» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/01/2019 - ඉරිදා ලංකාදීප
උරුමය සොයා යන නව ප‍්‍රවනතාවයකට අවස්ථාවක්

පුරා වස්තු සම්බන්ධයෙන් ලෝකය පුරා අලූත් ආකල්ප මතුවෙමින් තිබේ. ලෝකයේ වෙනත් රටක වෙනත් ප‍්‍රජාවකට අයත් සම්පතක් තවත් නොදන්නා පාර්ශවයකට අයිතිකරගත හැකි ද යන්න අලූතින් සාකච්ඡව භාජනය වී ඇත. අතීතයේ ප‍්‍රංශයේ යටත් විජිතයක්ව තිබුණ අප‍්‍රිකානු ප‍්‍රදේශයක මෑතක සංචාරය කළ ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ ප‍්‍රකාශයක් සමග පුරා වස්තු ගැන පැවැති අවධානය වෙනත් පැත්තකට යොමුව තිබේ. අප‍්‍රිකානු රටවලින් රැගෙන ගිය කලාකෘති, ස්මාරක ඇතුළු අනන්‍ය දේ කිසියම් පදනමක් මත පිහිටා ආපසු එම රටවල් වලට භාර දීමට මැක්‍රොන් සූදානම්ය. ඒ වෙනුවෙන් කමිටුවක් ද පත් කර තිබේ. කෞතුකාගාරවල හෝ පුද්ගලික එකතු වශයෙන් තිබුණත් මෙම කෞතුක භාණ්ඩ උරුමය තිබුණ අය වෙත පැවැරිය යුතු බව ප‍්‍රංශ ජනාධිපතිවරයාගේ අදහසයි. ඒවා තාවකාලිකව හෝ ස්ථිරව අයිතිකරුවන් වෙත භාර දෙන වැඩ පිලිවෙලක් හැදීම මැක්‍රොන් ගේ අභිප‍්‍රාය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉතිහාසයට අනුව ලෝකයේ බලවත් රටවල් දුබල රාජ්‍ය ආක‍්‍රමණය කළේය. ඒවායේ සම්පත් පැහැර ගත්හ. වටිනාකමක් ඇති සියලූ දේ එකතු කරගෙන ගියහ. එකල සිද්ධි වලට නීති රීති හරස් වූයේ නැත. යටත් වූ රටවල් අසරණ වන්නට ඇත. තම උරුමය පැහැරගෙන යන බලවත් ජාතීන්ගේ ක‍්‍රියාකාරකම් වලට එරෙහිවීමට නොහැකිව සිටින්නට ඇත. අද පරපුර මෙම තත්ත්වය සමාලෝචනය කරමින් සිටී. පීඩිත රටවල උරුමය පැහැරගෙන යෑම ගැන පශ්චාත්තාපයක් හටගෙන තිබේ. එයට වන්දියක් වශයෙන් යම් යම් ආකාරයෙන් ප‍්‍රතිඋපකාර කරන්නට නූතන ජනන සමාජය සූදානම් වී ඇති බව පෙනේ. පුරාවස්තු එකතු කරන පිරිස අතරින් යම් කොටසකට අනුව පුරාවස්තු පැහැරගෙන යෑමෙන් පවා සංරක්ෂණයක් සිදුවී තිබේ. නොයෙක් රටවල් වලට අයත් කෞතුක වටිනාකමක් ඇති දේවල් එකතු කර, ඒවා ආරක්ෂා සහිතව නඩත්තු කර ඇත. ඔවුන්ට අනුව මෙම කෘති විශාල පරිශ‍්‍රමයක් දරා සියවස් ගණනාවක් තිස්සේ රැකබලාගෙන තිබේ. අද වන විට පුරා වස්තු ඉතාමත් වටිනාකමැති වැදගත් විය හැකිය. නමුත් ඒවා එකතු නොවුනේ නම් නැති නාස්ති වීමට ඉඩ තිබුණි. එය බලවත් හානියක් වියහැකි බව පුද්ගලික සංරක්ෂකයන් හා කලාකෘති නඩත්තු කරන්නන් නගන මතයකි. ඉතිහාසයෙන් අයිතිකරගෙන වර්තමානයේ ආරක්ෂා කරන පුරාවස්තු වල නිසි අයිතිය ගැන විවාදය කෙසේ නමුත් කිසියම් ප‍්‍රජාවකට අයිති, ඔවුන්ගේ අනන්‍යතාව පිලිබිඹුවන කෘති මුල් උරුමයෙන් ඉවත්කිරීම යුක්තිසහගත නැති බව අවධාරණය වෙමින් තිබේ. එය වැදගත් අදහසකි. නිසි අයිතිය ඇති පාර්ශවයට උරුමය හිමි විය යුතුය.

