» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/05/2017 - ඉරිදා ලංකාදීප
ජනතාවට උවමනා කරන පාලන ක‍්‍රමය තීරණය කිරීම

තුර්කි ආණ්ඩුව පසුගිය මාසයේ මැද ජනමත විචාරණයක් පවත්වන ලදී. යුරෝපා රටවල මාධ්‍ය එය ඓතිහාසික එකක් බව සඳහන් කළේය. ජනාධිපති තායිප් එර්ඩොවාන් එකී ජනමත විචාරණයේ දී ජනතාව තමන්ගේ පැත්තට දිනාගැනීමට සමත් විය. සියයට අසූ පහක් පමණ ඡන්දය පාවිච්චි කරන ලද මෙම ජනමත විචාරණයෙන් සියයට 51.4 ක ප‍්‍රතිශතයක් ආණ්ඩුව යෝජනා කළ ව්‍යවස්ථා වෙනස අනුමත කළේය. පාලකයාගේ බලය වැඩි කරන යෝජනා ජනමත විචාරණයට ඇතුලත් වූ බව සඳහන් කළ යුතුය. තුර්කි වැසියන් එයට එකඟ විය. බටහිර රටවල් එවැනි සංශෝධන නුවණට හුරු නැති බව කියද්දී එරට සමාජය පාලකයාට වැඩි බලයක් තිබීම අනුමත කිරීම වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයකි.

තුර්කිය පැරණි සමාජයකි. තුර්කියේ තිබුණ පැරණි සම්භාව්‍යත්වය ඇති කරන්නට එර්ඩොවාන් උත්සුක වෙයි. ඉතිහාසයට අනුව බටහිර රටවල් ගණනාවක් තුර්කි අධිරාජ්‍යයේ ග‍්‍රහනයට යටත්ව තිබුණි. පසු කාලයක නිදහස් වූ එම රටවල් වෙනම ස්වාධීන තැනට පත්විය. ආර්ථික සහ සමාජ ව්‍යුහයෙන් ලිබරල් ප‍්‍රතිසංස්කරණ කරා යොමු වූ අතර එය එකී රටවල ආර්ථික නවෝදයකට මග පාදන ලද බව සඳහන් කළ හැකිය. අවට රටවල් දියුණු වන විට තුර්කි වැසියන් සෑහෙන පිරිසක් ජර්මනිය ඇතුළු යුරෝපා රටවල අවස්ථා සොයා ගිය අතර එම රටවල් වල වෙසෙමින් තුර්කිය නව ලිබරල් තැනකට තල්ලූ කරන්නට උත්සාහ කරන බව නිරීක්ෂණය කළ හැකිය. යුරෝපා ප‍්‍රජාව ද තුර්කිය පවතින සම්ප‍්‍රදායික තැනින් වෙනස් කරන්නට පොළඹවමින් සිටි බව පැහැදිලිව පෙනෙන කාරණයකි.

තුර්කි ජනමත විචාරණයෙන් ජයගත් ජනාධිපති තායිප් එර්ඩොවාන් බලය වැඩිපුර ඇති පාලකයෙකු වනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ඉල්ලන්නේ නිදහසයි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ක‍්‍රියාත්මකවන තුර්කිය සිය පාලකයාට වැඩි බලයක් දෙන්නට තීරණය කරන්නේ මන්ද? පාලකයා දුර්වල වන විට තීරණ ගැනීම සම්බන්ධයෙන් දුබලතා මතු වෙන බව සමාජය තේරුම් ගෙන ඇත. දුබල ආණ්ඩු රට තුළ ප‍්‍රශ්න මතු කරන බව අවධානයට ගෙන තිබේ. 1960 වසරේ සිට පැවැති ආණ්ඩු හතරක් හමුදා බලයෙන් නෙරපන ලද්දේ ඒවායේ දුර්වල ශක්තිය හෙයින්ය. එකතු වී කරන දුර්වල ආණ්ඩු වලින් පලක් නැති බව තේරුම්ගත් වත්මන් ජනාධිපතිවරයා විධායක බලය තවත් වැඩි කරන යෝජනා නව ජනමත විචාරණයට ඇතුල් කරන ලද අතර ජනතාව ඒවා අනුමත කළේය. එර්ඩොවාන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකි. නමුත් තීරණ ගැනීම සම්බන්ධයෙන් සම්ප‍්‍රදායී පුද්ගලයෙකි. පැරණි තුර්කි අධිරාජ්‍ය නියෝජනය කරන සම්භාව්‍ය පාලකයෙකු සේ සැලකිය හැකිය. හෙතෙම කැමැත්තක් දක්වන්නේ එරට අතීත ලක්ෂණ නැවත එකතු කරන්නටය. ඔහු දැවැන්ත මාලිගාවක් තනා එහි පදිංචියට ගොස් පැරණි රාජකීයත්වයට නැවත අවතීර්ණ වෙන්නට තැත් කරන බවට යුරෝපා රටවල් එක වතාවක් චෝදනා කළේය. නමුත් මාලිගා සහිත පැරණි රාජ්‍යත්වය තුර්කි වැසියන්ට අමුතු දෙයක් නොවූ හෙයින් එරට වැසියෝ ප‍්‍රකෝප වූයේ නැත. ලිබරල් මතවාදී රටවල් ජනතා ධනය හිතුමතේ වියදම් කිරීම බරපතල වරදක් ලෙස විවේචනය කරයි. පාලකයන්ගේ සුඛවිහරණයට වැය කිරීම නරක බව දක්වයි. විශේෂයෙන් යුරෝපා සංගමය එය දකින්නේ ඒකාධිපති තීරණ වශයෙන්ය. නමුත් තුර්කි වැසියන් එය තම පාලනය බලසම්පන්න කිරීමක් සේ සිතන බව පෙනේ.

