» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/01/2018 - ඉරිදා ලංකාදීප
ජීවනෝදය උදෙසා සංගීතය ඉවහල් කරගැනීම

මැඞ්රාස් සංගීත ඇකඩමිය සිය වාර්ෂික සංදර්ශනාත්මක සංගීත උළෙල උත්කර්ෂවත් අන්දමට පවත්වන බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණි. දශක දෙකකට පමණ කලින් මදුරාසිය වශයෙන් කලින් හදුන්වන ලද ප‍්‍රදේශය දැන් චෙන්නයි ප‍්‍රාන්තයයි. එහි පිහිටි මැඞ්රාස් ඇකඩමිය සහ එහි පවත්වන සංගීත උළෙල ලෝක ප‍්‍රකටය. එය අවුරුද්දක් පාසා පැවැත්වෙන අතිශය රසාලිප්ත අවස්ථාවක් සේ හැඳීන්විය හැකිය. දෙසැම්බර් සහ ජනවාරි කාලය තුළ සති හයක් උළෙල පැවැත්වෙයි. සංගීතය හදාරන සිසු සිසුවියන් ස්වකීය දක්ෂතා නියමිත දිනයේ උදෑසන කාලයේ දී ජනතාව හමුවේ ප‍්‍රදර්ශනය කරන අතර පස්වරුවේ ප‍්‍රවීණයන් එම අවස්ථාව උදාකරගනී. එහි විචිත‍්‍ර මාධුර්යය හින්දු පුවත්පත පමණක් නොව තවත් මාධ්‍ය විශාල ප‍්‍රමාණයක් මැනැවින් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

සංගීතය ජන ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් කරයි. සෑම වයසකටම සංගීත රසවින්දනය පොදු එකකි. එහි තරාතිරමක් නැත. එකම ස්වර රිද්මය උසස් ජන සමාජය තරමටම සාමාන්‍ය ජනතාවගේ හදවත ද සතුටින් පුරවයි. චෙන්නයි හි මැඞ්රාස් පවත්වන ලද සංගීත උළෙල එය මැනවින් විදහා දක්වන ලද බව සඳහන් කළ යුතුය. එය විවෘත මණ්ඩපයකි. තැනින් තැන එළිමහනේ සහ ශාලා ඇතුලත ගායන හා වාදන අවස්ථා සංවිධානය කර තිබේ. මෙම උළෙල පවත්වන්නට සති ගණනකට කලින් සිට කලින් හින්දු ඇතුළු ඉන්දියානු මාධ්‍ය නියමිත දිනවල එක් එක් හෝරාවේ පවත්වන අංග වෙන් වෙන් වශයෙන් විස්තර කිරීම අරඹයි. එය මෙම උළෙල ගැන බලාපොරොත්තුවෙන් පසුවෙන රසවතුන් එම දින වකවානු වෙන්කර තබාගනී.

අති විශාල සිනමා හා කලා රසවතුන් පිරිසක් සිටින රටක් වශයෙන් ඉන්දියාව නම් කළ හැකිය. නළු නිළියන් හා ගායක ගායිකාවන් වෙනුවෙන් පෙනී සිටින රසිකයන් බහුතරයක් අතරින් ඇතමෙකු එම චරිත දේවත්වයෙන් සලකන බව ද නොරහසකි. ශිල්පීන් සතු අප‍්‍රමාණ ප‍්‍රතිභාව ද එහිලා බලපාන සාධකයකි. ඉන්දියානු ශිල්පීන් කරන කලාත්මක නිර්මාණ විශාල වශයෙන් ලෝකය පුරා විහිදෙන බව සඳහන් කළ හැකිය. මැඞ්රාස් ඇකඩමි සංගීත උළෙලට ද එක්දහස් පන්සියයකට වැඩි විචිත‍්‍ර අංග ඇතුලත් විය. රසියකන් ඒවා ශ‍්‍රවණය සඳහා සෑහෙන උනන්දුවකින් සහභාගී විය. සම්ප‍්‍රදායික පමණක් නොව නවීන අත්හදා බැලීම් ද එහි පැවැති බව වාර්තා වෙයි. වැඩි මහලූ පිරිස තමන් ගේ හදවතේ තැන්පත්ව තිබුණ ස්වර රටා රසවිඳින ආකාරය හින්දු පුවත්පත් වාර්තා විශේෂයෙන් පෙන්වා දී තිබුණි.

