» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/11/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රවණතා ඇති කරන මත ගැටුම්

අද පවතින දේශපාලන ක‍්‍රමය තුළ පක්ෂ ව්‍යුහ සතුරු කඳවුරු බවට පත්ව ඇත. ප‍්‍රතිවිරුද්ධ මතදැරීම ගැටුමකට හේතු විය යුතුද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වෙනස් මත තිබේ. නමුත් ඒවායේ ප‍්‍රබල බව දරුණු පලිගැනීමකට හේතුවක් විය යුතු නැත. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ පූර්ව විවාදයක් පසුගිය දා පැවැත්විණි. තමන් බලයේ ඉන්නවා නම් ප‍්‍රතිවාදි අපේක්ෂිකාව සිර ගෙදරට යවන බව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේය. එය විශාල ආන්දෝලනයක් ඇති කර ඇත. මෙතැන ඇත්තේ පලිගැනීම ගැන ප‍්‍රකාශයකි. එය නුසුදුසු බවට අදහස් නැගෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා දක්වයි. ට‍්‍රම්ප් නිතර ආවේගයෙන් කතා කරන කෙනෙකි. ඩිමොක‍්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය වශයෙන් කටයුතු කරන කාලයේ දී පුද්ගලික ඊමේල් ලිපිනයක් ද භාවිතා කර ඇති අතර රාජකාරී ලිපි සඳහා එය ද භාවිතා කළ බවට චෝදනාවක් ඇත. තමන් බලයේ හිටියා නම් හිලරි ක්ලින්ටන් හිරගෙදර බව කියන්නේ එම වරදටය.

යුදබිමේ මාරාන්තික ප‍්‍රහාර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුල තිබිය යුතු නැත. ජයග‍්‍රහණය යනු හතුරා විනාශ කිරීම නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් ගුණාංග වලින් හෙබි එකකි. අනුගමනය කරන ක‍්‍රියාමාර්ග මනුෂ්‍ය ස්වභාවය ශක්තිමත් කරයි. නායකයන්ගේ ගමන එක්කෝ රටේ ඉහළම තැනකින් හෝ එහෙම නැත්නම් හිරගෙදරින් අවසන් විය යුතු නැත. හිලරි ක්ලින්ටන් සිරගත කිරීමට කතා කිරීම සදාචාරයට විරුද්ධ බව විචාරකයෝ ප‍්‍රකාශ කරන්නේ එහෙයින්ය. සම්ප‍්‍රදායට පටහැනි බව දක්වන්නේ එය නොගැලපෙන නිසාය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ප‍්‍රකාශ පදනම් කරගෙන ජයග‍්‍රහණය යනු පළිගැනීම නොවන බවට විශාල ජනමතයක් නැගෙමින් තිබේ. ඡන්දයේ දී මහජන කැමැත්ත ලැබෙන ජයග‍්‍රාහකයාට තාවකාලිකව බලය ලැබෙන අතර එය පලිගැනීම් සඳහා වරමක් නොවේ. ප‍්‍රතිවාදියා විනාශ කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට හානිකරය.

