» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/11/2017 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි පැවැත්ම ගැන බ‍්‍රසීලයෙන් එන තොරතුරු

පසුගිය මාසයේ එක්තරා දිනයක බ‍්‍රසීලයේ පවැති උත්සවයක දී එරට හමුදා ජෙනරල් වරයෙකු කරන ලද ප‍්‍රකාශයක් පුලුල් අවධානයට ලක්ව තිබේ. බ‍්‍රසීලයේ දේශපාලන අස්ථාවර භාවයට සීමාවක් තිබිය යුතු බව ඇන්ටෝනියෝ හැමිල්ටන් නැමැති මෙම ජෙනරාල්වරයා කියා සිටියේය. බ‍්‍රසීලයේ දේශපාලන නායකයන් සෑහෙන ප‍්‍රමාණයක් ගැන අප‍්‍රමාණ දූෂණ චෝදනා එල්ල වී ඇත. මේවා ගැන අධිකරණ ක‍්‍රියාමාර්ග පවතී. සෑම දේශපාලකයෙකුටම දූෂණ හා වංචා චෝදනා යහමින් තිබේ. දූෂණ වංචා ගැන මතු කරන සිද්ධි ඉතාමත් ආන්දෝලනාත්මකය. දේශපාලන ක්ෂේත‍්‍රයේ පවතින පැමිණිලි අධිකරණයට යනු වෙනුවට දෙපාර්ශවය මේවා තම තමන්ගේ කැමැත්තෙන් සමථකරගන්නා බව සමාජය හිතන්නට පටන්ගෙන ඇත. ජෙනරාල් ඇන්ටෝනියෝ මෙම උත්සවයේ දී කියා සිටියේ නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නට අධිකරණය අපොහොසත් වුවහොත් විසදුම් දෙන්නට අපි සූදානම් බවය. එය ප‍්‍රකාශ කළේ හමුදා මැදිහත්වීමකට ඉඩ ඇති බව කෙලින්ම සඳහන් කරමින්ය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මහජන ඡන්දයෙන් පත් වූ පාලකයන්ට කරන ලද බරපතල අනතුරු ඇඟවීමක් සේ සැලකේ. හමුදා නායකයන් ආණ්ඩුව අත්පත් කරගැනීම ගැන සාකච්ඡා කර ඇති බව ද මෙහි දී කියැවිණ.

ප‍්‍රබල ආරක්ෂක හමුදාවක් හැටියට අපට සැලසුම් ඇති අතර පහසු විසදුම් නැති බව ඇන්ටෝනියෝ මෙහි දී කියා සිටි අතර ඒවා බොහෝ කරදර සහ හිරිහැර ඇතිකරන්නට ඉඩ ඇති නමුත් විසදුම ගැන ඔබට විශ්වාසය තැබිය හැකි බව එහි දී වැඩිදුරටත් කියා තිබේ. මෙම කතාව අවසානයේ ජනතාව අත්පොලසන් දී ඇත. ද නිව්යෝකර් පුවත්පත මෙම තත්ත්වය වාර්තා කර තිබුණි. දුෂණ වංචා ගැන පවතින නොවිසදුන පසුබිම බ‍්‍රසීල වැසියන් තෙහෙට්ටුවට පත්කර ඇති බව පෙනේ. දේශපාලනඥයන් ගේ පැවැත්ම වෙනුවෙන් පවත්වාගෙන යන ක‍්‍රමය වෙනුවට හමුදාව මැදිහත්වීම සුදුසු බව සිතන සමාජයක් නිර්මාණය වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට එය එක්තරා අන්දමකට අභියෝගකි.

