» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/04/2019 - ඉරිදා ලංකාදීප
විශ්ව ගම්මානය කරා එළැඹෙන විට අවධානයට ගත යුතු කරුණු

චීනය, සහ ප‍්‍රංශය හවුලේ සංවිධානය කළ විශ්ව පරිපාලන සංසඳයේ සැසිවාරයක් පැරිසියේ දී පසුගිය දා අවසන් විය. යුරෝපා රටවල නායකයෝ සමග චීනය අලූතින් නැගී එන වාතාවරණය ගැන මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. සැසි වාරය අවසානයේ දී චීන ජනාධිපති ෂි ජිංපිංග් විශ්වය තුළ අභියෝගයක් විය හැකි කරුණු ගණනාවක් හමුවේ අනාගතයේ දී පොදුවේ මුහුණ දීමේ දී අවධානයට ගත යුතු කරුණු හතරක් ගැන අනාවරණය කළේය. එය යෝජනා කරන ලද අදහසක් වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයට ලක් වී තිබේ.

රාජ්‍ය පාලනයේ දී සාධාරණ හා යහපත්ව ක‍්‍රියා කිරීමේ දී පවතින අඩුපාඩු පියැවීමට ගත යුතු අවධානය පළමු කාරණය සේ දක්වා ඇත. දෙවනුව දක්වන පරිදි විශ්වාසය සම්බන්ධ ප‍්‍රශ්න ඇති වී තිබේ. අවිශ්වාසය තුරන් කරන උපදේශණයක් හා අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කර ගත යුතු බව පෙන්වා දෙයි. තෙවැනුව සාමය සම්බන්ධයෙන් විශ්වය තුළ මතුවන පරතරය පියැවීම අරමුණු කරගෙන ඒකාබද්ධ ප‍්‍රයත්නයක අවශ්‍යතාව පෙන්වා දී ඇත. රටවල් තුළ මතුවන ගැටළු ඒකවිශ්වීය ස්වභාවයක දී, පොදු සාමකාමී පරිසරක් තුළ විසඳා ගැනීමට හැකිවන ක‍්‍රමයක් අවශ්‍ය බව දක්වයි. හතරවැනි කාරණය ද වැදගත්ය. රටවල් අතර සංවර්ධනය සම්බන්ධයෙන් පරතරයක් පවතින අතර අනෝන්‍ය ප‍්‍රතිලාභ අත්කරගත හැකි දෙපැත්තම ජයග‍්‍රාහකයන් වන සැලසුම් වලින් මෙම අසමබර සංවර්ධනය පහ කරගත හැකි බව පෙන්වා දී ඇත. නව සොයා ගැනීම්, හොඳ සහයෝගීතාවය හා එකිනෙකා හා සම්බන්ධවන උපායමාර්ග එහි ලා වැදගත් වන බව ද හතරවැනි කාරණයේ දී තවදුරටත් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යම් වෙනස්කම් ඇති කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තීරණ ගැනීම ගැන චීනය එකඟත්වය පළ කිරීම මෙම සැසි වාරයේ දී වාර්තා විය. අන්තර් ජාතික වෙළඳාමේ දී ආරක්ෂණ පද්ධතියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එයට අනුකූලතාවයක් දැක්වීමට ද කැමැති වී ඇත.

පැරිසියට එකතු වූ චීන, ප‍්‍රංශ, ජර්මන් හා යුරෝපා කොමිසමේ සභාපතිවරයා ගේ මෙම සැසි වාරයේ දී චීනයෙන් මතු වූ අදහස් ඉතා වැදගත්ය. මෑත භාගය තුළ ලෝකයේ ප‍්‍රධාන පෙලේ සියළු සම්මන්ත‍්‍රණ හා සාකච්ඡා සභාවල දී විශ්ව ගම්මානය හා පොදුවේ සියළු දෙනාටම එකසේ ප‍්‍රතිලාභ ලැබිය හැකි තත්ත්වයන් ගැන සාකච්ඡා කර තිබේ. මෙය තවත් ඉදිරි පියවරක් සේ සැලකිය හැකිය. ලෝක ආර්ථිකයේ දැනට නැගී එන බලවත් රටවල් පවතින අසමබර හා අසමතුලිත තත්ත්වය ගැන අවධානය යොමු කිරීම යහපත් කාරණයකි.