ජෙරල්ඞ් ෆෝඞ් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකි. ඇමරිකාවේ තිස් අටවැනි ජනාධිපතිවරයා වශයෙන් 1974 සිට වසර තුනක් රට පාලනය කළේය. ඔහු බලයට පත්වූයේ ජන වරමකින් නොවේ. බලයේ සිටි ජනාධිපති රිචර්ඞ් නික්සන් වෝටර්ගේට් සිද්ධියෙන් පසු ඉල්ලා අස්විය. උප ජනාධිපතිවරයෙකු වශයෙන් සිටි ෆෝඞ් එවකට ජනාධිපතිව සිටි නික්සන් ඉල්ලා අස් වූ පසු නිලයට පත්වෙයි. ඇමරිකානු ජනාධිපති ධුරයට පත් හෙතෙම නික්සන් ට එල්ල වී තිබුණ සියළු වැරදි වලින් නිදහස් කර කොන්දේසි විරහිත සමාවක් ප‍්‍රකාශයට පත්කරයි. ෆෝඞ් ගේ එම තීරණයට විරුද්ධව සෑහෙන විරෝධයක් නැගේ. නමුත් බලයේ ඉන්නා කාලයේ කරන ලද වැරදි වලට බලයේ නැති වෙලාවේ දී දඞුවම් කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වටිනාකමක් ලැබෙන්නේ නැත යන්න ජෙරල්ඞ් ෆෝඞ් ගේ ස්ථාවරය විය. එය ඔහුගේ පුද්ගලික මතය නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයකි. ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ඉරාකය ආක‍්‍රමණය කිරීම දෝෂ දර්ශණයට ලක්විය. බුෂ් ට පසු බලයට පත් බැරක් ඔබාමා බුෂ්ට විරුද්ධව චෝදනා ගොනු කරන්නට තැත් කළේ නැත. රාජ්‍ය නායකයාගේ කෘත්‍ය සම්බන්ධ අවබෝධය එහි තිබේ. නායකයන් හැසිරෙන්නේ වෛරයෙන් නොවේ. ඇමරිකානු නායකයන්ගේ තීරණ සංහිදියාව ඇතිකරයි. ඇමරිකානු නායකයන් පුළුල් දර්ශනයකින් ක‍්‍රියා කරන විට සමාජය ශක්තිමත් වෙයි. පලිගැනීම නැති තැන නායකයෝ බලය අතහැර යන්නට බයක් නැත. ආපහු කැඳවා උසාවි කැඳවා හිරගතකරන්නේ නැති හෙයින් ධුර කාලය අවසන් වූ පසු ගෙදර යන්නට සැකයක් නැත. තවදුරටත් බලයේ ඉන්නට නීති වෙනස් කරන්නට හදන්නේ නැත. බලය යනු සරල තාවකාලික එකක් බවට පත්වෙයි. එය නිලය සමග ලැබෙන අතර ජනතාව යන්න කියන විට හැර දමා යා හැකි ධුරයක් බව සනාථ වෙයි.

තමන් ජනාධිපති නම් හිලරි ක්ලින්ටන් හිරේ යැයි කියන ප‍්‍රකාශය සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය දරුණු අනතුරක බව ඇමරිකානු විචාරකයන් කියන්නේ එහෙයින්ය. ඇමරිකානු බුද්ධිමත් සමාජයෙන් ට‍්‍රම්ප්ට එරෙහිව බලවත් හඞක් නැගෙන්නේ ඒ නිසාය. තේරුම් ගත යුතු එයයි. බලයේ ඉන්නා පාලකයන්ට ඕනෑම වරදක් කළ හැකිය යන අදහස මෙයින් තහවුරු කරන්නේ නැත. රාජ්‍ය නායකයන් ගෞරවණීය තීන්දු ගැනීම වැදගත්ය. එම තීන්දු ගැනීම සඳහා පසුබිම සකස් කිරීම එයට වඩා වැදගත්ය. එකී වගකීම ඇත්තේ සමාජයටය.

හිලරි හිරගෙදරට යවන බව කියන විට හිලරිට පක්ෂපාතී මතධාරීහු එයට විරුද්ධව අදහස් පළ කරන අතර මධ්‍යස්ථ මතධාරීහු එයටත් වඩා දරුණු විවේචනයක් කරන්නට පටන්ගෙන තිබේ. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන ප‍්‍රසාදය පළ කරන පිරිස පවා ප‍්‍රතිවාදියා හිරකරන බව කියන විට උද්දාමයට පත්වෙන්නේ නැත. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හෝ යුරෝපා රටවල දේශපාලනය සමබර එකකි. බලයට එන එක පමණක් නොව බලය අතහැර ආපසු යන තුරු බලය හෝ බලහත්කාරයක් නැත. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ නැගෙනහිර කලාපයේ රටවල දේශපාලනය වෘත්තියකි. එහි රැදෙන්නට දේශපාලනඥයෝ කැමැතිය. බලයෙන් ඉන්නට ඕනෑම උපක‍්‍රමයක් කරති. විරුද්ධ පක්ෂ නායකයන්ගේ වෑයම බලයේ ඉන්නා අය ඉවත් කරන්නටය. ඒ අතර බලයෙන් පහකරන සිද්ධි බහුලය. ස්වභාවික ජනමතයට හිස නමන අවස්ථා විරලය.