ඉන්දීය රට වැසියන්ට එදිනෙදා ජීවිතයේ දී අනේක විධ ගැටළු තිබේ. ජීවත්වීම පහසු නැති සෑහෙන දුප්පත් ජන කොටසක් සෑම ප‍්‍රාන්තයකම සිටී. ගමනාගමනය දුෂ්කරය. සංගීතය රස විඳිනු සඳහා දවසේ කාලයෙන් කොටසක් වෙන්කරගැනීමට යම් කැපවීමක් කළ යුතුය. ඉන්දියානුවන් එයට සූදානම් බව චෙන්නායි හි පැවති මැඞ්රාස් සංගීත උළෙල පෙන්වාදෙයි. තැනින් තැන ඉදිකරන ලද මණ්ඩප වල පමණක් නොව විශාල ගෘහස්ථ ශ‍්‍රවණාගාර වල ද මෙම සති හය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැවසුන බව අනාවරණය වෙන කරුණකි.

මැඞ්රාස් සංගීත ඇකඩමි වාර්ෂික සංගීත උළෙල අවස්ථාවේ පැරණි ශිල්පීන්ගේ ගායන හා වාදන තැටි අළෙවි කරන අතර එහි තිබුණ එක සී.ඞී. වර්ගයේ තැටියක් ශ‍්‍රී ලංකාවට සම්බන්ධය. සාමාන්‍යයෙන් මෙහි අළෙවි කරන්නේ ගායන හෝ වාදන සී.ඞී. සීමිත ප‍්‍රමාණයකි. ඒ අතර මධුරි සුභාලක්ෂ්මී නමැති ප‍්‍රකට ගායිකාවගේ නිර්මාණ එකතුවක් විය. මැජික් ඔෆ් ද එම්.එස්. යනුවෙන් එය නම් කර තිබුණි. එම්.එස්. යනු ඉන්දියානු ජාතිකයන් මධුරි සුභාලක්ෂ්මී හදුන්වන ආකාරයයි. මෙම ගීත සී. ඞී. තැටිය වෙනුවෙන් සංරක්ෂණය කරන ලද ගීත පටිගත කරන ලද්දේ 1958 වසරේ දී යාපනයේ දී පවත්වන ලද ශ‍්‍රී රාමක‍්‍රිෂ්ණ සංගීත වැඩ සටහනේ දී බව එහි කවරයේ දැක්වෙයි. ගීත විස්සකින් යුතු එකී එකතුව වෙනුවෙන් පැරණි ගායනා නවීන තාක්ෂණයෙන් නැවත සකස් කර ඇත. ඉන්දියානු සංගීත ප‍්‍රබෝධය ශ‍්‍රී ලංකාව වෙත ද නැඹුරුව තිබුණ බවට එය කදිම සාධකයකි.

දශක හයකට කලින් ශ‍්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපයේ රසාස්වාදනය වෙනුවෙන් පැවැති පසුබිම උසස් බව පෙනේ. යාපනයේ පැවැති ස්වභාවයට නොදෙවෙනි තත්ත්වයක් දිවයිනේ සෙසු ප‍්‍රදේශ වල ද ගායනය, වාදනය, නර්තනය හා විවිධ සංස්කෘතික පැති වෙනුවෙන් පැවැති බව සැකයක් නැත. යාපනය පමණක් නොව දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ද සංගීත රසාස්වාදය ගැන අර්බුදයක් තිබේ. අභ්‍යන්තර හා එළිමහන් සංගීත සංදර්ශන, ගායන වාදන තරග, තරු ශිල්පීන් බිහි කිරීම සහ අන්තර් ජාලය හා යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය මගින් සිදුවන සංගීතමය වැඩසටහන් යනාදියෙන් කෙරෙන්නේ අප සාකච්ඡුා කරන අත්දැකීම නොවන බව සඳහන් කළ යුතු නැත. බහු ජන රසාස්වාදය පිණිස බව ප‍්‍රකාශවන නමුත් මෙකී අංග රස විඳිනු සඳහා සහභාගීවන පිරිස සමස්ථයෙන් එක්තරා කොටසක් පමණකි. එළිමහන් සංදර්ශනයකට සහභාගී වී එහි වින්දනය වෙනුවෙන් කැමැති පිරිසක් සිටින නමුත් වැඩි දෙනෙක් එය කඨෝර බව දක්වන බව නිසැකය. ඒක පුද්ගල හෝ කණ්ඩායම් ගායන වාදන අංග ප‍්‍රබුද්ධ ලෙස පවත්වන නමුත් ඒවා එක්තරා සමාජ කොටසකට පමණක් සීමා වී ඇත. මුදල් ගෙවා සහභාගී වන සංදර්ශනයක් සඳහා පවුලේ අය සමග එකතු වෙන්නට දැරිය යුතු පිරිවැය, ඒ වෙනුවෙන් මහ මගට ගත කරන්නට සිදුවන කාලය සහ පවතින අවිවේකී ස්වභාවය රසාස්වාදන අවස්ථා සීමා කර තිබේ.

