» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/05/2018 - ඉරිදා ලංකාදීප
ඉතියෝපියානු ගුවන් සේවය සාර්ථකත්වයට පත්වීමේ රහස

ඉතියෝපියාව යන වචනය කියැවෙන විට මැවෙන චිත‍්‍රයක් තිබේ. කාලයක් ඉතාම දුෂ්කර රටකි. එහි ජනතාව දරිද්‍රතාවයෙන් පීඩිත අතර මන්දපෝෂණය ගැන සඳහන් කරන විට සංකේතයක් වූයේ ඉතියෝපියාවේ දරුවන්ය. ආර්ථික සහ සමාජ තත්ත්වයෙන් දුර්වල තැනක සිටි ඉතියෝපියාව ක‍්‍රමයෙන් හිස ඔසවමින් සිටී. නමුත් සම්පූර්ණයෙන්ම නොවේ. තවමත් වැර වෑයමෙන් ආර්ථික අතින් නැගී සිටින්නට උත්සාහ කරන අප‍්‍රිකානු රටකි. රට ඉතා දුප්පත් සහ රට වැසියන් දරිද්‍රතාවයෙන් නමුත් එරට ජාතික ගුවන් සේවය ඉතාමත් ප‍්‍රබල එකකි. ලෝකයේ දියුණු රටවල ඉතා නවීන ගුවන් යානා සහිත දැවැන්ත ගුවන් සේවා සමග කරට කර සිටින ඉතියෝපියානු ගුවන් සේවය ලාභ ලබන කාර්යක්ෂම එකක් බව සදහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකාව මැදි ආදායම් රටකි. ලෝකයේ නොයෙක් දියුණු රටවල් සමග කරට කර සිටිය හැකි මානව සම්පතකින් සමන්විත අතර තාක්ෂණය අතින් ඉහළ මටට්මක සිටී. නමුත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය අසාර්ථක එකකි. එය වාර්ෂිකව අති විශාල පාඩු වාර්තා කරයි. එක ආණ්ඩුවක් යටතේ පමණක් නොවේ. එය පිහිටවූ දා සිට පැවැති සියළු ආණ්ඩු යටතේ දිගින් දිගටම අසාර්ථක විය. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාව පුද්ගලීකකරණය කරන ලද අතර පසුව නැවත රජයට පවරා ගත්තේය. දැන් නැවත වතාවක් පුද්ගලීකකරණය කරනු සඳහා උත්සාහ කරමින් සිටී. වත්මන් රජය ගුවන් සේවාව පවරාගෙන පවත්වාගෙනයාම සඳහා ලෝක ව්‍යාප්තව අදහස් ඉල්ලා සිටියේය. ප‍්‍රතිචාර යහපත් නැත. ව්‍යාපාරයක් වශයෙන් අසාර්ථක ශ‍්‍රී ලංන්කන් සමාගම භාර ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් කැමති නැති අතර එය නඩත්තු කිරීම සඳහා අරමුදල් සම්පාදනය කළ නොහැකි තැනක පවතී. මහා භාණ්ඩාගාරය නැවත නැවතත් ලබා දෙන අරමුදල් එය නගා සිටුවීමට කිසිම පිටිවහලක් වී නැති අතර පොදු ජනතාව මත පැටවුණ විශාල බරක් බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. සාර්ථක විය හැකි පරිසරයක ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාව අසාර්ථක වෙන්නේ ඇයි?

ඉතියෝපියානු ගුවන් සේවාව ආරම්භ කරන ලද ආර්ථික සහ සමාජ පසුබිම තුළ අප‍්‍රිකාවේ තවත් ගුවන් සේවා ගණනාවක් ආරම්භ වී තිබේ. නයිජීරියා එයාර්වේස්, එයාර් අප‍්‍රික්, ඝානා එයාර්වේස්, ගැම්බියා එයාර්ලයින්, බොස්ට්වානා එයාර් ලයින් සහ කොන්ගේ එයාලයින් ඒ අතරින් කිහිපයකි. මෙම සමාගම් ද එපමණ සාර්ථකත්වයක් පෙන්වා නැත. 1945 වසරේ දී ඉතියෝපියානු ගුවන් සේවාව ආරම්භ කර ඇත. ගුවන් ගමන් තත්ත්ව වාර්තා අනුව 2010 වසරේ දී දකුණු අප‍්‍රිකාවේ සාර්ථකම ගුවන් ගමන් ව්‍යාපාරය බවට නම් කර තිබේ. 2011 වසරේ දී මෙම සේවාව තුන් වන ලෝකයේ රටවල් අතර පවතින සේවා අතර වඩා ලාභ උපයන සහ වඩාත් විශ්වාසදායක ගුවන් සේවාව බවට සහතිකයක් ලැබී ඇති බව වාර්තා දක්වයි.

