» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/07/2019 - ඉරිදා ලංකාදීප
අනාගතය ගැන තීරණ ගත හැකි පූර්ණ බලැති කොමසාරිස්

නූපන් පරම්පරාව ගැන අවධානය යොමු කරන ලොව පළමු හා එකම පූර්ණ බලැති කොමසාරිස්වරියක පත් කරන්නට බි‍්‍රතාන්‍යයේ වෙල්ස් ප‍්‍රාන්තය තීරණය තිබේ. ඇයගේ වගකීම අනාගතයේ බිහිවන පරපුර ගැන සම්පූර්ණ අවධානය යොමු කිරීම බව අනාවරණය වෙයි. ස්වභාවික සම්පත් කෙරෙහි අනාගතයේ දී එල්ල විය හැකි අභියෝග, සමාජ ප‍්‍රශ්න හෝ ජනගහන විෂමතා හමුවේ ඇතිවිය හැකි ගැටළු ගැන අවධානය යොමු කර කල්තබා තීන්දු ගැනීමට මෙම කොමසාරිස්වරියට පුලූල් බලතල සහිත බව වෙල්ස් ප‍්‍රාන්තය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ.

බලය බෙදාහැරීම ගැන තීන්දුවක් ගැනීමට 1997 වසරේ දී බි‍්‍රතාන්‍ය ජනමත විචාරණයක් පවත්වන අතර එයින් වසරකට පසු වෙල්ස් ප‍්‍රාන්තයට යම් ප‍්‍රමාණයකට තනි තීන්දු ගත හැකි පාලනයක් අරඹන අවසරය නිකුත් කර තිබේ. වෙල්ස් හි මහජන නියෝජිතයන් හතලිස් දෙනෙකු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර එහි පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සභික ප‍්‍රමාණය 560 කි. මෙම නියෝජනය සැලකිය යුතු ප‍්‍රමාණයකි. අලූත් අභියෝග ගැන හිතන, අනාගතයේ එල්ල විය හැකි තර්ජන ගැන කල්පනා කරන වේල්ස් පාලකයෝ මෙකී කොමසාරිස් ධුරය අලූතින් නිර්මාණය කර ඇත. වෙල්ස් ප‍්‍රාන්තයේ පාලනය කරගෙන යන විට කිසියම් පණතක් හෝ අලූත් නීතියක් බලගන්වන්නට සූදානම්වන අවස්ථාවේ දී, අනාගතයට නොගැලපෙන බවට ඒත්තු ගියහොත් කොමසාරිස් බලතල අනුව එය බැහැර කරන තනි පූර්ණ බලයක් ලබා දී තිබේ.

නූපන් දරුවන් උදෙසා හොඳ කාලගුණය, ප‍්‍රයෝජනවත් කෘමි සතුන්, ජල සම්පත කෙරෙහි පරීක්ෂාකාරී වන අතර විශේෂයෙන් ජනගහන වර්ධනය ගැන සොයා බැලීම පත් කරන ලද විශේෂ කොමසාරිස්වරියගේ මූලික වගකීම සේ සැලකෙයි. ඊශ‍්‍රායලය, හංගේරියාව හා කැනඩාව ද මෙවැනි අර්ථයක් සහිත යාන්ත‍්‍රණ එම රටවල පාලනයට එකතු කළ නමුත් ඒවා නිසි සංවිධානාත්මකව ක‍්‍රියාවට නැගුණේ නැත. ඊශ‍්‍රායලය අනාගත කොමිසමක් 2001 වසරේ හදුන්වා දුන් නමුත් එක ධුර කාලයකට පසු 2006 දී අහෝසි කරන ලද බව සඳහන්ය. හංගේරියාව 2008 දී පරිසරය සම්බන්ධ ඔම්බුස්ඞ්මන් ධුරයක් පත් කරන ලද අතර කැනඩාව 2014 වසරේ දී පරිසරය හා තිරසාර සංවර්ධනය අරභයා අනාගත කොමසාරිස්වරියක පත් කළේය. නමුත් මෙම ධුර පුලූල් පරාසයක් තුළ අධීක්ෂණයක නිරත පූර්ණ බලැති තනතුරු වශයෙන් සඳහන් කළ නොහැකිය. තෝරාගත් ක්ෂේත‍්‍රවල පමණක් සීමිත අරමුදල් වලින් පවත්වාගෙන යන යාන්ත‍්‍රණයකි.