නිවී සැනසිල්ලේ පැමිණ සංගීත හෝ ගායන විලාසයකට සහභාගී වී සතුටුවන තරමට නිවුණ සමාජ ව්‍යුහයක් රටට නැත. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජොන් ඇඩම්ස් ගේ ප‍්‍රකට කියමනක් තිබේ. එයට අනුව තමන් දේශපාලනය කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වන අතර එම දරුවන්ගේ දරුවන් සංගීතයෙන් සැනහෙන පරපුරක් බවට පත් වනු ඇති බව ප‍්‍රකාශ කර ඇත. ඇමරිකාවේ දෙවැනි ජනාධිපතිවරයා වූ ඇඩම්ස් ගේ ප‍්‍රකාශයෙන් ඇඟවෙන අදහස එයයි. ශ‍්‍රී ලංකාවේ පැවැත්මට එවැනි අනුගතවීමක් අවශ්‍යය. අනාගත පරපුරට සැනසිල්ලේ විඳීන්නට හැකි සමාජයක් බිහි කර ගත යුතුය. ජන නායකත්වයේ වගකීම එය බව මෙහි දී සඳහන් කරන්නට අවශ්‍යය.

මෙරට ජන ප‍්‍රජාවට වැඩිපුරම ඇසෙන්නේ දේශපාලන ගැටුම්, ඇනුම් බැනුම්ය. නැත්නම් ඉවැසිය නොහැකි තරම් ශෝක ජනක සිදුවීම්ය. පොදු ජනතාව ඉතාමක් කාර්ය බහුල අවිවේකී ජීවිතයක්ගත කරයි. අතෘප්තිය හා අපේක්ෂා භාංගත්වය එහි බහුලව තිබේ. ආත්ම විශ්වාසයෙන් යුතුව එදිනෙදා ජීවිතය ගැන සතුටින් කතා කරන පිරිස ඉතාම සීමිතය. මෙම තත්ත්වය වෙනස් කළහොත් උසස් රස වින්දනය ගැන සාකච්ඡා කරන්නට හැකියාව තිබේ. ආර්ථික සහ සමාජ පරිවර්තනය අතරතුර මැඞ්රාස් ඇකඩමිය වැනි සංදර්ශනාත්මක අවස්ථා සංවිධානය කිරීම ගැන මෙරට සංගීතවේදීහු කල්පනා කිරීම සුදුසුය. ජනතාවගේ පීඩනය වෙනස් කරන, බලපවත්වන අධික අවිවේකී සමාජ රටාව සමබර කරන වෑයමක් වශයෙන් ගායන වාදන අංග ඇතුලත් පොදු ජන සංගීත උළෙලක් පැවැත්වීම කෙතරම් අවධානය යොමු කළ යුතු කරුනක්ද. සාමාන්‍ය ජනතාව රැස්වන ඔවුන් ගේ හදවත් තුළ සතුට ජනනය කරන අවස්ථා සංවිදානය කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම අවශ්‍යය. මෙරට ප‍්‍රවීන සංගීතවේදීන්ට ඒ වෙනුවෙන් අවස්ථාව තිබේ. ප‍්‍රධාන පෙලේ සෞන්දර්ය ආයතන වලට සාමුහික ප‍්‍රයත්නයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළ හැකිය. කලාතුරකින් ජනතාව වෙනුවෙන් විවෘත රස වින්දනාත්මක අවස්ථා පවත්වන බව පෙනේ. නමුත් වාර්ෂිකව කරන සරල රසවින්දනාත්මක සැණකෙළියක් සුදුසුය. පොත් ප‍්‍රදර්ශන, ගාලූ සාහිත්‍ය කතිකාව, ආරක්ෂක කතිකාව වැනි උත්සව වාර්ශීකව කරන ආකාරයට සුළු පිරිවැයකින් ජනී ජනයාය හෘදයාංගමව රස විඳීන්නට හැකි පසුබිමක් සකස්කළහොත් ජනතාවගේ හිත් තුළ ඇති අසංවිධිත බව තුරන් කළ හැකි බව සඳහන් කළ යුතුය. දශක හය හතකට කලින් තිබුණ මෙම සමාජ රාමුව යුද්ධය හා ගැටුම් හෙයින් අහිමි වූ අතර එහි අවාසිය අද පරම්පරාව භුක්ති විඳීමින් සිටී. මතු පරපුර සිතන, විඳීන රසකාමී ජන කොටසක් කළ හැකිය. අන්‍ය සංස්කෘතිය ඉවසන, අසල්වැසියාගේ ගායනය හෝ වාදනය රස විඳීන පරපුරක් බිහි කරගත හොත් පවතින බෙදීම් සෑහෙන ප‍්‍රමාණයකින් අඩු කරගත හැකි බව ද නිසැකය.