තොරතුරු වලට අනුව බ‍්‍රසීල දේශපාලනඥයන් කෙරෙහි රට තුළ විශාල පිරිහීමක් ඇත. එවැනි පසුබිමක් තිබිය දී හමුදා ප‍්‍රධානීන් තමන්ගේ අතට බලය ගන්නා බවට කරන ඉඟි කරනන බව පෙනේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අපේක්ෂා නොකරන තත්ත්වයක් නමුත් වෙන විකල්පයක් නැති බව ජනතාව හිතන බව දැක්වෙයි. ජෙනරාල් වරයාගේ දේශණය කිසිවෙකුගේ දෝෂ දර්ශනයට ලක් වූයේ නැත. අඩුම තරමින් ජ්‍යෙශ්ඨ හමුදා ප‍්‍රධානීන් පවා මෙම කාරණයේ දී දී නිහඞව සිටියේය. හමුදා විනය උල්ලංඝනය කිරීමක් වශයෙන් නොසලකන ලද බව අනාවරණය වෙයි. මෙම ප‍්‍රකාශය ගැන විමසූ විට ‘‘ඔහු දක්ෂ සොල්දාදුවෙක්’’ යැයි බ‍්‍රසීල හමුදා ප‍්‍රධානියා ප‍්‍රකාශ කරන ලද බව සඳහන්ය. ‘‘ හමුදා පාලනය කිසිසේත් හොඳ නැති’’ බව දක්වන හෙතෙම ඉතාම නරක තත්ත්වයක් යටතේ හමුදා මැදිහත්විමකට අයිතිය ඇති බව කියා ඇති අතර එය පවතින ස්වභාවය තවත් බරෑරුම් කිරීමක් බව අනාවරණය වෙයි. කරුණු එසේ තිබිය දී තවත් ජෙනරාල්වරයෙකු පුවත් පතකට තීරු ලිපියක් ලියමින් හිටපු ජනාධිපතිට දූෂණ වංචා ඇති බව කියන අතර දැන් ඉන්නා ජනාධිපතිටත් එම චෝදනා එසේම එල්ල වී ඇති බවද මෙකී දෙපාර්ශවයම එකතු වී මහජන මුදල් විනාශ කිරීමේ චෝදනා යටගහන්නට තැත් කරන බව දක්වමින් ගැඹුරු විවේචනයක් ද මතු කර තිබීම විශේෂත්වයකි.

හමුදා පාලනය බ‍්‍රසීල වැසියන්ට අලූත් අත්දැකීමක් නොවේ. 1964 වසරේ දී හමුදාව කුමන්ත‍්‍රණයකින් එරට පාලනය අල්ලාගත්තේය. හමුදා පාලනය අඛණ්ඩව විසි එක් වසරක් පැවැතිණ. 1970 පමණ කාලයේ දී ජනතාව තුළ හමුදා පාලනය ගැන තිබුණ පැහැදීම ඉතාම ඉහළ මට්ටමක බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. කෙසේ නමුත් 1988 දී ව්‍යවස්ථාව මගින් රට තුළ නැවත මහජන ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩු ක‍්‍රමය තහවුරු කරන ලද අතර එය නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමක් සේ සැලකෙයි. දේශපාලනඥයන් බරපතල දූෂණයට ලක්ව ඇති බව ප‍්‍රකාශ වෙන්නේ එම පැවැත්ම තුළයි.

මෑත ඉතිහාසය පුරා බ‍්‍රසීල දේශපාලනඥයන් මහජන මුදල් අවභාවිතා කරමින් දූෂණයෙහි නිරත වූ බව ගැන විශාල වශයෙන් කරුණු අනාවරණය වී තිබේ. හිටපු ජනාධිපතිවරයෙකු වූ මයිකල් ටිමර් කොන්ත‍්‍රාත් වලින් මිලියන ගණනක් උපයා ගත් බවට චෝදනා ඇති අතර ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ ඩිල්මා අයවැය රීති උල්ලංඝනය ගැන දෝෂාභියෝගයකට මුහුණ දුන්නේය. ලූලා ද සිල්වා ජනාධිපතිවරයා ගේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ යහපත් වූ නමුත් ඔහුට ද චෝදනා එල්ල කර අධිකරණයට ගියේය. දුසිම් ගණනක් දේශපාලනඥයන්ට බරපතල දූෂණ හා මූල්‍ය විශමාචාර ගැන චෝදනා එල්ල වී තිබේ. මේවා සම්බන්ධ නඩු විභාග අධිකරණයෙහි හිර වී ඇත. දේශපාලනඥයන් හා අධිකරණ ක්ෂේත‍්‍රය අතර අභිරහස් සම්බන්ධතා හෙයින් මෙම නඩු දිගින් දිගටම විභාග නොවෙන බව පැවසේ. මෙම පැවැත්ම ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත. සමාජ මාධ්‍ය වල විවේචනයට හේතුවී ඇති අතර එහෙයින් සෑහෙන ප‍්‍රමාණයක් බ‍්‍රසීල ජාතිකයන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය එපා වී තිබේ. ජෙනරාල්වරයාගේ ප‍්‍රකාශය සහ එයින් අනතරුව හමුදා ප‍්‍රධානියා සහ තවත් ජෙනරල්වරයෙකු දක්වන ලද අදහස් වලට අනතුරුව පවත්වන ලද ජනමත සමීක්ෂණයක දී සියයට හතලිස් තුනක් වූ ප‍්‍රතිශතයක් තාවකාලික හමුදා මැදිහත්වීමකට සහාය පළ කරන ලද බව අනාවරණය වෙයි. පවතින නරක ස්වභාවය වෙනුවෙන් අන් පිලියමක් නැති මට්ටමට බ‍්‍රසීල වැසියන්ගේ පත්ව ඇති බව මෙයින් පෙනෙන්නට තිබේ.