ජපානය වෙනත් ආකල්පයකින් නූපන් පරපුර ගැන අවධානය යොමු කර තිබේ. එරට ප‍්‍රාදේශීය පරිපාලනයේ දී පත් කරන ලද ස්වේච්ඡා ජන කොටස් දෙකක් අනාගතයේ ඇති විය හැකි තත්ත්වය හා වර්තමානය වශයෙන් බෙදී පුලූල් සාකච්ඡාවක් කරන ආදර්ශයක් ක‍්‍රියාවට නගයි. එය පාලනයේ පහලම ඒකකයේ පවත්වාගන යන විවාදයකි. එහි අත්දැකීම් අනුව අනාගත ජපාන පාර්ලිමේන්තුවක නූපන් දරුවන් ගැන හිතන ඇමැති ධුරයක් පත් කරනු ඇතැයි අන්තර් ජාතික විචාරකයන්ගේ අදහසයි. නවසිලන්තය ද සිය නියෝජිත පිරිසක් වේල්සයට පසුගිය දා යවා ඇති අතර නූපන් පරපුර ගැන වන කොමසාරිස්ධුරය අධ්‍යයනය කිරීම එහි අරමුණ වී තිබේ.

වර්තමානය වන විට ලෝකය ඉතා සංකීර්ණ පරිවර්තන අවධියක පසුවෙයි. විද්‍යාව හා තාක්ෂණය නොසිතන පැති කරා අවතීරණ වී තිබේ. බලශක්තිය හා කර්මාන්ත වැනි අංශයන්හි පැරණි ව්‍යුහයන් වෙනස් වෙන බව ඔප්පු වී හමාරය. එපමණක් නොව මනුෂ්‍ය ජීවිතය ගැන ද නොයෙක් අලූත් පැති වලින් පර්යේෂණ සිදුවෙයි. නවතම වාර්තා අනුව මිනිස් සිරුරට බද්ධ කළ නොහැකි අවයවයක් නැත. නුදුරු කාලයේ දී බාහිරව බද්ධ කරන අවයව මගින් දීර්ඝ කාලයක් ජීවත් විය හැකි අතර පර්යේෂකයන්ට අනුව ආයු කාලය වසර දහසක් දක්වා දික් කරන්නට බැරි කමක් නැත. අනෙක කෘතීම බුද්ධිය නොසිතන වේගයකින් දියුණු වනු ඇති බවට පළ වන තොරතුරුය. පවතින පරම්පරාවේ සීමිත මෙහෙයුම් සහිත පරිගණක ඉදිරි වසර විස්ස ඇතුළත බුද්ධිමත් රොබෝවරුන් සමග එකතුවනු ඇති අතර එය ස්මාට් පාලනයක් ඇති කරන්නට සමත් වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම සිතිවිලි අනුව අපගේ දරුවන්ගෙන් හා ඔවුන්ගෙන් පසුව බිහිවන දරුවන්ගේ ලෝකය විස්මිත එකක් බවට පත්වීම වැලැක්විය නොහැකිය. නූපන් පරපුර ගැන අවධානයක් යොමු කරන කොමසාරිස්, ඇමැතිධුර ගැන අන්තර් ජාතික අවධානයක් යොමු වන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