ජනාධිපති ටායිප් එර්ඩොවාන් බලයට එන්නේ ඉස්ලාම් අනන්‍යතාවය සමගය. එක්තරා අන්දමකට සම්ප‍්‍රදායික පැලැන්තියේ උවමනාවකි. ඔහුට කලින් බලයේ සිටි කෙමාල් ඇටර්ටක් ලිබරල් අදහස් ඇතිව ක‍්‍රියා කළ අයෙකි. ඉස්ලාම් සංස්කෘතියේ යම් යම් ලක්ෂණ විවෘත කරන්නට මැලිකමක් දැක්වූයේ නැත. රටේ භාෂාව වෙනස් කළේය. කාන්තාවන්ට පූර්ණ දේශපාලන අයිතිය දුන්නේය. සම්ප‍්‍රදායික කාන්තා ඇදුම වෙනස් කරන්නට නියම කළේය. එයින් තුර්කිය තුළ වෙනසක් වූ අතර පැරණි ශිෂ්ඨාචාරයකින් යුතු එහි සංස්කෘතික ලක්ෂණ වෙනස් කරන විට මුස්ලිම් මුල්ලාවරුන්ට එපමණ විරුද්ධත්වයක් දක්වන්නට හැකිවූයේ නැත. එසේ තිබිය දී ඉස්ලාම් ආගමික අනුබලය ඇතිව බලයට පැමිණි ටායිප් එර්ඩොවාන් නැවතත් බලය ඇති නායකත්වයක් ගොඩනගමින් සිටී.

මෙම ජනමත විචාරණය අනුව එර්ඩොවාන් ජයගතහොත් එහි යෝජනා අනුව තවත් බලසම්පන්න නායකත්වයක් ඇතිවන බව නිරීක්ෂණය කළ යුරෝපා සංවිධානයේ රටවල් එය අවහිර කළේය. එය ඒකාධිපති ගමනක් බව කෙලින්ම කියා සිටියේය. ඇමරිකාව පවා පසුවූයේ එවැනි අදහසකය. එසේ තිබිය දී එර්ඩොවාන් යම් ප‍්‍රමාණයකට ජනමාධ්‍ය යේ ලිබරල් මතය පාලනය කරන ලද අතර තද පාලනයක් ගෙන ගියේය. ජනමත විචාරණය සමයේ ප‍්‍රචාරක යාන්ත‍්‍රණය තුර්කියෙන් එපිට යුරෝපා රටවලට යවන්නට එර්ඩොවාන් ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ඔහු ඇමැති මණ්ඩලයට අවට යුරෝපා රටවලට ගොස් තුර්කි වැසියන් එකතුකර දැනුම්වත් කරන සේ දැනුම් දුන් නමුත් සියළුම රටවල් තුර්කි ජනමත විචාරණයේ ප‍්‍රචාරක කටයුතු තමන්ගේ රටට එන්නට ඉඩ දුන්නේ නැත. ලෝකයේ සෙසු රටවල් අතර අකැමැති එයට අනුබල නොදෙන පසුබිම තුළ පවා තුර්කි ජනතාවගේ කියැවීම වෙනස් කරන්නට හැකියාවක් ලැබුණේ නැත. ජනමත විචාරණය දිනා ගැනීමෙන් පසු යුරෝපයේ රටවල් සුබපැතුම් සමග නොයෙක් උපදෙස දෙන්නට ඉදිරිපත් වූ නමුත් ටායිප් එර්ඩොවාන් ඒවා ප‍්‍රතික්ෂේප කළේය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්ප‍්‍රදායික සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා විය යුතු සුබපැතුමක් කරන අතරවාරයේ එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එයට පියවරක් ඉදිරියට තබා කෙලින්ම සුබපතන ලද අතර එයින් අනියමාර්ථයෙන් දැක්වූයේ මැදපෙරදිග ත‍්‍රස්තවාදය පාලනය කරන්නට තුර්කිය සම්බන්ධ කරගැනීමට නැඹුරු වෙන තීරණයකට එන බවය.