2005 වසරේ දී මෙම ගුවන් සමාගම ඉදිරි වසර පහ සඳහා සැලසුමක් ඉදිරිපත් කළ අතර එය සාර්ථක කරගත්තේය. එයට අනුව මගී ධාරිතාව තුන් ගුණයකින් නැංවීමට හැකි වූ අතර ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවීය. 2017 වසර අවසන් වන විට සමාගම සතුව පැවැති යානා ගණන අනූ දෙකකි. 2015 වසරේ දී සමාගමේ ලාබය ඇමරිකානු ඩොලර් බිලියන 3.15 කි. වසර 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන දහයක ආදායමක් සහ ලෝකයේ ගමනාන්ත 120 කට ගමන් කරවන්නට සැලසුම් කර ඇත. එමගින් භාණ්ඩ ටොන් 820,000 ක් සහ මගීන් මිලියන 22 ක් ප‍්‍රවාහනය කරන්නට ඉලක්ක කර තිබේ.

ඉතියෝපියානු ගුවන් සේවාවේ සාර්ථකත්වයේ රහස කුමක්ද? ස්වාධීන දක්ෂ පාලනයයි. එක උදාහරණයක් තිබේ. ඉතියෝපියානු ආණ්ඩුව රුසියාව සමග සමීප මිත‍්‍රත්වයක ඉන්නා කාලයක ආණ්ඩුව රුසියන් ගුවන් යානා භාවිතා කිරීමට යෝජනා කළේය. ඉතියෝපියානු ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය එය ආණ්ඩුවෙන් ලැබුණ යෝජනාවක් හෙයින් ක‍්‍රියාවට නංවා නැත. ලෝකයේ ගුවන් යානා වල සාර්ථකත්වය හා ඒවා භාවිතා කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජන ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ආණ්ඩුවල හිතවත්කම් අනෙකක් බව තීරණය කර ඇති එවකට ඉතියෝපියානු ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය රුසියානු යානා මිල දී ගැනීමට ඉඩ දී නැත. ඉතියෝපියානු ගුවන් සේවාවේ සාර්ථකත්වයේ රහස එහි වෘත්තීයවේදී බව සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් ඉතාම මැනවින් මෙහෙයවීම බව විචාරක මතයයි. දේශපාලන බලපෑම් වලට නතු වී නැත. බාහිර බලපෑම් නොසලකා ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට ගෙන යෑමට තීරණ ගෙන ඇත. කොපමණ දුෂ්කර කාල පරිච්ඡේදයක පවා අධ්‍යක්ෂක මණ්ඩලයේ පරිපාලන තීරණ වෙනස් වී නැත.

ඉතියෝපියාවේ පවතින දුප්පත්කම අනුව ගුවන් සේවාව පවත්වාගෙන යාම සෙදහා නොයෙක් දුෂ්කරතා මතු වෙන්නට ඇත. ඕනෑම රටක පවතිනදූෂණ හෝ වංචා වලට මුහුණ දෙන්නට සිදුවූවා නිසැකය. සොරකම් හා වංචා දුප්පත්කම සමග නැගී පැතිරෙන ව්‍යවසනයකි. ගුවන් සේවාවක් පවත්වාගෙන යෑම පහසු නැති අතර දේශපාලන බලපෑම් සමග අකාර්යක්ෂමතාව එකතු වූ විට එය දරුණු තත්ත්වයකට පත් වෙයි. දූෂණ හා වංචා එකතුවුවහොත් එය බංකොලොත්වීම හැර අනෙකක් අපේක්ෂා කළ නොහැකිය. බිලියනපතියෙකුට ඉතාමත් පහසුවෙන් මිලියනපතියෙකු වීමට නම් ගුවන් සේවයක් පවත්වාගෙන යා යුතු බව ආර්ථික විශේෂඥයන් ප‍්‍රකාශ කර ඇති අදහසකි. එසේ තිබිය දී ඉතියෝපියානු ගුවන් සේවයේ ප‍්‍රගතිය ලෝකයේ නිබඳ අවධානයට ලක්ව ඇති බව සඳහන් කළ යුතුය.

