» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/08/2017 - ඉරිදා ලංකාදීප
ඛනිජ තෙල් යුගයේ අවසානය

ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත මෙයින් මාස ගණනකට කලින් පළ කරන තීරු ලිපියකින් අනාවරණය කරන ලද වැදගත් සංකල්පයක් තිබේ. මෙතෙක් ලෝකය තුළ බලශක්ති ක්ෂේත‍්‍රයේ විශේෂිත තැනක් අත්පත් කරගෙන සිටි ඛනිජ තෙල් වල බලය අවසන් වන අතර බොරතෙල් යුගය ඉක්මනින් අවසන් වන බවය. එවැනි අදහසක් ගැන හිතන්නටත් අදි මදි කරන ලද කාලයක් තිබුණ නමුත් අද වන විට ජාත්‍යන්තරය වේගයෙන් විකල්ප බලශක්ති කරා සංක‍්‍රමණය වෙමින් තිබේ. විශේෂයෙන් සූර්ය බලය එහි මුල් තැනක් ගන්නා අතර වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් වලින් තොර ප‍්‍රවාහන මාධ්‍යයක් වන බව පැහැදිලිව වෙමින් තිබේ.

තෙල් යුගය වසර 150 ක් පමණ පැවැති බව මෙම ඉන්දියන් එක්ස්ප‍්‍රස් ලේඛණය පෙන්වා දෙයි. 1911 දී වින්සටන්ට් චර්චිල් පළමු ලෝක යුද්ධයේ තීරණාත්මක ධුරයකටපත් වූ අතර බි‍්‍රතාන්‍ය නාවික බල ඇණිය වහා ඛනිජ තෙල් වලට හරවන්නැයි නියෝග නිකුත් කිරීම බොරතෙල් යුගයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සේ සැලකේ. ගල් අඟුරු බලයෙන් ධාවනය වූ නැව් වල වේගය, ඒවායෙහි පටවා ගෙන යා යුතු අති විශාල ගල් අඟුරු ප‍්‍රමාණය සහ නාවික ගමනාගමනයේ දී පිරිසිදු බවකින් කළ හැකිවීම ඉන්ධන වලට හුරුවීමට පෙළැඹැවීය. එය ක්ෂණික තීරණයක් වූ අතර එය ගල් අඟුරු යුගයේ උච්චතම අවස්ථාව පසු කරන්නට ද හේතු විය. මහ මුහුදේ බලය වෙනුවෙන් ගත් තීරණය හා සමාන අවස්ථාවක් අද උදාවී ඇති බව ඉන්දියන් එක්ස්ප‍්‍රස් ලිපිය දක්වයි.

ජගත් ප‍්‍රජාව බොරතෙල් යුගය අවසන් කරන තීරණය ගන්නට අංශ හතරකින් කරුණු සලකා බලා තිබේ. පළමු හේතුව ගෝලීය උණුසුම ඉහළයාම හෙයින් අයිස් කදු දියවනබව පෙනී ගොස් ඇති අතර එය කෙලින්ම මුහුදේ මටට්ම වැඩි කරන්නක් වීමය. මුහුදු මටට්ම ඉහළ යන විට පහත් ගොඩබිම් ප‍්‍රදේශ ජලයෙන් යටවන අතර මනුෂ්‍යයාට ජීවත්වන්නට ඉතිරිවන ඉඩකඩ තවත් සීමා වෙයි. පැරිස් සම්මුතිය අනුව ගෝලීය උණුසුම පාලනය කරන ක‍්‍රියාකාරකම් වෙනුවෙන් ලෝක ප‍්‍රජාව පෙල ගැසී ඇත. පරිසරයට හානියක් නොවන ස්වභාවික බලශක්තිය හැකි පමණින් උපයෝගී කරගන්නට ප‍්‍රයත්න දරමින් සිටී. දෙවැනි කාරණය බොරතෙල් නිපදවන රටවල ව්‍යාපාර ස්වභාවයයි. ඉහළ මිලක් පවත්වාගෙනයාම සඳහා නිෂ්පාදනය සීමා කරන අතර උවමනාවෙන්ම කරන තෙල් වෙළඳ පොල පාලනය කාර්මික රටවලට හිරිහැරයක් බවට පත්විය. තුන්වැනුව ඇමරිකාව කේන්ද්‍ර කරගෙන පිරිසිදු බලශක්තිය කෙරෙහි දක්වන ලද නැඹුරුවය. ටෙස්ලා විදුලිය කාර් නිෂ්පාදන සමාගම පරිසරයට කිසිම බලපෑමක් නොවන විදුලි කාර් නිපදවන ලද අතර කැලිෆෝනියාව 2050 වන විට විදුලිය නිපදවීම හා ප‍්‍රවාහනය සම්පූර්ණයෙන්ම පුනර්ජණනීය හෝ පරමානු බලයට පමණක් සීමා කරන නීති පනවන ලද බව මෙම ලිපියේ දක්වයි. පිරිසිදු හරිත විදුලිය සංකල්පය ලෝකයේ සියළු නායකයන් අනුගමනය කරන සහ ඔවුන්ගේ සංකල්ප වල ප‍්‍රධාන තැනක් දක්වා නැඹුරු කරගෙන තිබේ. හතරවැනිව බොර තෙල් භාවිතාව සීමා සහිත පමණක් නොව එයින් ඇතිකරන විස දුම මිහිතලය මිනිසුන්ට ජීවත්වීම අහිතකර තැනක් බවට පත් කිරීමද ලෝක නායකයන් ගේ අවධානයට ලක්ව ඇත.

