. එය වල් නාශකයකි. මහා පරිමානයෙන් වගා කරන අංශ වල් නෙලීම සඳහා කරන වියදම අඩු කරගැනීමේ මගක් වශයෙන් ග්ලයිපොසෙට් භාවිතා කළ අතර එය ඉතා විෂ සහිත බව ට විරෝධතාවයක් නැගිණ. නමුත් මහා පරිමාන වගාව විශේෂයෙන් තේ කර්මාන්තයෙ සඳහා රසායනික ක‍්‍රම අත්හැර දැමීම බරපතල ප‍්‍රශ්නයක් බවට පත්විය. අද වන විට එම තහනම ඉවත් කර තිබේ. වත්මන් ආණ්ඩුව කාබනික ගොවිතැන නොඑසේනම් වස විස නැති වගාව ප‍්‍රවර්ධනය අරමුණු කරගෙන පිහිටුවන ලද විශේෂ ඒකකය අහෝසි කර තිබේ.

වස විස නැති ගොවිතැනට රට තුළ තිබුණ නැඹුරුව අත්හැර දැමීම සුදුසු නැත. පොහොර හෝ කෘෂි රසායන භාවිතා නොකර වගාකරන්නට පෙළඹුන, එම ආහාර මිල දී ගැනීමට යොමු වූ පිරිස අධෛර්යවත් කිරීම ප‍්‍රශ්නයකි. මෙහි දී ඉන්දියාව හැසුරුණ ආකාරය තේරුම් ගැනීම සුදුසුය. එරට ගොවියෝ සහමුලින්ම කාබනික වගාවට නැඹුරුවූයේ නැත. කුඩා ප‍්‍රාන්තයක් එම වගා ක‍්‍රමය තෝරා ගත්තේය. ඉන්දියාවේ ගොවීහු මහා පරිමානයෙන් කලාපයේ සැම රටකටම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් නිෂ්පාදනය කරන අතර එයට යොදන පොහොර හා රසායන කිසිම ආකාරයකින් පාලනය කර නැත. එසේ තිබිය දී සිකිම් ප‍්‍රාන්තය වෙනස් මගක් අනුගමනය කළේය. ශ‍්‍රී ලංකාවේ බලධාරීන් ද සිය දර්ශනය, සැලැස්ම හා ගොවියන් දැනුවත් කිරීම තෝරාගත් තැනකට ඉලක්ක කළ යුතුව තිබිණ. මුළු රටම කාබනික ගොවිතැනට හරවනු වෙනුවට එක ගමක්, නොඑසේනම් පලාතක් වෙන් කරගත්තේ නම් සුදුසුය. වැවිලි සමාගමක් කාබනික ගොවිතැනට පොළඹවන අතර එහි නිෂ්පාදන වලට වෙනම වෙළඳ පොලක් සකස් කරගැනීමට සැලසුම් කළා නම් අසාර්ථක වෙන්නේ නැත.

කාබනික වගාව ඉතාම සුදුසු ආහාර නිපදවන නමුත් ලෝකයේ ආහාර හිඟයට එය උත්තරයක් නොවේ. ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ ජනගහනය අනුව නිපදවන ආහාර ප‍්‍රමාණවත් නොවනු ඇති අතර එය ආහාර මිල ඉහළ යන ප‍්‍රවනතාවයක් ඇති කරන බව පර්යේෂකයෝ පෙන්වා දී ඇත. වගාව මගින් ලැබෙන අස්වැන්න ප‍්‍රමාණවත් නොවන විට ආදායම අඩුවන අතර එය ගොවියන්ට ප‍්‍රශ්නයකි. කාබනික ගොවිතැන ආරම්භක වකවානුවේ කොටස් වශයෙන්, වෙනම කලාපයක ගොවියන් සංවිධාන ගත කර වස විස නැති ගොවිතැන අලූත් නිර්මාණයක්, අලූත් දර්ශනයක් අනුව ජනගත කළේ නම් ඉන්දියාවේ සිකිම් ප‍්‍රාන්තයට අභියෝග කරන තැනකට පත් විය හැකිව තිබණ බව සඳහන් කළ යුතුය.