1964 දී හමුදා පාලනයක් පැමිණියේ තාවකාලික පදනමකින් බව සදහන් කළ යුතුය. ජනාධිපතිවරණය අවලංගු කළ අතර එයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මෙහෙයැවිණ. දහස් ගණනක් අත් අඩංගුවට පත් වූ අතර හාරසියයකට වැඩි පිරිසක් ඝාතනය විය. මෙම හමුදා මැදිහත්වීම පිටුපස ඇමරිකාව සිටි බව ද ප‍්‍රකට කරුණකි. එකී අමිහිරි වකවානුවට වඩා පවතින දේශපාලනයේ දූෂිත බව බ‍්‍රසීල ජනතාව හිතන බව නිරීක්ෂණය කළ හැකිය.

හමුදා පාලනයක් යටතේ සිටි සමාජයක් නැවතත් එවැනි යුගයකට ඇතුළු විය යුතු යැයි හීනෙකින් වත් සිතන්නේ නැත. නමුත් බ‍්‍රසීල වැසියන්ට සිය දේශපාලන ව්‍යුහය තිත්ත වී තිබේ. මෙම පසුබිම ඕනෑම රටකට වලංගු විය හැකිය. මෑත කාලය තුළ ශී‍්‍ර ලංකාවේ පැවැත්ම ද මෙකී ස්වභාවයට තරමක් සමාන දැයි විමසා බැලීම සුදුසුය. පැවැති පාලනය ගැන දූෂණ, වංචා සහ අපරාධ චෝදනා දිගින් දිගටම එල්ල වෙමින් තිබේ. ඒවා ගැන පවත්වන පරීක්ෂණ කෙළවරක් නැත. එසේ තිබිය දී පවතින ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වැරදි ගැන ද හෙළිදරව් වෙමින් තිබේ. ජනමාධ්‍ය අනාවරණය කරන පවතින ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අදාල සිද්ධි ගැන පොදු ජනතාව කම්පාවට පත්ව ඇත. දේශපාලනඥයන්ට එරෙහිව අති විශාල ජනමතයක් ගොඩනැගෙමින් තිබේ. පොදුවේ දේශපාලනඥයන් ගේ ප‍්‍රතිරූපය පිරිහී ඇති අතර ආත්මාර්ථකාමී ධනය වෙනුවෙන් වෙහෙසෙන පිරිසක් බව ජනතාවගේ හැඟීමයි. මහජන විශ්වාසය දිනා ගන්නා වැඩ පිලිවෙලක් ආරම්භ කරන්නට ක‍්‍රමය අපොහොසත්ව ඇති අතර එය රට තුළ විශාල හිඩැසක් නිර්මාණය කර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී නමුත් දේශපාලන පක්ෂ වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත. පක්ෂ නායකයා තීන්දු ගන්නේ තනි මතයටය. පක්ෂයේ අරමුදල් පාලනය කරන්නේ සාමාජිකයන්ගේ අනුදැනුම ඇතිව නොවේ. මෙම පක්ෂ බලයට පත්වූ පසු බහුතර ජනතාවගේ කැමැත්තට අනුව රට පාලනය කරනු ඇතැයි අපේක්ෂා කරයි. එය කළ හැකිද? පක්ෂ තුළ විනය, සදාචාරය සහ පොදු එකඟතාව නැති පසුබිමක රට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඉහළම තැනකට පත්කිරීම සඳහා අලූත් නීති රීති පැනවීම පලක් නැත. මෙම ක‍්‍රමය තුළ දූෂිත, වංචාකාර දේශපාලකයන්ට රැකවරණය තිබේ. අධිකරණය තුළින් පවා යුක්තිය අපේක්ෂා කළ නොහැකි බව ජනතාව හිතන බව පැහැදිලි කාරණයකි. බ‍්‍රසීලයේ හමුදා ආණ්ඩුවක් ගැන මෝරා නැගී එන හැඟීම් තේරුම් ගැනීමට මෙරට පවතින ස්වභාවය හොඳ උදාහරණයක් බව සඳහන් කළ යුතුය.