» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/08/2018 - ඉරිදා ලංකාදීප
දුම්රිය ප‍්‍රතිසංස්කරණය අභියෝගයක් නම් එය දිනන හැටි

ප‍්‍රංශ දුම්රිය සේවය පසුගිය දිනවල වර්ජනයක නිරත විය. දුම්රිය ඒකාධිකාරය අවසන් කර යුරෝපා සහයෝගීතාවයට ඇතුළුවීම ප‍්‍රතික්ෂේප කරමින් එක්ලක්ෂ පනස් දහසකට වැඩි සේවක පිරිසක් වැඩ වර්ජනය කළ අතර එය ඉතාමත් හිරිහැරදායක එකක් වූ බව අනාවරණය වෙයි. දුම්රිය සේවය ප‍්‍රතිසංස්කරණයට බලවත් වෘත්තීය සමිති ගණනාවක් එකහෙලා විරුද්ධ වූ නමුත් එයට අවශ්‍ය කරන මූලික රාමුව පාර්ලිමේන්තුවේ දී අනුමත කරගන්නට එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමත් විය. දේශපාලනයෙහි වැඩි පලපුරුද්දක් නැති නමුත් ප‍්‍රායෝගික තීරණ වලට අවතීර්ණ වූ ජනාධිපතිවරයා දුම්රිය වර්ජකයන් ඉදිරියේ දණ නමන්නට සූදානම් වූයේ නැත. මහජන අභිවෘද්ධිය උදෙසා දුම්රිය සේවාව නවීකරණය කළ යුතු අතර එය කාලීන වැදගත්කමක් සහිත බව ඔප්පු කළේය.

යුරෝපා රටවල සේවා සමග සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව අනුව ප‍්‍රංශයේ දුම්රිය සේවාව පැවැති සම්ප‍්‍රදායික ව්‍යුහයෙන් වෙනස් කිරීමට යෝජනා කෙරේ. නමුත් වෘත්තීය සමිති වෙනස් කම් වලට කැමැති නැත. පවතින ඒකාධිකාරී ස්වභාවය අඛණ්ඩව පැවැතියයුතු බව වර්ජනයෙහි නිරත සමිති නායකයෝ අවධාරණය කළේය. සාකච්ඡා වලට පසු වර්ජනය ආරම්භ වූ අතර සතියකට දින දෙකක් දුමිරිය ගමන නතර කරන බව ප‍්‍රකාශයට පත් කළේය. සතියේ වැඩ කරන දින පහ අතරින් වර්ජනය කරන දින දෙක වෘත්තීය සමිති තෝරා ගත්තේ ඔවුන්ට ගැලපෙන රෝලිං නමැති අහඹු ක‍්‍රමයකටය. ගමන් පහසුව ලබා ගැනීමෙ අරමුණ ඇතිව දුම්රිය නැවතුම් පොලට එන මගීන්ට අන්තිම මොහොතේ දී, එය වර්ජනය කරන දිනයක් බව දැනගත හැකිවෙයි. විකල්ප වැඩ පිලිවෙල සකස් කරනු සඳහා ඇති අවස්ථා සීමාසහිත වන හෙයින් ප‍්‍රංශ ආණ්ඩුව බලවත් දුෂ්කරතාවයකට පත්වෙයි. දොස් තබන මගීන් ආපසු හැරී යන අතර එයට හේතුව කල් තබා අනතුරු ඇඟවීමක් නොකිරීමය.

ප‍්‍රංශ ජනාධිපති මැක්‍රෝන් ව්‍යාපාර හිතකර සහ වඩා ලිබරල්වාදී නායකයෙකු වශයෙන් සැලකේ. ඔන් මාර්ච් නමැති අලූත් දේශපාලන පක්ෂය නිර්මාණය කර ජනාධිපතිවරණය දිනූ මැක්‍රොන් පාර්ලිමේන්තුවේ ද,බලය තහවුරු කරගත්තේය. 1980 සිට එරට දේශපාලනය ප‍්‍රධාන බලවේග දෙකකින් සමන්විත වූ අතර ඒවා පක්ෂ සන්ධාන වශයෙන් පෙනී සිටීම විශේෂත්වයකි. මධ්‍ය වාමාංශික පක්ෂ සන්ධානය, සමාජවාදී පක්ෂය ප‍්‍රධාන පක්ෂ කිහිපයක එකතුවක් වූ අතර මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය සමන්විත වූයේ රිපබ්ලිකන් පක්ෂය හා ප‍්‍රධාන සුළු පක්ෂ කිහිපයක සන්ධානයකින්ය. අවුරුදු තිස් හතකට පසු ප‍්‍රංශ පුරවැසියන්ට මෙම සම්ප‍්‍රදායික දේශපාලනය එපා වූ අතර කලින් කිසිම මැතිවණයකට ඉදිරිපත් නොවූ පුද්ගලයෙකු වශයෙන් මැක්‍රොන් තෝරාගත්තේය. එම්මානුවෙල් මැක්‍රොන් නායකත්වය භාර ගැනීමෙන් පසු ප‍්‍රංශයේ ලිබරල් අදහස් වලට අලූත් ප‍්‍රභාවක් ලැබුණ අතර මෙතෙක් ප‍්‍රංශ ආණ්ඩුවේ ඒකාධිකාරියට යටත්ව තිබුණ දුම්රිය සේවාව වඩා ජනතා හිතකර ව්‍යාපාරයක් බවට හරවන්නට තීරණය කිරීම එයින් එකකි. එම යෝජනාව දෙබරයක් ඇවිස්සීමක් බදු විය. රෝලිං වර්ජනය, එනම් සතියේ වැඩ කරන දින පහක් ඇතුලත දින දෙකක් වර්ජනය ප‍්‍රකාශයට පත් කිරීම මෙකී ප‍්‍රතිසංස්කරණ වලට එරෙහි බලවත් අභියෝගයක් බව පැහැදිලිව පෙණින.