වින්සන්ට් චර්චිල් ගත් තීරණය අනුව ඛනිජ තෙල් යුගය ඇරඹුන හා සමානව ලෝක නායකයන්ගේ එකඟතාව මත ලෝකයේ තෙල් පරිභෝජනය අවම වන තැනට කරුණු යොමු වෙමින් පවතී. අද වන විට ප‍්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයන් එන්ජිමක් නැති වාහන නිපදවීම ගැන අවධානය යොමු කර තිබේ. ඇමරිකාව, යුරෝපය, චීනය ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවක් තමන්ගේ රටවල් තුළ ඛනිජ තෙල් භාවිතා කරන රථ වාහන භාවිතා කරන්නට හැකි අවසාන දිනයක් ගැන කතා කරන්නට පටන්ගෙන ඇත. පළමු අදියරේ දී සැහැල්ලූ වාහන වලට පමණක් මෙම නීති බලපවත්වන නමුත් පසුව විදුලිය දුම්රිය හා විදුලිය බලයෙන් ධාවනය වන බස් හා භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථ දක්වා එය වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සැලකේ. ටෙස්ලා මෝටර් රථ සමාගම මෙහි දී විශාල පරිවර්තනයක් කර තිබේ. සුඛෝපභෝගී පමණක් නොව සාමාන්‍ය වාහන පවා විදුලියෙන් ධාවනයවන තැනට පරිවර්තනය කරන්නට මෙම සමාගම පර්යේෂණ මෙහෙයවයි. ඇමරිකාව, ජපානය මහ චීනය ඇතුළු රටවල් විදුලිය නිපදවීමේදී සූර්ය බලශක්තිය ප‍්‍රයෝජනයට ගැනීමට විශාල අවධානයක් දක්වයි.

සූර්ය බලය විදුලිය බලය බවට හරවන තාක්ෂණය දියුණු කරන්නට ප‍්‍රකට වන නිපැයුම්කරුවන් වන මාර්ක් සුකර්බර්ග් හා බිල් ගේට්ස් පෙරමුණ ගෙන ඇත. අවුරුදු පහක් ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන දහයක සිට විස්ස දක්වා ආයෝජනයක් කරන්නට පුද්ගලික අංශයේ ආයෝජකයන් ගණනාවක් එකතු වී අරමුදලක් පිහිටුවාගෙන ඇති බව වොෂින්ටන් පෝස්ට් පුවත් පත වරක් හෙළිදරව් කළාය. මෙම අරමුදල මගින් අලූත් තාක්ෂණය අනාවරණය කරගෙන කෙලින්ම හිරු එළිය බලශක්තිය බවට පත් කරන පර්යේෂණ මෙහෙයනවනු ඇත. මෙම පර්යේෂණ සාර්ථක වන දිනය වන විට ලෝකයේ බලශක්ති අංශය වේගවත් පරිවර්තනයකට යොමු වනු ඇතැයි සැලකේ. එක පැත්තකින් රථ වාහන විදුලියට හැරවීම සහ විදුලිය නිපදවීම සූර්ය බල ශක්තියෙන් සිදුවන යුගයක් නොබෝ කලකින් එළැඹෙන විට ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් පවතින රාමුව සහමුලින්ම වෙනස්වන්නට ඉඩ ඇති බව සැලකිය යුතුය.

