» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/10/2019 - ඉරිදා ලංකාදීප
බ‍්‍රසීලයේ ගොවියෝ මයියොක්කා වගාකර අතුරු ප‍්‍රතිඵල ලැබූ අයුරු

මත් පැන් හෝ දුම්කොළ භාවිතය ප‍්‍රචලිත කිරීම අපගේ අරමුණ නොවේ. සෞඛ්‍යයට අහිතකර එවැනි දේ දුරු කළ යුතුය. මත් ද්‍රව්‍ය විශාල ජාවාරමකි. මත් ද්‍රව්‍ය වලට එරෙහිව ලෝකය පුරා තද නීති පනවා තිබේ. ශී‍්‍ර ලංකාවේ පවා මරණ දඩුවම පනවන වරදකි. මත් ද්‍රව්‍ය, දුම්කොළ හා මත් පැන් පාලනය කරනු සදහා බලවත් ප‍්‍රයත්නයක නිරත වන නමුත් ලෝකයේ කිසිම රටකට එය තුරන් කරන්නට හැකිවී නැත. ජනී ජනයා අතර විශාල ඉල්ලූමක් තිබේ. ඇතැම් රටවල් මත් පැන් හා දුම්කොළ අළෙවියට බාධා නොපමුණුවයි. ශ‍්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් සෑහෙන ප‍්‍රමාණයක් සීමා පනවා තිබේ. සැර අඩු මත් පැන් හා දුම්වැටි භාවිතයට නැඹුරු කරන ප‍්‍රයත්න අනුගමනය කරන රටවල් ද තිබේ. අවම හානියක් අපේක්ෂා කරන අතර ජනතාවගේ අවශ්‍යතා ගැන ද සැලකිල්ල යොමු කරන බව එයින් පැහැදිලිය.

බ‍්‍රසීලයේ උතුරු පලාතේ ගොවියෙකු සිය මයියොක්කා අස්වැන්නෙන් කොටසක් භාවිතා කර බියර් නිෂ්පාදනය කරන ලද අතර එය සාර්ථක වී තිබේ. මුලින් ඔහු පවුලේ නිෂ්පාදනයක් වශයෙන් කරගෙන ගියේය. සාමාන්‍ය ඉල්ලූමක් තිබුණි. සැපයුමට සරිලන නිෂ්පාදනයක් කරගත නොහැකි වූ අවස්ථාවේ දී මයියොක්කා වලින් බියර් නිපදවීම නංවා ඇත. අනතුරුව ලෝකයේ විශාලතම බියර් නිෂ්පාදන සමාගම බ‍්‍රසීලයේ ආයෝජනය අරඹා තිබේ. ෆයිනෑන්ෂල් ටයිස්ම් පුවත් පත මෙම ආයෝජනය ගැන ලොව පුරා ප‍්‍රචාරය කළේය. වාමාංශික පාලනයක් ඇති රටක් සැර අඩු බියර් නිපදවනු සදහා පියවර ගැනීම ගැන එම පුවත් පත විශේෂයෙන් කරුණු අවධාරණය කර දක්වා තිබුණි. මෙම ප‍්‍රකට ජාත්‍යන්තර සමාගම දරාගත හැකි මිලකට, ශරීරයට අහිතකර රසායනික ඉතා අඩු ප‍්‍රතිශතයක් සහිත මයියොක්කා බියර් නිපදවීම ආරම්භ කර තිබේ.

මයියොක්කා ආහාරයට ගන්නා අල විශේෂයකි. අප‍්‍රිකානු රටවල මයියොක්කා පිස අනුභව කරන විධි පහක් ඇති බව විස්තරාත්මකව දක්වා තිබේ. මයියොක්කා තම්බා ආහාරයට ගන්නා අතර ඒවායෙන් පිටි සකස් කර රොටි හා පැස්ටා නිපදවන බවද දැක්වේ. මයියොක්කා පැසීමට ලක් කර බියර් නිෂ්පාදනය සදහා පළමුවෙන් උත්සාහ කරන්නේ අප‍්‍රිකානු රටවල බව සදහන්ය. නයිජීරියාව මයියොක්කා බියර් බහුලව නිපදවන රටවල් අතර පෙරමුණ ගෙන තිබේ. මොසැම්බිකා රාජ්‍යයෙහි වීදි වෙළෙන්දෝ අයිස් වල බහා මයියොක්කා බියර අලෙවි කරති. ඒවා පානය කිරීම එහි සුලබ දර්ශනයකි. සැර මත්පැන් මිල දී ගැනීමට සෑහෙන මුදලක් අවශ්‍යය. ඒවා අහිතකර බව ඔවුහු සිතති. මයියොක්කා බියර්, තිබහට වතුර සේ භාවිතා කරන බව දැක්වෙයි. අපි‍්‍රකාවෙන් ඇරඹී, ඇමරිකාව සහරා උප ප‍්‍රදේශය හා බ‍්‍රසීලය දක්වා මයියොක්කා බියර් නිපදවීමේ ව්‍යාපාරය විහි දී ඇත.