ලෝකයේ පාලනය සිදුවන ආකාරය ගැන විවිධ රටවලට ප‍්‍රශ්න තිබේ. එය සැකයක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් පාලන ක‍්‍රමයක් නමුත් විවිධ සමාජ වල අනුගමනය කරන ආකාරය හා ඒවායේ සංස්කෘතිය තුළ හදුනාගත යුතු පැති තිබේ. ඇමරිකාවේ හෝ යුරෝපා රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආසියාවේ වෙනත් රටක පැවැත්මට සමාන කළ නොහැකි අතර යම් අවස්ථාවල රටවල් වල පාලනය සම්බන්ධයෙන් ඇති ක‍්‍රම වල දී ඌණතා ඇතොත් සලකා බැලීමට පොදු විශ්ව රීති පද්ධති පැවැතීම ගැන සාකච්ඡා කිරීම අවශ්‍යය. මෙම පරතරය මගින් ඇති කරන අවිශ්වාසය, රටවල් හා සමාජ අතර ඇතිවන ගැටුම් මගින් සාමයට ඇති කරන බලපෑම අවධානය ඉතා වැදගත්ය. රටවල් අතර සම්බන්ධතා හා ඒවා මගින් ඇති කරන පරස්පරතා ගැන නොයෙක් රටවල වැසියන්ට අනේකවිධ ප‍්‍රශ්න තිබේ. අසමතුළිත සංවර්ධන හා ලෝකය එක යායක් යැයි කරන ප‍්‍රකාශ අතර පරස්පරතා ඇත. විශ්ව ගම්මානයක් කරා යන ගමනේ දී පවතින පරතරයන් ගැන පොදුවේ තීරණ ගැනීමට හැකි වාතාවරණයක් බිහිකරගත හොත් එය සමස්ථ ලෝක වාසීන්ටම වැදගත්ය.

ශ‍්‍රී ලංකාව ලෝකයේ වෙනස්වන අලූත් ආකෘති ගැන අවධානයෙන් සිටිය යුතුය. මෙරට දේශපාලන හා සමාජ තත්ත්ව විශාල පරිවර්තනයක් අත් පත් කරගෙන නැත. දීර්ඝ කාලයක් පැවැති යුද්ධය එයට එක හේතුවක් වශයෙන් පෙනේ. දශක තුනක ගැටුම් සහිත පරිසරයක ආරක්ෂක අංශ හැර අනෙක් පැති ගැන අවධානය අඩු වූ අතර එමගින් සමාජයේ සමතුලිත බව අඩු විය. විද්‍යාත්මක හා තාක්ෂණික අංශ වලින් ලෝකයේ වෙනස්කම් සිදුවන විට ඒවා මෙරටට පැමිණීම ප‍්‍රමාද වූ අතර එයට බලපෑ ප‍්‍රධාන කාරණය වූයේ යුද කාල පරිච්ඡේදයයි.

සාමය අත්පත් කරගත් පසු ගත වූ කාලය තුළ ආර්ථික හා සමාජයීය වශයෙන් වේගවත් වර්ධනයක් ලබා ගත යුතුව තිබුණි. ලෝකයේ සිදුවී ඇති පරිවර්තනය දෙස බලා ඒවායෙන් පාඩම් ඉගෙනගැනීමට හොඳ අවස්ථාවක් විය. නමුත් පසුගිය දශකය තුළ ඒවා මග හැරී ගොස් තිබේ. ජාත්‍යන්තරයේ දී පාලනය ගැන පවතින පරස්පරතා, විශ්වාසය සම්බන්ධයෙන් පවතින දුබලතා, සාමය සම්බන්ධයෙන් මතු වී ඇති පරතරය හා සංවර්ධනයේ අසමබර බව ගැන කතා කරන විට ශ‍්‍රී ලංකාවට ද රටක් වශයෙන් ස්වකීය අභ්‍යන්තරය ගැන සමාලෝචනයකට ගමන් කිරීමේ වගකීමක් ඇත.

විශ්ව ගම්මානයක් වශයෙන් තීන්දු ගැනීමට කලින් රටක් වශයෙන් තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් තිබේ. ජනතාවට සාධාරණය සලසන පාලන ක‍්‍රමයක් ගැන එකඟතාවයක් අවශ්‍යය. මැතිවරණ ක‍්‍රමය, විධායක ජනාධිපති ක‍්‍රමය සෑම කාලයක දී ම රටේ සාකච්ඡාවන තීරණයක් නැති පැති බව පෙනේ. රට තුළ පාලනය ගැන පරස්පරතා තිබිය දී ලෝකයේ අනාගතයේ දී සාධාරණ පාලනයක් ගැන කතිකාවක් ඇති වුවහොත් අප එයට මුහුණ දෙන්නේ කෙසේද? ඒවායේ අඩුලූහුඞුකම් රට තුළ නොසන්සුන්තා ඇති කරන පසුබිමක් තුළ ලෝකයේ රටවල් අතර විශ්වාසය තර කරන වැඩ පිලිවෙලකට අත ඔසවන්නට ලංකාවට පුලූවන්කමක් තිබේද? මෙකී පැති අප අලූතින් සාකච්ඡා කළ යුතුය. සංවර්ධනයේ විෂමතා, ඒවායෙන් ජනතාව විඳීන ගැහැට ගැන අවබෝධයක් පළමුවෙන් අපට අවශ්‍යය. ඒවාට විසදුම් සාකච්ඡා කළ යුතුය. තීරණ ගැනීමට අවශ්‍යය. ඉන් පසුව ජාත්‍යන්තරය සමග ඇති වන අලූත් තත්ත්වයන්ට විශ්වාසයෙන් පෙනී සිටීමට අවස්ථාවක් ලැබේ. ලෝක ප‍්‍රජාව අවධානයට ගන්නා අලූත් පැති වල දී එයට ඉදිරියෙන් සිටින්නට රටට ඇති හැකියාව ඉතාම වැදගත්ය.