ප‍්‍රංශ දුම්රිය සේවාව ප‍්‍රතිසංස්කරණය තුළින් එය යුරෝපා රටවල අනෙක් සේවා සමග ඒකාබද්ධ වීමට ඉඩ ලැබේ. එය මගීන්ට කාර්යක්ෂම සහ ගාස්තු තරගකාරීත්වයක් ඇති කරන බව ප‍්‍රකාශ වෙයි. නමුත් මෙම තරගකාරීත්වය හෙයින් අලූතින් සේවයට එකතුවන සේවකයන්ගේ වෘත්තිය අයිතිවාසිකම් අහිමිවන බව දක්වමින් වෘත්තීය සමිති විරෝධතා පළ කළේය. වර්ජනය එහි ප‍්‍රතිඵලයකි. වර්ජනය තිබිය දී පාර්ලිමේන්තුවේ දී දුම්රිය ප‍්‍රතිසංස්කරණ පණත සම්මත කරගන්නට ජනාධිපති මැක්‍රෝන් සමත්විය. එය එක්තරා සන්ධිස්ථානයකි. ප‍්‍රංශ දුම්රිය සේවාව ප‍්‍රතිසංස්කරණය කර වෙනම සමාගමක් වශයෙන් පිහිටුවීම ඉදිරියේ දී සිදුවීමට ඉඩ ඇති අතර එය කරගැනීමට අසමත්වුවද නව පණත පාර්ලිමේන්තුවෙන් අනුමතවීම ප‍්‍රංශ රජය අත්පත් කරගත් ජයග‍්‍රහණයක් වශයෙන් සැලකේ. වෘත්තීය සමිති නායකයන් ගේ බලය ජනතා අභිලාශයන් වෙනුවෙන් නොව සේවක අයිතිවාසිකම් උදෙසා ගෙන ගිය පුද්ගල අරගලයක් වශයෙන් පෙනී ගියේය.

යුරෝපා රටවල දුම්රිය ගමන අලූත් ආකර්ශනයක් මතු වෙමින් තිබේ. පරිසර හිතකාමී විදුලිය දුම්රිය සේවය හා එහි වේගය වැදගත් කාරණා සේ බලපා ඇත. ගුවන්යානා සිය ගමන් වාර වල දී පුලූස්සන අධික ඉන්ධන ප‍්‍රමාණය සීමා කර ගැනීම අරමුණු කරගෙන වේගවත් විදුලිය දුම්රිය ගමනට නැඹුරුවන මගී ප‍්‍රමාණය දිනෙන් දින වැඩිවන අතර මගීන්ට සේවයක් සලසන තරගකාරීත්වය එහි ලා ප‍්‍රමුඛ තත්ත්වයක් සේ සලකන්නට යුරෝපා රටවල සේවා නැඹුරු වී තිබේ. ඉහළ සේවා තත්ත්වය හා තරගකාරී ගාස්තු මගින් නොයෙක් දුම්රිය ආයතන කලාපය තුළ ඉහල අවධානයක් දිනාගෙන ඇති අතර ප‍්‍රංශ රජයට අයත් දුම්රිය සේවයට සාර්ථකව පවතින්නට නම් වෙනස්කම් අනිවාර්ය සාධකයක් වී තිබේ. ජනාධිපති මැක්‍රොන් විසින් රජයට අයත් වෙනම සමාගමක් වශයෙන් දුම්රිය පවත්වාගෙන යාම යෝජනා කරන අතර වෘත්තීය සමිති එයට විරෝධය පළ කරයි.