මැද පෙරදිග සහ යුරෝපා කලාපයේ දොරටුව වශයෙන් සැලකිය හැකි තරමට තුර්කිය එහි වැදගත් ස්ථානයකි. ධන බලය හා හමුදා ශක්තිය එහි ලා ඉදිරියෙන් සිටී. සම්ප‍්‍රදායික සමාජ පැවැත්ම සතු බලය ද එයට එකතු වී තිබේ. පවත්වන ලද ජනමත විචාරණයෙහි ප‍්‍රතිඵල අනුව 2019 න් පසු පිහිටුවන ආණ්ඩු ශක්තිමත් ඒවා වනු ඇතැයි සැලකේ.

තුර්කියේ ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය අනුව රටේ පාලනයට පුලූල් බලතල දෙන්නට ජනතාව තීරණය කිරීමේ සංකල්පය ගැඹුරින් නිරීක්ෂණය කළ යුතු එකකි. බලය බෙදා හරින සේ බල කරන බටහිර න්‍යාය පත‍්‍රයට සම්පූර්ණයෙන් වෙනස් අදහසකි. මෙයින් තේරුම් ගත යුතු පැත්තක් තිබේ. රටට අවශ්‍ය කරන්නේ මෘදු පාලන ව්‍යුහයක් ද නැතිනම් තීරණගත හැකි තද පාලන ක‍්‍රමයක්ද? යන්න ගැන තුර්කිය අවධානය යොමු කර ඇති බවය.

ශ‍්‍රී ලංකාව මෙයට වෙනස් අන්තයක සිටී. ජනතාව ගෙන් කොටසක් පෙනී සිටින්නේ බලය බෙදාහැරිය යුතු යන ස්ථාවරයේය. රටේ නායකයාට බලය අඩු විය යුතු අතර වැඩි බලය ජනතා නියෝජිතයන් අතර තිබිය යුතු බව අවධාරණයයි. එකී සංකල්ප මතු කරන්නේ බටහිරෙන්ය. අද රට තුළ පවතින එකිනෙකට වෙනස් සිද්ධි අධ්‍යයනය කරන විට මෙරට ජනතාව තමන්ගේ රටේ පාලනය කෙබදු ස්වරූපයක එකක් දැයි තීරණයකට පැමිණ නැත. බලය අඩු කරන සේ බලකරන ජනතාවම කියන්නේ රටේ වැඩක් වෙන්නේ නැති බවය. තීරණ ගන්නේ නැති හෙයින් රට තුළ ප‍්‍රශ්න තිබෙන බවය.

ශ‍්‍රී ලංකාව ද සම්ප‍්‍රදායික සමාජයකි. පුරාණ ශිෂ්ඨාචාරයක් තිබේ. එහි තීරණ ගැනීමේ ව්‍යුහය වෙනස්කළේ අධිරාජ්‍යවාදීන්ය. ශ‍්‍රී ලංකාව ලබන අවුරුද්දේ දී නිදහස ලබා හැත්තෑ වසරක් සම්පූර්ණ කරයි. යටත් විජිතයක් වශයෙන් පැවැති කාලය තුළ රටේ පාලනය සහ තීරණ ගැනීම ජනතාවගේ අයිතියක් වූයේ නැත. එහි අයිතිය බි‍්‍රතාන්‍ය නතු කරගෙන සිටියේය. නිදහස ලැබීමෙන් පසු පවා බටහිර ලිබරල් සමාජය රටට නිදහස, බලය බෙදාහැරීම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නොයෙක් ලක්ෂණ පනවන්නට සූදානම්ය. මේවායේ ප‍්‍රතිඵල නරක නැත. ඇති කරන තත්ත්ව ප‍්‍රයෝජනවත්ය. නමුත් ඉවසීමෙන්, සාකච්ඡා කර පොදු තීරණයකට අනුව වැඩ කරන්නට සුදානම් නැති බව පෙනේ. පාලකයන් පවා පෙන්වන්නේ එයයි. ඉටහිර ගුණාංග වලට ඔරොත්තු දෙන්නට සමාජය සමත් නැත. ශ‍්‍රී ලංකාව ලෝකයේ නොයෙක් තැනින් කියන දේ අහනවාද නැතිනම් රටට අනන්‍ය පාලනයක් ඇතිකරගන්නවාද යන්න අවධානයට ගැනීම සුදුසුය. තුර්කිය යුරෝපා සංගමය සමග සම්බන්ධවෙන්නේ ඔවුන්ගේ පුරාණ සමාජ භාවිතාව අනුව විනා යුරෝපයෙන් බලකරන ව්‍යුහය අනුව නොවේ. බටහිර උවමනාවන් අනුව රට පවත්වාගෙන යනවාද නැත්නම් අපේ ජනතාවට, අපේ පරණ සම්ප‍්‍රදායික උරුමය අනුව ලෝකය සමග සම්බන්ධ වෙනවාදැයි තීරණය කිරීම සුදුසුය. ජනතාවට අවශ්‍ය නිදහසද? නැත්නම් පාලනයක් දැයි සාකච්ඡා කරන්නට කාලය එළැඹ තිබේ. සමාජය, දේශපාලන පක්ෂ නායකයන් සහ ආගමික නායකයන් එකතු වී මෙම රාමුව තේරුම් ගෙන අපට අලූත් ව්‍යුහයක් හදා ගන්නට තීරණය කිරීම වැදගත්ය.