ඉතිහාසය සොයා කරන ගවේශනය නූතනයේ දී විශාල වටිනාකමක් ඇති කරයි. නොයෙක් රටවල් තමන්ගේ උරුමය සොයා යමින් සිටී. නටඹුන්, පුරා වස්තු සහ ඉතිහාසය සනාථ කරන සාක්ෂි සොයන්නට වෙහෙසෙන බව අනාවරණය වෙයි. මෙම පැරණි දේ මතු කරගැනීමෙන් ඉතිහාසයේ සිද්ධි නැවත අලූත් මුහුණුවක් ගනිමින් තිබේ. තම අනන්‍යතාවය හා පැවැත්ම සම්බන්ධ සාක්ෂි සොයන ක‍්‍රියාවලිය ද නවීන විද්‍යාත්මක පර්යේෂණයක් වී ඇත. අලූත් මෙවලම් වලින් පොලොව අභ්‍යන්තරයේ ඇති තැන් සොයා ගැනීම පහසු වී තිබේ. යම් යම් පරිසර සාධක නිසා විනාශ වී ඇති සේ නැවත පිලිසකර කරන තාක්ෂණය දියුණු වී ඇත. නොයෙක් රටවල් තමන්ගේ අනන්‍යතා ඇති දේ ප‍්‍රතිනිර්මාණය කරන අතර ජාත්‍යන්තර ප‍්‍රදර්ශන වලට පවා ඉදිරිපත් කරන බව වාර්තා වෙයි. ති‍්‍රමාණ ඉදිකිරීම් වලින් සීගිරිය හෝ පොලොන්නරුව සම්පූර්ණයෙන්ම ඒ හා සමානවම නැවත ඉදිකළ හැකි අතර ලෝකයේ ඕනෑම තැනක දී ඒවා ජනී ජනයා වෙත ප‍්‍රදර්ශනය කරන අවස්ථාව ඇත. නොයෙක් ලෝක ප‍්‍රකට දේ එවැනි ප‍්‍රදර්ශන භාණ්ඩ බවට හැරවී ඇති අතර ඒවා නරඹන ජනතාව අමන්දානන්දයට හේතු වී ඇති බව අනාවරණය වෙයි.

ශ‍්‍රී ලංකාවේ අතීත ශ‍්‍රී විභූතිය ගැන අවධානය යොමු කරන විට එහි ඇති අපමණ වටිනාකම මැනැවින් පැහැදිලිය. යටත් විජිත කාලයේ මෙරටින් රැගෙන ගිය නොයෙක් කළා කෘති, පුස්කොල පෙතේ, පුරා වස්තු අති විශාල ප‍්‍රමාණයක් බව නොරහසකි. ඒවා බටහිර කෞතුකාගාර හා පුද්ගලයන් සතුව තිබේ. නව ප‍්‍රවනතා අනුව සලකා බලන විට මේවායේ අයිතිය ප‍්‍රකාශ කිරරීමට රටට අවස්ථාවක් තිබේ. ඒවා ගෞරවාන්විතව රටට භාරගැනීඹට වැඩ පිලිවෙලක් අවශ්‍යය. සමහර රටවල ධනවත් පිරිස එකතු වී අරමුදල් ස්ථාපිත කර තිබේ. එම අරමුදල් ලෝකයේ පවත්වන විත‍්‍ර හා පුරාවස්තු වෙන්දේසි වලට සහභාගී වෙති. තමන්ගේ රටවල් වලට අදාල කෘතියක් වෙන්දේසි වන විට ඒවා මිල ගෙවා නැවත තම රටට අත්පත් කර ගැනීමට මෙකී සංවිධානාත්මක ධනවත් අරමුදල් පැහැදී සිටින බව අනාවරණයවන කරුණකි. ශ‍්‍රී ලංකාවේ ධනවත් පිරිස සතුව විශාල කලාකෘති එකතු තිබේ. මේවා පුලූල් කරන අතර ලෝකයේ නොයෙක් තැන ඇති අපගේ අනන්‍යතාවට එකතු කරගැනීමට අලූත් අවුරුද්දේ දී වැඩ පිලිවෙලක් සකස්කළ හැකිය. එය ඉතාම වැදගත්ය. අනෙක් අතට කරුණු දක්වා පරිත්‍යාග වශයෙන් හෝ හුවමාරු වශයෙන් ශ‍්‍රී ලාංකික දේ එකතු කරගැනීමට අපගේ විද්වතුන් සූදානම් වීම වැදගත්ය.