බ‍්‍රසීලයේ මයියොක්කා සම්බන්ධ ඉතිහාසය එරටට පෘතුගීසි ආක‍්‍රමණයක් සිදුවූ කාලය දක්වා ඈතට විහිදී යයි. වසර 1500 දී පමණ එරට අල්ලා ගත් පෘතුගීසීහු බ‍්‍රසීලයේ සාරවත් පස හා මයියොක්්කා වගාව සෑහෙන අවස්ථාවක් කරගෙන ඇති බව කියැවේ. මෑතක් වන තුරු ලෝකයේ මයියොක්කා නිෂ්පාදනයේ දී ඉදිරියෙන්ම සිටියේ බ‍්‍රසීලයයි. ආහාර වශයෙන් පමණක් නොව බියර් නිෂ්පාදනයට ද නැඹුරුවීමෙන් පසු එය ලෝකයේ අවධානයට ලක් වූ වගාවක් බවට පත්ව ඇත. ප‍්‍රධානතම බියර් නිෂ්පාදන සමාගමක් බ‍්‍රසීලයේ ආයෝජනය කිරීම එහි ප‍්‍රතිඵලයකි.

බ‍්‍රසීලයෙන් ලැබෙන වාර්තා අනුව මෙම සමාගම සෑම සාදයකම මයියොක්කා මෙටි‍්‍රක් ටොන් 600 බැගින් මිල දී ගැනීමට ගොවියන් 175 දෙනකු සමග ගිවිසුම් අත්සන් කර තිබේ. මෙම වසර අවසන් වන විට ගොවියන්ගේ ගණන 250 ක් දක්වා වැඩි කරන්නට සූදානමක් ඇත. වගා කරන අස්වැන්නට මිලක් ලැබීම හා අලෙවිය ප‍්‍රශ්නයක් නැති තත්ත්වයට පත්වීම බ‍්‍රසීලයේ ගොවියෝ අත්පත් කරගෙන ඇති ජයග‍්‍රහණයකි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය දක්වන පරිදි මයියොක්කා යනු ආශ්චර්යමත් භෝගයකි. ලෝකයේ රටවල් සියයක පමණ හොදින් වගා කළ හැකිය. ඉදිරියේ දීී ඇතිවිය හැකි බව කියන ජනගහන වර්ධනය හා එයට සමාන්තරව ආහාර හිගය තුනී කරනු සදහා මහා පරිමානයෙන් මයියොක්කා වගා කිරීම ඉතා ප‍්‍රයෝජනවත් වනු ඇත. ආහාරයක් වශයෙන් පමණක් නොව සාරවත් බියර් නිෂ්පාදනයට ද යෙදවීම තුළ අඛණ්ඩ ඉල්ලූමක් තහවුරු වනු නිසැකය.

ලෝකයේ නොයෙක් රටවල් ආහාරයට ගත හැකි දේ වලින් සැර නැති බියර් නිපදවමින් සිටී. ජපානයේ වැසියෝ සකේ පානය කරති. එය සහල් වලින් නිපදවයි. චීන වැසියෝ සහල් වයින් හා සැර මත්පැන් නිපදවයි. ඒවා ආවේනික නිෂ්පාදන වශයෙන් පවතී. බ‍්‍රසීලයේ මයියොක්කා වයින් ද එයට එකතු වී ඇති බව පෙනේ. සමාප‍්‍රදායික ආහාර වර්ග හා ඒවායෙන් නිපදවන සැර රහිත පාන වර්ග ජනප‍්‍රිය වන ස්වභාවයක් වර්තමානයේ තිබේ.