දුම්රිය වර්ජනය නිසා පසුගිය කාලයේ දී යුරෝ මිලියන 400 කට වඩා අලාභ වාර්තා කර තිබුණ අතර ප‍්‍රංශ රජය මෙම වර්ජනය ගැන ජනතා අදහස් විමසා තිබුණි. සියයට හැටක ප‍්‍රතිශතයක් වර්ජනය අසාධාරණ බවට අදහස් දක්වා තිබුණි. වර්ජනය නිසා යුරෝපා රටවල් හරහා ගමන් කරන සම්බන්ධ සේවාවන්හි අවස්ථා මග හැරුණ මිලියන 4.5 ක සිය ගමන් වාර මගහැරීම ගැන කනස්සල්ලෙන් පසුවූහ. සේවාවේ අලාභ අත්හැර සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරන බව ප‍්‍රංශ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව එකහෙලා කියා සිටින නමුත් වර්ජකයෝ එයට අවනත වූයේ නැත. වර්ජනයෙහි නිරත වූ වෘත්තීය සමිති වල බලය ඉක්මවා යන තීරණ ගත් ජනාධිපති මැක්‍රෝන් ප‍්‍රතිසංස්කරණ පණත් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සෑහෙන ජයග‍්‍රහණයක් විය.

පොදු මගී ප‍්‍රවාහනයේ දී දුම්රිය සේවාවට ලැබෙන තැන ගැන ලෝකයේ අදහස් අලූත් වෙමින් තිබේ. රටවල් හරහා, පරිසර හිතකාමි විදුලිය දුම්රිය වේගයෙන් ධාවනය වන විට ප‍්‍රවාහනය සම්බන්ධ විශාල අවස්ථා බිහිවී ඇත. ශ‍්‍රී ලංකාවේ දුම්රිය සේවාව ගැන සාකච්ඡා කරන්නට ද මෙය අවස්ථාවකි. මෑත කාලය තුළ දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය කළ අවස්ථා ගණනාවක් විය. වෘත්තීය අයිතිවාසිකම්, සේවා සුරක්ෂිතතාව එයට හේතු විය. දුම්රිය සේවය රටට වැදගත් ප‍්‍රවාහන මාධ්‍යයක් නමුත් අදටත් පවත්වාගෙන යන්නේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ඉදිරිපත් කළ රාමුව බව අප කල්පනා කරන්නේ නැත. තේ, රබර් ඇතුළු බි‍්‍රතාන්‍ය වෙළඳ පොලට අවශ්‍ය බඩු භාණ්ඩ කොළඹ වරායට ප‍්‍රවාහනය කිරීම සඳහා කදුකරයේ සිට අතිශය සුන්දර වෙරළ තීරය ඔස්සේ ඉදිකරන ලද දුම්රිය මාර්ග පද්ධතිය එදා සිට අද දක්වා විශාල වෙනසකට භාජනය වී නැත. නිතර සිදුවන ප‍්‍රමාද, ඉතාම මන්දගාමී තත්ත්වය මෙරට මගීහු අත්විඳීන හිරිහැර සේ සඳහන් කළ හැකිය. දුම්රිය ගමන වේගවත් කර විදුලි දුම්රිය දක්වා පරිවර්තනයක් කරන්නට රට වැසියන්ටත් උවමනා කර තිබේ. මෙම ප‍්‍රතිසංස්කරණ කරන්නට ආණ්ඩුවට හැකියාවක් නැත. ආයෝජනය සඳහා මුදල් නැති අතර පැරණි යල්පැනගිය නීති රීති අනුව අලූත් අදහස් ක‍්‍රියාත්මක කළ නොහැකි වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් මෙරට දුම්රිය සේවය ගැන තෘප්තිමත්ද යන ප‍්‍රශ්නය ඇසුවොත් ලැබෙන පිලිතුර හිතා ගැනීම අපහසු නැත. දුම්රිය සේවය පුද්ගලීකරණය හෝ රජයට අනුබද්ධ සමාගමක් වශයෙන් හෝ වෙනස් කර ජනතා සේවය වෙනුවෙන් පවත්වාගෙන යන සේ එක හෙලා කියා සිටින බව නිසැකය. දුම්රිය සේවය පරිවර්තනයකට ලක් විය යුතු බව ජනතා මතයයි. නමුත් එහි නිරත සේවකයන් හා වෘත්තීය සමිති එයට එකඟ නැත. පලපුරුදු රාමුවෙන් එපිට අලූත් යමක් සිදුවීම ගැන අවිශ්වාසයක් තිබේ. වෘත්තීය සුරක්ෂිත භාවය ගැන බියක් ඇත. මෙරට මගී ජනතාවගේ අවශ්‍යතාව වෙනුවට සුළු පිරිසකගේ අභිලාශ වෙනුවෙන් පීඩනයකට මුහුණ දී ඇති ආණ්ඩුව ප‍්‍රංශයේ සිදුවන වෙනස්කම ගැන අවධානය යොමු කළ යුතුය.