ඉතියෝපියාවේ සාර්ථක භාවය ශී‍්‍ර ලංකාවට ලබා ගැනීමට නොහැකි වූයේ ඇයි? නැවත නැවතත් මෙම ප‍්‍රශ්නය අහන්නට අවශ්‍යය. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ආරම්භ කරන ලද වකවානුවේ දී එවකට සාර්ථකව ක‍්‍රියාත්මක වූ සිංගප්පූරු ගුවන් සේවාවෙන් උපදෙස් ඉල්ලා ඇති බව ප‍්‍රකට කරුණකි. ලී ක්වාන් යූ හිටපු අගමැතිවරයා එවකට ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට දියුණු වන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට ගුවන් සේවයක් අවශ්‍ය නැති බව පෙන්වා දී තිබේ. එය පවත්වාගන යාමට වැය කළ යුතු ජාතික ධනය විශාල එකක් වීම එවැනි උපදේශයකට හේතුවී තිබුණි. ශී‍්‍ර ලංකාවේ අභිමානය වශයෙන් ජාතික ගුවන් සේවය ආරම්භ කරන ලද නමුත් එය පිහිටවූ දිනයේ සිට අසාර්ථක එකක් බව නිරීක්ෂණය කළ හැකිය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ස්වාධීන වෘත්තීයවේදීන්ගේ නායකත්වයෙන් පවත්වාගෙන යන්නට අසමත්වීම ජාතික ගුවන් සේවයේ පරිහානියට හේතුව බව සැකයක් නැත. නොයෙක් විගණන වාර්තා සහ කොමිෂන් වාර්තා මගින් ශ‍්‍රී ලන්කන් සේවාවේ අසාර්ථකත්වයට හේතුව පෙන්වා දී තිබේ. සීමාව ඉක්මවා සිටින සේවක පිරිස, අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම සහ සුදුසු අවස්ථාවේදී නිවැරදි තීරණ ගැනීමට අසමත්වීම සමාගමේ අසාර්ථකත්වයට හේතු බව ඉතාමත් පැහැදිලිය. ඉතියෝපියාවට කරන්නට හැකි වූ සහ ශ‍්‍රී ලංකාවට කරගන්නට හැකියාවක් නොලැබුණ මෙම ස්වභාවය මෙරට පරිපාලනයේ එක් පැතිකඩක් විදහා දක්වන බව ද පිලිගත යුතුව තිබේ.

ශ‍්‍රී ලංන්කන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කළ යුතුය. එය සාර්ථක ව්‍යවසායකක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීම අවශ්‍යය. මෙරට ජනතාවගෙන් විමසන සෑම අවස්ථාවකම රටට ජාතිකගුවන් සේවයක් අවශ්‍ය බව එක හෙලා කියා සිටියි. නමුත් ගුවන් සේවාව පවත්වාගෙන යාමේ දී ලබන පාඩුව වෙනුවෙන් කැපවීමට සිදුවී ඇති බව ජනතාව දන්නේ නැත. නිති පතා ගෙවන බදුවලින් විශාල කොටසක් අසාර්ථක ව්‍යාපාරයක් නඩත්තු කරන්නට වියදම් කරන්නට සිදුවී ඇති බව අවධානයට ගෙන නැත. ශ‍්‍රී ලංන්කන් ගුවන් සේවය සාර්ථකව කරගෙන යාම වෙනුවෙන් නිදහස් කළහොත් රෝහල් පද්ධතිය නවීකරණය කර හොඳ ප‍්‍රතිකාර ලබා දිය හැකි අතර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් තවත් පහසුකම් ලබා දිය හැකි බව සලකා බලන්නේ නැත. දේශපාලනඥයන් තමන්ගේ අභිමතාර්ථ සදහා ජාතික ගුවන් සේවය වෙන් කරගෙන ඇති අතර එය රටට අත්පත් කර දී ඇති අවාසිය කොපමණ ද යන්න ඉතියෝපියානු ගුවන් සේවයෙන් අවබෝධ කරගත හැකිය.