ශ‍්‍රී ලංකාව බහුලව මයියොක්කා වගා කළ හැකි රටකි. අදටත් රටට අවශ්‍ය ප‍්‍රමාණයට වගා කරගත නොහැකි වී තිබේ. මෑතක සිට තෙලෙන් බදින මයියොක්කා පෙති ජනප‍්‍රිය වී තිබේ. මයියොක්කා මිල සාමාන්‍ය වෙළ`ද පොලේ පවා ඉහළ නගින්නට එය එක හේතුවක් වී ඇත. අතීතයේ දී මෙරට ගැමියෝ කිතුල් මල් මැද එයින් එන සාරය පැසවා රා වශයෙන් පානය කර තිබේ. නොපැසුනු රා තෙලිදිය වශයෙන් පානය කර ඇති අතර තල් රා උතුරු ප‍්‍රදේශයේ ප‍්‍රකටය. ගෘහාශ‍්‍රිතව උක් අඹරා ගන්නා සාරයෙන් මත් පැන් නිෂ්පාදනය කරන අතීතයක් තිබී ඇත. අද මෙම පැරණි සැර අඩු මත් පැන් ගෘහාශ‍්‍රිතව නිපදවීම බලපත‍්‍රගත යුතු කර්මාන්තයකි. බලපත‍්‍ර රහිතව නොයෙක් මත්පැන් රටපුරා විශාල වශයෙන් නිපදවන අතර එය පාලනය කරන්නට හැකියාවක් ලැබී නැත. මත් පැන් අධෛර්යය කරන අරමුණ ඇති ආණ්ඩුව ඉහළ බදු පනවන අතර එම මිල ගණන් දරා ගත නොහැකි සාමාන්‍ය ජනතාව කසිප්පු වලට හුරු වී ඇත. නොයෙක් නම් වලින් නිපදවන නීති විරෝධී මත් පැන් වලට යොදන ද්‍රව්‍ය හා ඒවායේ රසායනික අන්තර්ගතය ඉතාම දරුණු තත්ත්ව ඇති කරන බව නොරහසකි. නමුත් මෙරට අඩු ආදායමක් ලබන ජනතාවට ඒවා හැර අනෙක් යමක් නැත. ආගමික දර්ශනය අනුව මත් පැන් වල ආදිනව දන්නා, ඒවායෙන් ශරීරයට වන අහිතකර අනතුර මැනැවින් අවබෝධයක් ඇති පිරිස පවා මත් පැන් වලින් ඈත් කිරීම පහසු නැත. මත් පැන් තහනම් කරන, ඒවාට බදු පනවන හා අලෙවියට සීමා නියම කරන ආණ්ඩු එයට සමාන්තරව නීති විරෝධී මත් පැන් වලට අවකාශය විවර කරන බව යතාර්ථයයි. ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ දී රා ජනප‍්‍රිය කරනු සදහා ගත් උත්සායක් ද ඇත. එන්.එම්. පෙරේරා මහතා රා මැද ගැනීමට නිදහස් අවසරයක් නිකුත් කරන්නට අය වැය මගින් යෝජනා කළ අතර එය විශාල උපහාසයකට හේතු වූ බව මෑත අතීතය දක්වයි. මෙම සිද්ධි පෙන්වන්නේ සමාජයේ පවතින හැබෑ උවමනාව, සම්ප‍්‍රදායික සංස්කෘතික අනන්‍යතා නොසලකා නීති පැනවීමේ ප‍්‍රතිවිපාක බව තේරුම් ගැනීම සුදුසුය.

බ‍්‍රසීලයේ මයියොක්කා වගාව ගැන අපට අද සාකච්ඡා කරන්නට සිදුවූයේ එය ලෝක අවධානයට ලක්ව ඇති හෙයිනි. විශාල ප‍්‍රචාරයක් දෙන ලෝකය පුරා විහිදුන ෆයිනෑන්ෂල් ටයිම්ස් වැනි පුවත් පතක් එරට සමාජ පසුබිම පවා පරාජය කර මයියොක්කා වලින් බියර් නිපදවීමට අනුබලදීම ගැන කරන අනාවරණය අප ගේ සැලකිල්ලට ලක් විය යුතුය. කිතුල් මලක් මැද ගැනීම අපරාධයක් සේ සලකන රටක මහා පරිමාන මත්පැන් නිෂ්පාදකයෝ සමාජයේ ඉහළින් වැඡඹෙන බව ඇත්ත කතාවයි. සෑම ගමකම, නගරයකම බලය ඇති දෙතුන් දෙනා අතර මත්පැන් පෙරන පුද්ගලයෝ ද වෙති. ඔවුහු දේශපානයට ද වියදම් කරන අතර නීතියෙන් ද ගැලවෙන ආකාරය දනිති. මෙම ස්වභාවය යතාර්ථයයි. ශ‍්‍රී ලංකාවට ද අනන්‍යතා අනුව සැර අඩු මත්පැන් භාවිතය ප‍්‍රචලිත කළ හැකිය. එයට සැලැස්මක් ප‍්‍රකාශයට පත් කළ හැකි බව හිතන්නට අවශ්‍යය. සමාජයට මත් පැන් හුරු කිරීම සුදුසු නැත. නමුත් අධික සැර ඇති නොමනා ආකාරයට නිපදවන වස විය වෙනුවට රටට ගැලපෙන දෙයක් ගැන කල්පනා කිරීම සරල කාරණයකි. මෙරට භාවිතයට නොගන්නා ඉඩම් වල මයියොක්කා වගා කර එම අස්වැන්නෙන් බ‍්‍රසීලය ගත් ක‍්‍රියාමාර්ග ආකාරයට බියර් නිපදවුවහොත් එය රටට එන සංචාරකයන්ට ද ගැලපෙන බව හිතා බැලීම සුදුසුය.