බලයට පැමිණෙන දේශපාලනඥයෝ මහේශාඛ්‍ය පුද්ගලයෝ බවට පත් වෙති. තනතුරට හිමි බලය වෙනුවට පුද්ගලයා වටා විශාල බලයක් නිර්මාණය කරගනී. තීරණ ගන්නේ ජන මතය අනුව නොවේ. හිතට එන දේ කරන්නට නොපැකිලෙති. එයින් කරන්නේ නායකත්ව ගුණාංග පරාජය කර පටු පරමාර්ථ සහිත දේශපාලනඥයෝ බිහිකිරීම බව තේරුම්ගත යුතුය. නීති පනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හදන්නට නොහැකිය. ව්‍යවස්ථා අලූතින් හදන්නට පුළුවන. ලෝකයේ හොඳම සහ ලස්සනම වචන වලින් රචනා කළ හැකිය. නමුත් ඒවා කි‍්‍රියාත්මක කරන්නේ මිනිස්සුය. පුද්ගලයන් හැසිරෙන අන්දම රටක වටිනාකම් නිර්මාණය කරයි.

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය තේරුම් ගෙන නැත. ක‍්‍රමය නරකට පාවිච්චි කරන රටකි. 1970 ගණන් වල සිට බෝ වෙන්නට පටන් ගත්තේ පලිගැනීම්ය. එක පක්ෂයක් අනෙක් මතවාදී දේශපාලනයට ඉඩදෙන්නේ නැත. මතයක් ඇති නායකයන් යටපත් කළේය. බලයට එන දේශපාලනඥයෝ පරාජයට පත්වන නායකයන්ගෙන් පලිගත්තේය. නොයෙක් චෝදනා එල්ල කළේය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවට කලින් එපමණ දරුණු තත්ත්වයක් තිබුණේ නැත. පාලකයන් වෛරී සහගතව කි‍්‍රයාකරන විට පාක්ෂිකයන් ද එය අනුගමනය කළේය. කම්කරු දිනය මරා ගන්නා දවසක් විය. පක්ෂ මාරු වන විට පරාජිත පක්ෂ වල ප‍්‍රබල ආධාර කරුවන්ගේ දේපොල වලට අලාභානි කළේය. රැකියා ස්ථානයේ දී පලිගත්තේය. දඞුවම් ස්ථාන මාරු සුලබ විය. වෙනත් දේශපාලන පක්ෂයක දරුවන් සම්මුඛ පරීක්ෂණයේ දී ප‍්‍රතික්ෂේප වෙයි. නඩු පැවරීම්, කොමිෂන්, ජනාධිපති කොමිෂන්, මහා පරිමාණ දුෂණ වංචා හොයන තැන දක්වා පැමිණෙන්නේ මෙම තත්ත්වයයි. එහි අවසානයක් නොපෙනේ. ඉතිහාසය පුරා සියළු දේශපාලන පක්ෂ මෙම භයානක ඉරණමට වගකියන්නට අවශ්‍යය. දේශපාලනඥයන්ගේ බලය මතු කර සමාජයට ඉදිරිපත් කර වෙන්දේසිය උත්කර්ශවත් කළ සියළු දෙනා වගකිව යුතුය. මාධ්‍ය, බුද්ධිමතුන් සමාජ නායකයන් පමණක් නොව ආගමික නායකයෝ ද ඒ අතර වෙති.

හිලර් ක්ලින්ටන් හිරගත කරන වචනයට වාද කරන්නට ඇමරිකානු සමාජය සූදානම්ය. ලාංකිකයන් කැමැති පලිගන්නටය. දේශපාලනඥයන් අද සිටින තැනට පත් වූයේ කොහොමද? ඡන්ද දිනන්නට කරන ඝෝෂාව රටක පැවැත්ම අවදානමට ලක් කර තිබේ. භයානක පැත්ත එයයි. 1978 ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපතිවරයාට නඩු පැවරිය නොහැකි බවට වගන්තියක් ඇතුලත් කළේය. බටහිර ඇතැම් රටවල් සම්ප‍්‍රදායෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්ති නීති හදා ව්‍යවස්ථාවට ඇතුළු කරන්නට රටට සිදුවිය. එයින් ප‍්‍රයෝජනයක් වී තිබේද?.