ශ‍්‍රී ලංකාවේ අතීත විභූතිය සලකන විට රට පුරා නොයෙක් තැන් වල පුරා වස්තු ඇත. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ සංස්කෘතික ත‍්‍රිකෝණය වැඩ පිලිවෙල ආරම්භ විය. අද එම රාමුවෙන් ඔබ්බට යා යුතුය. අලූත් පරිච්ඡේදයක් ඇරඹිය යුතුය. බුදුරාජණන් වහන්සේ වැඩම කරන ලද මහියංගනය, නාගදීපය හා කැළණිය ආශි‍්‍රතව කැණීම් කර නැත. කුවේණි හෝ රාවණ ගැන ප‍්‍රමාණාත්මක අවධානයක් යොමු කර තිබේදැයි සැකයක් තිබේ. නාග ගෝත‍්‍රිකයන් කැළණිය පූජා භූමියට සම්බන්ධ බව ප‍්‍රකාශ වී ඇත. නවීන තාක්ෂණයෙන් මේවා යේ හැබෑව සොයා ගත හැකිය. ඩ්‍රොන තාක්ෂණය පවා එයට උපයෝගී කරගත හැකිය. රට පුරා ඇති පුරා විද්‍යා වටිනාකමක් ඇති තැන් ගවේශනය කළ හැකියාව ලැබේ. එයින් අපගේ ඉතිහාසය අලූතින් ලියන්නට අප‍්‍රමාණ සාක්ෂි සොයා ගත හැකිය. මෙම කටයුතු වෙනුවෙන් අවශ්‍ය ධනය සොයා ගැනීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි අංශ ප‍්‍රයෝජනයට ගත හැකිය. පුරා විද්‍යා ස්මාරක බලන්නට යන වැසියන් ඒ වෙනුවෙන් ගෙවන ගාස්තුව අලූතින් එවැනි දේ සොයා ගැනීමට කරන ආධාරයක් වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ පුරා විද්‍යා ක්ෂේත‍්‍රයට අදාල වටිනා මානව සම්පතක් සිටී. මහන්සි වී කරන ගවේශන වලින් ප‍්‍රතිඵල ලැබී ඇත. මෙම දක්ෂ පිරිස යටපත් වී තිබේ. දේශපාලනය මතු වී ඇත. එම තත්ත්වය වෙනස් වියයුතුය. ලෝකයේ පවතින උනන්දුව කුමක්දැයි තේරුම් ගැනීම වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ එතිහාසික සාධක සොයා බලා උරුමය ගොඩනගන නව ක‍්‍රියාත්මක සැලැස්මක් අලූත් පියවරකින් ආරම්භ කිරීම සුදුසුය. ජාත්‍යන්තරයේ ප‍්‍රවනතාවයක් ඇති අවස්ථාවක නොයෙක් රටවල පවතින රටට අයිතිය ඇති දේ යොදා ගැනීමට ක‍්‍රියා කළ යුතුය.