මෙම පරිවර්තන යුගයේ ශ‍්‍රී ලංකාවේ අභිලාශය කොතැනකද? අපට ඇති ප‍්‍රශ්නය එයයි. වර්තමාන දේශපාලන ප‍්‍රවාහය දෙස බලන විට පක්ෂ වලට ඇති බරපතලම ගැටලූව අතීතයයි. අතීතයේ සිදුවූ දේ වලින් ඇති කළ තත්ත්වයන් ගැන බරපතල වාද විවාද කරමින් සිටී. ඒවා ව්‍යවස්ථාවේ වගන්ති වල සිට නොයෙක් දූෂණ හා වංචා දක්වා එකිනෙකට වෙනස් පරාසයන් වලට විහි දී ඇත. සෑම දේශපාලනඥයෙකුම හා වගකිව යුතු දේශපාලන පක්ෂයක්ම පැරණි සංස්කෘතිය වෙත නතු වී සිටී. එයින් එපිට සිදුවන දේ ගැන නිසි අවධානයක් නැත. ලෝකයේ සිදුවන ආර්ථික හා සමාජ පරිවර්තනය ගැන ඉතා සියුම් අවධානයක සිටිය යුතුය. ගතානුගතික අදහස් වෙනස් වෙමින් තිබේ. අලූත් අවස්ථා ඇති කරන අතර ජනතාවට නිදහස ලැබෙන ක‍්‍රම හදුන්වා දී ඇත. ආණ්ඩු බලය, මහජන නියෝජිතයන් ක‍්‍රියාකරන ආකාරය හා වේගයෙන් තීරණගන්නා ස්වභාවය ගැන මෙරට දේශපාලන ක‍්‍රමය අවධානයට ගෙන ඇති බවක් නොපෙනේ.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නැවත වතාවක් උණුසුම් වෙමින් තිබේ. ජනාධිපතිවරණයක් ඉදිරියේ දී පවත්වනු ඇත. කවර අවස්ථාවක හෝ පලාත් සභා මැතිවරණ හෝ මහ මැතිවරණය පැවැත්වෙනු ඇත. අනාගතය ගැන හිතන දූරදර්ශී ප‍්‍රතිපත්තියක් අනුව පලාත් සභා වැනි අවුරුද්දකට රුපියල් බිලියන 250 ක මහජන මුදල් නාස්තිකරන සුදු අලි නඩත්තු කිරීම නිෂ්ප‍්‍රයෝජනය. පලාත් පාලන ආයතන වලට වැඩි බලතල දී මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට නිසි වැඩ පිලිවෙලක් යෙදීම එයට වඩා යහපත්ය. නමුත් මෙරට පටු දේශපාලන ව්‍යුහය අනුව පලාත් සභා ක‍්‍රමය තවත් පිරිසක් නඩත්තු කරන ඒකකයක් වශයෙන් පවත්වාගෙන යනවා හැරෙන්නට විකල්ප ගැන අවධානය යොමු කරන්නේ නැත. ඉදිරි මැතිවරණ වල දී අනාගතයේ ඇතිවන ලෝක තත්ත්වය හා එය ශ‍්‍රී ලංකාවාසීන්ට බලපාන අන්දම ඉතා ගැඹුරෙන් සාකච්ඡුා කළ යුතුය. නමුත් අවාසනාවකට එවැනි සංවාදයකට ඉඩ නැත. බොහෝ දුරට මැතිවරණ පොරොන්දු, ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයට කරන චෝදනා හා සුරංගනා කතා වලට දේශපාලනය සීමා වනු නිසැකය.

මෙරට දේශපාලනයේ දී යම් අවස්ථාවක, නූපන් දරුවන්ගේ අනාගතය අරභයා තීන්දු ගත හැකි ධුරයක් ඇති කිරීම යන අදහස සාකච්ඡා කරන්නට බැරි නැත. නමුත් එය අලූත් ඇමැති ධුරයක්, නව අමාත්‍යංශයක් යන අදහස සහිතවය. අලූත් අමාතයංශයක් ඇති කර එයින් ලාභ සත්කාර ගැන විනා නූපන් පරපුර වෙනුවෙන් ඉටු කළ යුතු මහඟු මෙහෙවර ගැන මෙරට දේශපාලනය ක‍්‍රියා නොකරන බව අපට ඇති ප‍්‍රායෝගික අදහසයි. ඉදිරි මැතිවරණ වල දී, තමන් හමුවට එන දේශපාලනඥයන් ප‍්‍රශ්න කර ඔවුන් අවදි කරවීමේ වගකීමක් පුරවැසියන් වශයෙන් අපට ඇත. නූපන් පරපුර ගැන හිතන පාලන ක‍්‍රමයක් ගැන සවිඥාණික වන්නැයි දේශපාලනඥයන්ට බලකර කියන්නට අප සියළු දෙනාටම හැකියාවක් තිබේ.