ශ‍්‍රී ලංකාවට මෙම නව පර්යේෂණ වල නිරත වන්නට අවකාශයක් නැත. ඒ වෙනුවෙන් යොදවන්නට ධනය පමණක් නොව අවශ්‍ය තරම් මානව සම්පත ද හි`ග බව අවිවාදිතය. නමුත් ලෝකයේ වෙනස්වන පැති දෙස බලා ප‍්‍රතිපත්ති සකස් කරගැනීම කෙරෙහි බාධාවක් නැත. ශී‍්‍ර ලංකාව බොරතෙල් නිෂ්පාදනය කරන රටක් නොවන නමුත් ඛනිජ තෙල් භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. නොබෝදා රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරන ලද තෙල් ටැංකි සම්බන්ධ කාරණය ද මෙම නූතන බලශක්ති ප‍්‍රවනතාවය සම්බන්ධයෙන් සලකා බලා තීරණගත යුතු අවස්ථාවකි. ලෝකය පුරා ඛනිජ තෙල් යුගය අවසන් වන බවට මතයත් පැතිරයන සහ සූර්ය බලය අනාගත විදුලිය නිෂ්පාදනයෙහි පෙරමුණ ගැනෙන සේ පර්යේෂණ කෙරෙන කාලයක තෙල් ටැංකි වල අයිතිය වෙනුවෙන් සටන් කිරීම කොපමණ වැදගත් දැයි සිතා බැලීම සුුදුසුය.

අද රට තුළ තාක්ෂණික ප‍්‍රවනතා සහ බලශක්තියෙහි අනාගතය ගැන ප‍්‍රමාණාත්මක සංවාදයක් නැත. පොදු ජනතාවට වේගයෙන් වෙනස්වන පැති ගැන දැනුම ලැබෙන මාර්ග අඩුය. විද්වතුන් සහ පර්යේෂකයන් මාධ්‍ය හමුවට පැමිණ ලෝකයේ වෙනස්වන පැති ගැන සාකච්ඡා කළ යුතු නමුත් අද කොරෙන්නේ දේශපාලන සංවාද බව පැහැදිලිව පෙනේ. ඒවායෙන් පතුරවන්නේ ගැටුම්ය. ඇණුම් බැනුම් හා අවලාද බව සඳහන් කළ යුතුය. ලෝකයේ තාක්ෂණික වෙනස්වීම් අනුව ඉක්මනින්ම සූර්ය බල විදුලිය භාවිතයට නැඹුරු වන බව පොදු ජනතාවට කෙලින්ම පැහැදිලි කරන්නට සමත් වූයේ නම් අර්බුද මතු වන්නේ නැත. තෙල් ටැංකි වල ආර්ථික වටිනාකමක් ඇති නමුත් පවතින ස්වභාවය මත ඒවායේ ආයෝජනයට රටට ඇති බාධා සහ ඒවායෙහි ආයෝජනය වෙනුවට නූතන බලශක්ති යුගයට ඇතුළුවීමේ වැදගත්කම පෙන්වා දෙන්නට උත්සාහ කළ යුතුව තිබුණි.

රටට අලූත් ප‍්‍රතිපත්ති අවශ්‍යය. බලශක්ති ක්ෂේත‍්‍රයේ වෙසනස්කම් සමාජයට හදුන්වා දෙන්නේ කෙසේදැයි සොයා බැලීමට විද්වතුන් පියවර ගත යුතුය. ඛනිජ තෙල් වලට ඇබ්බැහි වී සිටින රටක් ආකල්ප වෙනස්කර අලූත් යුගයකට යොමු කිරීම පහසු නැත. එය ක‍්‍රමයෙන් පියවර ගණනාවකින් ඉදිරියට යා යුතු එකකි. තෙල් බලය ගැන සටන් කරන රටකට තෙල් රහිතව ජීත්විය හැකි සමාජයක් ගැන කියාදීමට තරම් දක්ෂ සන්නිවේදනයක් රටට අවශ්‍ය බව සඳහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකාව ජාතික ප‍්‍රවාහන සැලසුමක් කෙරෙහි අවධානය යොමුකල යුතුය. පොදු ප‍්‍රවාහන පද්දතිය වසර දහයකට පමන දිර්ඝ කාලයක් සලකා සැලසුමක් සකස් කිරීම හා පුද්ගල වාහන මිලදී ගැනීම් සදහා පවා නව ප‍්‍රතිපත්ති සහ ක‍්‍රමවේද හදුන්වාදීම අවශ්‍යය. කෙටි ගමන් වලදී පාපැදි භාවිතයට ජනතාව නැඹුරු කලයුතු අතර මේ සියලූ කරුණු මගින් මෙරට බලශක්ති භාවිතාව සහ ප‍්‍රවාහනය අලූත් මගකට යොමුකල හැකිය.